මිහිබට සුරඟන නොව ඇය මාවතේ සුරංගනීය


අසූව දශකයේ පැවැති ඡේ.වී.පී. කලබල හේතුවෙන් සැමියා අවාසනාවන්ත ලෙස මරා දැමුණා. දරුවන් හත් දෙනකු පෝෂණය කිරීම සඳහා රැකියාවක්‌ සොයා ගාල්ලේ සිට කොළඹ පැමිණෙන අතරතුර බසයේදී හමු වූ තරුණයෙකුට රැවටී ගමේ ඉඳන් එන විට ගෙනාපු මුදල් හා ෙච්න් එකත් නැති වුණා. පස්‌සේ පිටකොටුව කෝච්චි ස්‌ටේෂමේ යන එන මං නැතිව සිටින විට එහි යන එන තරුණයන්ගේ පෙළඹවීමෙන් ලිංගික ශ්‍රමිකයෙකු බවට පත් වුණා" යෑයි දැනට 57 වැනි වියෙහි පසු වන සුරංගනී අප හා පැවැසුවාය.

සුරංගනීට අනුව ගාල්ලේ සිට කොළඹ පැමිණෙන විට ඇය අත තිබී ඇත්තේ රුපියල් 200 ක මුදලකි. එයත් තරුණයෙකු නිසා නැති කර ගැනීම හේතුවෙන් ඇය ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්වන විට ඇය තිස්‌ හත් හැවිරිදි වියේ පසුව ඇති අතර නැති බැරිකම හේතුවෙන් ඇය තවමත් ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සිදුකරනු ලබයි.

මුණුබුරු මිණිබිරියන්ද සිටින මිත්තනියක වන සුරංගනී ඇයගේ කථාව කියන්නට "ඉරිදා දිවයින සංග්‍රහය" හා පසුගියදා මෙසේ දොඩමළු වූවාය.

"මම ඉපදුණේ ගාල්ලේ බටදූව කියන ප්‍රදේශයේ. සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුතු පවුලක පස්‌වැනියා විදියට ඉපදුණු මට තාත්තා රැකියාවක්‌ කළ නිසා පුංචි කාලේ කිසිම අඩුපාඩුවක්‌ තිබ්බේ නැහැ. තාත්තා තලවකැලේ ප්‍රදේශයේ සිල්ලර කඩයක්‌ පවත්වාගෙන ගියා. සති දෙකකට සැරයක්‌ නිවසට පැමිණි තාත්තා දෙන මුදල් අරපිරිමැස්‌මෙන් වියදම් කරමින් අපේ අවශ්‍යතා සපයා දුන්නේ ගෘහණියක්‌ වූ අම්මායි" ඇය පැවැසුවාය.

කෙසේ වුවද අගහිඟකම් නොමැති වුවද සුරංගනී වැඩිදුර ඉගෙනුමට යොමු නොවූ අතර නවවැනි ශ්‍රේණිය වන තෙක්‌ පාසල් ගොස්‌ අධ්‍යාපනය අතරමග නැවැත්වූවාය. දෙමවුපියන්ද තමන්ට දිගටම අධ්‍යාපනය ලබන ලෙස බල කිරීමක්‌ නොකළ බව සුරංගනී පවසන්නීය. ඒ වන විට වයස අවුරුදු 15 ක්‌ වූ සුරංගනී මනා රූ සපුවකින් හෙබි අයෙකු වූ අතර ඇයගේ පියාගේ පාර්ශ්වයෙන් මස්‌සිනා කෙනෙකු වූ විමල් සමඟ ඇය ප්‍රේම සබඳතාවයක්‌ ගොඩනගා ගත්තේ දෙමවුපියන්ගේද ආශිර්වාදය මධ්‍යයේය.

සුරංගනී තමන්ට වඩා වසර හතකින් වැඩිමහලු වූ විමල් සමඟ කෙටි කලකින් විවාහ වූ අතර ව්‍යාපාර කටයුතුවල නිරත වූ තම සැමියා සමඟ වෙනම නිවසක ඇය සතුටින් කාලය ගත කළාය. කල් යත්ම මෙම යුවළට දරුවන් හත් දෙනකු ලැබිණි.

ඒ අසූව දශකයයි. එවකට පැවැති ඡේ.වී.පී. කලබල මධ්‍යයේ සුරංගනීගේ බාල සහෝදරයෙකුද පොලිසියට බැඳි සේවය කර තිබේ. එම කලබලවලට මැදි වූ සුරංගනීගේ සැමියා අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වන විට සුරංගනීගේ කැදැල්ලේ සිටි දරුවන් හත් දෙනකුගේ වගකීම ඇය මත පැටවිණි. ඒ වනවිටත් සුරංගනීගේ දෙමවුපියන් ඇයටත් දරුවන් හත් දෙනාටත් අවශ්‍ය වියහියදම් සපයා දුන්නද ඇයට අවශ්‍ය වූයේ සැමියාගේ මරණයෙන් පසු ඇය විසින්ම රැකියාවක්‌ කරමින් දරුවන්ට වියහියදම් කිරීමටය.

එම අපේක්‍ෂාවෙන් ඇය සිය දරුවන් තම පුංචි අම්මා යටතට පත්කර රුපියල් 200 ක්‌ පමණක්‌ අතැතිව කොළඹ පැමිණියේ නාඳුනන නගරයක රැකියාවක්‌ සොයා ගෙනය. ඇය ගාල්ලේ සිට කොළඹ දක්‌වා පැමිණි බස්‌ රියේදී හමු වූ තරුණයෙකු සුරංගනී හා දැඩි සේ මිතුරු විය.

ඇය හා සතුටින් කතා බස්‌ කරමින් සිත දිනා ගත් එම තරුණයා බසය කොළඹට ළඟාවත්ම වැඩිදුර විස්‌තර කතාබස්‌ කිරීම සඳහා රත්මලානේ පිහිටි හෝටලයකට යැමට සුරංගනීට ඇරැයුම් කළේය. එම තරුණයා කෙරෙහි කිසිදු අවිශ්වාසයක්‌ නොතැබූ සුරංගනී නන්නාඳුනන නගරයක අතරමං වීමට අකමැති නිසා ඔහුගේ කීමට එකඟ විය.

අනතුරුව එම තරුණයාත් සුරංගනීත් රත්මලානේ පිහිටි හෝටලයකට ගොස්‌ ආහාර ගනිමින් කතා බස්‌ කළ අතර රෑ බෝවීම නිසා හෝටලයේ නතර වී පසුදින පිටව යමු යෑයි තරුණයා කළ යෝජනාවටද සුරංගනී එකඟ වූයේ කිසිදු අවිශ්වාසයකින් තොරවමය. 

මෙහිදී හෝටලයේ එකම කාමරයක ඔවුන් ලැඟුම් ගත් අතර ඔවුන් දෙදෙනා අතර අනියම් ඇසුරක්‌ එදින හටගත් බව සුරංගනී කීවාය.

සුරංගනී රාත්‍රියේ නිදා ගත් පසු ඇය සමඟ සිටි තරුණයා ඇයගේ රත්තරන් ෙච්න් එක හා ඉතිරිව තිබූ රුපියල් 60 ක මුදල රැගෙන පලා ගිය අතර ඒ බව ඇය විසින් දැනගෙන ඇත්තේ පසුදින උදැසනය.

ඒ වන විට බසයකින් ගමන් කිරීමටත් මුදල් අතෙහි නොතිබීම හේතුවෙන් දැඩි සේ අසරණභාවයට පත් වූ සුරංගනී කෙසේ හෝ පා ගමනින් පිටකොටුව දුම්රිය ස්‌ථානය වෙත පැමිණ ඇත්තේ කඩින් කඩ නවතිමින් පා ගමනින්ය. දුම්රිය ස්‌ථානයේත් කෑමට බීමට තබා ආපසු ගමට යැමටවත් මුදල් නොමැතිව සිටි ඇය කෙරෙහි ඇල්මක්‌ ඇති කර ගත් තරුණයකුගේ පෙළඹවීමෙන් ඇය ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්වූවාය.

අනතුරුව ඇය දිනකට තුන්දෙනකුට තම ලිංගික ශ්‍රමය අලෙවි කළ අතර එක්‌ අයෙකුගෙන් රුපියල් 200 ක්‌ වැනි මුදලක්‌ මුල් කාලයේදී ලැබුණු බව සුරංගනී පවසන්නීය. ඇය ලිංගික ශ්‍රමය අලෙවි කර උපයාගත් මුදලින් කොළඹට යාබද ප්‍රදේශයක කුලී නිවාසයක්‌ ලබා ගෙන නවාතැන් ගෙන ඇති අතර ලිංගික ශ්‍රමය අලෙවි කිරීම සඳහා සෑම දිනකම උදැසන 8 ට පිටකොටුව දුම්රිය ස්‌ථානය වෙත පැමිණ සවස 6 වන විට කුලී නිවාසයට පැමිණි බව සුරංගනී කීවාය.

තමා උදැසන දුම්රිය ස්‌ථානයට ගොස්‌ සවස නැවත කුලී නිවසට පැමිණි නිසා දුම්රිය ස්‌ථානයේ සිටි අනෙකුත් ලිංගික ශ්‍රමිකයින් මෙන් තමා පොලිස්‌ අත්අඩංගුවට පත් නොවූ බව ඇය ප්‍රකාශ කළාය.

ඇයගේ සේවය ලබා ගැනීමට පැමිණි පිරිමින් අතර වැඩි වශයෙන්ම සිට ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කළ අය වන අතර තරුණ, වැඩිහිටි, විවාහක, අවිවාහක පිරිමින් ඒ අතර වූ බව ඇය සඳහන් කළාය. ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් මසකට රුපියල් 10,000 ක්‌ 15,000 ක්‌ අතර මුදලක්‌ ඇය මුල් කාලයේ උපයා ගෙන ඇති අතර මසකට වරක්‌ හෝ දෙවරක්‌ ඇය ගාල්ලේ සිටි තම දරුවන්ව බැලීමට ගොස්‌ තිබේ.

තමා කොළඹ නගරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වන බව ඇය විසින් තම පවුලෙහි සාමාජිකයන්ට මෙන්ම නැවැතී සිටි කුලී නිවාසයෙහි අයිතිකරුට පවසා ඇති අතර ළමුන් 7 දෙනාගේ පාසල් අධ්‍යාපනය, කෑම බීම සඳහා වියදම් කළේ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් උපයා ගත් මුදල් බව සුරංගනී කීවාය. ඇය ළමුන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඔවුන්ව රැක බලාගත් පුංචි අම්මා වෙත ලබාදී තිබේ.

තම දෙමවුපියන්ට ආර්ථික අතින් අගහිඟකම් නොතිබීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් තමා මුදල් වැය නොකළ බව සුරංගනී පවසන්නීය. දෙමවුපියන් ආර්ථික අතින් හොඳ මට්‌ටමක සිටියදීත් අහම්බෙන් යොමු වූ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමේ කාර්යය දරුවන් වෙනුවෙන් හෝ අත්හැර වෙනත් රැකියාවක්‌ සොයා ගැනීමට පියවර නොගත්තේ මන්දැයි විමසූ විටදී සුරංගනී කියා සිටියේ තම පවුලේ කිසිවකු හෝ ඒ සඳහා තමාට මඟපෙන්වීමක්‌ නොකළ බවයි. කොටින්ම තමන් කොළඹ ගොස්‌ කරනුයේ කුමක්‌දැයි යන්න පිළිබඳව දෙමවුපියන් හෝ සහෝදර සහෝදරියන් සොයා නොබැලූ බවත් සුළු රැකියාවක හෝ නිරත වීමට හඳුනන කිසිවෙකු උදව් උපකාර නොකිරීම නිසා ලිංගික ශ්‍රමය අලෙවි කිරීම හැර තමන්ට එදා වෙනත් විකල්පයක්‌ නොතිබූ බව සුරංගනී කියා සිටියේ දුක්‌ මුසුවය.

සමාජය ඇයට අකාරුණික වූ පසු ඇය ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් ලද මුදලින් තම දරුවන් 7 දෙනාට උගන්වා ඔවුන්ව විවාහ කර දී ඇති අතර අදටත් එම දරුවෝ තම මව ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරමින් එවැන්නක්‌ කළ බව නොදනී. මේ වන විට තම දරුවන් 7 දෙනාගෙන් මුණුබුරු මිණිබිරියන් 28 දෙනකු තමන්ට සිටින බවත් තම දරුවන් රැකියා කළද තමන්ට නොසැලකීම නිසා තවමත් තමා ජීවත් වනුයේ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් බව සුරංගනී කීවාය.

ලිංගික ශ්‍රමිකයෙකු බවට පත් වූ දිනයේ සිට මේ දක්‌වාම තමාගේ සේවය ලබාගත් පිරිමින් කිසි දිනක තමා නැවතී සිටි කුලී නිවස වෙත කැඳවා නොගත් බවත් ඔවුන් දුරකථන ඇමැතුම් මාර්ගයෙන් තමාව ඔවුන්ට අවශ්‍ය ස්‌ථානවලට කැඳවා ගත් බව ඇය සඳහන් කළාය. තමාගේ සේවය ලබාගත් ඇතැමුන් මුදල්වලට අමතරව සාරි ඇතුළු ඇඳුම් පැළඳුම් හා භාණ්‌ඩ ත්‍යාග වශයෙන් ලබා දුන් බව පැවැසූ සුරංගනී ඒ හැරෙන්නට තමාව එම තත්ත්වයෙන් මුදා ගෙන වෙනත් රැකියාවකට යොමු කිරීමට කිසිවකු උත්සාහ නොකළ බව කීවාය.

වසර 20 ක්‌ මුළුල්ලේ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරමින් සිටින ඇයගේ සේවය අදටත් ලබා ගන්නේ එදා ඇයගෙන් තරුණ කාලයේදී සේවය ලබා ගත් අයම බව සුරංගනී පවසන්නීය. දැනට සතියකට එක්‌ අයෙකුට හෝ දෙදෙනකුට තමා ලිංගික සේවය අලෙවි කරන බවත් ඔවුන්ගෙන් ලැබෙන සුළු මුදලින් තමාට ජීවත්වීමට අසීරු බවත් ඇය කීවාය.

තමන් පත් වූ තත්ත්වයට වෙනත් කිසිවකු පත්වනවා දැකීමට අකමැති බව පවසන සුරංගනී පිට පළාත්වල සිට කොළඹ රැකියාවන් හා අධ්‍යාපනය සඳහා පැමිණෙන තරුණියන් නාඳුනන පිරිමින් සමඟ සබඳතා ගොඩනැගීමෙන් වැළකී සිටිය යුතු බවත් එම තරුණියන් කරන්නේ කුමක්‌ද යන්න පිළිබඳව සොයා බැලීම ඔවුනගේ දෙමවුපියන්ගේ යුතුකම මෙන්ම වගකීම බව අවධාරණය කළාය.

දැනට 57 වැනි වියෙහි පසුවන මවක්‌ මෙන්ම මිත්තණියක වන සුරංගනී ලිංගික ශ්‍රමය අලෙවි කිරීම නතර කිරීමට කැමැත්තෙන් පසු වන අතර තමාට කුමන හෝ ස්‌වයං රැකියාවක නිරත වීමට පරිත්‍යාගශීලී අයෙකු උදව් කරන්නේ නම් එවැනි රැකියාවක නිරත වී තම අවසන් කාලය හෝ සතුටින් ගත කළ හැකි බව පිළිසඳර නිමා කරමින් ඇය පැවැසුවාය.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments