අන්දරේ ගැන අපූරු කතා

රාජාධිරාජසිංහ රජුගේ බිසව රොඩී කෙල්ලක්‌ බවට පත් කළ අන්දරේ එම රජුගේ කවිකාර මඩුවේ කවීන්ගේ මණ්‌ඩලයට අයත් නොවීය. එහෙත් එහි කවි කියා ඇත. දක්‍ෂ කිවිවරයකු වන රජතුමා කවිකාර මඩුවේ කවීන්ට දිනක්‌ අභියෝගයක්‌ කළේය.

එම අභියෝගයට මුහුණ දීමට කවිකාර මඩුවේ කවියන් වූ මුංකොටුවේරාල කැකිරිගම කවියා - වඩුගොඩපිටිය කවියා එකිනෙකාගේ මුහුණ බැලුවා මිස රජුගේ අභියෝගයට පිළිතුරු දීමට සමත් නොවීය. අභියෝගය මෙසේය. රජු අපේක්‍ෂා කළේ පහත සඳහන් කවියට තේරුම ඉදිරිපත් කරන ලෙසයි.

"දාර දෙකයි එක තැන මුල් කර තැනුවා

පාර තිහක්‌ ගැසුවට බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරා පන් ඊයේ මගදී දුටුවා"

රජුගේ අවධානය තවමත් යොමුවී ඇතත් රජ කවිමඩුවේ කවීන් නිහඬය පසෙකට වෙලා බලා සිටි අන්දරේ කවියේ තේරුම කීමට ඉදිරිපත් වීය.

දාර දෙකයි එකමැද එය ගැව සීය

වටපිට යන කලට කණු සතරෙන් යාය

ගෙට වැඩිකලට කිසිබයකුත් නැතු වාය

මට දැනෙනා ලෙසට "මහරජ ඉබ් බාය"

අන්දරේගේ පිළිතුර ඇසූ රජතුමා ඉතාම සතුටට පත්වී කවිකාර මඩුවේ කවියකු බවට අන්දරේ ද පත්කළේය. විහිලු කිරීමට ගිය අන්දරේට රජවාසල රාජකාරි තුනක්‌ම පැවරිණි. කෙසේ වෙතත් අන්දරේ කල්පිත චරිතයක්‌ ලෙස පිළිගැනීමට සාධක නොමැති බවක්‌ පැවසෙයි.

ජන ව්‍යවහාරයේ තොරතුරු හා විශ්වාසය අනුව අන්දරේ නමැති පුද්ගලයෙක්‌ සිටි බව විශ්වාස කළ හැකි යෑයි තහවුරු වන මතයක්‌ද පවතී. මාතර දිශාවේ දෙවුන්දර කිරලවැල්ල ප්‍රදේශයේ සිංහල, පාලි, සංස්‌කෘත හා ප්‍රාචීන භාෂාවන් ද ලන්දේසි භාෂාව ද ප්‍රගුණ කළ පඬිවරයෙක්‌ පලවින්නගේ නමැති පෙළපතට අයත්ව එවකට විසීය.

හෙතෙම ලන්දේසීන්ගේ රාජකාරියක්‌ ලබාගැනීමට ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් දෙවුන්දර ඉදිකළ පල්ලියේ ගුරු තනතුරු 6 ක්‌ ඔහුට ලැබිණි. එම පල්ලිය ඉඳිකළ ප්‍රදේශය අදත් පල්ලියවත්ත නමින් ප්‍රකටය. එම පල්ලිය පෘතුගීසීන් විසින් විනාශ කරන ලදී. එම අවධියේ ගුරුවරයා ගුරුන්නාන්සේ නමින් හැඳින්වීය. ඒ අනුව පල්ලියේ ගුරුවරයා පල්ලියගුරු වීය. කිරලවැල්ලේ ගුරුන්නාන්සේට පල්ලියගුරු යන පෙළපත් නාමය හිමි වීය. ලන්දේසිවරුන්ගේ පාසල් පාලනයට අධ්‍යක්‍ෂ ධුරය හිමි වූයේ ද පල්ලියගුරුටය.

මෙම පල්ලියගුරු අධ්‍යක්‍ෂවරයා දික්‌වැල්ල අලුත්ගොඩ සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ පෙළපතේ තරුණියක සමග විවාහ වීය. ඔවුන්ට පළමුව ලැබුණේ දියණියකි. දෙවනුව පුතකු ලැබුණේය. ඔහුට "අන්ඩ්‍රායස්‌" යයි නම තැබීය. එය පසුව අන්දරේ වී යෑයි විශ්වාස කරති.

අන්දරේගෙන් පැවත එන මුණුබුරෙක්‌ දික්‌වැල්ලේ විසූ බවට ජනප්‍රවාදයේ ව්‍යවහාර වෙයි. ඒ බව මෙම කවියෙන් පැහැදිළි වේ.

"සුබසත් උපතිස්‌ස නම් රජු වෙ ලාවේ

වලියෙන් පැවත එන්නෝ අප දුරාවේ

ගණරන් කිරුළු රජසිහරජු වෙලාවේ

පැළඳුන් ලැබූවෙන් අද අප දුරාවේ"

අන්දරේ කුඩා කල කෙළිදෙළෙන් හැදී වැඩී අකුරට යන කාලය එළැඹිණි. පියා විසින් අනාගත බලාපොරොත්තු ඇතිව නැකැත් බලා පුතා පල්ලියට භාරදෙන ලදී. එහෙත් අන්දරේ ඉගෙනීමට වැඩි කැමැත්තක්‌ නොදැක්‌වීය. සම වයසේ අය සමග කෙළි සෙල්ලම් කරමින් කාලය ගෙවීය.

යුගයේ පැවැති පොත පත පරිශීලනය කළත් කටපාඩම් කිරීම ඔහුට අප්‍රිය වීය. ඒ නිසා ඔහුට පල්ලිය එපාවී ගමේ කොලු රැළට එක්‌වීය. පියා තම පුතු අන්දරේට කොතෙකුත් අවවාද කළත් ප්‍රතිඵලයක්‌ වූයේ නැත. මෙම අවස්‌ථාවේ අන්දරේගේ පියා උපායක්‌ යෙදීය. තම පුතා ගමෙන් පිටමං කර ගැටමාන්නේ ගුරුවරයකුට භාරදී ගෝලයාගේ තත්ත්වයද පැවැසීය.

ගැටමාන්නේ ගුරුවරයා තම ස්‌වාමියාගේ පුත්‍රයා උගතෙකු කිරීමට මහත් උත්සාහයක්‌ ගත්තේය. එහෙත් කාලය ගෙවී යද්දී එයද අසාර්ථක විණි. වහාම මේ බව අන්දරේගේ පියාට දැන්වීය. පියා අන්දරේට දඬුවම් පවා කළේය. එහෙත් පලක්‌ නොවීය. අන්දරේට ගුරුගෙදරින් පැන යැමට අවස්‌ථාවක්‌ එළැඹිණ. ගුරුගෙදරින් පිටවූ අන්දරේ ගැටමාන්න ගම පසුවන තෙක්‌ ඉක්‌මනින් ගමන් කළේය. බඩගින්නේම පැමිණි අන්දරේ හැන්දෑ අඳුරේම ගෙට ගොඩවීය.

ඔහු දඩබ්බර දඟකාරයෙකි. එහෙත් කිසි විටෙකත් බොරු නොකියයි. පියා තම පුතා ළඟට කැඳවා කරුණු විමසීය. අන්දරේ තම ගුරුවරයා දඬුවම් කළ බව පියාට පෙන්වීය. කරුණු වටහා ගත් පියා පුතා අල්ලා ගෙමිදුලේ දෙල්ගහේ බැඳ හොඳටම තැලුවේය. දවාලට නොකෑ අන්දරේට රෑටත් කෑම නැත. බඩගින්නද ඉවසිය නොහැක. කෝටුපාරවල වේදනාවත් සමග ඉවසීම අපහසුය. මහා වැස්‌සක්‌ද ඇදහැළින. අන්දරේ මෙසේ පැවැසීය.

"වැස්‌ස වැඩි නිසා සීතල වැඩි වෙ ච්චි

අතපය වෙවුලාය සන්නිය ළං වෙ ච්චි

එලොව පොල් පෙනෙයි අද නම් වැර දි ච්චි

හොඳ හැටි ගෙයි නිදිද මගෙ බුදු අප්පො ච්චි"

පුතා ගැන කල්පනා කරමින් නිදි නැතිව සිටි පියාට පුතාගේ මෙම කවිය ඇසීමෙන් දුක ඇතිවීය. එහෙත් අන්දරේට පිහිටක්‌ නොවීය. අම්මාගෙන් පිහිටක්‌ පතා ඊළඟට මෙසේ පැවැසීය.

"අස මා ගේ අම්මේ මේ අහ ප න්නේ

නොතෙමා මා මෙතැනින් අහකට ග න්නේ

බුස මා ගේ තල්පත ගෙන ඉහ ල න්නේ

ගැට මානට ගෙන ගොස්‌ මා ඇර ල න්නේ

මෙම කවිය ඇසූ අන්දරේගේ මව දුක ඇතිවී අන්දරේ ලිහා ගෙට රැගෙන ගොස්‌ සාත්තු සප්පායම් කර බත් බෙදා අනාදී කන්නට කීය. අන්දරේ මෙසේ මවගෙන් විමසීය. "අම්මේ බත් පංගුව අනන්නට කළින් තිබූ තත්ත්වයට හදන්නකෝ." එය කළ නොහැකි බව අම්මා පැවැසීය.

"එහෙමනම් අම්මෙ පොඩි ළමයෙක්‌ කියන දේ ලොකු අයකුට කරන්න බැරිනම් ලොකු අය කියන දේ පොඩි අය කරන්නෙ කොහොමදැයි අන්දරේ ඇසීය.

පුතාගේ මෙම ප්‍රශ්නයෙන් පියාගේ මනස පිබිදුනේය. තම පුතාගේ සහජ හැකියාවන් තේරුම්ගත් පියා පුතාට ඉගැන්වීම අත්හලේය. බොහෝ අය සිතා සිටියේ අන්දරේට මළ පොතේ අකුරක්‌වත් බැරි අයකු ලෙසයි. ඔහු වටා ඇති ජනප්‍රවාදයන්ගෙන් ඔහුගේ බුද්ධි මට්‌ටම අවබෝධකර ගත හැක. කිරළවැල්ලේ ගුරුන්නාන්සේගේ ගෙදරට නිතර යන එන අයෙකි "දිසනා" නමැත්තා. ඔහු බෙර වාදන කුලයට අයත් වූවෙකි. ගෙදරට යන එන අයට අන්දරේ විහිළු කිරීම සිරිතය.

එක්‌ දිනක්‌ "දිසනා" ගුරුගෙරුප්පට ආවේය. අන්දරේ දිසනා සමග කථාවට වැටුණේය. දිසනාගෙ නම බුද්ධගඡ්ජය පොතේ තියෙනවායි අන්දරේ පැවැසීය. අනේ පොඩි මහත්තයෝ මට අකුරු බැහැනේ. එහෙනම් මෙන්න අහපන්කො.

"ධීෂකාමය සාරනායක

වීපදා කුළ හේතුනායක

අජරාමර භූතිදායක

සචරාචර ලෝකනායක

මේ ශ්ලෝකයෙ තේරුම මෙහෙමයි කියා අන්දරේ පැහැදිළි කළේ විහිලුවටය.

"දිසනා කියන නම ඇති තැනැත්තා සංසාරයේ ඇවිදින්නෙකි. පෙර පවකට හීන කුලයේ උපන්නේය. බුදුරදුන්ට දායකවී දිසනා අජරාමර වීය. කොයි කවුරු චර චර ගෑවත් ලෝකයේ කවුරුත් සමානයි මෙම කතාවෙන් අන්දරේගේ උගත්කම වැටහෙයි.

මෙබඳු විහිළු කතා රාශියක්‌ අන්දරේ වටා ඇති බව අපි දනිමු. පියාගේ ඇසුරෙන් මිදුණු ඔහු ශබ්දවේදී ධනුර්ධරයෙක්‌ බවට පත්ව සිටියේය. තරුණ වියෙන් මිදී කලවයසට පත්ව සිටි ඔහුට විවාහ වන කාලය එළැඹියේය. පළමු විවාහයෙන් පසු පළමු දරුවා ලැබෙන්නට ගිය බිරිඳ දරුවා බිහිනොකරම මළාය.

1753 දී පමණ කන්දඋඩරට රාජාධිරාජසිංහ රජතුමා කවියෙකු වීය. ඒ වගේම කවීන්ට අතහිත දෙන රසවතකු වීය. අන්දරේ රැකියාවක්‌ ලබා ගැනීමට කන්ද උඩරටට යැමට සිත සිතා සිටියේය. වරක්‌ ඉලංකෝන් මුදලිතුමාගෙන් පහතරට කවීන් ගැන අසා සිටි රජතුමාට අන්දරේ ගැන තොරතුරක්‌ ලැබිණි. මල්වතු මහා විහාරයේ සිට පහත රටට එන හිමිනමක්‌ වෙත රජතුමා විසින් අන්දරේට පණිවුඩයක්‌ එවා ගෙන්වා ගත්තේය.

උපසම්පදාවෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා මල්වතු මහා විහාරයට යන භික්‍ෂු පිරිසක්‌ සමගයි අන්දරේ උඩරටට ගියේය. එහිදී රජු වෙත විවිධ දස්‌කම් පෙන්වූ අන්දරේ රජුගේ පොකුණක සිටි මැඩියෙකුට විද මරා දමා සම්මාන ලබාගත්තේය. (මේ පිළිබඳ විවිධ මත පළවේ.)

රජුගේ බිසව දිය නෑමට ගොස්‌ ආපසු එනු දුටු අන්දරේ මෙම කවිය කීවේය.

කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන

ලොට තන දෙකක්‌ ගෙරි හමකින් වසා ගෙන

තඹ ද පිත්තල ද දෑතෙහි දරා ගෙන

රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන"

රජ බිසව මෙම කවිය අසා කිපුණේය. සැපින්නක්‌ මෙන් වීය. වහාම රජුට දැන්වීය. රජතුමා අන්දරේ ගෙන්වා විමසීය. එබඳු කථාවක්‌ තමා නොදන්නා බවත් තමා මෙබඳු කවියක්‌ නම් කී බවත් අන්දරේ පැවැසීය.

රිදී කලේ පැන් උකුලේ තබා ගෙන

රන් කුඹුදෙකක්‌ සළුපටකින් වසා ගෙන

රිදී ද රත්තරන් දෑතේ දරා ගෙන

මල් මද බිසව් කොහි යනවද උදෑ සන

තැනට උචිත ලෙස කවිය වෙනස්‌ කර පවසා ජීවිතය බේරා ගත්තේය. රජතුමාට විවිධ අවස්‌ථාවල අපහාස උපහාස කළ අන්දරේ කොයි වෙලාවක වත් අමාරුවේ වැටුණේ නැත. තවත් වරක්‌ රජුට උරුලෑ වෙකැයි කීවේ මෙසේය.

එක්‌ දවසක්‌ රජතුමා ඇමැතිවරු හා අන්දරේ සමග ඇතුපිටින් සංචාරයක යෙදෙමින් සිටියහ රජතුමා ගසකින් කොලයක්‌ කඩා ඇමැතිවරුන්ට දී මෙම කොලය උරූලෑ ගඳ යෑයි කීය. ඇමැතිවරු ද එම කතාව අනුමත කරමින් ඔව් යෑයි කීහ. අන්දරේ කීවේ මෙසේය.

රැළියට දිය රැගෙන යන තෙප්පම ලුද්ද

නිරිඳුට අනුව පවසති බොරුකර සද්ද

කෙළියට නමුත් බොරු කීකල පව් නැද්ද

ඇතෙකුට උඩින් යන උරුලෑවෙක්‌ ඇද්ද

අන්දරේ වටා ගෙතී ඇති විවිධ රස කතා එමටය.

ඒ සියල්ල ලිවීම අනවශ්‍යය. මෙම සිද්ධිය පමණක්‌ ලියමි. ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක්‌ රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමග ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ කිරීමට කැමති බව පැවැසීය. රජතුමා තම පණ්‌ඩිතවරුන්ට ඒ බව දැන්වීය. ඔවුන් අදිමදි කරමින් පසුබෑහ. අන්දරේ තනිවම ඊට කැමැති විය.

නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල කරා ගමන් කරයි. අන්දරේ ඉරට මිටියක්‌ මීහරක්‌ හමක ඔතාගෙන කරපිට තබා ඉදිරියෙන් ගමන් කරයි. ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්‌ දැයි ඇසීය. ඊට පිළිතුරු දුන් අන්දරේ "මහීෂ චර්ම බන්ධන පුස්‌තකම්" යයි කීය. මෙබඳු පොතක්‌ ගැන කවරදාකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට ගියහොත් තමා පරාජය වේ යෑයි සිතා මගහැර ගියේය. අන්දරේ ගෙන ගිය පොත "මහීෂ චර්ම බන්ධන ඉරට්‌ට පුත්තකම්" එහි තේරුම මීරහක්‌ හමෙන් වැසුණු ඉරටු මිටියක්‌ බවයි. 

ප්‍රවීන ලේඛක නිමල් ගමගේ මහතාට මගේ ප්‍රණාමය

හක්‌මන - තිලක්‌ සමරසිංහ