සරසවි වරම් ලැබ පේරාදෙණිය සරසවියේ කලා පීඨයට ආ සුරංජි අතිශය සුරූපිනියක් වුවාය. ඇය හා මිතුරු වීමට බොහෝ කඩවසම් සරසවි සිසුහු වලි කෑවද ඇය තමන්ගේ පාඩුවේ තම අධ්‍යයන කටයුතු කරගෙන ගියා මිස ඔවුනට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්‌වූවාය.
කලක් ගත විය. සුරූපී සුරංජි කිසිදු පෞරුෂයක් නැති කෙසඟ සිරුරකින් හෙබි සිසුවකු සමග පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති බව සහෝදර සිසු කැළට දැන ගන්නට ලැබිණි.
"ඒකිට හතළිස් ඇඳිරිය. හැඩ රුව තියෙන සල්ලිකාර කොල්ලො කී දෙනෙක් නම් ඈත් එක්‌ක යාළු වෙන්න හැදුවද? කරුමෙ තමයි. පවට පිං දෙන්න පුළුවන්ද? ගමේ කමටලුනේ. ඒකාට වැලේ වැල් නැහැ. බලාපල්ලා අඳින්න ඇඳුමක්‌වත් තියෙනවද කියලා. හුඟක් දවස්‌වලට බඩගින්නෙලූ ඉන්නේ. මේ සරසවි සිසු කැළ ඒ ප්‍රේමය දෙස බැලූ අයුරුය.
නිමල් ඔහු සුරංජිගේ ගමේ තරුණයෙකි. දුප්පත් ඉතාමත්ම පවුලකට අයත් වූවෙකි. එහෙත් හේ කැපී පෙනෙන දක්‍ෂතා වලින් පිරිපුන්ය. මෙම හේතුව සුරංජිගේ සිත ඔහු වෙත ඇදී යන්නට හේතු වන්නට ඇත.
අවසන් උපාධි පරීක්‍ෂණයට පෙනී සිටි සුරංජි සරසවියට ආයුබෝවන් කීය. ඒ වන විට ඒ දෙදෙනා කිසිවකුට වෙන් කළ නොහැකි අන්දමේ බැඳීමකින් වෙලී සිටියහ.
අතිශය ධනවත් වලව්කාර පැළැන්තියකට අයත් වූ සුරංජිගේ දෙමාපියෝ ඇයට සුදුසු විවාහයක් කරදීමට කථා කළහ. නමුත් උපාධිය සමත්ව රැකියාවක් ලැබෙන තුරු තමා විවාහයක් ගැන නොසිතන බව සුරංජි කීවාය.
උපාධි පරීක්‍ෂණයට පෙනී සිට ගෙදර ආ නිමල් ලොකු වැඩකට අත ගැසුවේය. කැලෑවට යට වෙමින් තිබු තම අක්‌කර දෙකක් පමණ වන ඉඩම ශුද්ධ පවිත්‍ර කර එහි තේ පැළ සිටුවීමට තරම් හේ ධෛර්ය සම්පන්න විය.
උපාධි ප්‍රතිඵල නිකුත් විය. නිමල් හා සුරංජිත් පළමු පන්තියේ සාමාර්ථයන් ලැබ සිටියහ.
වැඩි කලක් ගතවීමට ප්‍රථම දෙදෙනාටම ගුරු පත්වීම් ලැබිණි. ඒ නැඟෙනහිර පළාතටය. එපිට පාසල් දෙකකටය. එම පාසල් දෙකද එක ළග පිහිටා තිබීම හේතුවෙන් මේ දෙදෙනාගේ දැඩි සම්බන්ධතාවට තවත් රුකුලක් විය.
"ඔයාට සල්ලිත් නැතුව ඇතිනේ. මම ඔයාට සල්ලි ටිකක් දෙන්නද? සුරංජි ඇසුවාය.
"තව මාස හයක් විතර යන කොට අපේ ඉඩමේ දලු කැඩෙනවා. එතකොට නම් අපට කිසිම අගහිඟයක් නෑ." ඔහු සුරංජි දුන් මුදල් භාර ගනිමින් කීවේය.
කාලයා වේගයෙන් පියාඹා යන්නට විය. එම කාලය වන විට නිමල් ආර්ථික ශක්‌තියක්‌ද ලබා සිටියේය. තම වැටුප හා තම තේ ඉඩමෙන් ලැබෙන විශාල මුදල යොදවා හේ තවත් ඉඩමක් මිලයට ගෙන එහිද තේ වැවීය. එපමණක්‌ද නොව නව නිවෙසක්‌ද ඉදි කරමින් සිටියේය.
මේ කාලය වන විට සුරංජිගේ දෙමාපියෝ දුවට සුදුසු සහකරුවෙක් සොයමින් සිටියහ.
නිමල් අපට ඉක්‌මන් තීරණයක් ගන්න වෙයි. සුරංජි සිය පෙම්වතාට කීවාය.
"මා ගැන අම්මලට කියන්න." නිමල් කීවේය.
"එයාල කීයටවත් ඔයාට කැමැති වෙන එකක් නෑ. එයාල කැමැති නෑ වලව් පැළැන්තියෙන් පිටට යන්න." සුරංජි කීවාය.
"අපි එයාලට නොකියා බඳිමු. ළඟදීම අපට ගමට මාරුවීම් ලැබෙයිනේ. ඒ වෙන කොට මගේ ගෙයි වැඩත් ඉවර වෙයි. අපි උත්සවයක් අරගෙන ගෙයි පදිංචි වෙමු." නිමල්ගේ අදහසට සුරංජි එක පයින්ම කැමැති වුවාය.
පට්‌ට බැල්ලි - අපේ මූණ වල දැලි ගෑවා. ඕකි අද ඉඳලා මගේ දරුවෙක් නෙවෙයි. මගේ බූදලෙන් සත පහක්‌වත් ඕකිට දෙන්නේ නෑ. හෙටම මේ ඔක්‌කොම ලියනවා බාල කෙල්ලගෙ නමට." තම වැඩිමහල් දියණිය හිතුවක්‌කාර ලෙස විවාහයක් කරගෙන ඇති බවට ආරංචිය ලත් පියා කෝපාවිෂ්ඨ වී කීය.
පසුදිනම නොතාරිස් වරයෙක් සිය නිවෙසට ගෙන්වූ හෙතෙම තම සියලු ධනස්‌කන්ධය තම බාල දියණියගේ නමට පැවැරුවේය.
බිරිඳ ඔහුගේ එම ඉක්‌මන් තීරණය වෙනස් කරවීමට නොගත් උත්සාහයක් නැත. ඒ සියල්ල නිශ්ඵල විය.
සිය සමීප ඥාති හිතවතුන්ගේ සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලද චාම් උත්සවයකින් අනතුරුව නිමල් හා සුරංජි යුවළ තම නිවෙසෙහි පදිංචි වූහ. සුරංජි දෙමාපියන්ට ඇරයුම් කළද ඔවුහු එම උත්සවයට නොපැමිණියද ඇගේ සමීප ඥාතීහු ගණනාවක්‌ම ඊට සහභාගි වී සිටියහ.
ඒ දෙදෙනාගේ විවාහය ඉතා වාසනාවන්ත එකක් බවට ලකුණු පහළ වෙන්නට විය. ඒ වන විට නිමල් සරුසාර තේ අක්‌කර පහළොවක විස්‌සක අයිතිකරුවෙකි. වාහන කිහිපයක්‌ද මිලදී ගත් හේ දලු එකතු කිරීමේ ව්‍යාපාරයකටද අත ගසා සිටියේය.
"මම කවදාහරි තේ ෆැක්‌ටරියකුත් හදනවා." හේ සිය බිරිඳ සමග කීවේ. තිර අදිටනින් යුතුවය.
විවාහ වී වසර දෙකහමාරක් ගත වීත් සුරංජි මව් පදවිය නොලැබීම පිළිබඳව දෙදෙනාම සිටියේ දැඩි කනස්‌සල්ලෙනි. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර කෙලවරක් නැතුව ලැබුවද දෛවය වෙනස් නොවීය. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්‌ත්‍රානුකූල කටයුතුද අංජනම් ශාස්‌ත්‍ර ආදියද යම් යම් පුද්ගලයන් කියූ හැම තැනකින්ම සිදු කළහ. බෝධි පූජා භාර හාර ආදී ආගමික කටයුතුද නොමඳව සිදු කැරිණි. ඒ කිසිම කටයුත්තක් ප්‍රතිඵලදායි නොවීය.
ලබන සතියෙ නිවාඩු දෙනවානේ. අපි කොළඹ ගිහින් විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙමු. අපේ ස්‌ටාෆ් එකේ කෙනෙක් ළමයි නැතුව අවුරුදු හතකට පස්‌සෙ තමයි දරුවෙක් ලැබිලා තියෙන්නේ. අපි ඒ විශේෂඥයා හමුවෙමු. "සුරංජි යෝජනා කළෙන් නිමල් ඇයට එකඟ විය.
අගනුවර සුපිරි පත්තියේ පෞද්ගලික රෝහලක් වෙත පැමිණි ඔවුහු අදාළ වෛද්‍ය විශේෂඥයා හමු වූහ. ඔහු ඒ දෙදෙනාගෙන් ප්‍රශ්න රැසක් ඇසීය. අවසන දෙදෙනා වෙන් වෙන් වශයෙන් විවිධ වෛද්‍ය පර්යේෂණ ගණනාවකට බඳුන් කැරිණි.
"මිස්‌ට නිමල් මේක ඔයාගෙ ගැටලුවක්. ඔයාගෙ බිරිඳගෙ කිසිම ප්‍රශ්නයක් නෑ." අවසන විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
දෙදෙනා සියලු බලාපොරොත්තු සුන් කරගෙන මහා සිත් වේදනාවකින් යුතුව ගෙදර ආහ. සුරංජි ඔහුගේ හිත සැනසීමට මොන තරම් දේවල් කීවත් දිගින් දිගටම නිහඬව කල්පනාවක යෙදී සිටියා මිස කථා කළේ ඔහු නොවේ.
කිසිම දිනක මත්පැන් තබා දුම් වැටියක්‌වත් මුව නොතැබූ නිමල් එදා හැන්දෑවේ කන මොදෙකු සේ බීගෙන ගෙදර ආවේය. සුරංජි අතිශය බියටත් වේදනාවටත් පත් විය.
අනේ......... ඇයි මේ අපේ ප්‍රශ්නයට උත්තරේද මේ ඕ ඔහුගේ දෙපාමුල වැඳ වැටෙමින් ඇසුවාය.
"මාගේ කරුමෙ..... මගේ කරුමෙ....... මම හෙට බොන්නෙ අරක්‌කු නෙවෙයි වහ" ඔහු වෙරි මරගාතයේ කීවේය.
"අපි දරුවෙක් අරගෙන හදමු." ඇය හඬමින් යෝජනා කළාය.
"ඌ උඹෙත් නෙවෙයි. මගෙත් නෙවෙයි. කොහෙවත් ඉන්න එකෙකුට මගේ කෝටි ගණනක බූදලේ දෙන්නද උඹ කියන්නෙ" ඔහු කෝපයෙන් බෙරිහන් දෙද්දී සුරංජි ඉතා අසරණ වූවාය.
දැන් නිමල් බේබද්දෙකි. ඒ වන විට ප්‍රදේශයේ කනිටු විදුහලක විදුහල්පති ලෙස සේවය කළ හෙතෙම තම රාජකාරිය කළේද ඕනෑවට එපාවටය. පෞද්ගලික ව්‍යාපාරික කටයුතු හා ඉඩම්වල වැඩ අඩාල වෙමින් තිබිණි. සුරංජිට කරකියා ගත හැකි දෙයක් නොවීය.
නිමල් සිය බාල සහෝදරයාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන බව සුරංජිට දැන ගන්නට ලැබිණි. ඕ අතිශය කම්පාවට පත්වූවාය. තම දුක කියන්නටවත් ඇයට කිසිවෙක් නොවීය. පාසලේදී කිසිදු ගැටලුවක් පිටතට නොපෙනෙන ලෙසින් ඕ තම රාජකාරිය කරගෙන යන්නට සමත් වූවාය.
දිනක් නිමල් හැන්දෑවේ ගෙදර ආවේය. එදා නම් හේ බීමතින් නොසිටියේය. සුරංජිට එක්‌තරා අන්දමක සහනයක් විය.
"තව ටිකකින් මගේ යාළුවෙක් එනවා. එයා අද මෙහේ ඉන්නවා. රෑට කෑම ලෑස්‌ති කරන්න. නිමල් වෙනදා නැති ලෙසින් හොඳින් කථා කරද්දී ඇයට සතුටක් දැනිණි.
බිමට කරුවල වෙද්දී අමුත්තා ආවේය. නිමල් ආලින්දයේ ඔහු සමග කථා කරමින් සිටියදී සුරංජි ඔහුට සංග්‍රහයක් සූදානම් කරගෙන ඔවුන් වෙත ගියාය.
යළුවා මින් පෙර දැක නැති අයෙකි. සුරංජි ඔහුට තේ පිළිගන්වද්දී ඔහු ඇගේ මුහුණ බැලුවේ නැත. තේ කෝප්පය අතට ගත්තේද ඉවත බලාගෙනය. සුරංජිට එක්‌තරා අන්දමක සැකයක් ඇති විය.
අමුත්තාට කාමරයක් සූදානම් කැරිණි. ඔහු ඇඳුම් මාරු කරගෙන දිය නා ගත්තේය. සුරංජි ඔහුට කදිම කෑම වේලක් පිළියෙල කළාය. නිමල් ඔහු සමග කෑමට වාඩි විය. සුරංජි ඔහුගේ හැසිරීම් රටාව රහසේ නිරීක්‍ෂණය කළාය. ඔහු එක්‌වරක්‌වත් තමා දෙස නොබැලු බව ඇය පසක් කර ගත්තාය. ඔහු නිතරම සිටියේ මුහුණ බිමට හරවාගෙනය. නිමල් කියන දේවල්වලට වුව ඔහු එතරම් ප්‍රතිචාර නොදැක්‌වීය. කඩිමුඩියේ අහර පිස නිම කළ හේ තම කාමරයට වැදුණේය.
සුරංජි ගේ අස්‌පස් කර දමා නාන කාමරයට වැද ඇඟ පත දොවාගෙන රාත්‍රි ඇඳුමකින් සැරසී කාමරයට එද්දී නිමල් යහනෙහි වැතිර කල්පනා කරමින් සිටින අයුරු දැක්‌කාය.
ඇය විදුලි පහන නිවා දමා ඔහු අසලින් වැතිරුණාය. සුරංජි......" ඔහු ඇය ඇමතුවේ වෙනදාමෙන් නොව මෘදු ස්‌වරයකිනි.
ඇයි නිමල් ඕ ඔහුට තුරුලු වෙමින් ආදරයෙන් ඇසුවාය.
"ඔයා දන්නවනෙ........ ඔයාට දරුවෙක් නැත්තෙ ඔයාගෙ වරදකින් නෙවෙයි කියලා. ඔහු හීන් හඬින් කීවේය.
ඒක අපේ දෛවය නිමල් ඔයා හිතා මතා කරපු වරදක් නෙවෙයිනෙ අපි ඒ ගැන කථා නොකර ඉඳිමු. සුරංජි ආදරයෙන් ඔහු අමතා කීවාය.
අර යාළුවා ඇවිත් ඉන්නෙ අපට උදව් කරන්න. නිමල් අමාරුවෙන් කීවේය.
එයා කවුද? එයා අපට උදව් කරන්නෙ කොහොමද? සුරංජි ඕනෑවට එපාවට මෙන් ඇසුවාය.
ඔයාට පුළුවන් හොඳ කෙල්ල වගේ මම කියන දේ කරන්න.
නිමල් ඇගේ මුහුණ ආදරයෙන් සිප ගනිමින් කීවේය.
මොනවද ඔයා මේ කියන්නේ? ඇය මදක් විශ්මයෙන් ඇසුවාය.
"ඔයා යන්න එයා ඉන්න කාමරේට. අනික් ඒවා එයා බලා ගනීවි. නිමල් පහත් හඬින් කොඳුලේය.
"මොනවාද? මොනවාද ඔයා මේ කියන්නෙ" ඕ විශ්මයෙන් අසමින් නැඟê සිටියාය.
"ඔව් ඔයා යන්නම ඕන." ඔහුද නැඟê සිටිමින් උස් හඬින් කීවේය.
ඔයා මට වහ බෝතලයක් ගෙනැත් දීලා මට කියන්න මේක බීපං කියලා. මම බොහොම සතුටෙන් හිනාවෙලා ඒක බොන්නම්. එත් ඔය කියන වැඩේ නම් මට කරන්න බෑ. ඕ. හඬමින් කීවාය.
"නෑ උඹ ඒක කරන්නම ඕන" ඔහු කෝපයෙන් නැගී සිටිමින් කීවේය.
"මට බෑ මගේ........ ඕ ඔහුගේ දෙපාමුල දණින් වැටුණාය.
"මම එයාට මේ කාමරේට එන්න කියන්නද? ඔහු ඇසීය.
"මට බෑ. මට බෑ. ඕ හඬමින් කීවාය.
අතිශය කෝපයට පත් ඔහු මුල්ලක තිබූ යකඩ පොල්ල අතට ගත්තේය.
ඕකෙන් ගහලා මාව මරන්න. ඒත් ඔය කියන දේට නම් මම එකඟ නෑ. ඕ හඬමින් කීවාය.
"දඩාං බඩාං තම දෙපා මුළ දණින් වැටී සිටි ඇගේ ළපැත්ත හරහා හේ දැවැන්ත පහර දෙකක් එල්ල කළේය.
හීං කෙඳිරියක් නැඟූ ඕ බිම වැතිරුණාය.
"හත් දෙයියනේ......... මේ ගෑනි මළා වත්ද? තමාටම කියාගත් හේ ඇය වෙත ළංවී ඇගේ පපුවට අත තබා බැලීය. පපුව නිහඬය. ඔහුට හීං දාඩිය දැම්මේ එවිටය.
යාබද කාමරයේ සිටි අමුත්තා සියල්ල අසාගෙනය. තමා බරපතල අමාරුවක වැටුණු බව ඔහුට සිතෙන්නට ඇත. නිමල් තම වාහනයක නැඟී පිටත්ව යන බව ඔහුට ඇසිණි හේ හීං සීරුවේ ඔවුන්ගේ කාමරයට ආවේය. ඇය බිම වැතිර සිටියාය. චීත්ත රෙද්දකින් ඇගේ සිරුර වසා දමා තිබිණි. කුමක් කරම්දෝයි නිගමනයකට එළඹිය නොහැකිව හේ ආපසු තම කාමරය වෙත ගොස් ඇඳේ වැතිර කල්පනා කරන්නට විය.
නිමල් ගිය වාහනය ආපසු එන හඬද ගැහැනු කට හඬක් සේම තවත් පිරිමි කට හඬක්‌ද අමුත්තාට ඇසිණි හේ දෑස් පියාගෙන නිදිසේ සිටියේය. එම පිරිස එක්‌ව යමක් කරන බව ඔහුට පසක් විය.
මචං..... නෝනා ගෙදර නෑ. උඹ පලයං දැන් එළිවේගෙන එනවා. පාන්දර හතරට පමණ අමුත්තාගේ කාමරයට දුවගෙන ආ නිමල් කලබලයෙන් කීවේය.
එළවෙන තුරා නිදි නැතිව සිටි අමුත්තා දඩි බිඩි ගා නැගිට සූදානම් වී එළියට බැස යන්නට ගියේය.
තම බිරිඳ ගං ඉවුරේ ගසක එල්ලී සිය දිවි හානි කර ගෙන ඇති බවට නිමල් පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය පැමිණ පරීක්‍ෂණ කටයුතු ඇරැඹීය. අනතුරුව එය සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කළ පොලිසිය ප්‍රදේශයේ හදිසි මරණ පරීක්‍ෂකවරයා කැඳවීය.
විවාහවී වසර ගණනාවක් ගතවීත් දරුවන් නැතිවීම නිසා තම බිරිඳ ඉතා කනස්‌සල්ලෙන් යුතුව කාලය ගත කළ බවත් එම හේතුව නිසා ඇය සිය දිවි නසා ගෙන ඇති බවට තමා විශ්වාස කරන බවත් නිමල් මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් කීවේය. ඇය සියතින් ගෙල වැලලාගෙන ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂකවරයාද තහවුරු කළේය. ඇගේ සිරුර පවුලේ සුසාන භූමියේදී මිහිදන් කැරිණි.
සුරංජි සිය දිවි නසා ගත්තේ නැති බවටත් ඇගේ සැමියා ඇය මරා දමා ඇති බවටත් වගකිවයුතු තැන්වලට පෙත්සම් ගලා ආවෙන් ඇගේ මළ සිරුර යළි ගොඩගෙන වැඩිදුර පරීක්‍ෂණ සිදු කිරීමට අධිකරණය තීන්දු කළේය.
සුරංජිගේ මරණයට හේතුව පොල්ලකින් පහරදීම බවත් ඉන් ඇගේ ඉල ඇට හතරක් බිඳී ගොස් ඇති බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ මතය විය.
නිමල් පොලිස් අත්අඩංගුවට පත් විය. අමුත්තාද ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සාක්‍ෂි දුන්නේය. තම බිරිඳට දරුවකු ලබා දෙන්නේ නම් රුපියල් ලක්‍ෂයක් දෙන බවට නිමල් තමාට පොරොන්දු වූයෙන් තමා එම කෙන්ත්‍රාත්තුව භාර ගෙන එහි ගිය බවන්. ඔහු අනතුරුව සිදු වූ දේ අධිකරණයට කියා සිටියේය.
නිමල් පොලිසියේදී සිය දිවි නසා ගැනීමට තැත් කළේය. ඒ බෝතලයක් බිඳ එම කටුවෙන් තම පපුවට ඇන ගැනීමෙනි. නමුත් ඔහු මියගියේ නැත. අසාධ්‍ය වී පසුව සුවපත් විය.
තමා කළ වරද හේ පොලිසියටත් අධිකරණයටත් පාපොච්චාරණය කළේය. හේ ජීවිතාන්තය දක්‌වා හිරගෙට නියම විය.
වසර 20 කට පමණ ඉහත දකුණෙන් වාර්තා වූ මෙම ඛෙදවාචකයේ සඳහන් පුද්ගල නාමයන් සියල්ල මනඃකල්පිතය.
කේ. ඩබ්ලිව්. ගුණවර්ධන