නිධන් මිත්‍යාව හා පුරාවිද්‍යාව


ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ දක්‌වා ඇති ආකාරයට නිධන් යනු ආරක්‍ෂා කොට තැබූ ධනය වේ. මේ අනුව නිධානයක්‌ පැවතීමට නම් අතීතයේ කිසියම් කලෙක රන්, රිදී, මුතු, මැණික්‌ වැනි කල් පවත්නා ධනයක්‌ කිසියම් පුද්ගලයකු හෝ කණ්‌ඩායමක්‌ විසින් යම් කිසි ස්‌ථානයක සුරක්‍ෂිත ලෙස තැන්පත් කොට තිබිය යුතුය. වර්තමානයේ නිධන් සොයා බොහෝ දෙනා, අපේ අතීත මුතුන් මිත්තන් අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ධනය තැන්පත් කොට ඇතැයි වැරදි ලෙස සිතන නමුත් මෙරට අතීත ශිෂ්ටාචාරයේ වගතුග හෙළිකරන ශිලා ලේඛනයක, අභිලේඛනයක හෝ සාහිත්‍ය පොතපතකවත් එසේ නිධන් වශයෙන් ධනය තැන්පත් කිරීමේ සිරිතක්‌ පැවති බවක්‌ කිසිම විටෙක කියා නැත. ලිත සාක්‍ෂි මඟින් හෙළි නොවන අතීත සංස්‌කෘතිය පිළිබඳ බොහෝ කරුණු පුරාවිද්‍යා කැණීම් මඟින් අනාවරණය කර ගත හැකිවේ. දැනට ශතවර්ෂයකට වැඩි කාලයක්‌ තිස්‌සේ ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් සිදුකොට ඇති අතර දස දහස්‌ සංඛ්‍යාත එකී කැණීමකින් හෝ නිධන් වශයෙන් තැන්පත් කළ ධනයක්‌ සොයා ගෙන නැත. 

පුරාවිද්‍යා බිමක හෝ කිසියම් ස්‌මාරකයක්‌ තුළ නිධන් තැන්පත්කොට තිබේ නම් පැය කිහිපයක්‌ තුළ හදිසියේ එක්‌ ස්‌ථානයක්‌ හාරා අඳුරේ අතපත ගාන නිධන් සොරකුට වඩා මාස ගණනක්‌ ඉතා විධිමත් ලෙස එකී ස්‌ථාන ආශ්‍රිතව කැණීම් කරන පුරාවිද්‍යාඥයන්ට එබඳු නිධන් හමුවිය යතුය. පුරාවිද්‍යාඥයන්ට කැණීම්වලදී නිධන් හමුනොවනුයේ රන්, මුතු, රිදී, මැණික්‌ වැනි වටිනා දේ නිධන් ලෙස තැන්පත් කිරීමේ සිරිතක්‌ අතීතයේ මෙරට නොතිබූ බැවිනි. මේ අනුව ලංකාව තුළ නිධන් සෙවීම යනු මිරිඟුව පසු පස යනවා මෙන් මිත්‍යාවකි. පුරාවිද්‍යා කැණීම්වලදී නිධන් හමු නොවූවත් පුරාවස්‌තු ලැබේ. එකී පුරාවස්‌තුවල වටිනාකම තීරණය වනුයේ ඒවා තනා ඇති ලෝහය, ඛණිජ වර්ගය හෝ වෙනත් අමුද්‍රව්‍යවල වටිනාකම අනුව නොව එම නිර්මාණවල ඇති සංස්‌කෘතික වැදගත්කම අනුවය. 

නිධන් පිළිබඳ මෙරට පවතින මිත්‍යා විශ්වාස අද ඊයේ ඇතිවූවක්‌ නොව දිගු කලක සිට සමාජගතව පවතින්නකි. මිත්‍යා විශ්වාස වැඩි දියුණු වීමට බාහිර වශයෙන් ලැබෙන උත්තේජන නිසා නිධන් මිත්‍යාවද වරින් වර තීව්‍ර වන පෙනේ. එහෙත් නිධන් පිළිබඳ විශ්වාස කරන හැම දෙනාම නිධන් සොයා පුරාවස්‌තු විනාශ කිරීමට ඉදිරිපත් නොවන බවද සඳහන් කළ යුතුය. යම් යම් ස්‌ථානවල නිධන් ඇතැයි විශ්වාස කරන ඇතැම් පිරිස්‌ එකී බිම්වල පවතින පුරාවිද්‍යා නටබුන් නිධන් සොරුන්ගෙන් රැක ගැනීමට පවා ඉදිරිපත් වන අවස්‌ථා කොතෙකුත් දක්‌නට ලැබේ. මේ නිසා රටේ අතීත උරුමය කියාපාන පුරාවස්‌තුවලට හානි සිදුකරනුයේ නිධන් මිත්‍යාව වැළඳගත් සුළු පිරිසක්‌ පමණි. මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී නිධන් මිත්‍යාව ඇතිවීමට බලපාන හේතු රැසක්‌ හඳුනාගත හැකිය. එම එකිනෙක හේතු සැකවින් විමසා බලමු.

රටේ ඉතිහාසය පිළිබඳ නොදැනුවත්කම

විෂයක්‌ වශයෙන් ගෙන බලන විට ඉතිහාසය යනු පොතපත කියවීමේ රුචිය වැඩි දියුණු කරන යමෙකු දැනුම රැස්‌ කිරීමට පොළඹවන විෂයකි. මෙසේ පොත්පත් කියවීම ගවේෂණය ආදිය මගිsන් දැනුම රැස්‌කිරීම නිසා ඉතිහාසය හදාරන්නෙකු තුළ නිරායාසයෙන් විචාර බුද්ධිය දියුණු වේ. විචාර බුද්ධිය දියුණු වූ අයෙක්‌ ගැටලු නිසිපරිදි තේරුම් ගැනීමටත් නිර්මාණාත්මකව සිතීමටත් පෙළඹේ. ඉතිහාසය විෂය තුළ මෙබඳු ගුණාංග පවතින නමුත් 1972 සිට 1995 දක්‌වා මෙරට පාසල් පද්ධතිය තුළ ඉතිහාසය විෂයයක්‌ වශයෙන් ඉගැන්වීම අතහැර දමා තිබිණි. එම කාල සීමාවේදී පාසල්වලින් පිටවූ පිරිස්‌ දැන් වයස අවු.30-55 අතර කාලයේ පසුවෙති. මෙම අතරින් සැලකිය යුතු පිරිසකට ඉතිහාසය පිළිබඳ හොඳ අවබෝධයක්‌ ලැබීමට ඉඩ නොලැබිණි. මේ නිසා රටේ පවතින ඓතිහාසික ස්‌මාරක, පුරාවිද්‍යා බිම්, පුරාවස්‌තු ආදිය ගැන ඔවුන්ට ප්‍රමාණවත් අවබෝධයක්‌ නොමැති හෙයින් එම පිරිසෙන් කොටසක්‌ පහසුවෙන් නිධන් මිත්‍යාවට ගොදුරුවීම පුදුමයට කරුණක්‌ නොවේ.

මෙසේ ඓතිහාසික ස්‌මාරක හා විවිධ පුරාවස්‌තු පිළිබඳ ඉතිහාසය සමඟ මුසු වූ දැක්‌මක්‌ නැති පිරිස එම ස්‌මාරක තුළ වටිනා වස්‌තු තැන්පත් කොට ඇතැයි සිතති. එදා පාසල් පද්ධතියෙන් ඉතිහාස විෂය ඉවත්කිරීමේ ප්‍රතිඵල වශයෙන් විචාර බුද්ධිය හීන වූ සමාජයක්‌ නිර්මාණය වී තිබේ. ගල්වල කොටා ඇති සලකුණු 

ගල්වල කොටා ඇති ශිලා ලේඛන යනු පැරණි සන්නිවේදන මාධ්‍යයකි. අතීතයේ භික්‍ෂූන්ට ලෙන් පූජා කිරීම, විහාරස්‌ථානවලට ගම්බිම් පිදීම, ප්‍රභූවරුන්ගේ හා රජවරුන්ගේ කටයුතු මහජනතාවට දැනුම්දීම හා පොදු ජනතාව දැනගැනීමට අවශ්‍ය කරුණු ජනතාවට සන්නිවේදනය කිරීම පිණිස විවිධ කාල වකවානුවල ශිලා ලේඛන පිහිටවනු ලැබීය. එහෙත් මෙම සෙල් ලිපි නිධන් ලකුණු යෑයි වරදවා සිතන ඇතැම්හු එම ලිපි සහිත ගල් පුපුරුවා හැර නිධන් සොයති. යම් කිසි ප්‍රදේශයක ඉතිහාසය ගොඩනැඟීමේදී හෝ ඓතිහාසික ස්‌ථානයක කාලවකවානු පිරික්‌සීමේදී අකුරු දෙක තුනක්‌වත් කියවා ගත හැකි ශිලා ලිපියක විශාල වැදගත්කමක්‌ තිබේ. වැඩිමනත් විස්‌තර නොමැති අවස්‌ථාවක අකුරු අයත් කාලය තීරණය කරගැනීමෙන් නිර්මාණයේ කාලය පිළිබඳ හැඟීමක්‌ ඇතිකර ගත හැකිවේ. එබඳු වැදගත් ලේඛන නිධන් මිත්‍යාවෙන් වනසා දැමීම බරපතළ අපරාධයකි. 

ලංකාවේ පැරණි ජනාවාස පැවති ඇතැම් පෙදෙස්‌වල කලාතුරකින් වුවද ගල්වල කොටා ඇති සලකුණු අද පවා දක්‌නට ලැබේ. ගල්වල පහසුවෙන් කෙටිය හැකි ඉර, හඳ, දුන්න, ඊතලය, ඇත් අඩිය, ගොන්කුරය, කඩුව, හක්‌ගෙඩිය, වටාපොත හා විවිධ සත්ව රූප ආදිය මෙසේ ගල්වල කොටා තිබෙනු දැකිය හැකිය. ඉතිහාසය පිළිබඳ අවබොAධයක්‌ නැති පිරිස මේවා නිධන් ලකුණු ලෙස සලකා ගල්වලට විවිධ පුද පූජා පවත්වා නිධන් සොයති. 

ගල්වල කොටා ඇති මෙබඳු සලකුණු මොනවාද යන්න මෙහිදී සලකා බැලීම වැදගත් වේ. ලංකාව වර්තමානයේ දිස්‌ත්‍රික්‌ක, මැතිවරණ කොට්‌ඨාස, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හා ග්‍රාම සේවක වසම් වශයෙන් වෙන්කර ඇතිවා මෙන් අතීතයේදී විවිධ ප්‍රදේශවලට බෙදා දක්‌වා තිබිණි. ඒ අනුව අතීතයේ මේ දිවයින රට්‌ඨ, මණ්‌ඩල, කෝරළ, පත්තු, ග්‍රාම ආදී වශයෙන් විවිධ පරිපාලන ප්‍රදේශවලට වෙන්කර පාලන කටයුතු සංවිධානය කර තිබිණි. ඒ ඒ ප්‍රදේශ වෙන් කිරීමේදී සීමා දැක්‌වීමේදී ගල්වල විවිධ සලකුණු කොටනු ලැබීය. ඒවා කඩඉම් ලකුණු වශයෙන් හඳුන්වනු ලැබේ. ගල්වල කොටා ඇති ඉහත කී කඩඉම් සලකුණු ගැන කඩඉම් පොත්වල මෙන්ම ව්‍යවාහාරයේ පවතින කඩඉම් කවිවලද කොතෙකුත් සඳහන් වේ. ඇතැම් රජවරු විවිධ විහාරස්‌ථානවලට ගම් බිම් පූජා කිරීමේදී එම ගම්වල සීමා දැක්‌වෙන ලේඛන විශේෂයක්‌ නිකුත් කළ අතර ඒවා ඉම්පත්‍ර වශයෙන් හැඳින්වේ. ඉම යනු සීමාව වන අතර කඩඉම යනු සීමාව වෙන්කිරීම වේ. සීමාව වෙන් කිරීමට භාවිත කළ සලකුණු කඩ ඉම් සලකුණු ලෙස හැඳින්වේ. 

අතීතයේ ඇතැම් ශිලා ලිපි පිහිටුවීමේදී අකුරුවලට අමතරව සංකේත හෝ සලකුණු ගල්වල කොටවා තිබේ. විවිධ විහාරස්‌ථානවලට හෝ පුද්ගලයන්ට ගම් බිම් ප්‍රදානය කිරීමේදී එකී දීමනා ඉර හඳ පවතිනා තාක්‌ පවතීවා යන අදහසින් එම දීමනා ගැන කියවෙන ශිලා ලිපිවල ඉර, හඳ සලකුණුද කොටවනු ලැබීය. උදාහරණයක්‌ වශයෙන් දැක්‌වුවහොත් ඪෂ වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ උඩරට කටයුතු භාරව සිටි ප්‍රාදේශීය පාලකයා වූ ජෝතිය සිටුවරයා විසින් කම්මල්කරුවකුට හා ඔහුගේ පුත්‍රයාට ඉඩමක්‌ ප්‍රදානය කොට ශිලා ලිපියක්‌ පිහිටුවන ලදී. එම දීමනාව ඉර, හඳ පවතින තාක්‌ පවතීවා යන අදහසින් ඉර, හඳ ලකුණු එම ශිලා ලිපියේ කොටවා මෙය කම්මල්කරුවකුගේ ඉඩමක්‌ය යන අදහස දීම සඳහා මිටිය, කිණිහිරය හා කම්මල් අඬුවද එම ශිලා ලිපියේ කොටවා තිබේ. සත්‍ය තත්aත්වය එසේ තිබියදී ගල්වල කොටා ඇති විවිධ සලකුණු කඩා බිඳ දමමින් නිධන් සෙවීම යනු මහත් වූ මෝඩකමක්‌ මිස අන් කිසිවක්‌ නොවේ. 

නිධන් වදුල පිළිබඳ මිත්‍යාව 

නිධන් වදුල් යනු මෙතෙක්‌ මුද්‍රණය නොවූ තවමත් පුස්‌කොළ පොත් වශයෙන් පවතින ග්‍රන්ථ විශේෂයකි. සාහිත්‍යයේදී වදුල් පොත් වශයෙන් හඳුන්වන මෙකී පොත්වල නිධන් ගැන සඳහන් වන බැවින් නිධන් වදුල් ලෙස ව්‍යවහාර වේ. මෙම පොත්වල භාෂා ලක්‍ෂණ දෙස බලන විට කෝට්‌ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්‌වා කාලයේ මෙම කෘති රචනා කරන්නට ඇතැයි සිතේ. ඪෂ වන පරාක්‍රමබාහු රජුගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය දක්‌වා මෙරට බුද්ධ ශාසනික පරිහානියක්‌ පැවති අතර මෙම කාල පරිච්ඡේදයේදී ලාංකික සමාජය කෙරෙහි ඉන්දියානු බ්‍රාහ්මණ බලපෑම් වැඩි වැඩියෙන් දක්‌නට ලැබේ. මේ කාලයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ලාංකික සමාජය සමඟ මිශ්‍ර වූ බ්‍රාහ්මණයෝ හා සිව තවුසෝ විවිධ මිත්‍යා විශ්වාස හා අභිචාර විධි රට තුළ පතුරුවා හැරියහ. නිධන් වදුල් රචනා වූයේ මෙබඳු සමාජ පසුබිමක්‌ පැවති අවධියකය. මෙසේ ලංකාවේ සමාජය සමඟ මිශ්‍ර වූ ඉන්දියානු බ්‍රාහ්මණයෝ හා සිව තවුසන් මෙරට සමාජ අවධානය තමන් කෙරෙහි යොමුකරවා ගැනීම පිණිස වදුල් පොත් ලිවීමේ කලාව යොදාගත් බව පෙනේ. වදුල් පොත්වල සඳහන් "රාමද්‍රසී බ්‍රාහ්මණයාගේ වදුරු ලක්‍ෂණ ශාස්‌ත්‍රයයි." "කාල නම් රුසිවරයා පැවසූ වදුරු ලක්‍ෂණ ශාස්‌ත්‍රයයි", වැනි පාඨ දෙස බලන විට මෙම පොත් කෙරෙහි පැහැදිලිවම ඉන්දියානු ආභාසයක්‌ තිබූ බව දැකිය හැකිය. 

වදුලු පොත් ලියූ කාලය වන විට කඩඉම් පොත් ව්‍යාවහාරයට පැමිණ තිබූ බැවින් වදුලු පොත් කතුවරු තම කෘති රචනා කිරීමේදී කඩඉම් පොත්වලින් ද තොරතුරු ලබා ගත්හ. මේ අනුව කඩඉම් පොත්වල දැක්‌වෙන පැරණි භූමි සීමා පෙන්වන ගල්වල කෙටූ සලකුණු වදුල් පොත් රචකයන් විසින් නිධන් ලකුණු ලෙස යොදා ගන්නා ලදී. මේ නිසා නිධන් වදුලක්‌ බලා අදාළ ස්‌ථානය පිරික්‌සන විට කලාතුරකින් හෝ වදුලේ සඳහන් ගල්වල කෙටූ ලකුණු දැකිය හැකි බැවින් වදුලේ දැක්‌වෙන වස්‌තුව එකී ස්‌ථානවල නිධන් කොට ඇතැයි සමහරු වරදවා සිතති. එහෙත් සත්‍ය තත්ත්වය නම් කියා ඇති වස්‌තුව කිසිවක්‌ එහි නොමැතිවීමයි. වදුල් කෘති ලියූ කතුවරු අවම වශයෙන් එකී ස්‌ථානවලට ගොස්‌ සියෑසින් ඒවා දැක බලාගෙනවත් මෙම පොත් නොලියූ බව ඇතැම් වදුල් කෘතිවල සඳහන් ස්‌ථාන පිරික්‌සන විට පෙනේ. 

වදුල් කෘතිවල නිධන් තිබෙන බව දක්‌වා ඇති ස්‌ථානවල ඇතැම් විට බොහෝ වස්‌තුව ඇතැයි කියා තිබේ. රන් ඔටුනු, රන් කඩු, රන් පුහුල්, වරාගන්, මැණික්‌ වර්ග වැනි වටිනා දේ මේ ස්‌ථානවල ඇතැයි එකී පොත්වල සඳහන් කොට ඒවා ලබා ගැනීමට බොහෝ පහසු ක්‍රම (ඇතැම් විට මන්ත්‍රත් සමඟ) දක්‌වා ඇති බැවින් කියවන්නා තුළ නිධන් සෙවීමේ කුතුහලය ඇතිකරවයි. මෙම කෘති ලියූ බ්‍රාහ්මණයන් ඇඟ වෙහෙසා මුදල් ඉපයීමට අකැමැති වූ පිරිස්‌ බැවින් ගනුදෙනුකරුවන් තමන් වෙත අද්දවා ගැනීමට උපායක්‌ වශයෙන් මෙබඳු අතිශයෝක්‌ති යොදාගෙන තිබේ. එක්‌ නිධන් වදුලක පැරණි පරිපාලන ප්‍රදේශයක ඒ ඒ ස්‌ථානවල තැන්පත්ව ඇතැයි දක්‌වා ඇති වස්‌තුව එකතු කර බැලූ විට රන් පුහුල් 140 ක්‌ද, රන් කඩු සිය ගණනක්‌ද, වරාගන් ලක්‍ෂ ගණනක්‌ද ඇතැයි දක්‌වා තිබෙන බව පෙනී ගියේය. නිධන් වදුල්වල සඳහන් මුසාවාදයේ තරම මෙයින්ම පැහැදිලි වේ. දක්‌වා තිබෙන බව පෙනී ගියේය. නිධන් වදුල්වල සඳහන් මුසාවාදයේ තරම මෙයින්ම පැහැදිලි වේ. වදුල් කෘතිවල රන් කඩු රන් ඔටුනු ගැන සඳහන් වෙනත් පැරණි රජවරුන්ගේ කාලයේ මෙබදු දේ තැනවීම පවා මුළුමනින්ම තහනම්ව තිබූ බව නිධන් වදුල් කියවන්නෝ නොදතිනි. මේ නිසා නිධන් වදුල්වල සඳහන් නිධන් වස්‌තුව යනු සම්පූර්ණ මිථ්‍යාවකි. නිධන් වදුල් දුර්ලභ වීමත්, පුස්‌කොළවල ඒවා ලියා තිබීමත්, රහසිගත ලෙස මෙම කෘති සමාජයේ පරිහරණය වීමත් නිසා මෙම කෘතිවලට කිසියම් ගුප්ත වැදගත්කමක්‌ ආරෝපණය වී තිබේ. එහෙත් සත්‍ය තත්ත්වය නම් මෙම කෘති යනු තවත් එක්‌තරා සාහිත්‍ය කෘති විශේෂයක්‌ විනා වස්‌තුව හෝ ධනය ලබා ගැනීම සඳහා මග කියන කෘති වර්ගයක්‌ නොවීමයි. එබැවින් නිධන් වදුල් මිථ්‍යාවට මුලා වී පැරණි කඩ ඉම් ලකුණු කඩා බිඳ දමා නිධන් සෙවීමද මෝඩකමකි.

නිධන් ලබාගත් බවට කෙරෙන බොරු ප්‍රචාර හා වංචාකාරි ව්‍යාපාරික කටයුතු 

වර්තමාන සමාජයේ ඇතැම් පිරිස්‌ නීති විරෝධී කටයුතුවලින් හා අයථා අන්දමින් මුදල් ඉපයීම් කරති. මත්කුඩු වෙළෙ¹ම, හොර නෝට්‌ටු මුද්‍රණය, කොමිස්‌ ගැනීම, වංචා කිරීම, ප්‍රදේශයෙන් පිට හොරකම් හා මංකොල්ලකෑම් සිදු කිරීම ආදි කටයුතු වලින් මුදල් උපයන අය තුළ බහුල වශයෙන් මුදල් ගැවසෙතත් තමන් මුදල් උපයන මාර්ගය ඔවුන්ට සමාජයට හෙලිකළ නොහැක. එබඳු තැනැත්තන් හෝ කණ්‌ඩායම් තමන් නිධන් හෑරීමෙන් මුදල් උපයන බව සමාජයට ප්‍රචාරය කරති. එය වෙනත් පිරිස්‌ද නිධන් මිථ්‍යාවට යොමු වීමට තුඩුදෙන කරුණකි.

තවත් සමහර පිරිස්‌ ඉතා සංවිධානාත්මකව පුරා වස්‌තු වැනි දේ තනා නිධන් වලින් ගත් දේ ලෙස රහසිගතව අලෙවි කරති. මෙසේ ව්‍යාජ ලෙස රන් ආලේප කර තැනවූ ඔටුන්නක්‌ හා අඹ ගෙඩියක්‌ නිධන් වස්‌තු ලෙස අලෙවි කර තිබෙනු මාධ්‍යවල පළ විය. මීට අමතරව ව්‍යාජ ලෙස රන් ආලේප කළ වරාගන් කාසි ආදියද නිපදවා අලෙවි කරති. ගල් බෝතල් මෙන් භාජන තනවා නිධන් වලින් ගත් හිරුරාජ, හෙණරාජ වැනි තෙල් වර්ග ලෙස මිනිසුන් මුලාකොට මුදල් ඉපයීම් කෙරේ. නිධන්වලින් ගත් දේ ලෙස දැක්‌වෙන මෙබඳු නිර්මාණවලට බොහෝ දෙනෙක්‌ රැවටෙන අතර රහසිගතව කෙරෙන මෙම වෙළෙ¹ම් නීතියේ රැහැනට අසුවනුයේ කලාතුරකිනි. නිෂ්පාදකයාගේ කූට බුද්ධිය හඳුනා ගැනීමට ගැනුම්කරුවාට විචාර බුද්ධිය නැතිතාක්‌ මෙබදු වෙළෙ¹ම් පවතිනු ඇත. එහෙත් මෙබදු දේ නිධන්වල ඇතැයි සිතීමත් එමගින් නිධන් සෙවීමට පෙළඹීමත් මහත්වූ මුලාවකි. 

ජනමාධ්‍ය ප්‍රචාර 

පුරාවස්‌තු පිළිබඳ ජනමාධ්‍ය මගින් ගෙන යන ඇතැම් ප්‍රචාර නිධන් මිථ්‍යාව ව්‍යාප්ත වීමට තඩුදෙන කරුණකි. දඹරන් පිළිම යනු මෙරට ජනමාධ්‍ය මගින් මැවූ පිළිම විශේෂයකි. ලෝකඩවලින් තනා රන් ආලේප කළ ප්‍රතිමා හැඳින්වීමට දඹරන් පිළිම යන නම මාධ්‍යවල යෙදේ. දඹ යනු ජම්බුවලට නමකි. දඹදිව යන්නට ජම්බුද්වීප යන නම ව්‍යවහාර වේ. දඹගල්ල, දඹදෙනිය වැනි ග්‍රාම නාම මෙරට පවතී. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවන ලද්දේ ජම්බුකෝල තොටිනි. දඹරන් යනු ජම්බු නම් නදියෙහි ඇතිවූ රත්රන් ලෙස අර්ථ දැක්‌විය හැකිය. අතීතයේ දඹදිවින් ගෙනා රන් හැඳින්වීමට මෙම නම යෙදුනා විය හැකිය. එහෙත් වර්තමානයේ කිලෝ ගණන් බර ලෝකඩ පිළිම සඳහා කිසිදු විචාරයකින් තොරව මෙම නම යෙදේ. මෙසේ කිලෝ ගණන් බර රන් පිළිම තැනවීමේ කාලවක්‌ අතීතයේ මෙරට පැවතුණේ නැත. දඹරන් පිළිම සමග මිල කළ නොහැකි යන වචනත් මාධ්‍යවල යෙදෙන හෙයින් නිධන් මිථ්‍යාව පැතිරෙන නිසා රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාවලට සැනසිල්ලේ වැඩ සිටිමට මෙරට ඉඩක්‌ නොලැබේ. 

පුරාවිද්‍යා කැණීමකින් කිසියම් පුරාවස්‌තුවක්‌ හමුවූ විටත් අසීමිත වටිනාකමක්‌ ඇති වස්‌තුවක්‌ හමු වූ ලෙසින් මාධ්‍යවල එය ප්‍රචාරය වේ. කැණීමකින් යමක්‌ ලැබුණුවිට එයට සිදුවන හානිය අවම කිරීම සඳහා ඒ වටා දැවටි ඇති පස්‌ ගල් සමගම සුරක්‍ෂිත ලෙස අසුරා අවශ්‍ය පිරිසිදු කිරීම්, පර්යේෂණ හා සංරක්‌ෂණ කටයුතු සඳහා රසායනාගාර වෙත යෑවේ. ඒ පිළිබඳව නිවැරැදි පුරාවිද්‍යා වාර්තාව එළිදැක්‌වීමට කලක්‌ ගතවන අතර ජන මතය තුළ බලපැවැත්වෙන්නේ මාධ්‍ය ප්‍රචාරයයි. පුරා වස්‌තුවේ දැවටී ඇති අප්‍රද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කළවිට එය කළින් ප්‍රමාණයට වඩා තරමක්‌ කුඩාවට පෙනේ. එවිට කැණීමෙන් හමු වූ පුරාවස්‌තුව පුරාවිද්‍යාඥයන් මාරු කර ඇතැයි මාධ්‍ය ප්‍රචාරයක්‌ යෑවේ නම් ජනතාව ඉන් වික්‌ෂිප්තභාවයට පත්වේ.

වර්තමානයේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය වගකීමෙන් කටයුතු කළත් සමහර මාධ්‍ය නිsධන් මිථ්‍යාව දිරිගන්වන ආකාරයේ ලිපි පළ කරයි. දැනට මාස කිහිපයකට පෙර එක්‌තරා මුද්‍රිත මාධයක සති 06 ක්‌ පුරා නිධන් හෑරීම ඉදිරිමත් වන ආකාරයේ ලිපි පෙලක්‌ පල කරනු ලැබීය. 1978 ට පෙර යුගයේ මුද්‍රිත මාධ්‍ය බොහෝමයක ශාස්‌ත්‍රිය සංවාද වලට හා ජනතාවගේ විචාර බුද්ධිය දියුණු කරන ලිපිවලට සැලකිය යුතු ඉඩක්‌ වෙන් කෙරිණි. මෙසේ බලන විට ජනමාධ්‍ය ඓතිහාසික උරුමයන් පිළිබඳ පුවත් පල කිරීමේදී මාධ්‍යයේ පැවැත්ම ගැන පමණක්‌ සලකා කටයුතු කළහොත් පුරාවස්‌තුවල පැවැත්ම අනතුරුදායක වන බව පෙනේ.

මෙම ලිsපිය අවසන් කිරීමට මත්තෙන් ඓතිහාසික උරුමය රැක ගැනීම ගැනත් යමක්‌ සඳහන් කළ යුතුවේ. අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටින සමයේ ස්‌වදේශිකයන්ට දේශපාලන බලතල ඉල්ලා සිටින විට රටේ පරිපාලන කටයුතු ගෙන යැමට ලාංකිකයන්ට අත්දැකීම් හෝ පුහුණුවක්‌ නැතැයි අධිරාජ්‍යවාදීහු තර්ක කළහ. එබඳු අවස්‌ථාවල එවකට සිටි ඩී. බී. ජයතිලක, ඊ. ඩබ්. පෙරේරා හා ඩී. එස්‌. සේනානායක වැනි දේශපාලනඥයෝ මෙරට අතීත ශිෂ්ටාචාරයෙන් කොතෙකුත් උදාහරණ දක්‌වමින් අතීතයේ අපි යහපත් දේශපාලන සම්ප්‍රදායකින්ද, දියුණු ආර්ථික ක්‍රමයකින් හා උසස්‌ සංස්‌කෘතියකින්ද පෝෂිත ජාතියක්‌ වශයෙන් මනා අත්දැකීම් සම්භාරයක්‌ ලබා ඇතැයි පෙන්වා දෙනු ලැබූහ. එසේ අතීත උරුමයන් පෙන්වා නිදහස ලබාගත් ජාතියක්‌ වශයෙන් නිදහස ලැබී වසර 60 ක්‌ ගත වන විට අපි එකී අතීත උරුමයට එරෙහිව යකඩ, කුළු ගෙඩි හා බැකෝ යන්ත්‍ර යොදා ගන්නේ නම් වසර 2500 ක උසස්‌ සංස්‌කෘතියකින් අප ලැබූ ශික්‌ෂණය කුමක්‌දැයි ප්‍රශ්න කළ යුතු වේ. වර්තමානයේ පවතින ආකාරයට නිධන් මිථ්‍යාවට මුලා වී තවදුරටත් අපි රට පුරා පවතින පුරාවස්‌තු විනාශ කරතොත් අපිට වඩා දියුණු ලෝකයකට බිහිවන අනාගත පරපුර අපට ශාප කරනු නියතය. මේ නිසා අනාගත පරපුරේ එකී ශාපයෙන් මිදීම සඳහාවත් රටේ පුරාවස්‌තු ආරක්‌ෂා කිරීම සෑම පුරවැසියකුගේම යුතුකමකි.

පියදාස සිරිසේන මහතා තම සිංහල ජාතිය පුවත්පතේ ආදර්ශ පාඨය ලෙස තෝරා ගත්තේ ජෝන් මිල්ටන් කිවිඳුගේ පද්‍යයක සිංහල අනුවාදයකි. අතීත සංස්‌කෘතියත් වර්තමාන නිදන් මිථ්‍යාව හා පුරාවස්‌තු විනාශයත් දෙස බලන විට එම කවිය අදටත් ගැලපේ.

"කොපමණ උසකින්ද අප වැටුණේ පහත
මෙකලම නොනැඟුණොත් තොපහට වෙයි විපත

මහාචාර්ය පත්මසිරි කන්නන්ගර 
අධ්‍යයනාංශ ප්‍රධාන - ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 

Post a Comment

0 Comments