සල්ලාල සැමියා අතහැර කබලෙන් ළිපට වැටුණු කමලා


ඇගේ නම කමලාය. ඇය හැඩ වැඩ ඇති ළාබාල ද්‍රවිඩ කාන්තාවකි. ඇගේ සැමියා සුබ්‍රමනියම්ය. ඔවුන් දෙදෙනා පදිංචිව සිටියේ මට්‌ටක්‌කුලියේ ලෑලි ගැසූ කුඩා නිවසකය. සුබ්‍රමනියම් යකඩ වැඩපළක කුලී වැඩකර පවුල නඩත්තු කළේය. ඔවුන් දෙදෙනා වසර තුනක්‌ පමණ හොඳින් ජීවත් විය.

කාලයත් සමඟම සුබ්‍රමනියම් සමහර දිනවල ගෙදර එන්නේ නැත. කමලා මේ ගැන ඇසූ විට ඔහු පවසන්නේ පිටතැනක අමතර කුලී වැඩක්‌ ලැබුණ නිසා එහි ගිය බවය. ඔහු අමතර වැඩකරන බව පැවසුවත් ගෙදර වියදමට කමලාට දෙන මුදල් ටිකෙන් ටික අඩු විය. මේ අතර පවුලේ අගහිඟකම් වැඩි විය. දින දෙකක්‌ සුබ්‍රමනියම් ගෙදර නොපැමිණි නිසා කමලා යකඩ වැඩපළට ගොස්‌ ඔහු පිළිබඳව සොයා බැලුවාය. වැඩපළේ මුදලාලි පැවසුවේ බොහෝ දිනවල ඔහු රැකියාවට නොඑන බවය. එහි සිටි ඔහුගේ මිතුරෙකු පැවසුවේ සුබ්‍රමනියම්ට වෙනත් අනියම් සම්බන්ධයක්‌ ඇති බවය.

මිතුරාගේ තොරතුරු ඔස්‌සේ එහි ගිය කමලාට එම නිවසේ සිටි තම සැමියාව දැකගත හැකි විය. එම සම්බන්ධය නතර කරන ලෙස ඇය ඔහුගෙන් කොතෙකුත් ඉල්ලා සිටියත් එයින් කිසිදු පළක්‌ නොවීය. තම නිවසේ අග හිඟකම් වලින් මිරිකෙද්දී කමලා අවසන් තීරණයකට එළඹුණි.

තමන්ට දරුවෙකුද නැති නිසා රැකියාවක්‌ කර තනිව ජීවත් වීමට ඇය අදිටන් කර ගත්තාය. රැකියාවක්‌ සොයාගැනීමට නිවසින් පිටවූ ඇයට මිතුරියකගේ උදව්වෙන් රැකියාවක්‌ ලැබිණි. එම රැකියාව වූයේ කොළඹ තර්ස්‌ටන් පාරේ පිහිටි නිමි ඇඳුම් ව්‍යාපාර ස්‌ථානයක සේවක පිරිස සඳහා උදේට සහ සවසට තේ පිළියෙල කිරීමය. ඒ සඳහා ඇයට දිනපතා මුදලක්‌ ලැබිණි.

පාන්දරින් රැකියාවට එන කමලා නිවසට යන්නේ රෑට කෑමට කඩයකින් යමක්‌ද රැගෙනය. ඇය බොහෝ දිනවල රැය ගතකරන්නේ තනිවමය. මෙසේ මාස කීපයක්‌ ගතවිය. දිනක්‌ රැකියා ස්‌ථානයේ පාලිකාව වූ ජානකී නෝනා කමලාව තමා ළඟට කැඳවා ඉතා ලෙන්ගතුව මෙසේ පැවසුවාය.

"කමලා මගේ බංගලාවේ හිටිය ආයා කෙල්ල අසනීප වෙලා ගමේ ගියා. මගේ බබාව බලාගන්න විශ්වාසවන්ත කෙනෙක්‌ මම හොය හොයා හිටියේ. කමලට පුළුවන්ද අපේ බංගලාවේ නැවතිලා මගේ බබාව බලාගන්න. මම හොඳට ගෙවන්නම්".

කමලා ඉතාමත් සතුටෙන් ජානකී නෝනාගේ ඉල්ලීමට කැමති විය. පසුවදාම ඇය තම ඇඳුම් කීපයක්‌ සහ අවශ්‍ය කළමනාද රැගෙන ජානකීගේ බංගලාවේ නැවතීමට පැමිණියාය. කමලාව ඉතාමත් සුහදව පිළිගත් ජානකී, කමලාට මෙසේද පැවසුවාය.

"කමලා බබාව බලාගන්න නිසා හුඟාක්‌ පිරිසිදුවට ඉන්න ඕනේ. නැත්නම් බබා ලෙඩ වෙයි. මම මේ කියන්නයි හිටියේ ඔය ඇඳන් ඉන්න ඇඳුම් පැත්තකට දාලා, නාලා මේ ඇඳුම් ඇඳ ගන්න".

එම වදන් ඇසුන කමලාට, ජානකී නෝනා පිළිබඳව පුදුම ආදරයක්‌ ඇති විය. "ජානකී නෝනා කොච්චර හොඳද? මට සලකන්නේ එයාගෙම සහෝදරියකට වගේ. මට හොඳ කාමරයක්‌ දුන්නා. නිදිය ගන්න ෂෝක්‌ ඇඳක්‌ දුන්නා. පව් දෙයියනේ එයා හරිම හොඳයි." මේ කමලා සිතූ සිතුවිලිය.

රාත්‍රි කාලයේ බංගලාවේ සිටින්නේ හාම් පුතාත් වසර තුනක්‌ පමණ වූ දරුවාත් කමලාත් පමණකි. මෙහි පැමිණ දින දෙකකට පසු රැකියාවට යැමට සූදානම්ව ජානකී මෙසේ පැවසුවාය.

"කමලා අද ලොකු ඇඳුම් 'ඕඩර්' එකක්‌ එනවා. සමහර විට මට රෑට එන්න ලැබෙන එකක්‌ නැහැ. බබාව හොඳට බලාගන්න." "හරි නෝනා, ඒ ගැන බයවෙන්න එපා. මම බබාව පරිස්‌සමින් බලාගන්නම්."

එදින රැයේ නිදා සිටි කමලා තිගැස්‌සී අවදි විය. ඒ මොහොතේ හැඩි, දැඩි, දැතකට ඇය මැදිව සිටියාය. කමලා කොතෙක්‌ දැඟලුවත්, වැළපුනත් එයින් පලක්‌ නොවීය.

පෙරදින රැයේ තමන්ට හාම්පුතාගෙන් සිදුවූ අතවරය ගැන පසුදින උදේ නිවසට පැමිණි ස්‌වාමිදුව සමඟ පැවසූ කමලා තමන්ට ගෙදර යැමට කීයක්‌ හෝ ඉල්ලා සිටියාය. නමුත් ඇයට ලැබුණේ තමන් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ පිළිතුරකි.

"ඕක මොකක්‌ද? අනික උඹ ළමිස්‌සියක්‌ නොවේනේ? මහත්තයා හොඳට සලකයි", යනු ජානකීගේ පිළිතුර විය.

දින, සති, කෙමෙන් මාස වලට පෙරළෙද්දී හාම්පුතා නිසා කමලාගේ කුසේ දරුවෙකු පිළිසිඳිණි. ඇය මේ බව තම ස්‌වාමි දුවට සැලකළත් ඈ එය එතරම් ගණනකට නොගත්තාය. කමලාගේ කරදර කිරීම නිසා ජානකී ඇයව වෛද්‍යවරයෙක්‌ වෙත ගෙන ගියාය. එහිදී දරුගැබ විනාශ කළා පමණක්‌ නොව ඉදිරියේදී දරුවන් නොලැබීමට සැත්කමක්‌ද කරවන ලදී.

රෝහලේ සිට නිවසට පැමිණි කමලාට සැනසීමෙන් ඉන්න ලැබුණේ දින දෙකක්‌ පමණි. ඊළඟ රැයේ දී හාම්පුතා නැවත ඇය ළඟට පැමිණි විට වේදනාවෙන් පෙළුන කමලා ඔහුගෙන් බේරීමට වෙනත් කාමරයකට ගොස්‌ දොර වසා ගත්තාය. ඔහු කොතෙක්‌ දොරට ගැසුවත් ඇය දොර ඇරියේ නැත. එහෙත් ඔහුගෙන් ඇයට ගැලවීමක්‌ නොලැබිණි. අවසානයේ ඔහුගේ තර්ජනවලට බියෙන් ඇය දොර හැරියාය. 

මුදල් නෝට්‌ටු කීපයක්‌ කමලා අතට දුන් හාම්පුතා ඇගේ අකැමැත්ත පිට එදිනද තම තිරිසන් ආශාවන් ඉටුකර ගත්තේය. අසනීප ගතියෙන් පසුවූ ඇයට තව දුරටත් එහි රැඳී සිටීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය.

"තරහවුණත් කමක්‌ නැහැ. කොහොම හරි මාව මෙතනින් බේරගෙන යන්නැයි" කමලා තම සැමියාවූ සුබ්‍රමනියම්ට ලිපියක්‌ ලිව්වාය. එය තැපැල් කිරීමට පසුදා උදේ මෙම නිවසට කිරි රැගෙන එන වෙළෙන්දා අතට පත්කළාය. කමලාගේ දුක්‌බර ලිපිය කියවූ සුබ්‍රමනියම් එම නිවසට පැමිණ ඇයව කැටුව ගියේය.

කමලාගේ පහසින් සැනසුන හාම්පුතාට කමලා නොමැතිව සිටිය නොහැකි විය. ජානකී රාත්‍රි කාලයේ සමාජශාලා සොයා යන්නියකි. ඇයට තමන්ගේ නිදහස ලබා ගැනීමට නම්, තම සැමියාට කමලාගේ පහස ලබා ගැනීමට ඉඩ සලසා දිය යුතුය.

ඔවුන් මේ සඳහා කටයුතු සූදානම් කළහ. සොරකම් කළ බවට චෝදනා කර කමලාට විරුද්ධව පොලිසියේ පැමිණිලි කරන ලදී. පොලිසිය මගින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේය. ඒ සමඟම කමලාගේ නිවසේ තිබුණ ගුවන් විදුලි යන්ත්‍රය ද පොලිසියේ බාරයට ගත්තේය. එහි බලපත්‍රයද ඇත්තේ කමලාගේ මල්ලීගේ නමින්ය. ඒ කෙසේ වෙතත් මුදල් රජකරන සමාජයක සියල්ල උඩු යටිකුරු වීම පුදුමයක්‌ නොවේ. අවසානයේ කමලා රිමාන්ඩ් භාරයට පත්විය.

මේ කතාවේ සියල්ලටම වඩා පුදුමය වූයේ ඇයව බේරාගැනීමට ඇප දීමට ඉදිරිපත් වූයේ කමලාව මෙම අපායට ඇද දැමූ හාම්පුතා සහ ස්‌වාමි දුව වීමය.

නඩුව සමාදාන වීමට ඒ යුවළ සූදානම් වුවත්, කමලා එයට එකඟ නොවූවාය. සාධාරණ විනිශ්චයක්‌ ලැබෙන බලාපොරොත්තුව අතිව කමලා දෙවියන් යදිමින් කල්ගත කරයි.

මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments