මහා කවි ආනන්ද රාජකරුණා


ගාලු දිස්‌ත්‍රික්‌කයේ වැල්ලබඩ පත්තුවේ මාදම්පාගම දී 1885 පෙබරවාරි 07 වැනිදා උපත ලැබූ ආනන්ද රාජකරුණා මහා කිවියාණන් පැරණි කවි පරපුරේ අවසාන පුරුක නොව නව කවි පරපුරේ ආදිම පුරුෂයා ය.

මාතර කවි යුගය කොළඹ යුගය හා එක්‌ කළ පාලමක්‌ වූ එතුමන් විවිධ ශෛලීන්ගෙන් ලියූ කවි අතර ළමා කවි, දහම් ගැට, විනෝද කවි, උපහාස කවි මෙන්ම ශෘංගාරය, විරරඝය මතුවන නිර්මාණ දක්‌නට හැකිය.

"රෝස මලේ නටුවෙ කටු - වන බඹරෝ ඔහොම හිටු" යන කවිය යුගයෙන් යුගය පරපුරෙන් පරපුර ජනගත වී තිබීම එතුමන්ගේ කවිත්වයට හොඳම නිදසුනක්‌ වන්නේය.

ළදරු කවි මී, ළමා උයන, කව් රස අදුන, ගිතානන්ද, ඩෙන්කැට්‌වරුණ, රුක්‌මාවතී කතාව, නමෝ මාතා, ආනන්ද රචනා, ආනන්ද චම්පු, ලංකාඩම්බරය, ජාතික දරු නැලවිල්ල ආදි කාව්‍ය ග්‍රන්ථ ද නන්දාවතී, රහස්‌ අනුශාසකයා වැනි නව කතා ද හිට්‌ලර් චරිතය වැනි පරිවර්තන ද ඔහු අතින් ලියෑවුණු කෘතීන්ගෙන් කීපයකි.

ගුරුවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ මහා කිවියාණන් මාදම්පාගම ආනන්ද ධම්ම නමින් පැවදිව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන ලෙසට හඬ නැඟීය.

අගනුවර තරුණ කවි සමාජයේ උපදේශකවරයකු ලෙසත් වසර කිහිපයක්‌ම සිංහල කවි සම්මේලනයේ සභාපති ධුරය දැරූ එතුමන්ගේ විශිෂ්ට කවිත්වයට උපහාර වශයෙන් "ශ්‍රී රූපදේව කවීන්ද්‍ර" ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

ඇඳුරුවරයකු, ලේඛකයකු, පරිවර්තකයකු වියත් කවියකු වූ ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා මහා කිවියාණන් 1957 අගෝස්‌තු 27 වැනි දින පිළියන්දල දී ජන්මාන්තර ගත විය.

ආසිරි විඡේසේකර
ලේකම්, සේසිරි විඡේසේකර අනුස්‌මරණ පදනම 

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us