කුණ්‌ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කල සිටි ප්‍රංශ ජාතික දස්‌කොන් අධිකාරම් ලියූ පොත්පත්

කුණ්‌ඩසාලේ අගනුවර කරගත් නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707-1739) සංගීතය- නැටුම් හා කාන්තාවන් ඇසුර තදින් ප්‍රිය කළ විනෝදකාමී රජෙකි. කුණ්‌ඩසාලේ අගනුවර කරගත් එකම රජු ඔහුය. 1715 ඔහු කුණ්‌ඩසාලේ අතහැර තම අගනුවර හඟුරන්කෙතට මාරු කළ බව පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක ලියූ "දියතිලකපුර" ග්‍රන්ථයේදී පෙන්වා දෙයි. නරේන්ද්‍රසිංහ රජු කල රාජ සභා කවිකාර මඬුවේ මුහම්දිරම වූයේ වැලිගල්ලේ රාළ බව චාර්ල්ස්‌ ගොඩකුඹුරේ ලියූ "ශාස්‌ත්‍රීය ලිපි හා කතා" ග්‍රන්ථයේ එයි. කවිකාර මඬුවේ මුදලි පදවිය වික්‍රමසිංහ දරා ඇත. මෙකල රාජ සභාවේ මහාධිකාරම් පදවිය දැරූ රම්මොළවක ප්‍රකට කවියෙකු විය. මේ රජුගේ කවිකාර මඬුවේ රම්මොළවක- දොඩම්වල කිවිඳු- වැලිගල්ලේ රාළ- වික්‍රමසිංහ- දස්‌කොන් සිට ඇත. දකුණු ඉන්දීය නාඩගම් රාජ සභාවේ රඟ දක්‌වා ඇත. දකුණු ඉන්දීය බ්‍රාහමණයෙකු සකස්‌ කළ රාජ අනුව නම අප්‍රකට මල්වතු විහාර හිමිනමක්‌ පළමුවරට සිංහල වන්නම් සකස්‌ කර ඇත. මේ මල්වතු විහාර හිමිනමගේ නම සොයා ගැනීමට උගතුන් ගණනාවක්‌ සමඟ සාකච්ඡා කළද එය සොයා ගත නොහැකි විය.

රජු යුද වීරයෙකු නොවුවද ශ්‍රීනාවේ- ශෘංගාරය- ශෘංගාරාලංකාරය- නරේන්ද්‍රසිංහ රාජ ස්‌තුතිය- මෙකල ලියවුණු ප්‍රශස්‌ති කවි පොත්ය. ප්‍රකට දස්‌කොන් වාසය කළේ නරේන්ද්‍රසිංහ රජු කලයි. ගොන්සාල්වේස්‌ පියතුමා- ජෝසප්වාස්‌ පියතුමා- දස්‌කොන් අධිකාරම්- ඩී. ලැනරෝල් මෙකල රාජ සභාවේ රජු කිට්‌ටුවෙන් ආශ්‍රය කළ බලගතු අය වූහ. අනොච්චි පරංගි උන්නැහේ රජුට සිංහල කවි පොතක්‌ ලියා ඇත. මීට පෙර දෙවැනි රාජසිංහ රජු කල මුහුදේදී අබලන් වුවද ලාහේ නමැති ප්‍රංශ නැව අලුත්වැඩියාව සඳහා ත්‍රිකුණාමලයට පැමිණ ඇත. නැව ගැන සැක කළ රජු නාවිකයෝ සිර කළහ. එම නැවේ සිටි නාවිකයෝ ලාංකික කතුන් පාවා ගෙන ලංකාවේම පැලපදියම් වූහ. එහි සිටි රොබට්‌ නොක්‌ස්‌ගේ පියා ලංකාවේදී මළේය. රොබට්‌a නොක්‌ස්‌ අවුරුදු 17 සිරකරුවෙකුව සිට එංගලන්තයට පළා ගියේය. අදත් ලංකාවේ ප්‍රකට ලැනරෝල් පරපුර ලංකාවට ආවේ මෙම නැවේ සිටි ඩී. ලැනරෝල් හරහාය. දස්‌කොන්ගේ පියාද මේ නැවේ සිටි ප්‍රංශ සිරකරුවෙකි. ඔහු පෘතුගීසි කාන්තාවක්‌ පාවා ගෙන ලංකාවේ පදිංචි විය. මේ යුවළගේ පුතා ප්‍රංශ ජාතික ප්‍රේඩෲ ගැස්‌කොන් විය. ඒ නම සිංහල කටට දස්‌කොන් ලෙස හුරු විය. යුරෝපීය සම්භවයක්‌ ඇති ප්‍රංශ- පෘතුගීසි මිශ්‍ර ඔහුට රූමත් සිරුරක්‌ හිමි විය. සංගීත භාණ්‌ඩ වාදනයට හැකියාවක්‌ විය. හොඳින් සංගීත භාණ්‌ඩ සමඟ ප්‍රශස්‌ති ගී ගැයීමට මිහිරි කටහඬක්‌ විය. නරේන්ද්‍රසිංහ රජුට අසුන් පිට යැමට පුරුදු කළේ ප්‍රේඩෲ ගැස්‌කොන්ය. රජු රජ වූ විගසම රජුට විරුද්ධව ඇති වූ කැරැල්ලේදී රජු හා රජුගේ ආරක්‌ෂාවට පළා යැමෙන් ඔහු රජුගේ කිට්‌ටුම විශ්වාසයක්‌ විය. රජ වාසල අධිකාරම් ධුරයක්‌ ඔහුට හිමි විය. නිදැල්ලේ රජ වාසලට ගිය දස්‌කොන් ප්‍රමිලා රාජ බිසව සමඟ රහස්‌ ආදර සම්බන්ධතාවකට මුල පුරා ඇත. ප්‍රමිලා යනු දකුණු ඉන්දියාවෙන් ආ නායක්‌කාර් රජ බිසවක්‌ද නැත්නම් දේශීය කුමාරියක්‌ද බව පැහැදිලි නැත. දස්‌කොන් හා ප්‍රමිලා අතර ඇති වූ රහස්‌ ආදරය ඔහුගේ සතුරන් අතින් පතුරුවා ඇත. ඔහු විසින් ප්‍රමිලාට ලියූ යෑවූ කිවූ කවි සතුරන් ලවා නිර්මාණය වීමටද ඉඩ ඇත.

විදේශිකයන් රජවාසල තුළ බලවත් වීම ගැන සිංහල බෞද්ධ භික්‌ෂුන් හා රදළවරු විරුද්ධ වූහ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්‌කය වූයේ රජු හා විදේශිකයන් අතර සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ දස්‌කොන් අධිකාරම්ය. දස්‌කොන් හා ප්‍රමිලා අතර ආදරය ඔහුට විරුද්ධව තිබූ සතුරන් ප්‍රචාරය තියුණු කළ ප්‍රධාන යෝජනාව විය. දස්‌කොන්ට විරුද්ධව ඇති වූ කුමන්ත්‍රණයේ ප්‍රධාන මූලිකයා වැලිවිට සරණංකර හිමිගේ ගුරුවරයා වූ සූරියගොඩ හිමි විය. සූරියගොඩ හිමි සිටි පන්සල පේරාදෙණිය මුරුතලාව කිට්‌ටුව පිහිටි එකකි. 1721 කුමන්ත්‍රණය සාර්ථක වී ලෙව්කේ රාළ විසින් රාජ නියෝගයෙන් දස්‌කොන්ගේ හිස ගසා මරා දමන ලදී. මේ කුමන්ත්‍රණයේ සුලමුල රජුට දැන ගැනීමට හැකි වූයේ පසුවයි. ඒ අනුව කුමන්ත්‍රණයේ මූලිකයා වූ සූරියගොඩ හිමි මරවා නෑයින් සිර කරවා සූරියගොඩ විහාරයේ දේපළ උඩපොළ අප්පුට පවරා දී ඇත. වැලිවිට හිමි පසු කල ලියූ අත් ලිපියක තම ගුරුවරයා වූ සූරියගොඩ හිමි මැරුම් කෑ බව සඳහන් කරයි. දස්‌කොන්ගේ හිස ගසා දැමූ ලෙව්කේ බණ්‌ඩාර මැණික්‌දිවෙල අලගල්ල කන්දේ දමුණුමෑය, දඹගල්ල ගල්ලෙන්වල සිරකරුවෙකු ලෙස යවා ඇත. හියු නෙවිල්ගේ වාර්තාවලින් ඒ බව සනාථ වෙයි.

දස්‌කොන් හිස්‌ගැසුම් කෑයේ තරුණ වියේදීමය. ඔහුගේ සමහර ප්‍රශස්‌ති කවි මෙකල ලියවුණු රාජ්‍ය සභා ප්‍රශස්‌ති කවි එකතුවක්‌ වූ "ශ්‍රීනාවේ" කවි පොතේ තිබිය හැක. "පවන" මෙකලම ලියවුණු ප්‍රශස්‌ති කාව්‍යවල කවි එකතුවකි. දස්‌කොන් ඔහුගේම කාව්‍ය නිර්මාණ තුනක්‌ ලියා ඇත. ඉන් පළමුවැන්න නරේන්ද්‍රසිංහ රාජ ස්‌තුතියයි. මෙය බෙර- දවුල්- තම්මැට්‌ටම් ආදී වාද්‍ය භාණ්‌ඩ සමඟ ගායනා කළ හැකි කර්ණ රසායන ප්‍රශස්‌ති කවි ඇතුළත් ප්‍රශස්‌ති කාව්‍ය ග්‍රන්ථයකි. මෙහි එන කවි ඔහු රාජ සභාවේදී රජු ඉදිරිපිට ගායනා කළා විය හැක. ඔහුගේ දෙවැනි කාව්‍ය නිර්මාණය කවි අන්ද්‍රය හෙවත් කඹේ නැටීමයි. මෙය විනෝද කාව්‍යයකි. එදා රජු හා පොදුජන විනෝදය සඳහා සමබරතාව රකිමින් කඹයක ගමන් කිරීම තිබූ බව මේ කාව්‍ය නාමය අනුව පෙනී යයි. විවිධ වෘත්ත අනුව ප්‍රබන්ධ කළ ශබ්ද රසය ඇති කාව්‍ය එකතුවක්‌ මේ ග්‍රන්ථයේ එයි. ඔහු මරණයට පෙර සිර කර සිටියදී තම නිවැරදි බව රජුට පහදා දීමට සිරකුටියේ සිට ලියූ තුන්වෙනි ග්‍රන්ථය නෝක්‌කඩු මාලයයි. මෙය මාල කාව්‍ය ගණයට වැටෙයි. එහෙත් මේ කවියා රජු වෙත යැම සතුරෝ වැළැක්‌වූහ. 1721 ලෙව්කේරාළ විසින් ඔහුගේ හිස ගසා මරා දමන ලදී. ඔහු හා ප්‍රමිලා අතර හුවමාරු වූ කවි ඔවුන්ගේම නිර්මාන නම් දස්‌කොන් මෙන්ම ප්‍රමිලාද හොඳ කවි කාව්‍යකාරයෝ වූහ.

දස්‌කොන්ගේ හිස ගසා දැමීමට හේතුව සතුරන්ගේ කුමන්ත්‍රණ- ව්‍යාජ ප්‍රචාරයි. ඒ හැර ඔහු රජුගේ සතුරන් වූ ඕලන්දයින් සමඟ රජුට රහසින් ලිපි ගනුදෙනු කිරීම ඔහුට විරුද්ධව නැඟුණු ප්‍රබලම චෝදනාවයි. විදේශිකයෙකු වූ ගැස්‌කොන් මඟින් උඩරට රහස්‌ තොරතුරු ඕලන්දයින් ලබා ගත් බව අනුමාන කළ හැක. දස්‌කොන්ගේ මරණින් පසු ජනප්‍රවාද අනුව ප්‍රමිලා දිවිනසා ගෙන ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ
එස්‌. කේ. ජයවර්ධන 
සොමිකැළුම්, නාපාන, ගුන්නෑපාන.

Post a Comment

0 Comments