ශ්‍රී පාද වන්දනා සමය පසුගිය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය. වෙසක් පොහොය දක්‌වා පවතින එම කාල සීමාව සිරිපා වන්දනා සමය වශයෙන් බෞද්ධයින් විසින් හඳුන්වනු ලබයි. ශ්‍රී පාද කඳු ශිඛරය ලංකාවේ දෙවන උසම කන්දයි. එම කඳු මුදුනින් අප රටේ ප්‍රධාන ගංගාවන් කීපයක්‌ම ආරම්භ වී රට සරුකරමින් දසතට ගලා බසී. එමෙන්ම එම කඳුවැටිය ලංකාවේ විවිධත්වයද අලංකාර කරයි. මෙම කඳුවැටිය අවුරුදු කෝටි ගණනක සිටම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අලංකාර කර ඇති අතර ඒ හා සමානම කාලයක් තුළම දෙව් බඹුන් හා මිනිස් වර්ගයාගේ වන්දනීය ස්‌ථානයක්‌ව පැවති බව ඓතිහාසික තොරතුරු අනුව පෙනී යයි.
භරත කුල පඬියාර් නම් ඉන්දීය ඉතිහාස විශේෂඥයා කෘත යුගය, කෙත්‍රා යුගය, ද්වාපර යුගය හා කලියුගය වශයෙන් මේ මහා බද්‍ර කල්පය බෙදා දක්‌වයි. කෙත්‍රා යුගයෙහිදී ලොව පහළ වූ කකුසඳ බුදුන් වහන්සේ මෙරටට වැඩම කර ඇත. එකල අප රට ඔජ දීපය යනුවෙන් හැඳින්විය. රටෙහි රජු වූයේ අභයයි. තිස් හතළිස් දහසක් මහ රහතන් වහන්සේ පිරිවරාගෙන කකුසඳ බුදුන් වහන්සේ මෙම කඳු ශිඛරයට වැඩම කොට සමවත් සුවයෙන් සිට උන්වහන්සේගේ පාදය මෙම කඳු මුදුනෙහි තබා ආපසු දඹදිවට වැඩම කර ඇත. එකල මෙම කන්ද හඳුන්වා ඇත්තේ ශ්‍රී පවත නමිනි. මෙයින් පසුව කෝනාගම බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත. එකල අප රට හැඳින්වූයේ වරදීප නමිනි. මෙහි රජු වූයේ සමීධ රජුය. එකල ශ්‍රී පාද කන්ද හැඳින්වූයේ නලකූඨ පර්වතය නමිනි. තිස් දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන නලකූඨ පර්වතයෙහි සමවත් සුවෙන් වැඩ සිට ඇත. කස්‌සප බුදුන් වහන්සේ මෙහි වැඩම කර ඇත්තේ විසි දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරා ගෙනය. එකල අප රට මණ්‌ඩදීපය නම් වූ අතර, ශ්‍රී පාද කන්ද හැඳින්වූයේ ශුභ කූඨ පර්වතය නමිනි. උන්වහන්සේද මහ රහතන් වහන්සේලා සමග ශ්‍රී පාද කන්දෙහි වැඩ සිටි බවට සඳහන්ය. හතරවනුව මෙම කලියුගයෙහි ශ්‍රී පාද කන්දට වැඩම කොට එහි ශ්‍රී පාදය සටහන් කලේ ගෞතම බුද්ධය. ලොව පහළ වූ සියලුම බුදුවරයන් වහන්සේලාගේ පාද ස්‌පර්ශය මෙම කඳු මුදුනට ලැබී ඇත. එබැවින් සමනල කන්ද ශ්‍රවණකූට, සමණකූඨ, ශ්‍රමණලය, සමනල ආදී නම් වලින් ද මෙම පෙදෙස හැඳින්වෙයි. එයින් හැඟීයන්නේ මෙම කන්ද බුදුවරුන්ගේ ස්‌පර්ශය ලද බවයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අගසව් වූ මහා දේව රහතන් වහන්සේද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ අගසව් වූ සුමන මහ රහතන් වහන්සේද, කස්‌සප බුදුන්ගේ අගසව් වූ සුබනන්ද මහරහතන් වහන්සේ මෙන්ම ගෞතම බුදුන්ගේ අගසව්වන් වූ සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලා දෙනම ද ආදි බුදුවරයන්ගේ අගසව් රහතුන් සමවත් සුවයෙන් වැඩ සිටි ස්‌ථානය "බ්‍රෑන සමනල" නමින් හඳුන්වනු ලබයි. බටහිරයින් මෙම කන්දට "ඇඩෑම්ස් පීක්" යනුවෙන් ව්‍යවහාර කරන අතර ඇතැම් සිංහලයන්ද මෙම ව්‍යාවහාරයට හුරුව ඇත. ඔවුන් විශ්වාස කරන්නේ ඡේසුස් වහන්සේ මෙම කඳු මුදුනෙහි යම්කිසි සලකුණක් තබා ඇති බවය. කාලයාගේ ඇවෑමෙන් වල් බිහි වූ ශ්‍රී පාද අඩවියට නැවත යැමට මග සලකුණු සොයා ගන්නා ලද්දේ වලගම්බා රජුගේ මුණුබුරෙකු වූ කූට කන්නතිස්‌ස රජුගේ පුත් වූ භිතිකාභය නොහොත් සාකිය රජු විසින්ය. ඔහු විසි අට අවුරුද්දක් රාජ්‍ය හෙබවූ ලංකා රාජාවලියේ තිස්‌හය වැනි රජතුමාය. ඡේසුස් ක්‍රිස්‌තුස් වහන්සේ ලොව පහළ වූයේ මේ සමගය. ඡේසුස් වහන්සේ ශ්‍රී පාද කඳු මුදුනෙහි යම් සටහනක් තබා ඇත්නම් ඊට අවුරුදු ලක්‍ෂ ගණනකට පෙර සිටම සිරිපාදය නොහොත් සමනල කන්ද බුදුවරයන්ගේ ස්‌පර්ශය ලබා ඇත. සමනල කන්ද වූයේ ද බුදුවරයන් සමවත් සුවයෙන් වැඩ සිටි නිසාය. මෙම පූජනීය ස්‌ථානය සුමන සමන් දෙවියන්ට භාර වූ ස්‌ථානයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ සමන් දෙවියන්ට වැඳ පුදා ගැනීම සඳහා සිරිපතුලේ ලාංඡනයක් ගල උඩ තැබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. එම ලාංඡනය ආරක්‍ෂා කර ගැනීම සඳහා සමන් දෙවියන් විසින් එය ගල් පුවරුවකින් ආවරණය කල බව බෞද්ධයන්ගේ ඇදහීමය. ශ්‍රී පාද පත්මයට සමන් දෙවියන් වන්දනා කරන අයුරු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණි සංදේශයේ මෙසේ වර්ණනා කරයි.
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් සතර
කැරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනල ගල නැගෙනහිර
සමනල ලංකාගනාව බැඳි කොන්ඩය මෙන් අලංකාරයක් ගෙන දෙන බවද උන්වහන්සේ සඳහන් කරන්නේ මෙසේය.
සමනොල මුහුල මහ සමුදුර මෙවුල් බර
සුලකල පුවළ ලකඟන පිරි යොවුන් වර
මෙවන් සුවිශේෂ ගිරි ශිඛරයක් ලෝක උරුමයක් ලෙස නම් කර මතු පරපුරට ආරක්‍ෂා කර දීම සකල ලෝක වාසී බෞද්ධයන්ගේ යුතුකමකි.
සමනල ගිරට මාර්ගය සොයා ගැනීම
ඉහතින් සඳහන් කළ භාතිය රජතුමා මල්වලට අතිශයින් ප්‍රිය කළ රජ කෙනෙකි. ඔහුට අනුරාධපුරයෙහි පිච්චමල් උයනක් තිබුණි. වරෙක ඔහු පිච්චමල්වලින් රුවන්වැලි සෑ දාගැබ වසා සරසා දැමීය. රජතුමා සතු වූ පිච්ච මල් උයනෙහි මල් අතුරුදන් වනු දක්‌නා ලදී. කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකි සේ වැට කඩුලු බැඳ මුරකරුවන් යොදා සිටි මල් උයනෙහි මල් නැතිවීම රජතුමාට මහත් ප්‍රහේලිකාවක් විය. රජතුමා අඬබෙරකරුවන් යවා හැම තැනම ප්‍රචාරය කළේ මල් හොරුන් අල්ලා දෙන අයකුට බොහෝ වස්‌තුව හා තෑගි භෝග දෙන බවයි. නමුත් මල් සොරුන් ඇල්ලීමට කිසිවෙකුට නොහැකි විය. රජතුමා බොහෝ කනස්‌සල්ලට පත්ව සිටින අවස්‌ථාවක හොරුන් ඇල්ලීම සඳහා ඉදිරිපත් වූයේ අන්ධ වූ කොරෙකි. රජු ද පුදුමයට පත්ව මේ කොරවූ අන්ධ මිනිසා කෙසේ මල් සොරුන් අල්ලන්නේ දැයි විමසීය. එවිට ඒ මිනිසා කියා සිටියේ තමාට මල් උයන තුළ නැවතී සිටීමට ස්‌ථානයක් ලබා දුනහොත් මල් හොරුන් අල්ලා දෙන බවය. රජු නියමයෙන් මල් වත්ත තුළ කුටියක් සාදවා කොරා එහි නතර විය. කාලය ගෙවී ගියේය. එක් පොහෝ දිනක දිලිසෙන සඳ එළියෙහි මියුරු ගී ගායනාවක් සවනට වැටුන අන්ධයාට එම ගී ගායනය ළඟ ළඟම ඇසෙන්නට විය. ඔහු වහාම එක් ගායිකාවක අල්ලා ගැනීමට සමත් විය. අනිත් ගායිකාවන් පැන ගියෝය. අල්ලාගත් ගායිකාව ඇය අත හරින ලෙස කන්නලව් කළේය. කොර මිනිසා ඇයගෙන් දැන ගත්තේ මෙම රාජකීය උද්‍යානයෙන් ගෙනියන මල් ශ්‍රී පාදය වන්දනාවට ගෙනගිය බවය. ඇය මුදා හැරීම සඳහා එක් පොරොන්දුවකට එළඹිනි. එනම් ශ්‍රී පාදයට යන පාර දිගටම මල් දමා පාර පෙන්වීමටය. ගායිකාව නිදහස් කරන ලදී. පසුව දා රජතුමා මල් දමා තිබූ මග ඔස්‌සේ ගොස් ශ්‍රී පාද පත්මය වැඳ පුදා ගත්තේය. එයින් පසුව ශ්‍රී පාද වන්දනා මාර්ගය එළි පෙහෙළි විය. එම මාර්ගය දෙවන වරට වැඩිදියුණු කරන ලද්දේ මහා විජයබාහු රජතුමා විසිනි. ඔහු වන්දනා කරුවන්ට බත සැපයීමට ගිලී මලේ කුඹුරු යායක් ද පූජා කළේය. දෙවනුවට නිශ්ශංකමල්ල රජතුමා ද ඔහුගේ චතුරංග සේනාව සමග ගොස් ශ්‍රී පාදය වැඳ පුදා ගත්තේය. ඔහු මෙම මාර්ගය දියුණු කොට අඹගමුව ගමද ශ්‍රී පාදයට පූජා කළ බව භගවාන් ලෙනෙන් හමු වූ සෙල් ලිපියෙහි සඳහන්ය. දෙවන පරාක්‍රමබාහු රජතුමා ද ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ගොස් ඇත. ඔහුගේ අගමැති දේව පතිරාජ මාර්ගය වැඩි දියුණු කර යකඩ කණුවල දම්වැල් එලා පා ගමන තවත් පහසු කළේය. ඉන්පසුව මහනුවර යුගය දක්‌වා සෑම රජ කෙනෙක්‌ම ශ්‍රී පාදය වන්දනා මාන කර මාර්ගය වැඩි දියුණු කළේය. විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය සාර්ථකව වැඩ නිමවූ පසු ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමා වූ බාරයක් ඉෂ්ඨ කරමින් විදුලි ආලෝකය ලබා දෙන ලදී.
සියලු බුදුවරුන් මෙම ගිරිශිඛරයේ සමවත් සුවෙන් වැඩ සිටීමෙන් පෙනී යන්නේ බුදුවරයන් කොතරම් පරිසර හිතකාමී, නිදහස් පරිසරයක් අගය කරන්නේදැයි යන්නය. ගෞතම බුqදුරජාණන් වහන්සේ ගි-ජකූඨ පර්වතයෙහි වැඩ වාසය කර ඇත. එම පර්වතය ඉන්දීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ ආරක්‍ෂා වෙමින් පවතී. ලෝකවාසී බෞද්ධ ජනතාව අද ද එම පර්වතය මුදුනට නගී. ඒ දෙපයින් නොව පැද්දෙන කතුරු ඔංචිල්ලාවක් වැනි විදුලි බලයෙන් ක්‍රියාත්මක වන යානයකින් ය. එය සිංගප්පූරුවේ මෙන් කේබල් කාරයක් නොව, අප රටේ තිබෙන කතුරු ඔංචිල්ලාවක හැඩය ගත් යානයකි. වරකට සියයක් දෙසීයක් අතර පිරිසක් එහි ගමන් කරයි. අප රටේත් ශ්‍රී පාද වන්දනාව සඳහා එවැනි නවීන ගමන් ක්‍රමයක් රජය විසින් ආරම්භ කරන්නෙහි නම් එය විශාල ආදායමක් ලැබිය හැකි මෙන්ම විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමට ද ධන උල්පතක් වනු නොඅනුමානය. ඒ සඳහා ඉන්දීය රජයෙන් උපදෙස් හා තාක්‍ෂණය ලබාගත හැක. අවශ්‍ය නම් ඊධධ හෝ ඊධඔ ගිවිසුමක් යටතේ මෙම වැඩපිළිවෙළ දියත් කළ හැක.
ආසියාවේ ආශ්චර්යයක් කිරීමට සැලසුම් කරන ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කර අදාළ අංශ මෙහෙයවිය යුතුය. හැබැයි එය සබරගමු පළාත් සභාවේ බතලේගල කන්දට කේබල් කාරයෙන් යැමට ආරම්භ කරන බවට වහසිබස් දෙඩූ ව්‍යාපෘතියක් නොවිය යුතුය.
ඇස්. බී. කරලියැද්ද