'ටැටූ' ශරීරය ඔපවත් කරන සිත්තමකි. මුළු මහත් ලෝකයේම තාරුණ්‍ය ආදරයෙන් වැළඳගෙන සිටින පින්තාරුවකි. ටැටූ පින්තාරුවලට ගැහැනු පිරිමි භේද නැත. ටැටූ සිත්තමකින් සිරුර හැඩ ගන්වනවාට වඩා සිරුර විචිත්‍රවත් කර අනුනට දර්ශනය කිරීමෙන් ගැහැනු පිරිමි දෙපිරිසම අසීමිත අශ්වාදයක් ලබයි. එහෙත් අප මේ කතා කරන සිරුරු පින්තාරුව උත්පත්තිය ලබන්නේ 'මෙහෙන්දි කලාව' තුළිනි. එහෙත් 'මෙහෙන්දි පින්තාරු කලාව' ගැන සමාජයේ කතා කෙරෙන්නෙම නැති ගානය. එහෙයින්ම අපි මෙහෙන්දි පින්තාරු කලාව ගැන සමාජය තුළ කතාබහක් ඇති කිරීමට අදහස් කළෙමු.
හින්දි භාෂාවෙන් අරුත් ගැන්වෙන 'මෙහෙන්දි' සිංහල භාෂාවේ හඳුන්වන්නේ මරතොණ්‌ඩි කියාය. එමෙන්ම ආරාබි ජනවහරේ කියවෙන්නේ 'හෙන්න' යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ 'හෙනා' යෑයි කියනු ලැබේ.
රටින් රටට 'මෙහෙන්දි' කෙසේ අරුත් ගැන්වුවද, මෙහෙන්දි පින්තාරු කලාව වසර තුන්දහසක් එහාට දිව යන දිගු ඉතිහාසයක් ඇත්තකි. එනම් මිසර අධිරාජ්‍ය දක්‌වා විහිද යන්නකි. ඊජිප්තුවේ මමිවල දැත් මත ඇති මෙහෙන්දි සිත්තම් කියා පාන්නේ ද මෙම පින්තාරු කලාවට දිගු ඉතිහාසයක් ඇති බව නොවේද?
මෙහෙන්දි කලාවට ජාති බේද නැත. මුස්‌ලිම්, හින්දු, සිංහල නොයෙක් ජාතිවල කාන්තාවෝ මෙහෙන්දි කලාවෙන් විචිත්‍රවත් වෙති. නෝම්බි, රාම්සාන්, දීපාවලී ආගමික උත්සව සඳහා මුස්‌ලිම් ජාතික කාන්තාවන් මෙන්ම හින්දු ආගමික කාන්තාවන් ඔවුන්ගේ දෑත්, දෙපා මෙහෙන්දිවලින් විචිත්‍රවත් කරති. එමෙන්ම ඔවුන්ගේ විවාහ මංගල උත්සව සඳහා ද ඔවුහු මෙහෙන්දි පින්තාරුවෙන් විචිත්‍රවත් වෙති. එහෙත් එය ඔවුන්ගේ ආගම සමග බද්දව එන චාරිත්‍රයක් නම් නොවේ. මෙහෙන්දි ශරීර කලාව යනු සැබැවින්ම විලාසිතාවක් පමණි.
මෙහෙන්දි නොහොත් මරතොණ්‌ඩි යනු අතීතයේ සිට පැවත එන පරම්පාරික ඖෂධයකි. සමේ රෝග සඳහා දිව ඔසුවකි. මෙහෙන්දි මිනිස් සිරුරට සිසිලස ගෙන දෙන්නාක් සේම, විෂ බීජ නාශකයකි. මෙහෙන්දිවල ඖෂධීය ගුණ බොහෝය. මෙහෙන්දි තෙල් සාත්තුවෙන් ඉස්‌හොරි ඉවත් වනවා සේම, කෙස් කළඹ හොඳින් වර්ධනය වීමක් සිදු වේ. මෙහෙන්දි තෙල්වලට බීට් රූට් යුෂ හෝ කෝපි කුඩු එකතු කර පැය දොළහක් පමණ තිබෙන්නට හැර හිසේ ගල් වන්නේ නම් හිස කෙස් අමුතුම පැහැයකින් ඔපවත් වන්නේය.
මිනිස් සිරුරට මෙහෙන්දි සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වන දකුණු අප්‍රිකාව, ආරාබිකරය, පාකිස්‌ථානය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මෙහෙන්දි භාවිතය ප්‍රචලිතව තිබේ. අතීතයේදී මේ රටවල මිනිස්‌සු මෙහෙන්දි කොළ අඹරා ඔලුවේ, දෙපතුළේ සහ දෑත්වල තවරා ගත්හ. ලෝකයේ දියුණුවත් සමග මිනිස්‌සු මෙහෙන්දි කොළ අඹරා දැත්වල සහ දෙපතුලේ තිත්, මල් වැනි සිත්තම් කළහ. එහෙත් වර්තමානයේ මෙය ශරීර කලාවක් බවට පත්ව මෙහෙන්දි කොළ වියළා අනතුරුව එය හොඳින් කුඩු කර (පවුඩර්) එයට දෙහි යුෂ, තේ කොළ වැනි ද්‍රව්‍ය එකතු කරමින් වර්ණ අඩු වැඩි කර තම සිතැඟි පරිදි සියුම්ව මිනිස් සිරුරේ සිත්තම් කරන්නේය.
මුල් කාලයේ දෙපා සහ දැත්වල පමණක් කළ මෙහෙන්දි පින්තාරුව දැන් දැන් කාන්තාවන් අඳින පළඳින ඇඳුම්-පැළඳුම්වලට ගැළපෙන ලෙස උරහිස්‌වල, පිටේ සහ කලව ප්‍රදේශ පවා මෙහෙන්දිවලින් විචිත්‍රවත් කරනු ලැබේ. එය රටින් රටට මිනිසුන්ගේ රුචිකත්වය අනුව සිදු වන්නකි. එමෙන්ම රටකට ආවේනික මෙහෙන්දි කලාව තුළ කාලෙන් කාලයට මෙහෙන්දි නිර්මාණ වෙනස් වේ. මෙහෙන්දි කලාවේ ඇති සුවිශේෂීත්වයද එයමය.
ඉන්දියානු මෙහෙන්දි නිර්මාණවල බොහෝ විට දකින්නට ලැබෙන්නේ පුංචි පුංචි මල් එකතුවකි. එමෙන්ම දේව රූප සහ සත්ව රූප ද ඉන්දියානු මෙහෙන්දි නිර්මාණ තුළ දකින්නට ලැබේ. එහෙත් ආරාබි රටවල මෙහෙන්දි සිත්තමට නැගෙන්නේ සම්පූර්ණයෙන්ම මල් පමණි. එමෙන්ම ඒ නිර්මාණ තුළ පැහැදිලිs නිදහස් බවක් ද පෙනේ. ලංකාවේ මෙහෙන්දි කලාව ඉන්දීය මෙහෙන්දි නිර්මාණ සහ ආරාබි මෙහෙන්දි නිර්මාණවල එකතුවක් ලෙස දැක්‌විය හැකිය. මෙම මෙහෙන්දි නිර්මාණ දෙකේ එකතුව සැබැවින්ම බිහි කරන්නේ අපූරු සිත්තමකි. ඒ අපූර්වත්ව ද ලංකාව තුළ මෙහෙන්දි කලාව ජනප්‍රිය වීමට එක් හේතුවක් වූ බව නොරහසකි. එහෙත් ලංකාවේ මංගල උත්සව සඳහා මනාලියන් හැඩ ගැන්වීම සිදු කෙරෙන්නෙ ඉන්දීය මෙහෙන්දි නිර්මාණවලින් පමණි. පාකිස්‌තාන මෙහෙන්දි නිර්මාණ බොහෝ විට ඉන්දීය මෙහෙන්දි සිත්තම්වලට සමානය. එමෙන්ම රේ‚ය කලාවක් සහිත දකුණු අප්‍රිකානු මෙහෙන්දි නිර්මාණ අතිශයින්ම සුන්දරය. එහෙත් ඒ නිර්මාණ තවමත් අපේ රටේ මෙහෙන්දි කලාව තුළ දකින්නට නොලැබේ.
මෙහෙන්දි ශරීර කලාව ප්‍රචලිත වූ රටවල් කිහිපයක් තිබුණද, ඒ අතරින් වැඩියෙන් ජනප්‍රියව ඇත්තේ ඉන්දියාවේය. දැන් දැන් ශ්‍රී ලංකාවේ ද සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. අද ලංකාවේ බොහොමයක් මංගල උත්සවවලදී මනාලියගේ දෑත්, දෙපා මෙහෙන්දි සිත්තම්වලින් හැඩ ගැන්වෙනවා සේම, මංගල උත්සවයට සහභාගි වන අනෙකුත් බොහොමයක් කාන්තාවන් ද මෙහෙන්දි සිත්තම්වලින් හැඩ ගැන්වෙති. එමෙන්ම දැන් දැන් නත්තල් උත්සව සඳහා ද ලාංකීය කාන්තාවෝ තම සිරුරු මෙහෙන්දි පින්තාරුවෙන් විචිත්‍රවත් කර ගැනීමට උත්සක වෙති.
'ටැටූ' පච්ච කලාව ද ලංකාවේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබේ. එහෙත් ටැටූ කලාව තරමක් ශරිරයට අහිතකරය. ගතට වේදනාකාරිය. ඉදිකටු තුඩකින් සම පාසරු කර කරන නිර්මාණ කාලයකදී සිරුරට අහිතකර බලපෑම් ඇති කරන්නට ඉඩ ඇත. එමෙන්ම කෙනකුගේ සිරුරේ කෙටූ ටැටූ නිර්මාණයක් නැවත ඉවත් කිරීම සැබැවින්ම අසීරු කාර්යකි. එහෙත් මෙහෙන්දි ශරීර කලාව කිසිදු අයුරකින් මිනිස් සිරුරට අතුරු ආබාධ ගෙන නොදේ. ගතට සහනයක් මිස වේදනාවක් ගෙන දෙන්නක් ද නොව්. සම මතුපිට කෙරෙන සිතුවම් තම අභිමතය පරිදි කාලෙන් කාලයට වෙනස් කළ හැකිය. එමෙන්ම කෙනෙකුගේ සිරුරට මෙහෙන්දි සිත්තමක් කළ විගසින් ඒ සිත්තමට අකමැති නම් ඉවත් කිරීමට හැකිය. එහෙත් දිනක් පමණ වියළුනු පසු එය සති දෙක තුනක් යන තෙක් මකා දැමීම තරමක් අසීරුය. මෙහෙන්දි සිත්තමක් මිනිස් සිරුරක් තුළ සති දෙකකට ආසන්න කාලයක් පැහැයේ කිසිදු වෙනසක් නොවී තිබේ.
කාර්යබහුල සමාජයේ බොහෝමයක් කාන්තාවවෝ විවිධ රැකියා කටයුතුවල සම්බන්ධ වී සිටිති. එහෙයින් කාලයකට, දින කිහිපයකට තම සිරුර පින්තාරුවලින් හැඩ ගන්වාගෙන සිටීම රාජකාරි මට්‌ටමින් ගැටලු ඇති කරන්නක් ද විය හැකිය. එහෙයින් විශේෂ අවස්‌ථාවට, එක් දිනකට පමණක් සිරුර හැඩ කළ හැකි පින්තාරු ක්‍රම ද දියුණු වන මෙහෙන්දි කලාව දැන් හඳුන්වා දී ඇත.
මෙහෙන්දි කලාව සුන්දර ශරීර කලාවක් බව සැබෑය. එහෙත් එය කෙනෙකුට හිතුමතේට සිත්තමට නැගීමට නොහැකිය. පෙර පුහුණුවකින් පසු සංයමකින් යුක්‌තව ඉතාම සියුම්ව කළ යුතු නිර්මාණ කලාවකි. එහෙත් මෙහෙන්දි කලාව පූර්ණව හැදෑරූ කෙනෙකුට මෙන්ම කලාකාමී සිත්වලට මෙහෙන්දි සිත්තම් ඇඳීම එතරම් අපහසු කාර්යක් ද නොවේ.
"මේක මට දෙවියන් වහන්සේ දීපූ තෑග්ගක්. ඒ තරමටම මම මෙහෙන්දි කලාවට කැමතියි. මම පුංචි කාලේ ඉඳලා මෙහෙන්දි සිතුවම් අඳිනවා. නමුත් මගේ දැනුමෙන් කාන්තාවන්ගේ සිරුරු මෙහෙන්දිවලින් විචිත්‍රවත් කරන්නට පටන් අරගෙන දැනට අවුරුදු 10 ක් විතර තමයි වෙන්නේ. මම මේක මුදල මූලික කරගෙන කරන කටයුත්තක් නෙවෙයි. මෙහෙන්දි නිර්මාණ කිරීම මගේ විනෝදාංශයයි. සමහර කාන්තාවන්ගේ අත්වලට මෙහෙන්දි දානකොට ඒ අය කියනවා හරියට කේක් එකකට අයිසිං දානවා වගේ කියලා. ඇත්ත මේකත් අයිසිං දානවා වගේ වැඩක් තමයි.
"මෙහෙන්දි නිර්මාණ කාලෙන් කාලෙට අලුත් වෙනවා. මමත් මුල් කාලයේ කරපු නිර්මාණ දැන් කරන්නේ නැහැ. අලුත් වෙන කලාවත් සමග මමත් ඉදිරියට යනවා. අලුත් නිර්මාණ අධ්‍යයන කරන්න ඕනා. ඒ නිසා මම අවුරුද්දකට සැරයක් ඉන්දියාවට ගිහින් මෙහෙන්දි කලාව සම්බන්ධ ප්‍රවීණයොත් සමග වැඩ කරලා ඔවුන්ගේ අලුත් නිර්මාණ අරගෙන එනවා"
මෙහෙන්දි ශරීර කලාව ගැන අපට කරුණු කාරණා අවබෝධ කර දුන් ෆාරාත් හාඩි සිත්තරාවිය, අලුත් වන මෙහෙන්දි කලාව ගැන එසේ විස්‌තර කළාය.
මෙහෙන්දි කුඩුවලින් පමණක් සිරුරක් පින්තාරු කිරීමට නොහැකිය. එය වර්ණ ගැන්වීමට තව බොහෝ දේ එකතු කළ යුතුය. එනම් මෙහෙන්දි කුඩුවලට තේ කොළ, දෙහි යුෂ සහ වතුර මිශ්‍ර කර පැය දොළහක් පමණ ශීතකරණයක තබා ගැනීම අනිවාර්යයි. අනතුරුව ඉටි කෝන් එකකට ඒ මිශ්‍රණය බහාලමින් කෝන් එකේ තුඩින් සියුම්ව නිර්මාණය ඇඳිය යුතුය. සිත්තමේ පැහැය අඩු වැඩි කර ගැනීමට මෙහෙන්දි තෙල් භාවිත කළ හැකිය. එමෙන්ම ශරීරයේ උෂ්ණත්වය අනුවද සිත්තමේ පැහැය වෙනස් වේ. කෙනෙකුගේ සිරුරකට මෙහෙන්දි සිත්තමක් කළ විට එය ඔපවත් වීමට දිනක් පමණ වියළෙන්නට තැබිය යුතුය. ඒ දිනය පුරාවට සිත්තමට වතුර ගැල්වීම නොකළ යුතුය. එසේ වුවහොත් සිත්තම අවපැහැ ගැන්වීමක් සිදු වේ.
මෙහිදි ශරීර කලාවේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව එසේය.
දැන් අපේ රටේ කාන්තාවන් සේම, තරුණයන්ද ටැටූ වෙනුවට මෙහෙන්දි කලාව තෝරාගනිමින් සිටියි. එමෙන්ම ඉන්දියාවේ කාන්තාවන්ට පමණක් සීමා වූ මෙහෙන්දි ප්‍රියසාද මෙන්, ප්‍රියසාද දැන් ලංකාවේ ද ඇතැම් හෝටල්වල කාන්තාවන්ට පමණක් සීමා කර පැවැත්වේ. එම ප්‍රියසාදවලට අපේ සමාජයේ ද ඉහළ පන්තියේ කාන්තාවන් අතර වැඩි ඉල්ලුමක් පවතී. මෙහෙන්දි අපේ සමාජයට අලුත්ම විලාසිතාවක් වී ඇත්තේ එලෙසිනි.
විශේෂ ස්‌තූතිය
මෙහෙන්දි සිත්තරාවිය ෆාරාත් හාඩි මහත්මියට.
mehendhi@gmail.com
තරංග රත්නවීර
0 Comments