සිහින දකින්න


සිහින දකින්න මෙය බොළඳ කියමනක් යැයි ඇතැමුන් සිතති. එය බොළඳ කියමනක් නොවේ. සිහින දැකීම අපව ශක්තිමත් කරයි. මොහොතකට මෙසේ සිතමු පළමුවර පොතක් කියවද්දී ග්‍රහණය කරගන්නා තොරතුරු වලට වඩා වැඩි ප්‍රමාණයක තොරතුරු පොත දෙවැනි වර කියවද්දී අපි ග්‍රහණය කර ගනිමු. හය, හත් වතාවක් කියවද්දී අපි ග්‍රහණය කරගන්නා තොරතුරු අති විශාල වෙයි. ඒ වාගේ තමයි සිහින දැකීමත් ඉලක්කයක් තබපු අවස්ථාවේ පමණක් දැකීමත් නිතර නිතර දැකීමත් අතර පැහැදිලි වෙනසක් ඇත. එකම සිතුවම නිතර නිතර දැකීමෙන් එය විවිධ කෝණවලින් දැකීමට හැකිවෙයි. අලුත් අලුත් අදහස් උපදියි. මෙයට වඩා අපගේ සිතේ එම සිතුවම ශක්තිමත්ව කාවදියි. එවිට අපට ධෛර්ය්‍යමත්ව අපගේ ඉලක්කය හඹා යා හැකිය.


අද අපි සිටින්නේ සැබැවින්ම අපි සිටිය යුතු තැනෙහිය. අපි යම් තැනකට යා යුතු යැයි තීරණය නොකළහොත් හෙට අප සිටිනු ඇත්තේද අද සිටින තැනෙහිමය. වැදගත් වන්නේ අපි ඊයේ කොහි සිටියාද, දැන් කොහි සිටිනවාද යන්න නොවේ. අප යන්නේ කොහාටද යන කාරණයයි. යනුවෙන් How to Win in Life යන කෘතියේ කතෘ Walter Doyle Steples පවසා ඇත. එය සැබෑවකි. සැබැවින්ම අද අපි සිටින්නේ ඊයේ අපි අද කොහෙද ඉන්න ඕනෑ යැයි සිතපු තැනෙහිය. ඔබ ඊයේ කිසිවක් සිතුවේ නැත්නම් ඔබ සිටින්නේ එකම තැනෙහිය. හෙට සිටිය යුත්තේ කොහේදැයි අද ඔබට සිහින දැකිය හැකිනම් සහ එය වෙනුවෙන් උත්සහ දැරිය හැකිනම් ඔබ දකින සිහිනය යථාර්ථයක් බවට පත් කරගත හැකිය. සිහින දැකීම යනු අපි අනාගතයේදී සිටිය යුතු ස්ථානය හෝ නිමකළයුතු කාර්යයන් දැනටමත් සිදු වී ඇති ආකාරය වර්තමානයේ සිතින් දැකීමයි. ලෝකයේ මෙතෙක් බිහි වී ඇති ශ්‍රේෂ්ට නිර්මාණයන් සියල්ල කව්රුන් හෝ දැකපු සිහිනයකි.




Michael Angelo

දිනක් සුප්‍රකට චිත්‍ර හා මුර්ති ශිල්පී මයිකල් ඇන්ජිලෝ ගල් කුලක් දෙස මහත් ආශාවෙන් බලා සිටියේය. ඔහු ඒ සා ආශාවෙන් ගල්කුල දෙස බලා සිටින්නේ කුමක් නිසාදැයි අසළ සිටි ළමයෙක් ඔහුගෙන් විමසීය. තමා බලා සිටින්නේ ලස්සන ප්‍රතිමාවක් දෙස යැයි එවිට මයිකල් ඇන්ජිලෝ පිළිතුරු දුන්නේය. ළමයා අන්දුන් කුන්දුන් විය. එහි ප්‍රතිමාවක් නොවිය. එතැන වුයේ ගල්කුලක් පමණි. මයිකල් ඇන්ජිලෝ ආසාවෙන් බලා සිටි ලස්සන ප්‍රතිමාව තිබුණේ ඔහුගේ (ඇන්ජිලෝගේ) සිතෙහි හුදු සිහිනයක් ලෙසිනි. එහෙත් දින කිහිපයක් ගත වෙද්දී ඒ ගල්කුලෙන් චමත්කාරජනක ප්‍රතිමාවක් සැබවින්ම නෙළීමට මයිකල් ඇන්ජිලෝ සමත් විය. 


ඔබේ අරමුණ හෝ ආශාව බලවත් නම් එය එකහෙළා ඉටුවන බව පමණක් නොව එය දැනටමත් ඉටු වී ඇති සැටි ඊට බොහෝ කලකට පෙරාතුව එනම් එදා මයිකල් ඇන්ජිලෝ හුදු ගල්කුලක් වෙතින් චමත්කාරජනක ප්‍රතිමාවක් දුටු අන්දමින් සිතින් දැකිය හැකිනම් ඔබට ඔබේ සිහිනය අනිවාර්යයෙන්ම සැබෑ කරගත හැකිය.  




ජෝන් F කෙනඩි ඇමරිකා ජනාධිපතිවරයා වශයෙන් සිටියෙදී ඔහුව බැලීම සඳහා ධවල මන්දිරයට පැමිණෙන පුද්ගලයන් සමඟ සුළු වෙලාවක් ගත කරයි. තමාව බැලීමට පැමිණි පාසල් සිසුවන්, තරුණයන් මොවුන් සමඟ කෙටි වෙලාවක් සුහඳ සාකච්ඡාවක් පවත්වයි. එසේ පැමිණි පාසල් ශිෂ්‍යයන්ගෙන් මුහුණ පුරා සිනහව තවරාගෙන සිටි එක් ශිෂ්‍යයෙකුගේ කම්මුලට තට්ටුකර ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද යැයි ඇසුවේය ජනාධිපති කෙනෙඩි. එයට එම සිසුවා "අද ඔබ ඉන්න තැන හෙට මම ඉන්න ඕනෑ මේක තමයි මගේ අනාගත ඉලක්කය" යනුවෙන් ගාම්භීරව පැවසීය. මෙය ඇසු කෙනෙඩි ඇහිබැම ඔසවා Good යනුවෙන් පවසා ඔහුගේ පිටට තට්ටුකර එතැනින් පිටත්විය.



ඇමරිකා ජනාධිපති වීම තමයි මගේ ඉලක්කය යනුවෙන් පැවසූ එම පුංචි සිසුවා පසුකාලයේදී ඔහු පැවසූ පරිදිම ඇමරිකා ජනාධිපති අසුනේ ඉඳගත්තේය. එම පුංචි සිසුවා වෙන කව්රුත් නෙමෙයි ඇමරිකාවේ 42 වැනි ජනධිපති බිල් ක්ලින්ටන්ය.



බිල් ක්ලින්ටන් දැකපු සිහිනය ඇමරිකා ජනාධිපති අසුනේ ඉඳගැනීමයි. ඔහු කුඩා වියේදීම තමාව ඇමරිකා ජනාධිපති වශයෙන් සිතීමට පටන් ගත්තේය. අනාගතයේ ජනධිපති වශයෙන් වැඩ කරන අන්දම ළමා වියේදීම සිහින දුටුවේය. එම සිහිනය සැබෑ කරගැනීම සඳහා රෑ දවල් නොබලා වෙහෙස විය. අවසානයේදී ඔහු1993 දී තමාගේ සිහිනය සැබෑ කර ගත්තේය. අතීතයේ පිටු පෙරළා බලන්න බිල් ක්ලින්ටන් වැනි සිහින දැක එය සැබෑ කරගත් පුද්ගලයන් දහස් ගණනකගේ නම් රන් අකුරින් ලියවී ඇත.




Christopher Columbus

එවැනි සිහින දැකපු තවත් තරුණයෙකුගේ කතාවයි මෙය. ඔහු චිත්ත ශක්තිය ඇති තරුණයෙකි. ලොව ජයගත යුතුයි යන බලවත් ආශාව ඔහුගේ සිත තුළ නිදන්ගතව තිබුණි. නමුත් අවාසනාවකට මෙන් ඔහුගේ පියා දුප්පත් ඇඳුම් මසන්නෙකු විය. ඔහුගේ පියාත් සාමාන්‍ය මිනිසුන් වගේම තමාගේ පුතාව ඔහුගේ රැකියාවේම යොදා ගන්නට තීරණය කළේය. ඔහුටත් වෙන කිසිවක් කිරීමට නොහැකි නිසා ඔහුගේ පියාගේම රැකියාව කිරීමට පෙළඹුණේය. නමුත් ඔහුගේ අත් දෙක ඇඳුම් මසද්දී ඔහුගේ සිත අනාගතය ගැන සොඳුරු සිහින මැව්වේය.


කවදා හෝ කුමක් හෝ කරනවා යැයි දවල් හීන දකින කාලකන්නියන් අතර මොහු තමාගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා දිනපතා වෙහෙසුනේය. මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ළඟා විය යුතුයි යන සිහිනය මුහුදට වඩා විශාලව ඔහුගේ සිතේ තැන්පත්ව තිබුනේය. ඔව්....... ඔහුගේ භූමියේ සිට නැගෙනහිර දිශාවේ ඇති ඉන්දියාවට ගොඩබිම් මාර්ගයෙන් තොරව මුහුදු මාර්ගයෙන් ගමන් කළ යුතුයි යන්නයි ඔහුගේ සිහිනය. මෙම දැවැන්ත සිහිනය දුටු එම තරුණයාගේ නම ක්‍රිස්ටෝපර් කොලොම්බස් ය.


Princess Isabella


ලෝකයා මුහුදු පතුලේ මත්ස්‍යයන් හා මැණික් සොයද්දී අලුත් රටක් සොයාගැනීමේ තදබල ආසාව ඔහුගේ සිත් සතන් තුල සැඟවී තිබුනේය. නමුත් ඔහුට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. නොයෙක් රටවල රජවරුන්ගෙන් උදව් ඉල්ලා සිටියත් නැව්, ආහාර සහ නැව් පදවාගෙන යාමට නාවිකයන් ලබාදීමට කිසිම රජෙක් ඉදිරිපත් වූයේ නැත. කිසිවිටෙකත් පරාජය භාර නොලබන ඔහුගේ සිත මෙම පරාජය තුට්ටුවකටත් මායිම් නොකළේය. අවරුදු 10 ක් එකදිගට උත්සහ කිරීමෙන් පසුව ස්පාඤ්ඤ (spain) රටේ රජකුමරිය වන ඉසබෙල්ලාට මොහු ගැන පැහැදීමක් ඇතිවිය. ඇය මොහුට ගමනට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සමඟ නැව් 3 ක් ලබා දුන්නාය.



ඊළඟ ප්‍රශ්නය මතුවිය. නැව පැදවීමට සහ ඔහු සමග ගමන් කිරීමට කිසිම නාවිකයකු ඉදිරිපත් නොවීය. කා, බී කිසවක් නොකර සිටනවුන් පවා මොහු සමග පැමිණීමට සුදානම් වූයේ නැත. මීට කලින් නොගිය මුහුදු මාර්ගයේ ගමන් කර තම පණ පරදුවට තැබීමට කිසිම නාවිකයකු සුදානම් වූයේ නැත. නමුත් කොලොම්බස් විශ්වාසය අතහැරියේ නැත.



මරණ දඬුවමට නියම වෙච්ච සිරකරුවන් සහ කොල්ලකරුවන් රැගෙන යාමට ඔහු තීරණය කළේය. අපේක්ෂිත මරණය නැතිනම් අනපේක්ෂිත මුහුදු ගමන යනාදීන්ගෙන් එකක් තෝරා ගැනීමට එම සිරකරුවන්ට මොහු අවස්ථාව ලබාදුන්නේය. මරණයට වඩා මුහුදු ගමන හොඳ යැයි සිතු සිරකරුවන් සත් දෙනෙක් මොහු සමග ලෝකයේ මෙතෙක් ගිය ශ්‍රේෂ්ටතම ගමන යාමට තීරණය කළේය. දඬුවමට නියම වෙච්ච සිරකරුවන් රැගෙන යාම කෙතරම් ලොකු වරදක්ද? කොලොම්බස් මේවා සියල්ල තඹ සතයකට මායිම් නොකර සුළඟ සහ මුහුද ඉරාගෙන තමාගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා පිටත් විය.



ගමන අතරතුරේදී ඊළඟ ප්‍රශ්නය ඇතිවිය. නැගෙනහිර දෙසට ගමන් කළ යුතු නැව වැරදීමකින් උතුර බලා ගමන් කළේය. කොලොම්බස් අතින් සිදුවූ එම පුංචි වැරැද්ද ලෝක ඉතිහාසය වෙනස් කෙරුවේය. වීරයන් කවදත් පරාජය නොවන බව සනාථ විය. උතුර බලා ගිය වැරදි ගමන ඇමෙරිකාව නමැති දැවැන්ත රට සොයාගැනීමට ඉවහල් විය. දුප්පත් ඇඳුම් මසන්නගේ සිහිනය සැබෑ වී ඇමෙරිකාව ඔහුගේ අතට පත්විය.



අපි ඉලක්කයක් තබා ගමන් කරද්දී කොලොම්බස් වාගේ නොයකුත් බාධාවන්ට මුහුණ දීමට සිදුවෙයි. ඒවා තුට්ටුවකටවත් මායිම් නොකරන්න. ඉදිරියටම ගමන් කරන්න. පසුබාන කිසිදු මිනිසෙකු මෙලොව ජයගෙන නැත. ඔක්සිජන් පිරවූ බැලුම් බෝලයක් උඩ යනු ඇත. එහෙත් එයට නිසි ඉලක්කයක් නැත. ඔහේ යන්නන් වාලේ ඉහළ යයි. එහෙත් අභ්‍යවකාශ ගත කරන රොකට්ටුවක් එසේ නොවේ. එය ඊතලයක් මෙන් නිසි ඉලක්කය වෙත යයි. ඒ නිසා ඔබ ඔක්සිජන් පිරවූ බැලුම් බෝලයක් නොවී රොකට්ටුවක් වන්න. 



yathrava.blogspot.com