සමලිංගික අයිතිවාසිකම්

සමලිංගිකත්වය පිළිබඳව විරුද්ධ මත ප්‍රකාශ කරන්නන්ගේ වඩාත් ප්‍රසිද්ධ තර්කය වන්නේ එය නීතියට පටහැණි දෙයක්‌ වන බවයි. අනෙක්‌ අතට මෑත කාලීනව සිදුවු යම් යම් සමාජ ප්‍රතිසංස්‌කරණ නිසා සමලිංගිකත්වය පිළිබඳව වෙනදාට වඩා කතා කිරීම හේතුවෙන් රජය හා වෙනත් පාර්ශ්ව ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය නීතිගත කිරීමට සැරසෙනවාය යන වැරදි අදහසක්‌ මතුවෙමින් තිබේ. කිසියම් සමාජ කරුණක්‌ නීතිගත කරනවා යනු එම සමාජ කරුණ වෙනුවෙන් අලුතින් නීති රීති සකස්‌ කිරීමයි. ඒවා පාර්ලිමේන්තුව තුළ, කැබිනට්‌ මණ්‌ඩලය තුළ සාකච්ඡා කිරීමෙන් විවාද කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යාංශය හා නීතිය පිළිබඳ ක්‍රියාකාරන ආයතන එකතුවී පනතක්‌ ලෙස සම්මත කළ යුතු බවයි. රථ වාහන වැරදි සම්බන්ධව, කාන්තාවන් හා ළමයින් සම්බන්ධව පසුගිය කාලවල විවිධ නීති එලෙස සම්පාදනය විය. ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරනවා යෑයි වැරදි අදහස සමාජගත කරන්න කියා සිටින්නේ සමලිංගිකත්වය නීතියෙන් පිළිගැනීමට සැරසෙන තත්ත්වයක්‌ පවතින බවයි. මෙය කරුණු හරිහැටි නොදැන සමාජය තුළ අදාළ ලිංගික ප්‍රජාව පිළිබඳව පවතින වැරදි අදහස තවදුරටත් පෝෂණය කිරීමට ගන්නාවූ උත්සාහයක්‌ ලෙස දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ සමලිංගික පුද්ගලයන්ගේත් මානව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන EQUALGROUND වැනි ආයතන, විවිධ සිවිල් සමාජ සංවිධාන හා තනි පුද්ගලයන් විසින් ඉල්ලා සිටින්නේ එවැනි නීතිගත කිරීමක්‌ නොව බ්‍රිතාන්‍ය යටත් විජිත කොළණියක්‌ වශයෙන් පැවතීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් අපට ලබාදෙන ලද දණ්‌ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ යන උප වගන්ති සංශෝධනය කර හෝ ඉවත්කර වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකුගේ පුද්ගලික ක්‍රියාකාරකමක්‌ අපරාධයක්‌ ලෙස සලකන වික්‌ටෝරියානු නීතිය වෙනස්‌ කරන ලෙසයි. 1883 දී මැකලේ නම් දැඩි මූලධර්මවාදී ක්‍රිස්‌තියානි සාමිවරයා විසින් එවකට සිලෝන් ලෙස පැවති ශ්‍රී ලංකාවේ දණ්‌ඩ නීති සංග්‍රහය සකස්‌ කළ අතර එමගින් ඔහු සමලිංගික චර්යාවන් අපරාධයක්‌ ලෙස සැලකීමට අවශ්‍ය වන ආකාරයට වගන්ති සකස්‌ කළේය. මෙම වගන්තිය ඉතා පරීක්‌ෂාවෙන් කියවන විට මූලික මිනිස්‌ අයිතිවාසිකම්වල ප්‍රාථමික මට්‌ටම් පවා ඉක්‌මවා යන ආකාරය හඳුනාගත හැකිවනු ඇත.

 දණ්‌ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය කියා සිටින්නේ කිසියම් පුරුෂයකු විසින් කාන්තාවක හෝ සතෙකු සමඟ ස්‌ව කැමැත්තෙන් ස්‌වභාවධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් ව දස වසරක්‌ දක්‌වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඩුවමක්‌ ලබාදිය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා දඩයකටද යටත් කළ යුතුය. සංස්‌කෘතිය හා ඊනියා සදාචාරය පිළිබඳව තර්ක කරමින් සමලිංගිකත්වය පිළිබඳ අපහාස කරන මිනිසුන් විසින් සිනාවිය යුත්තේ වෙනකාටවත් නොව තමාටමය. එයට හේතුව මැකලේ සාමිවරයා විසින් එවකට සිලෝන්හි මිනිසුන් සතුන් සමඟ ද ලිංගිකව එකතුවන බව විශ්වාස කිරීම නිසාය. එමෙන්ම මෙම වගන්තිය තුළ ස්‌වභාව ධර්මයට එරෙහි යන්නෙන් අදහස්‌ වන්නේ මොනවාද? කාමුක සංසර්ගය යනුවෙන් අදහස්‌ කරන්නේ මොනවාද යන්න පැහැදිලි කර නොමැත. 365 අ වගන්තිය මගින් පැහැදිලිවම පුරුෂ සමලිංගික හැසීරීම් අපරාධයක්‌ ලෙස දක්‌වා තිබේ. -ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තවත් පිරිමියකු සමඟ කවර හෝ තදබල අශෝභන ක්‍රියාවක යෙදෙන හෝ එසේ කිරීමට තවත් අය සමඟ හවුල් වන හෝ වෙන යම් පිරිමියකු ලවා එසේ කිරීමට උත්සාහ කරන හෝ ප්‍රයත්න දරන ඕනෑම පිරිමියෙකු අපරාධයකට වරදකරු විය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා ඇතැම් විට දෙවසරක්‌ දක්‌වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දෙකටම යටත් කළ යුතුය, කස පහරටද ලක්‌ කළ යුතුය. මෙම වගන්තියේ ප්‍රසිද්ධිය අප්‍රසිද්ධිය යනු කුමක්‌ද, පුරුෂයන් දෙදෙනෙකුට සිදුකළ හැකි තදබල අශෝබන ක්‍රියා මොනවාද යන්න පිළිබඳව නිසි අර්ථකථනයක්‌ ලබාදී නොමැත. මෙහිදී සිදුවන්නේ අපරාධය යනු කුමක්‌ද, අපරාධයේ ස්‌වභාවය කුමක්‌ද, හැසිරිය යුත්තේ නොයුත්තේ කවර ආකාරයටද යන්න තීරණය කිරීමේ බලය පොලීසියට ලබාදී තිබීමයි. 1995 දී එවකට අධිකරණ ඇමතිවරයාව සිටි ජී. එල්. පීරිස්‌ විසින් මෙම නීතිය සංශෝධනය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ වූයේ ඉහත වගන්තියේ ඕනෑම පුරුෂයකු වෙනුවට තැනැත්තියන් අතර ද ආදී ලෙස වෙනස්‌ වෙමින් ස්‌ත්‍රීන් අතර සිදුවිය හැකි ක්‍රියාකාරකම් ද අපරාධයක්‌ ලෙස සැලකීමට පටන්ගැනීමයි. දණ්‌ඩනීති සංග්‍රහයේ 365 වගන්ති පැහැදිලිව පරීක්‌ෂා කිරීමේදී එය සමලිංගික අයට පමණක්‌ නොව විෂම ලිංගික සුචරිතවාදීන්ට පවා අදාළ වන බව තේරුම් ගත යුතුය. එයට හේතුව සතෙකු යන කොටස අමතක කරමින් කිසියම් පුරුෂයකු කාන්තාවක සමඟ ස්‌වභාව ධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් යන්නෙන් ගැහැණු හා පිරිමි අතර සිදුවන විෂම ලිංගික ක්‍රියාකාරකම් පවා අපරාධයක්‌ ලෙස සැලකීමට හැකිවන නිසාය. විෂම ලිංගික බහුතර ප්‍රජාව මෙම නීතිය ප්‍රශ්න කිරීමට හෝ මෙවැනි විහිළු සහගත නීති අභියෝග කිරීමට නොයන්නේ මෙම නීති ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන නිසාය. එහෙත් පොලීසිය විසින් 365 අ උප වගන්තිය ප්‍රකාරව සමලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නිසි අර්ථකථනයක්‌ නොමැති, පදනමක්‌ හෝ තාර්කික බවක්‌ නොමැති වගන්තියක්‌ පසුපස එළවමින් වීම කනගාටුවට කරුණකි. වඩාත් උපහාසාත්මක කරුණ වන්නේ මෙම නීති අපට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයින් පවා ඔවුන්ගේ නීති රීති වෙනස්‌කරමින් සිවිල් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරමින් මානව නිදහස පුළුල් කිරීම සඳහා අව්‍යශ ප්‍රතිසංස්‌කරණ සිදුකළ ද ශ්‍රී ලංකාවේ අප විසින් විහිළු සහගත නිතිරීති තවමත් හිස මත තබාගනිමින්, ඒවා මත පදනම් වෙමින් පුද්ගල නිදහස හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කිරීමට උත්සාහ කිරීමයි. 

ශ්‍රී ලංකාව යටත් විජිත කොළණියක්‌ වීමට පෙර ලිංගික නිදහස හා මානව නිදහස වඩාත් පෘථුල මට්‌ටමින් භාවිතා කළ රටක්‌ වන බවට සාක්‌ෂ්‍ය ඉතිහාසය විසින් ඕනෑවටත් වඩා සපයා තිබේ. පවතින පවුල් හා සමාජ අවශ්‍යතා තේරුම්ගනිමින් ඒවාට ගැලපෙන ආකාරයට බින්න විවාහ, එකගෙයි කෑම, බහුභාර්යා බහුපුරුෂ ආවාහ විවාහ පැවති සමාජයක්‌ විය. ඇඳුම් පැලඳුම් හරහා හෝ මිනිසුන්ගේ නිදහස්‌ හැසිරීම් මගින් නොව මනුෂ්‍යත්වය සාධක කරගනිමින් අෙන්‍යාන්‍ය සම්බන්ධතා ඇතිකරගත් සමාජයක්‌ විය. එහි පැවතියේ නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි පිරිමියා කොණ්‌ඩය වැවූ, කනට කරාබු දැමූ අතර ගැහැනුන් උඩුකය වැසුවේ අවශ්‍යම ගමනක්‌ යැමට පමණි. එහෙත් සදාචාරය හෝ සංස්‌කෘතිය පිළිබඳ අද තරම් කෑ ගැසීමක්‌ එවකට අවශ්‍ය නොවුණේ ඔවුන්ට ලිංගිකත්වය මැජික්‌ එකක්‌ නොවූ නිසාය. වර්තමානයේදී විෂම ලිංගික සාරධර්ම කතා කරමින් වෙනස්‌ ලිංගික අනන්‍යතාවන් සදාචාර විරෝධී යෑයි පවසන අප සදාචාරද යන්න පෙරළා ඇසිය යුතුය. දිනකට වයස අවුරුදු 14ට අඩු දියණියන් 03 දෙනකු දූෂණය වන රටක, සෑම විනාඩියකට වරක්‌ ගැහැනියක දූෂණය වන රටක, දිනකට ගබ්සාවන් 800 ක්‌ වන රටක, ලෝකයේ සියදිවි නසාගැනීම් අතර පෙරමුණේ සිටින රටක, ලෝකයේ වැඩිම ඒක පුද්ගල මත්පැන් පානය කරන මිනිසුන් ඇති රටක, දික්‌කසාද නඩු පෝලිම් ගැසෙමින් පවතින රටක, කුණු කූඩවල, මහමඟ, වැසිකිළිවල දරුවන් දමායන රටක, වසර හතරක්‌ පුරා අන්තර්ජාලයෙන් seං සොයා රන් පදක්‌කම වෙනත් රටකට යැමට නොදෙමින් රැකගෙන සිටින රටක විෂම ලිංගික අපගේ ක්‍රියාකාරකම් පවා ප්‍රශ්නකාරී බව තේරුම් ගත යුතුය. අප විසින්ම අනාගත් සදාචාරයක්‌ තබාගෙන අනෙක්‌ පුද්ගලයන්ගේ නිදන කාමරවලට එබී ඔවුන්ගේ චර්යාවන්වලට අභියෝග කිරීමද විහිළු සැපයීමකි. 

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව විසින් ඉල්ලා සිටින මූලික මානව අයිතිවාසිකම් අතර ඉහතින් දැක්‌වූ විහිළු සහගත නීතිය වෙනස්‌කිරීම පුමුඛතා ලැයිස්‌තුවේ පවතී. සෑම පුද්ගලයකුම කිසිදු ලිංගික බේදයකින් තොරව භුක්‌තිවිඳින අයිතිවාසිකම් ඔවුන් ද භුක්‌ති විඳිය යුතුය යන පදනමේ ඔවුන් සිටී. ඒ සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මූලික අයිතිවාසකම් පරිච්ඡේදය මගින් ලිංගික දිශානතිය හා ස්‌ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව මත පදනම්ව වෙනස්‌කම් සිදුනොවිය යුතුය යන අදහස තහවුරු කළ යුතු බව ඔවුන් කියා සිටී. පාසල් අධ්‍යාපනය මගින් වෙනස්‌ ලිංගික අනන්‍යතා මොනවාද, එසේ වන්නේ ඇයි යන දැනුම දරුවන්ට ලබාදීම අවශ්‍ය වන බව ඔවුන් කියා සිටී. වඩාත් අවධාරණයෙන් ඔවුන් ඔබගෙන් ඉල්ලා සිටින්නේ අනුකම්පා කිරීම නොව සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය මිනිසකු ලෙස ජීවත්වීමේ අයිතිය හා මානව නිදහස ඔවුන්ද ට ලබා දෙන ලෙසයි. එය රටේ සදාචාරය විනාශකිරීමක්‌ නොව පුද්ගල අයිතිය හා ස්‌වාධීනත්වයට ගරුකරන මිනිසුන් ජීවත්වන රටක්‌ ලෙස අනාගත ශ්‍රී ලංකාව ගොඩනැඟීමට දායකවීමකි. 

* තුෂාර මනෝඡ්
EQUAL GROUND ආයතනයේ ව්‍යාපෘති නිලධාරි

Post a Comment

0 Comments