වෙරළ හා කලපු


වෙරළ තීරයේදී හමුවන කලපු ලෙස අප හඳුන්වන පරිසර පද්ධතිය විශේෂ අවධානයට ලක්‌විය යුතු කලාපයක්‌ ලෙස පසුගිය සතියේ අප සාකච්ඡා කළා. දකුණේ වෙරළ තීරය පසුකර නැගෙනහිර දිශාවට ගමන් කරන්නෙකුට හමුවන කලපු ගණනාවක්‌ අතර මඩකලපුව වැදගත් ස්‌ථානයක්‌. ත්‍රිකුණාමලයත් එලෙසම වැදගත් කලපුවක්‌ ලෙස පැවති නමුත් අද එහි එම ලක්‌ෂණයන් බොහෝ දුරට පහවී ගොස්‌ එහි දැකිය හැකිය හැක්‌කේ වරායක ස්‌වරූපයකි.

සෑම කලපුවකම පාහේ දැකිය හැකි මූලික ලක්‌ෂණයක්‌ වන්නේ ගොඩබිමින් ඊට සම්බන්ධ වන කුඩා හෝ දියපහරක්‌ එහි දැකිය හැකි වීමයි. කලපු පද්ධතියක්‌ ලෙස හඳුන්වන්නේ ඊටම ආවේණික වූ ජීව ක්‍රියාවලි සමුදායක එකතුවක්‌. එහි ඊටම ආවේණික මෙන්ම මිනිසුන් හා සම්බන්ධ වුණු ක්‍රියාවලියක්‌ද දැකිය හැකියි. මේ විවිධත්වය ඉතා මැනවින් දැකිය හැකි ස්‌ථානයකි මීගමුව කලපුව. ධීවර කර්මාන්තයේ මස්‌කොටු ක්‍රමය ලෙස හඳුන්වන කොළ අතු යොදා ගෙන මසුන් අල්ලන ක්‍රමය වැනි සුවිශේෂ ක්‍රම මෙම කලපුව ආශ්‍රිතව දැකිය හැකියි. 

අපේ රටේ වෙරළබඩ පරිසරයේ දැකිය හැකි එකිනෙකට වෙනස්‌ වූ ස්‌වභාවය එනම් විවිධත්වය නිර්මාණය වූ ආකාරය පිළිබඳව විවිධ විද්වතුන් සිදුකළ පර්යේෂණ අතර 1920 වසරේ මැල්පස්‌ නමැති පර්යේෂකයා වෙරළබඩ පරිසරයේ ප්‍රධාන පද්ධති 13 ක්‌ ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු එදා දුටු මේ විවිධත්වය අපේ රටේ වෙරළ තීරය තුළින් යම් ප්‍රමාණයකට අදත් හඳුනාගන්නට පුළුවන්.

කොළඹ සිට උතුරට ගමන් කරන විට වෙරළේ වැල්ලෙහි වර්ණයෙහි සිදු වන වෙනස හඳුනාගත හැකියි. විශේෂයෙන් හලාවත ප්‍රදේශයේදී අපට හමුවන්නේ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්‌ වැලි සහිත වෙරළක්‌. එසේම එම වෙරළ තීරය පුරා පැතිරුණු වැලි ගලක්‌ දකින්නට පුළුවන්. එමෙන්ම හලාවතින් උතුරු දෙසට යන්නෙකු පිවිසෙන්නේ ග්ලැසියර යුගවලදී මුහුදු මට්‌ටම වෙනස්‌ වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාධක හමුවන වෙරළ තීරයකටයි.

අපේ රටේ ග්ලැසියර භූ රූප නැතත් ග්ලැසියර යුගයේ බලපෑම මේ දූපතට ඇතිවී තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට මීටර් 400 ක්‌ පමණ ගොඩබිම දෙසට වන භූමි ප්‍රදේශය මීට වසර මිලියන 40- 50 තරම කාලයකට පෙර මුළුමනින්ම මුහුදින් යට වූ ප්‍රදේශයක්‌. හලාවත ප්‍රදේශයේ වෙරළ තීරය මෙන්ම බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම, මුතුරාජවෙල ආදියත් සැලකෙන්නේ වසර මිලියන 40 - 50 කාලයකට පසු යුගයේ භූ රූප හැටියටයි. 

සුළං පද්ධතියේ වෙනස්‌ වීම අනුව වෙරළ තීරයේ පරිසරය එක්‌ වසරක්‌ තුළ කිහිප අවස්‌ථාවකදී වෙනස්‌ වීම්වලට භාජන වෙයි. තවදුරටත් මේ පිළිබඳ විමසිලිමත් වන්නෙකුට දවසේ උදය සහ සවස වෙරළ තීරයේ සිදුවන වෙනස්‌වීම් ගණනාවක්‌ දැකගැනීමට පුළුවන. දිවා කාලය එළඹෙන විට සෑම වෙරළ තීරයකම දැකිය හැකි පරිසරය උදයේ හෝ සවස්‌ කාලයට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී. වෙරළක ස්‌වභාවය වෙනස්‌ වන ඊළග ප්‍රධාන කාරණය වන්නේ වඩදිය සහ බාදියෙහි බලපෑමයි.

මේ අප සාකච්ඡා කරන සියලූ වෙනස්‌කම්වලට මුහුණදීමට වෙරළබඩ ශාක සහ සත්ත්ව ප්‍රජාවන් සිදුකරගන්නා අනුවර්තනයන් දෙස විමසිලිමත්වීම වෙරළේ සුන්දරත්වය විඳගැනීමට ඉතාමත් අවශ්‍ය කාරණයක්‌. ජලයේ වැඩුණත් පෝෂණයට අවශ්‍ය ජලය නැති පරිසරයක ඔවුන්ගේ පැවැත්ම සඳහා සිදුකරගෙන ඇති අනුවර්තනයන් එනම් ශුෂ්ක පරිසරයක පැවැත්ම තහවුරු කරගෙන ඇති අන්දමත් වෙරළ හා කලපු ආශ්‍රිත පරිසරයන්හි දැකිය හැකි විශේෂ ලක්‌ෂණයකි. ගොඩබිම් තඹුරු, මුහුදු බිම්තඹුරු, මහාරාවණා රවුල, වැටකෙයා වැනි ශාක තුළ සැකසුණු අනුවර්තනයන් දැකිය හැක්‌කේ වෙරළ හා කලපු පරිසරය තුළ පමණය. වේගවත් සුළඟට ඔරොත්තු දෙන පරිදි සැකසුණු මුල් මෙන්ම එම සුළඟ තුළින්ම එම ශාකවල පැතිරීම ද එම පරිසරයේ පැවැත්ම සඳහා සොබාදහමින්ම එම ශාකවලට හිමිවී ඇති අනුවර්තනයන්. වෙරළබඩ පරිසරයේ සිදුවන මෙම ජීව ප්‍රවාහයෙන් වෙන්වී කලපුවක හෝ වෙරළක සුන්දරත්වය විඳගත නොහැකියි.

වෙරළක සුන්දරත්වය වඩාත් නංවන ප්‍රධාන අංගයකි රළ. රළ වෙරළට පැමිණෙන ආකාර ගණනාවක්‌ තිබෙන බව ඒ දෙස විමසිලිමත්ව බලන්නෙකුට දැකගත හැකියි. මුහුදු දිය මත පනිමින් වෙරළට වදින රළ. වෙරළ දෙසට වැක්‌කෙමෙන් එන ස්‌වභාවයක්‌ පෙන්වන රළ ආදී වශයෙන් රළ වෙරළට පැමිණෙන ප්‍රභේද ගණනාවක්‌ ඒ දෙස විමසිලිමත්ව බලන්නෙකුට හඳුනාගන්න පුළුවන්. බොහෝ දෙනෙක්‌ වෙරළ දෙස බලන්නට පුරුදු වී සිටින්නේ සැඳෑ කල හිරු බැස යන මොහොතේ එහි මැවෙන චමත්කාරය රසවිඳීමට පමණයි. එහෙත් රට වටා ඇති වෙරළ සහ කලපු පද්ධතිය යනු මේ දූපතේ අති දීර්ඝ ඉතිහාසයක සලකුණු රැඳි චමත්කාරයෙන් හා සුන්දරත්වයෙන් පිරි, විශාල ආර්ථික වටිනාකමක්‌ ද සහිත ජීව ප්‍රවාහයකි.

සාකච්ඡා සටහන පාලිත සේනානායක

Post a Comment

0 Comments