පිටකොටුව මල් පාර


දිනය නොවැම්බර් පළමු වැනිද මලවුන්ගේ මාසය 'මල්' ගැන ලියන්න කියල හිතාගෙන පිටකොටුවෙන් බැස්‌සට පස්‌සෙ මහ අමුත්තක්‌ දැනෙන්න ගත්ත. ගිය කාරණෙත් අමතක වුණා. ඕල්කොට්‌ මාවත මුළුමනින්ම පාළුවට ගිහින්. වාහන ගමනාගමනය මුළුමනින්ම නතරවෙලා. ඒ වෙනුවට පිරිසක්‌ පාර හරස්‌ කරගෙන තැන් තැන්වල වාඩිවෙලා. ඒ අයගේ අතපය නැහැ. විපරම් කරල බැලුවහම තමයි තේරුණෙ ඒ ඉන්නෙ රට රකින්න යුද බිමට ගිහින් අතපය අහිමිවූ පිරිසක්‌ කියල. යුද්ධයෙන් දිනුව තමයි. ඒත් ඔවුන් ජීවිතයෙන් පරාජය වෙලා. ඒකයි ආබාධිත රණවිරුවො වෙච්ච ඒ අයට අද මහ පාරට බැහැල ජීවිතය ඉල්ලල කෑගහන්න වෙලා තියෙන්නේ. ඒ අයට තියෙන්නෙ විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුවක්‌. 

මම පිටකොටුවට ආවෙ 'මල්' ගැන ලියන්න හින්ද ඒ පැත්තට යන්න වෙනව. ඒ යන්න වෙන්නෙ එක මලක්‌වත් පේනතෙක්‌ මානෙක නැති මල් වත්ත පාර දිගේ. එහෙම ටික දුරක්‌ යද්දි ඔරලෝසු කනුව මැදි කරල ඉදිවුන වටරවුම. එතනින් වමට හැරුණොත් කොටුව. දකුණට ප්‍රධාන වීදිය. ඒකත් පහුකරල ටික දුරක්‌ යද්දි තමයි මම හොයන මල් උයන් ඇහැ ගැටෙන්න ගන්නෙ. විථිය නම් කරල තියෙන්නෙ Bankshall Street කියල. අල, ලූනු, කරවලවලට ප්‍රසිද්ධ බැන්ක්‌ෂෙල් වීදියේ මල් උයන්, කෙනකුට එහෙමත් හිතෙන්න පුළුවන් ඔව්. ඒක සැබෑවක්‌. සමනලුන් ඉගිලෙන අවකාශයෙම මැසි මදුරුවන්ටත් ඉඟිලෙන්න පුළුවන් නම් අල, ලූනු, කරවල අතර මල් තියෙන්න බැරිද?

හැබැයි මේ කියන්න යන "මල්" ගැන මුලින් යමක්‌ සඳහන් කරන්න තියෙනව. මොනවද කියනවනම් ඒ මල්වලට සමනලුන් බඹරුන් එන්නෙ නැහැ. සුවඳ විහිදෙන්නෙත් නැහැ. ඒත් රට වටේම මිනිස්‌සු ඇවිත් ඒව මිලදී ගන්නව ඇත්තටම ඒ වගේ තැනකට ගියහම මල් උයන් මැද තනිවුණා වැනි හැඟීමක්‌ දැනෙන්න ගන්නව.

මල් උයන් තියෙනව නම් උයන්පල්ලෝ ඉන්න එපායෑ. බැහැයි මේ කියන තැන්වල ඉන්නෙ වෙළෙන්දො. ඒ කියන්නේ මෙතන සිද්ධවෙන්නෙ මල් වෙළෙ¹මක්‌. ලංකාවෙ තියෙන හැම මලක්‌ම තියෙන, ඒ විතරක්‌ නෙවෙයි ලෝකයේ වෙනත් රටවලට පමණක්‌ ආවේණික මල් පවා තියෙන අපූරු තැනක්‌ එතැන. මල් උයන් කිව්වට ඒව මල් කඩ, තනිකරම කෘතිමව නිපදවපු ස්‌වභාවික මල්වලට සියයට සියයක්‌ම සමාන සිත්තටික්‌ මල් කඩ, ඔන්න ඔය මල්කඩ අස්‌සෙ රස්‌තියාදු ගහන අතරේ තමයි. ඒ පිළිබඳ විස්‌තරේ එළියට එන්නෙ.

එම්. නසාර් කාලයක්‌ තිස්‌සෙ කරන මල් වෙළෙ¹මෙන් ජීවිතය දිනපු ව්‍යාපාරිකයෙක්‌. පින්තූරයක්‌ ගන්නවට අකමැත්ත පළ කළාට බිස්‌නස්‌ එක ගැන විස්‌තර කියන්න අකමැත්තක්‌ තිබුණෙ නෑ. වෙළෙ¹මත් කරන අතරෙ නසාර් එක්‌ක මම කතාවට වැටුණ. එතනදී තමයි දැනගත්තෙ අපේ රටේ කැලෑ මන්ඩිවල වැවෙන කැකිල්ල, ගස්‌ දෙබලවල හැදෙන බේදුරු, ඊට පස්‌සෙ පෝට, දෙමට, වතුපාළු වැලේ ඉඳල ලංකාවෙ පිපෙන හැම මලක්‌ම බෑන්ක්‌ෂෙල් විදියෙ තියෙන මල්කඩ රාක්‌කවල තියෙන විත්තිය. අපේ මහ පොළොවෙ පිපෙන මල්, බිම දිගේ දුවන වැල් ඔය කියන මොනව තිබුණත් ඒව අපේ රටට ගෙන්වල තියෙන්නෙ චීනයෙන් නැත්නම් බැංකොක්‌ එහෙම නැත්නම් ඉන්දියාවෙන් කියල.

සුවඳ නැති ඒ නිසා බඹරුන් සමනලුන් රොනට එන්නැති සින්තටික්‌ මල් ගැන තොරතුරු නසාර්ගේම වචනවලින් කියනවනම් ඒ කතාව ලියවෙන්නෙ මෙන්න මෙහෙමයි.

"ලංකාවට සින්තටික්‌ මල් ගේන්නේ චීනය, බැංකොක්‌ සහ ඉන්දියාවෙන්. එතනදිත් චීනය මුල් තැනක්‌ ගන්නව. අද වන විට ලෝකය පුරාම කෘතිම මල් සඳහා විශාල වෙළෙඳපළක්‌ හැදිලයි තියෙන්නේ. මම මාසයක දෙකකට වරක්‌ මල් ගේන්න චීනයට යන හින්දා මම හොඳින්ම දන්න කාරණයක්‌ තමයි ලෝකයේ සෑම රටකම ස්‌වභාවිකව පිපෙන ඕනෑම මලක්‌ අද වෙද්දි චීන වෙළෙඳපළේ තියෙනව. ඒ සඳහා ලෝකෙ වටේ ගිහින් විවිධ උද්භිත උද්‍යාන වනාන්තර ආදියේ ඇවිදල ඒ ඒ රටට ආවේණික මල්වල හැඩය ප්‍රමාණය කොටින්ම කිව්වොත් "මැෂිමන්ට්‌" අරන් යන්න වෙනම පිරිසක්‌ ඉන්නව. උදාහරණයක්‌ ලෙස අපේ රටේ කැලෑවට වෙන්න ඉබේ වැවෙන කැකිල්ල ශාකය ගමු. ඒක ඒ විදියටම චීනයේ නිෂ්පාදනය කරනව. අර තියෙන්නේ චීනයෙන් ගෙනා කැකිල්ල. ඔහුට අයත් මල් කඩයේ එක්‌ රාක්‌කයක පිළිවෙළට අසුරා තිබූ කැකිල්ල ගාලක්‌ වෙත අත දිගු කරමින් එසේ පවසා සිටි නසාර් නැවතත් කටහඬ අවදි කළේය.

ලංකාවෙ වැවෙන නිදිකුම්බ මලේ ඉඳල කිතුල් මල වෙනකම් ඕනෑම මල් වර්ග, වැල් වර්ග මේ අවට තියෙන ඕනම වෙළෙඳ සැලක තියෙනව. එතනදී චීනය ගත්තත් බැංකොක්‌ ගත්තත් අරලිය මල නිර්මාණය කරල වෙළෙඳපොළට එවන්නේ ලංකාවට විතරයි. මොකද ලංකාවෙ විතරයි අරලිය මලට ඉල්ලුමක්‌ තියෙන්නේ. හැබැයි ලංකාවෙ වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවියක්‌ තියෙන්නෙ "ඡේබ්රා" කියන මලට. ඒක වැඩිපුරම අලෙවි වන්නේ මනාලියන්ගෙ මංගල මල් කළඹ සරසන්න. ඔය වගේ විවිධ උත්සව අවස්‌ථාවන් සඳහා වටපිටාව අලංකාර කරන්න ගේ දොර අලංකාර කරගන්න මල් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය සියලුම වර්ගවල මල් විකිණීමට මේ ප්‍රදේශය අවුරුදු 20 ක විතර කාලයක ඉඳල ප්‍රසිද්ධියක්‌ උසුලනව. අපි මේ ක්‍ෂේත්‍රයේ කාලයක පටන් බිස්‌නස්‌ කරන මිනිස්‌සුනෙ. ඒ හින්ද අපි වටා විශාල ගනුදෙනුකරුවන් පිරිසක්‌ ඉන්නව. විශේෂයෙන් මඟුල් නැකත් බහුලව තිබෙන කාලයට තමයි මේ බිස්‌නස්‌ එකේ 'සීසන්' එක හැදෙන්නෙ. හැමෝටම ස්‌වභාවික මල් ඒ සඳහා යොදා ගන්න අමාරුයි. මොකද අධික මිල ගණන් ඒ සඳහා වැයවන හින්ද. එතනදී ඒ අය එන්නෙ අපි ළඟට. මේ වෙද්දි මංගල උත්සවයක්‌ ආදිය සැලසුම් කරද්දි ලොකු තරගකාරීකමක්‌ පවතිනවනේ. ඒ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන විශාල පිරිසකුත් අද ඉන්නවනේ. අන්න ඒ අයගේ උවමනාවන් කුමක්‌ ද කුමන ආකාරයේ හැඩයෙන් සහ පැහැයෙන් යුත් මල් ද, ඒ අය ඉල්ලන්නෙ ඒවා අපිට දෙන්න පුළුවන්.

අපි ළඟ විකුණන්න තිබෙන මල් ගැන වෙන වෙනම කතා කළොත් ඕකිඩ් කියන්නේ හයි ක්‌ලාස්‌ මිනිස්‌සු ගෙනියන මල් වර්ගයක්‌. ඒකේ වර්ග ගණනාවක්‌ තියෙනව. ඒ වගේ තමයි 'ලිලී' මල ඒක වැඩිපුර ගෙනියන්නේ කතෝලිකයන්. රෝස මල ගත්තත් ඒකෙත් වර්ග රාශියක්‌ තියෙනව. හැබැයි දැන් රෝසවලට මාකට්‌ එක අඩුයි. 

ඒ වගේ තමයි මේ මාකට්‌ එකේ කෘතිමව හදපු කුරුළු පිහාටු තියෙනව. කොහේ හරි බිම තිබිල අහුල ගත්තොත් හිතෙන්නේ ඒක ඇත්තම කුරුලු පිහිටුවක්‌ කියල නැහැ. ඒකත් ගේන්නේ චීනයෙන්. ඊට අමතරව කුරුලු කූඩු, බටලීයෙ හැඩය ගත් මල් වාස්‌ ඒ විතරක්‌ නොවෙයි ස්‌වභාවික වර්ණයන්ගෙන් යුත් සමනලයන් ඔය හැම දෙයක්‌ම අපේ රටේ වෙළෙඳපොළ ඉලක්‌ක කරගෙන චීනයේ, බංකොක්‌වල වෙනම නිපදවනව. අපි කරන්නේ ඒ තැන්වලට ගිහින් අපිට ඕන දෙය ඇනවුම් කරන එක විතරයි.

දැන් ලංකාවේ මනාලියන් හැඩගැන්වීම, මංගල අවස්‌ථාවන් සංවිධානය කිරීම ආදියේ ලොකු තරගයක්‌ තියෙනවනේ. ඒ හින්ද අලුත් අලුත් නිර්මාණ ඉල්ලගෙන අපි ළඟට එන ගනුදෙනුකරුවෝ ඉන්නව. උදාහරණයක්‌ කියන්නම්, මංගල මල් කළඹ සරසන්න වී කරල් උපයෝගී කර ගන්නව. අපි කරන්නේ ඕන කරන ප්‍රමාණය ඇනවුම් කරන එක විතරයි. චීනයෙන් වී කරල එවනව එතනදී පේන්න තියෙන විශේෂත්වය තමයි චීනගේ "ඇස" ඒ දේවල් නිපදවද්දී ඉතාමත්ම සියුම් ලෙස යොදව ගැනීම. මල් පොකුරක්‌ ගත්තොත් ඒක ස්‌වභාවිකද කෘතීමද කියල බැලු බැල්මට කියන්න බැහැ ඒ තරම් සියුම්ව තමයි ඒ නිර්මාණ කරල තියෙන්නෙ. බට ගහක්‌ ගත්තත් එහෙමයි. බැලු බැල්මට බට ගහක්‌ තමයි. හැබැයි ඒක කෘතිම නිපැයුමක්‌.

නසාර් පවසන සියල්ලක්‌ම සැබෑවක්‌ය. ඒ පිළිබඳ තේරුම් ගැනීමට එය දැසින් දැකිය යුතුය. එවෙලෙහිද මල් අලෙවි සල් තුළ විවිධ අවශ්‍යතා සඳහා මල් මිලට ගැනීම පිණිස පැමිණි පාරිභෝගිකයන් විවිධ හැඩයෙන් සහ පැහැයෙන් යුත් මල් වර්ග මිලදී ගනිමින්ය. නසාර් පවසා සිටි ආකාරයට පිටරටින් මෙරටට ලෝකෙ නැති මල් ගෙන්වුවත් අපි තවමත් මල් නටුවක්‌වත් තනා ගැනීමට අසමත්ය.

විශේෂයෙන්ම බහුලව අපෙන් මල් මිලට ගන්න එන්නේ රූපලාවන්‍ය ශිල්පි ශිල්පිනියන් සහ කුඩා කුඩා වෙළෙඳපොළ ඉලක්‌ක කරගෙන මල් කළඹ මල් පෝච්චි අලෙවි කරල කීයක්‌ හරි හොයා ගන්න මල්කරුවන්. ඊට අමතරව ගෙදර දොර අලංකාරය පිණිස මල් 

රැගෙන යන පිරිසක්‌ ඉන්නව. කොහොම වුණත් මෙතැන බිස්‌නස්‌ එක සිද්ධ වෙන්නෙ තොග මිල ගණන්වලට උදාහරණයක්‌ විදියට මල් දහඅටක බන්ච් එකක්‌ මෙහේ රු. 375 ක්‌ වෙනව. එහෙම ආරම්භ වන මිල ගණන් රුපියල් දාහ එක්‌දහස්‌ පන්සියය වගේ මිල ගණන් දක්‌වා ඉහළ යනව. මල් වර්ගය අනුව ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස්‌ වෙනව.

මල්වල ලස්‌සන බල බල කඩෙන් කඩේට ගොඩවෙද්දී මල් පිළිබඳ තව තවත් තොරතුරු එකතු වෙන්න ගත්ත. ඔහොම යද්දී එක තරුණයෙක්‌ මල් කළඹක්‌ වර්ණ ගන්වන අයුරු දැක්‌ක. ඒ ගැන ඔහුගෙන් කළ විමසුමට ලැබෙන්නෙ මෙන්න මේ වගේ පිළිතුරක්‌.

කස්‌ටමර් ඉල්ලන පාට මොකක්‌ද? ඒ පාට අපි දෙන්න ඕනනේ. මේ එහෙම වැඩක්‌. මංගල සාරියෙ පාටට හරියන්න මංගල මල් කළඹ ඕන හින්ද අපි ඒ කලර් එක ස්‌ප්‍රේ කරල දෙනව. ඒවට ඕන හැම කලර් එකක්‌ම අපි ළඟ තියෙනව. මේ එහෙම වැඩක්‌.

මලින් වැලින් පිරි වෙළෙඳසල් තුළ ඇති විසිතුරු නිමක්‌ නැත. ඒ අතර ස්‌වභාවික හැඩය ගත් කුරුලු කූඩු, විවිධ වර්ණයන්ගෙන් යුත් සමනලුන්, ස්‌වභාවික තණකොළයට සමාන කෘතිමව තනන ලද තණකොළ දක්‌නට ලැබුණ බැවින් ඒ පිළිබඳ අසල සිටි සේවකයකුගෙන් විමසා සිටියේය.

මෙහෙමයි මේව අරගෙන ගිහින් ස්‌වභාවික පරිසරයක්‌ වගේම තැනක්‌ නිර්මාණය කරන්න පුළුවන්. මේ තණකොළ කාපට්‌ අඩියක්‌ රුපියල් 150 ඉඳල තියෙනව. ඒකෙන් තමන්ට ඕන ප්‍රමාණය ගන්නව. ඊට අමතරව අවශ්‍ය කරන මල් ගස්‌, වැල් වර්ග ගන්නව තව කුරුලු කූඩු, ඔය සමනලුන් ටිකක්‌ ගන්නව. ඒ ගන්න කෙනා දක්‍ෂ නිර්මාණ ශිල්පියෙක්‌ නම් එයාට පුළුවන් ඔහු මිලදීගත් භාණ්‌ඩ ටික උපයෝගී කරල බැලූ බැල්මට ස්‌වභාවික පරිසරයක්‌ වගේම පේන වටපිටාවක්‌ නිර්මාණය කරන්න. දැන් ඒක විලාසිතාවක්‌. ලොකු ගෙවල් ඒ වගේම කාර්යාල ආදියේ එහෙම වටපිටාවල් දකින්න තිබුණොත් හොඳින් බලන්න. එතකොට පෙනේවි ඒව කෘතිමව කරපු නිර්මාණ කියල. ඔය තණකොළ කාපට්‌ තියෙනව නේද හොඳින් බලන්න කාගෙ හරි ගෙමිදුලක ඕක එලල වටේට මල් ගස්‌ ටිකක්‌ කුරුලු කූඩුවක්‌ දෙකක්‌ ඊට අමතරව බට පඳුරක්‌ දෙකක්‌ ගිහින් තිබ්බොත් කාටවත් කියන්න බැරි වේවි මේව කෘතිමව කරපු නිර්මාණ කියල. ඒ තරම් සජීවී බවක්‌ සහිතව තමයි ඔය හැම දෙයක්‌ම හදල තියෙන්නෙ.

ඔහු පවසන දෙය සැබෑවක්‌ය. සියල්ල කෘතිම නිෂ්පාදනයන්ය. මිල ගණන් විවිධය. මලක තිබිය යුතු සුසිනිදු බව, පැහැය, හැඩය අංශුවක්‌ තරමේ අඩුවක්‌ නැතිව ඒවාට එක්‌කොට ඇත. ඉදිරියේදී කෘතිම මල් නිෂ්පාදනයේ තවත් දිගුවක්‌ ලෙස සුවඳකාරක උපයෝගී කොට තනනු ලබන කෘතිම මල්වලින් සුවඳ පවා විහිදෙනු ඇත. ඒ පිළිබඳ චීනුන් විසින් මේ වන විටද අත්හදාබැලීම් කරන බව නිතර චීනයට යන එන ව්‍යාපාරිකයන් කීපදෙනකු ප්‍රකාශ කළ අදහස්‌වලින් ගම්‍ය විය.

සියුම් ඉසියුම් රේඛාවන් පවා මතුකරමින් චීනුන් තනන මල් පිටකොටුවෙන් මිලට ගන්නා අප ගැනුම්කරුවන් පමණක්‌ වන්නේත් මල් මැවුම්කරුවන් බවට චීනුන් පත්වන්නෙත් මෙරට තුළ සින්තටික්‌ මල් සඳහා දැවැන්ත වෙළෙඳපොළක්‌ නිර්මාණය වීමත් සමගය. මංගල, අවමංගල ආගමික කටයුතු ආදියේදී 'මල් සැරසිලි' කෙසේවත් බැහැර කළ නොහැකි කාරණාවක්‌ බැවින් මේ වන විට කෘතිමව නිපදවනු ලබන මල් සැරසිලි සඳහා පවතින්නේ ස්‌වභාවික මල් පරයන තරමේ ඉල්ලුමකි.

19 වැනි සියවසේදී පමණ යුරෝපාකරය මූලික කරගනිමින් කෘතිම මල් නිෂ්පාදනය ඇරඹෙන අතර හමින් බර්ඩ් නමැති පක්‌ෂියාගේ පිහාටු උපයෝගී කර ගනිමින් තැනූ ලෝකප්‍රකට මල් කළඹ එහි එක්‌ සන්ධිස්‌ථානයකි. එතැන් සිට අද දක්‌වා විවිධ අවදින් පසුකොට පැමිණි කෘතිම මල් කලාව මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත දැවැන්ත ව්‍යාපාරයක්‌ වී ඇත්තේ අතීත මිනිසාගේ පටන් නූතනය දක්‌වා මිනිසා සහ මල් අතර පැවති සමීප ඇසුර හේතුවෙනි.

රුවන් ජයවර්ධන

Post a Comment

0 Comments