ඔබේ දරුවාත් සමලිංගිකයෙක් ද ?


දරුවෙකුට, විශේෂයෙන් ගැටවරවියේ පසුවෙන්නෙකුට තමන් සමරිසි පුද්ගලයෙකු බව අවම වශයෙන් තම යහළුවෙකුටවත් හෙළිකිරීම අපහසුය. තමන් යහළුවන් ඉදිරියේ අපහාසයට, කොන්කිරීමට, වෙනස්‌කොට සැලකීමට ලක්‌වේය යන බිය නිසා ඔවුන්ට තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම අපහසුය. විශේෂයෙන් දරුවෙකු තම ලිංගිකත්වය, ලිංගික අනන්‍යතාවය ගැන සොයාබලන කාලසීමාව වන්නේ ඔවුන්ගේ මනස සංවර්ධනය වන අවධියයි. ද්විතීයික ලිංගික ලක්‌ෂණ පහළවන අවධියේදී තම ලිංගික අවයව, ශරීරයේ වෙනස්‌වීම් යනාදිය කුතුහලයකින් යුතුව පරීක්‌ෂා කරනවා මෙන්ම තමන් කැමති කාටද, ඒවා හරිද නිවැරදිද යන ඒවා සම්බන්ධවද තමාගෙන්ම ප්‍රශ්න කරනු ලැබේ. මෙහිදී පුද්ගලයෙකු තමා ශාරීරිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව කැමැත්ත දක්‌වන්නේ සමාන ලිංගිකයෙකුටය යන්න අවබෝධ කරගතහොත් එය තමාට මෙන්ම අන්‍යයන්ටද ප්‍රශ්නයක්‌ වන බව තේරුම්ගනී. පෙරදිග සමාජ ක්‍රමවල පුරුෂ මූලික අගතීන් මත පදනම්ව පවතින අගයයන් හා ප්‍රතිමාන නිසා සමරිසිභාවය ප්‍රතික්‌ෂේප කරන බැවින් ඔවුන්ට එලෙස තම අනන්‍යතාවය සඟවාගැනීමට සිදුවේ. මෙම වයස්‌ සීමාවේදී දරුවන් වඩාත් සමීපවන්නේ තමා සමග පාසලේදී, දහම් පාසලේදී හෝ වෙනත් අධ්‍යාපන හා සමාජ ආයතනවලදී තමන් හා එකට ගැටෙන මිතුරන් සමගය. තම මිතුරන් සමගවත් අනන්‍යතාව ප්‍රකාශකිරීමට අපහසු දරුවන් දෙමව්පියන්ට තමාගේ ලිංගික අනන්‍යතාව සඟවන අතර, මේනිසා දරුවන්ගේ අනාගතයම අඳුරුභාවයට පත්වන අවස්‌ථා පවතී.

දරුවෙකුට තමන්ගේ ලිංගිකත්වය පිළිබඳ තම දෙමව්පියන්ට පැවසීමට අකමැතිවීමට හේතු ගණනාවක්‌ තිබේ. දෙමව්පියන් තමන් කෙරෙහි කළකිරෙනු ඇතැයිද, ඔවුන් දරුවන් හුදෙකලා කරනු ඇතැයිද, නෑදෑයන් හිතමිත්‍රාදින්ට මේ බව පවසනු ඇතැයිද, ඔවුන් විසින් දඬුවම් කෙරෙනු ඇතැයිද යනාදී වශයෙන් බියක්‌ පැවතීම නිසා ඔවුන් තම අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සාහ ගනී. ඊට අමතරව සමරිසි තරුණ තරුණියන් ඔවුන්ගේ ජීවිතවල සිදුවෙමින් තිබෙන දේ සහ සමරිසිභාවය පිළිබඳ තම දෙමව්පියන් තේරුම්නොගන්නා බවට තද විශ්වාසයක්‌ සිත්හි දරාගෙන සිටී. අවාසනාවකට මෙන් සමාජය තුළ පවතින විවිධ ආකල්ප හා විශ්වාසයන් නිසා දෙමව්පියන් සමරිසිභාවය පිළිබඳ නොදැනුවත්කම හා පිළිකුල් කිරීමද සාමාන්‍ය තත්ත්වයක්‌ වි තිබේ.

ශ්‍රී ලංකාව යනු සමරිසිභාවය අස්‌වාභාවික හා අමනුෂ්‍ය යෑයි සැලකූ, එමෙන්ම සමරිසිභාවය දරුණු ලෙස නොඉවසනු ලබන රටකි. එමෙන්ම සමරිසිභාවයට අදාළ කාරණා විශාල වශයෙන් වැරදි ලෙස වටහාගැනීමටත්, අපහාසයට හා අවිචාරවත්ව විවේචනයට ලක්‌කරන රටකි. සංස්‌කෘතිය, සදාචාරය, ආගම යනාදිය මගින් ශීක්‌ෂණය කරනු ලැබු මිනිසුන් යෑයි කියාගන්නා එහෙත් අනෙකාගේ මානව හිමිකම්වලට ගරු නොකරන මිනිසුන් ජීවත්වෙන රටකි. බොහෝමයක්‌ පුද්ගලයින් ලිංගිකත්වය තේරුම්ගන්නා ආකාරය තීරණය කරන සාම්ප්‍රදායික විශ්වාස පද්ධතිය හා සංස්‌කෘතික භාවිතයන් සමග දෙමවුපියන්ට පවා ලිංගිකත්වයේ ස්‌වභාවිකත්වය හා අස්‌වභාවිකත්වය පිළිගැනීමට බල කරන රටකි. මේ කාරණා නිසා සමරිසි දරුවන් තම ලිංගික අනන්‍යතාව රහසක්‌ ලෙස තබාගැනීමට උත්සාහ ගනී. 

බොහෝ දෙමවුපියන් තම දරුවා සමරිසියෙකුයෑයි දැනගත් පසු ඔහු හෝ ඇයව අසාමාන්‍ය දරුවෙකු ලෙස සලකයි, කොන්කිරීමට, වෙනස්‌කොට සැලකීමට, තමාගේ දරුවෙකු නොවේ යෑයි හිත හදාගැනීමට උත්සාහ කරනු දැකිය හැකිය එහෙත් දරුවන්ට දෙමව්පියන්ගේ අවශ්‍යතාවය විශ්වීය සත්‍යයකි. දෙමාපියන්ගේ රැකවරණය, ආදරය, කරුණාව හා මඟපෙන්විම විෂමරිසි දරුවාට මෙන්ම ඊටත් වඩා වැඩියෙන් සමරිසි දරුවාටද අවශ්‍ය වේ. විශේෂයෙන් මෙම දරුවන් ලිංගික වශයෙන් විවිධ අත්හදාබැලීම් හෝ විකල්ප ලිංගික අවස්‌ථාවලට ගොදුරුවීමෙන් වැළැක්‌විම සඳහා දෙමව්පියන්ගේ මඟ පෙන්වීම හා මැදිහත්වීම අනිවාර්ය වේ. 

ඔබේ පුතා හෝ දියණිය ඔබට ඔවුන් සමරිසි යෑයි හෙළිදරවු කළහොත් හෝ හෙළිදරවු කළවිට එම අවස්‌ථාව හැසිරවීම සඳහා ඔබ විසින් සමරිසිභාවය හා එහිදී හැසිරිය යුතු ආකාරය තේරුම්ගෙන සිටිය යුතුමය. ඔබේ දරුවා සමරිසියෙකුද නැතහොත් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකුද යන්න දැනගැනීමට ඔබට අවස්‌ථාවන් දෙකක්‌ උදාවිය හැකිය. පළමුවැන්න දරුවන් විසින්ම ඔබට ඔවුන් පිළිබඳව පැවසීමයි. මෙය පොදුවේ "පිටතට පැමිණීම" නැතහොත් විවෘතවීම යනුවෙන් හැඳින්වේ. එතරම් සතුටුදායක නොවන දෙවන ක්‍රමය ඔබගේ දරුවාගේ ලිංගික නැමියාව ඔවුන්ගේ එකඟතාවයකින් හෝ ඔවුන් නොදැනුවත්ව සොයාගැනීමයි. වෙනත් අයෙක්‌ එය ඔබට පැවසීම, ඔබ විසින් අනුමාන කිරීම, වෙනත් මාර්ග ඔස්‌සේ සැකසහිත උපකල්පනවලට එළඹීම යනාදිය මගින් මෙවැනි අවස්‌ථා සිදුවිය හැකිය. මෙය "පිටතට පැමිණවීම" නම් වේ. ඔබේ පුතා හෝ දියණිය ඔබ වෙත පැමිණ හෝ නැතහොත් ඔබ වෙත සමීප වී ඔවුන් සමරිසියෙකු හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු යෑයි පැවසුවහොත් ඔබ මූලිකව පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක්‌ ඇත. දරුවෙකුගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ මිතුරෙකු සමග විවෘතවීමෙන් ඔවුන්ට ඒ පිළිබඳව පැවසීමෙන් මිතුරන්ගේ ආකල්ප වෙනස්‌කිරීම අපහසුය. මිතුරා ලබාගත් තොරතුරු වැරදි ආකාරයට පාවිච්චි කිරීමටද හැකිය. එමෙන්ම මිතුරාට අදාළ ප්‍රශ්නය පිළිබඳව සංවේදිවීමට අපහසු විය හැකිය. මේ නිසා දරුවෙකු තමන්ට විශ්වාසම සමීපතමයා වශයෙන් මෙම තත්ත්වය පැවසීමට ඔබව තෝරාගෙන ඇතැයි යන්නට සතුටුවන්න. ඔබ සහ දරුවා අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ප්‍රබල බව වටහාගන්න. සමරිසි දරුවෙකු දෙමවුපියන් සමග තම අනන්‍යතාවය සාකච්ඡා කරනවා යනු ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පිළිබඳ අනාගතය ඔබ අතට දී ඇති බව වටහාගන්න. දරුවෙක්‌ තම අනන්‍යතාවය පැවසීමට ඔබ ළඟට එන්නේ ඒ පිළිබඳව දහස්‌වතාවක්‌ සිතීමෙන් පසුව බවද වටහාගන්න. තමන් සමරිසියෙකු බව වටහාගැනීම දරුවෙකුට ඉතා අපහසු කාර්යයකි. මේ සඳහා ඔහු හෝ ඇය විශාල උත්සාහයක්‌, තමන් සමග, තම මනස සමග විශාල සටනක්‌ කර ඇති බව තේරුම් ගන්න. දරුවා ඔබ ළඟට එන්නේ එම මානසික සටනින් හෙම්බත්වූවාට පසුවය. මානසික හෙම්බත්භාවය සමග ඔබ මේ පිළිබඳ කුමන ආකාරයේ ප්‍රතිචාර දක්‌වාවිදැයි යන පීඩනයෙන්ද පසුවනවාය යන බවද තේරුම්ගන්න. දරුවා තම පෞද්ගලිකත්වය රැගෙන එන්නේ තම සමීපතම ආදරණියයා වෙතයි. යකෙකු හෝ යක්‌ෂණියක්‌ වෙත නොවේ. තමන්ගේ ස්‌වයං වටිනාකම පිළිබඳ ස්‌වයං තක්‌සේරුවකින් පසුව, තම මනස සමග විශාල වද-විභාගයකින් පසුව වේදනාකාරී පීඩනයකින් දරුවා ඔබ වෙත පැමිණෙන බව සිහියේ තබාගන්න. 

කාන්තා හෝ පිරිමි සමරිසි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවීය දරුවන් විවිධ නම්පට බැඳීම්වලට, අපහාසට, කොන්කිරීමට, තාඩනපීඩනවලට, කායික හා මානසික වධහිංසාවලට ලක්‌වේ. ඔවුන් ආයතනික වශයෙන්, සමවයස්‌ කණ්‌ඩායම් වශයෙන් විවිධාකාරයේ හිංසනයන්ට නිරන්තරවම ගොදුරුවේ. දවස ගානේ එවැනි හිංසන, හිරිහැරවලට මුහුණදීම මගින් සිදුවන්ණේ ඔවුන්ට ඔවුන්ගේ ආත්ම විශ්වාසය, ස්‌වයං පෞරුෂය හීනවීමයි. අහිමිවීමයි. ඔවුන් නිරන්තරව තම වටිනාකම පිළිබඳව, සමාජ පුද්ගලයෙක්‌ වශයෙන් තම වලංගුභාවය පිළිබඳව විශාල ප්‍රශ්න ගණනාවක්‌ හිසෙහි දරාගෙන සිටියි. 

තුෂාර මනෝඡ්
ඊක්‌වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ව්‍යාපෘති නිලධාරී

Post a Comment

0 Comments