මානසික ආතතිය


වත්මන් කාර්යබහුල සමාජයේ සෑම පුද්ගලයෙක්ම වාගේ අඩු වැඩි වශයෙන් ආතතිය නැමැති නවීන යුගයේ රෝගයෙන් පෙළනු ලබයි. ඇතැම් මනෝවිද්‍යාඥයින් පවසන අන්දමට මිනිසුන්ට වැළදෙන රෝගවලින් 70-90% අතර රෝග ප්‍රමාණයක් වැළදෙන්නේ මානසික ආතතිය නිසාය. ආතතිය යන අරුත පළකිරීම සඳහා යෙදෙන ඉංග්‍රීසි වචනය වන Stress යන වචනය භෞතික විද්‍යාවෙන් ණයට ගෙන මුල්වරට මනෝවිද්‍යා කේෂ්ත්‍රයේ භාවිතා කරනු ලැබුවේ ආතතිය පිළිබඳ පර්යේෂණවල පියා ලෙස හඳුන්වන ආචාර්ය හෑන්ස් සෙල්යේ (Hans Selye) විසිනි. ඔහු පවසන අන්දමට අපගේ ශරීරය වෙතින් කැරෙන අයැදුමක් නිසා ඇතිවන ප්‍රතිඵලය ආතතියයි. එම ආතතිය සතුට හෝ සංවේගය දනවන එකක් විය හැකිය. අපගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6ය. මෙම උෂ්ණත්වය වෙනස්වීම මානසික ආතතිමය අවස්ථාවක් යනුවෙන් හඳුන්වනු ලබයි.


වත්මන් තරඟකාරී සමාජයේ කෙසේ හෝ දියුණු වීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ දරති. එය කුමන ආකාරයෙන් වුවත් කමක් නැත යන්නයි ඉන් සමහරුන්ගේ මතය. මෙසේ දියුණුව කරා දුවන පුද්ගලයන් සමඟ තවදුරටත් දිවීමට නොහැකි පුද්ගලයන් ආතතියට පත්ව මානසිකව නොන්ඩි පුද්ගලයන් බවට පත්වෙයි. ආතතිය ඇතිවන සාධක වෙනස්විය හැකිය නමුත්, එමඟින් ඇති කරන පුද්ගල ප්‍රතිචාරය සමාන වෙයි.



මානසික ආතතිය පිළිබඳව වෛද්‍යවරුන් පවසන අන්දමට බලාපොරොත්තු නොවූ අවස්ථාවන්වලට පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවූ විට ඔවුන් ආතතියට පත් වෙයි. ආතතිය ඇතිවීමට ප්‍රධානතම හේතුව අධි අපේක්ෂාවයි. අපේක්ෂා අඩු වූ විට ආතතිය අඩු වන බව ඔවුන් සොයාගෙන ඇත. ළමයින් අධිඅපේක්ෂා රහිත පුද්ගලයන්ය. ඔවුන්ට ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගනියි. ඒ නිසා තමයි ළමයින්ට ආතතියෙන් තොරව ජීවත්වීමට හැකි වී ඇත්තේ. නමුත් වැඩිහිටියන් වන අපට අහස උසට බලාපොරොත්තු ඇත. ලැබෙන දෙයුනුත් සතුටු නොවන අපි සෑම අවස්ථාවකම ආතතියෙන් පෙළනු ලබන්නෙමු.



රැවටිල්ල, බිය, ප්‍රතික්ෂේප කිරීම, අධික වැඩ මේවා ආතතිය ඇතිවන සමහර අවස්ථාවන්ය. සමහරුන්ට අධික එළිය, අධික ශබ්දය පවා ආතතිය ඇති කරයි. හිතවතුන්ගේ මරණ, සුවනොවන රෝග, දික්කසාද, රැකියා මාරුවීම්, තබපු ඉලක්ක ලබාගැනීමට නොහැකි වීම, මිතුරන් අතර ඇතිවන ප්‍රශ්ණ, ණය ප්‍රශ්ණ, විභාගවලින් අසමත් වීම, රැකියා ස්ථානවල ප්‍රශ්ණ යනාදී අප වටා සිදුවන සියලුම සිද්ධීන් අපව මානසික ආතතිය කරා ගෙන යයි. දුම් බීම, මත්ද්‍රව්‍ය පාවිච්චිය, මත්පැන් පානය කිරීම මේවා සියල්ල ආතතිය අපි විසින් මිළඳී ගන්නා අවස්ථාවන්ය. මහලු වියට පා තබන වැඩිහිටියන්ටත්, ඔසප් කාලසීමාවේ පසුවන කාන්තාවන්ටත් මානසික ආතතිය බහුලව ඇතිවන බවත්, ඔවුන් සමඟ ආදරයෙන් කතාකර ඔවුන්ගේ ආතතිය අඩු කළ යුතු බවත් වෛද්‍යවරුන් පවසයි.



මානසික ආතතිය ශුභවාදී ක්‍රියාවල පවා ඇතිවන බව පරීක්ෂණයකින් සොයා ගෙන ඇත. විවාහ උත්සව වැනි අවස්ථාවන්, රැකියා උසස්වීම් මේවාත් යම්තාක් දුරට අප තුළ ආතතිය ඇති කරයි. මෙවිට එම ආතතිය නිවැරදි ආකාරයට හසුරුවීමට අපගේ මුළු අවධානය යොමු කළ යුතුය.




මානසික ආතතිය කොටස් 3 කට වෛද්‍යවරුන් වෙන්කරයි. ක්ෂණිකව සිදුවන සිදුවීමක් නිසා ඇතිවන ආතතිය Acute Stress යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම ආතතිය ඇතිවීමට හේතුව අපි දනිමු. මෙය ඉක්මනින්ම අතුරුදහන් වෙයි. එක දිගට සිදුවන සිදුවීම් නිසා ඇතිවන ආතතිය Episodic Acute Stress යනුවෙන් හඳුන්වනු ලබයි. අධික වැඩ, සැමදා පරක්කු වී කාර්යාලයට යෑම නිසා ඇතිවන ප්‍රශ්ණ යනාදී සැමදා සිදුවන සිදුවීම් නිසා ඇතිවන ආතතිය මෙම කාණ්ඩයට අයත් වෙයි. දිගුකල් රැකියා නොමැතිකම, පවුල් පරිසරය, දරිද්‍රතාව, රටේ දිගුකල් පවතින යුද්ධය යනාදී බොහෝ කලක් තිස්සේ පවතින සිදුවීම් නිසා ඇතිවන ආතතිය Chronic Stress යනුවෙන් හඳුන්වනු ලබයි.



ඉහත කුමන ආකාරයෙන් ආතතිය ඇතිවුවත් දිගුකල් ආතතිය පැවතුනහොත් අනේකවිධ ප්‍රශ්ණවලට අපිට මුහුණ දීමට සිදුවෙයි. ආතතිය නිසා ඇතැම් රෝග හටගනියි. සෝරෛයසිස් (Psoriasis) නම් චර්ම රෝගය, මිග්‍රේන් (Migraine) නැමැති නොනවතින හිසරදය, eczema නැමැති පණු කැවිල්ල, අධික රුධිර පීඩනය, ආමාශයේ තුවාල යනාදී නොයෙකුත් රෝග ඇතිවීමට ආතතියත් ප්‍රබල හේතුවකි. නුතන වෛද්‍ය පරීක්ෂණයක් මගින් දිගුකල් ආතතිය පැවතුනහොත් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතිබව සොයා ගෙන ඇත. මිට අමතරව ආතතිය දිගුකල් පැවතුනහොත් ශරීරයේ හෝමෝන පවා වෙනස් කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීනකර ඕනෑම රෝගයක් වැළදීමේ තත්වය කරා ආතතිය අපව රැගෙන යයි.




මේවාට අමතරව ආතතිය අපව නොයෙකුත් ඇබ්බැහිකම් වලට යොමුකරයි. ඇතැමුන් "මට Tension දරාගන්න බැහැ" යනුවෙන් පවසා දුම්පානය කරයි. දුම්වැටියේ අඩංගු නිකොටීන් මඟින් සිතට ව්‍යාජ සතුටක් ලබාදෙයි. එම ව්‍යාජ සතුට මුළාවී ආතතිය නැති කිරීමට ඇති ප්‍රත්‍යක්ෂ ඖෂධය දුම්වැටිය යැයි සිතා ඇතැමුන් දුම්පානය කරයි. එසේ වරක් දෙවරක් දුම්පානය කරන ඔවුන් ඉන්පසු ඔවුන්ට ආතතිය ඇතිවන සෑම අවස්ථාවකදීම කරන්නේ දුම්පානය කිරීමයි. දුම්වැටිය පුද්ගලයෙකුගේ ආයුකාලය වසර දහයකින් අඩුකරයි. අවට සිටින්නන්ගේ ආයුකලයත් අඩුකරයි. මිට අමතරව දුම්වැටියක රසායන හාර දහසකට වඩා අඩංගුය. ඇබ්බැහිකාරක 600ක් ඒ අතර තිබේ. මේවායින්,



ඇමෝනියා - සිගරට්වල ඇති නිකොටීන් වැඩිපුර උරාගැනීමට ඇමෝනියා ආධාර වේ. ඒ නිසා දුම්පානය කරන්නා වැඩි වශයෙන් දුම් පානය කිරීමට පෙළඹෙයි.

නිකොටීන් - මෙය කෙතරම් ප්‍රබල ඇබ්බැහිකාරයක්ද කිවහොත් එය මධ්‍යසාර, කොකේන් සහ හෙරොයින් ද පරදයි.
ආසනික් - මාරාන්තික විස දුම් පානය කරන්නාගේ තොල් පුළුස්සන්නේත්, මුවට දුගඳක් එක් වන්නේත් ආසනික් නිසාය. මීයන්ට දෙන විසවලද මේවා අඩංගුය. 
බෙන්සීන් - පිළිකා කාරක රසායනයකි. කෘමි නාශක, සේදුම් කාරක, ගැසොලින් නිපදවීමටද බෙන්සීන් යොදා ගනී. 
කැඩිමියම් - අක්මාවට, වකුගඩුවලට සහ මොළයට හානිකරය. වසර ගණනක් කැඩිමියම් සිරුරේ පවතී. 
ලෙඩ් - මොළයට හානිකරන වමනයට හේතුවන රසායනයකි. 
තාර - දුම්වැටිවල ඇති තාරවලින් 70%ක් පෙනහලුවල තැන්පත් වෙයි. 
කාබන් මොනොක්සයිඩ් - විස වාතයකි. මෝටර් රථවලින් අපද්‍රව්‍ය ලෙස පිටවන වාතයේ ද මේ රසායනය අඩංගුය.


ඉහත සදහන් කළේ එක් දුම්වැටියක අඩංගු රසායන සහ ඇබ්බැභිකාරක වලින් සුළු කොටසක් පමණි. ආතතිය අවම කරගන්නවා යැයි සිතා පානය කරන එක් දුම්වැටියකින් ශරීරයට කෙතරම් විශාල හානියක් සිදුවනවා දැයි මොහොතක් සිතා බලන්න. දැන් අපි ආතතිය මග හරවා ගැනීමට ඇති සරළ සහ ප්‍රත්‍යක්ෂ විසඳුම් ගැන සළකා බලමු.



ආතතිය ඇතිවීමට ප්‍රධානතම හේතුව කිරීමට නියමිත වැඩ කටයුතු කල් දැමීමයි. ඔබ කැමති වුනත් නැතත් දැන් කළයුතු වැඩ කටයුතු දැන්ම කරන්න. පසුවට කල් නොතබන්න. කරන කාර්යය ආත්ම තෘප්තියෙන් කරන්න. රාජකාරි වැඩ කටයුතු නිවසට නොගෙනෙන්න. විවේක වෙලාවේදී විවේක ගන්න. නිවාඩු කාලය පවුල සමඟ ගත කරන්න. ඕනෑම කාර්යයක් සිදු කිරීමට පෙර සාවධානව සිතා බලා සිදු කරන්න. ආතතිය ඇතිවුණු අවස්ථාවලදී එය අවම කරගැනීමට යැයි සිතා දුම්පානය කරන්නේ නැතුව සීතල බීම වර්ගයක් පානය කරන්න. නැතිනම් වතුර වීදුරුවක් පානය කරන්න. ඇමරිකාවේ Alabama විශ්ව විද්‍යාලයේදී සිදු කළ පරීක්ෂණයකට අනුව විටමින් C ආතතිය ඇතිවීමට හේතුවන හෝමෝන නතර කරයි. දොඩම් යුෂ විටමින් C බහුල පානයකි. නමුත් දොඩම් ගෙඩිවලට වඩා නෙල්ලි ගෙඩිවල විටමින් C බහුලව ඇත.




ජපානයේ ඇතැම් කර්මාන්තශාලාවල බොක්සින් ක්‍රීඩකයන් පුහුණු වන Punching Bags වෙනම කාමරයක එල්ලා තබා ඇත. එහි සේවය කරන සේවකයන්ට ආතතිය ඇතිවුනහොත් ඔවුන් එම කාමරයට ගොස් එම Punching Bags වලට පහර දී ඔවුන්ගේ ආතතිය මග හරවා ගනියි. ජපනුන් වගේ ඔබටත් Punching Bags වලට පහර දී ආතතිය අවම කර ගත හැකිය. එසේ නොමැති නම් ටෙනිස් බෝලයක් හෝ අතේ තබා ගෙන එය මිරිකා ආතතිය මග හරවා ගත හැකිය.



සංසර්ගයේ යෙදීම (බිරිඳ/සැමියා සමඟ පමණි) ආතතිය අවම කරයි. සංසර්ගය නිම වීමෙන් පසුව පිටවෙන එන්ඩොෆින්, ඔක්සිටොසින් යන හෝමෝන ආතතිය අවම කරයි. භාවනාව ආතතියට ප්‍රත්‍යක්ෂ ඖෂධයයි. භාවනාව මඟින් ආතතිය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්විය හැකිය. ගුරුවරයෙකුගෙන් නිසියාකාරව ඉගෙනගෙන භාවනාවේ නියැළෙන්න. කාර්යාලයේදී ආතතිය ඇතිවුවහොත් විනාඩි 5-10 අතර කාලයක් සරළ භාවනාවක යෙදෙන්න (ප්‍රාණ අභ්‍යාසයක් වැනි සරළ භාවනාවක් කළ හැකිය).



මෙවැනි ආතතිය අවම කර ගැනීමට නොයෙකුත් සරළ ක්‍රම ඇත. ඒවා මඟින් ආතතියෙන් බොහෝ දුරට මිඳිය හැකිය. අපට ඕනෑම කාර්යයක් කිරීමට අප තුළ යම්තාක් දුරට ආතතියක් තිබිය යුතුය. ආතතියෙන් තොරව කිසිම පුද්ගලයෙකුට ජිවත්විය නොහැකිය. අපට කළ හැක්කේ ආතතිය ශුභවාදී අන්දමට පාවිච්චි කිරීම පමණයි. සාමාන්‍ය ප්‍රමාණයේ ආතතියක් පුද්ගලයෙකු තුළ තිබීම යහපතක් විය හැකි වුවත්, පමණ ඉක්මවූ විට එය අනතුරුදායක විය හැකිය. "ආපදාවෙන් තොර ආතතිය" නැමැති ලොව හොඳම අලෙවි වාර්තා තැබූ ග්‍රන්ථය ලියු ආචාර්ය හෑන්ස් සෙල්යේ පවසන පරිදි ආතතියෙන් සපුරා නිදහස් වීම යනු මරණයයි.



yathrava.blogspot.com