මිනිස් සිරුරේ සියලුම ඉන්ද්‍රියයන් පාලනය කරනු ලබන්නේ මොළයෙනි. හදිසි අනතුරුවලින් දරුණු ලෙස මොළයට හානි සිදුවීම නිසා රෝගියකුගේ මොළය මිය ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් තහවුරු කරනු ලැබුවහොත් එම රෝගියා නැවත කිසිදු ලෙසකින් ප්‍රකෘති තත්ත්වයට පත් නොවන්නේය. මොළය මියගිය රෝගියා යනු සැබැවින්ම මියගිය පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ සිරුරේ අවයව කොටස් ගණනාවක් ජීවත් කළ හැකිය. ඒ අවයව අකර්මණ්‍ය වීමෙන් ගිලන්ව මරණය අභිමුව සිටින රෝගීන්ට එම ශාරීර කොටස් දන් දීමෙනි. මොළය මියයැම නිසා අනිවාර්යයෙන්ම මිය යන රෝගියකුගේ අවයව මරණය දකිමින් ජීවත්ව සිටින රෝගියකු නොව, රෝගීන් අටදෙනකු ජීවත් කරවීම සඳහා බද්ධ කළ හැකිය. එය ජීවිත දානයකි. මොළය මිය ගොස් පොළවට පස් වන්නට නියමිතව සිටින තැනැත්තාට ආත්ම ගණනාවකට පිං රැස් වන කුසල කර්මයකි. එනම් හදිසි අනතුරකින් දරුණු ලෙස මොළයට හානි සිදු වී මොළය මිය ගිය රෝගීන්ගේ හෘද ස්‌පන්දනය, පෙනහලු ක්‍රියාකාරිත්වය, රුධිර සංසරණ ක්‍රියාකාරිත්වය ආදිය යන්ත්‍රයක් ආධාරයෙන් තවත් සුළු කාලයක් ක්‍රියාකාරීව පවත්වාගෙන යා හැකිය. රෝගියා යන්ත්‍රයෙන් ඉවත් කිරීමට පෙර එම රෝගියාගේ ඥාතීන්ගේ කැමත්ත මත ශරීර අවයව කොටස් ලබාගෙන වකුගඩු, අක්‌මාව, පෙනහලු අකර්මණ්‍ය වූ රෝගීන්ට බද්ධ කළ හැකිය. එහෙත් එම කර්තව්‍යය ලේසි පහසු කටයුත්තක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන් කණ්‌ඩායමක් යටතේ සිදු කෙරෙන විශ්මිත ශල්‍යකර්මයක ප්‍රතිඵලයකි.
මේ අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මය අවුරුදු හය, හතක කාලයක සිට ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළුව ප්‍රධාන පෙළේ මහ රෝහල් කිහිපයක සාර්ථකව සිදුකෙරිණි. එහෙත් මෙරට වකුගඩු සහ අක්‌මා රෝගීන්ගේ වර්ධනයට සාපේක්‍ෂව අවයව බද්ධ කිරීමේ වැඩසටහන ජාතික මට්‌ටමට පැමිණ නැත. එහෙයින් රටක් වශයෙන් මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව කොටස් ලබාගෙන දුප්පත්, පොහොසත් බේදයකින් තොරව වකුගඩු, අක්‌මා රෝගීන්ට ලබාදීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. දැනටමත් මේ අවයව බද්ධ කිරීමේ වැඩසටහන දීපව්‍යාප්ත දියුණු කිරීමට කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශය විසින් විශාල වැඩ කොටසක් කරගෙන යන්නේය. ඒ ගැන විමසා බැලීමට අප කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතා හමු වීමු. මේ ඒ මහතා අපට දැක්‌වූ අදහස්‌ය.
''මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව අරගෙන, වකුගඩු, අක්‌මාව අකර්මණ්‍ය රෝගීන්ට බද්ධ කිරීමේ ශල්‍යකර්මය අවුරුදු හය හතක කාලයක ඉඳලා අපේ රටේ කරගෙන යනවා. 2015 ඉඳලා තමයි කොළඹ ජාතික රෝහලේ අපි එකතුවෙලා මේ අවයව බද්ධ ශල්‍යකර්මය ටිකක් දියුණු මට්‌ටමින් කරගෙන යන්නෙ. මේ අවුරුදු දෙකට වකුගඩු විසි හතරක් වෙනත් රෝහල්වල සිටින රෝගීන් වෙනුවෙන් ලබාදෙන්න අපිට පුළුවන් වුණා. මෑතකදී කොළඹ ජාතික රෝහලෙන් අපි ලබාගත්ත වකුගඩු දෙක ලබාදුන්නෙ නුවර මහ රෝහලේ රෝගීන් දෙන්නෙකුට. ඒ රෝගීන්ව අපි දැකලවත නෑ. ඒත් තවම මේ වැඩසටහන ජාතික මට්‌ටමට දියුණු වෙලා නෑ. රටක් හැටියට අපි යන්න ඕනෑ එතැනටයි. මේ වැඩසටහන දියුණු කරන්න අපි විශාල වැඩ කොටසක් කරගෙන යනවා...''
''ලංකාවේ දැඩිසත්කාර ඒකක 110 ක් තියෙනවා. ඒ අතරින් රෝහල් හතළිස් ගාණක දැඩිසත්කාර ඒකක 81 ක නිතරම මොළය මියගිය රෝගීන් ඉන්නවා කියලා අපි හඳුනාගෙන තියෙනවා. පහුගිය දවස්‌වල ඒ හඳුනාගත් ප්‍රධාන පෙළේ දැඩිසත්කාර ඒකක 81 ක වෛද්‍යවරු, හෙද, හෙදියන් එක තැනකට එකතු කරලා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළා. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශය විසින් මෙරට වෙනත් රෝහල්වල දැඩිසත්කාරවල සිටින මොළය මියගිය රෝගීන්ගේ අවයව ලබාගන්න වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඒක වෙන්නෙ ඒ, ඒ රෝහල්වල ප්‍රධානීන්ගේ අවසරය, මොළය මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ ද කැමත්ත ඇතිවයි. එහෙම ගන්න අවයව රටේ වෙනත් රෝහල්වල සිටින වකුගඩු, අක්‌මාව අකර්මණ්‍ය වෙච්ච රෝගීන්ට බෙදලා දෙනවා. මේ වැඩසටහන ජාතික මට්‌ටමට දියුණු කරගන්න පුළුවන් වුණොත් වකුගඩු, අක්‌මා, පෙනහලු අකර්මණ්‍ය රෝගීන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගන්න පුළුවන්...''
''අපේ රටේ දැනට එක පෙනහලු බද්ධයක් පමණයි කරලා තියෙන්නෙ. ඒකත් පෞද්ගලික රෝහලක. මොළය මියගිය පුද්ගලයන්ගේ පෙනහලු ලබාගෙන පෙනහලු බද්ධයත් සාර්ථකව කරන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහල්වල ඉන්නවා. ඒ වගේම අපේ රටේ අක්‌මාව අකර්මණ්‍ය වෙන රෝගීන් සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. අක්‌මාව අකර්මණ්‍ය වෙන්නෙ අධික මත්පැන් භාවිතයෙන්ම නෙමෙයි, කිසිම දවසක මත්පැන් නොබිව්ව පුද්ගලයන්ටත් සිරෝසීස් රෝගය හැදිලා අක්‌මාව අකර්මණ්‍ය වෙනවා. සිරෝසීස් හැදුන රෝගීන්ට තියෙන එකම විකල්පය ඉන්දියාවට ගිහින් ශල්‍යකර්මයක් කරලා අක්‌මාවක් බද්ධ කරගැනීම. ඒකට රුපියල් මිලියන 12 ක් විතර වියදම් වෙනවා. සල්ලි තියෙන අය ඉන්දියාවට ගිහින් ශල්‍යකර්මය කර ගන්නවා. සල්ලි නැති දුප්පත් මිනිස්‌සු රෝගයෙන් දුක්‌විඳලා මැරිලා යනවා. 2010 අවුරුද්දේ ප්‍රථම වරට කොළඹ ජාතික රෝහලේ අක්‌මා බද්ධයක් සිදු කළා. ඊට පස්‌සෙත් ජාතික රෝහලේ අක්‌මා බද්ධ කිහිපයක් කළා. රාගම රෝහලෙත් අක්‌මා බද්ධ කිරීම් කළා. ඒත් දැන් ඒ රෝහල් දෙකේම අක්‌මා බද්ධ කරන එක නතර වෙලා. දැන් අපි උත්සාහ කරන්නෙ ඉන්දියාවට යන්න මුදල් නැති අසරණ මිනිසුන් වෙනුවෙන්, රටටම ගැලපෙන අක්‌මා බද්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න. දැනටමත් අපි ඒක ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. අපිට තිබුණු ප්‍රධාන අඩුපාඩුව අවයව නැති එක. ඒත් මුළු රටේම ප්‍රධාන පෙළේ දැඩිසත්කාර ඒකක එකතු කරගැනීමත් සමඟ අක්‌මා බද්ධ කිරීමේ වැඩසටහනෙත් ලොකු ප්‍රගතියක් තියෙනවා. රජයේ රෝහලක වකුගඩු, අක්‌මා බද්ධ කිරීම් කළත් දැනට රෝගීන්ට යම් පිරිවැයක් දරන්න වෙනවා. අපේ මේ වෑයම රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකර අදාළ සැත්කම් සිදු කිරීමට පරිසරය සකස් කරගැනීමයි. ඒ වගේම මේ අවයව බද්ධ ක්‍රමය ලෝකයේ දියුණු රටවල අති සාර්ථකව කෙරෙනවා. ඒ රටවල 95 % ට වැඩි ප්‍රමාණයක් සිදුකෙරෙන්නෙ මිය ගිය පුද්ගලයන්ගේ අවයව බද්ධ කිරීම...''
වයස් බේදයකින් තොරව බාල, වැඩිහිටි ඕනෑම කෙනෙකු වකුගඩු, අක්‌මාව අකර්මාණ්‍ය වීමේ රෝගයට ගොදුරුවීමට ඉඩ තිබේ. ජානමය ගැටලු, අසාත්මික රෝග හේතු කොටගෙන පුංචි දරුවන් උපතේදීම වකුගඩු, අක්‌මාව අකර්මාණ්‍ය වීමේ රෝගයට ගොදුරු වන බව ද සැබෑය. පසුගිය වසරේ රජයේ රෝහල්වල පමණක් වකුගඩු රෝගීන් 2187 මියගොස් තිබේ. එමෙන්ම අක්‌මාව අකර්මණ්‍ය වීම නිසා රෝගීන් 1700 ක් පමණක් මියගොස් ඇත. මේ රෝගී තත්ත්වයන් දෙක යටතේ සෑම වර්ෂයකම රජයේ රෝහල්වල පමණක් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වේ. මෙය බරපතල ජාතික ප්‍රශ්නයකි. එහෙත් මේ ශරීර අවයව කොටස් අකර්මණ්‍ය වූ විට නැවත යථා තත්ත්වයට සුවපත් කිරීම අසීරුය. එහෙයින් එයට සාර්ථකම ප්‍රතිකර්මය අකර්මණ්‍ය වූ අක්‌මාව හෝ වකුගඩුව ඉවත් කර නැවත අලුතින් බද්ධ කිරීමය. එහෙත් පිනට හෝ වකුගඩුවක් ලබාදීමට පින්වන්තයන් සිටිය ද, අක්‌මාවක් දන් දෙන පුද්ගලයන් විරලය. එමෙන්ම 1985 අවුරුද්දේ මෙරට පළමු වකුගඩු බද්ධය සිදු කළ දා සිට මේ දක්‌වා වකුගඩු රෝගීන් වැඩි ප්‍රමාණයකට බද්ධ කර ඇත්තේ ජීවත්ව සිටින පුද්ගලයන්ගේ වකුගඩුය. එහෙත් වකුගඩු රෝගීන් වර්ධනය වන ප්‍රවණතාවට සාපේක්‍ෂව වකුගඩු දන් දෙන ප්‍රමාණය වර්ධනයක් පෙන්නුම් නොකරේ. එහෙයින් මුදලට වකුගඩු විකිණිමේ ජාවාරම ද රට පුරා පැතිර ගියේය. වතුවල අසරණ මිනිසුන්ගේ වකුගඩු තුට්‌ටුවට දෙකට උගුල්ල ගන්නා තැනට තත්ත්වය දරුණු විය. මෙරට ඇතැම් පෞද්ගලික රෝහල් තුළ වකුගඩු උගුල්ලා ගැනීමේ ජාවාරම ජයටම සිදු කෙරුණු බව පසුගිය කාලයේ ඕනෑවටත් වඩා වාර්තා විය. වකුගඩු ජාවාරම්කාරයන්ට මෙරට තෝතැන්නක් වූයේ වකුගඩු බද්ධයට මෙරට ජාතික වැඩපිළිවෙළක් නොතිබූ නිසාය. දැන් අපට බලාපොරොත්තු තැබිය හැකි මට්‌ටමට අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් දලුලමින් තිබේ. එවැනි ජාතික මට්‌ටමේ අවයව බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීම රටේ ජනතාවගේ වාසනාවකි.
ලෝකයේ රටවල් 57 කට ඇස් 73000 ක් දන් දී ඇති, බෝසත් කුලයකින් පැවත එන අපේ රටේ මිනිසුන් දන් දීමට කැමතිය. මිය ගිය සිරුරේ අවයව ගෙන මරණය දකිමින් සිටින කෙනෙකුව ජීවත් කිරීමට හැකි නම් ඊට කිසිවකු අකමැති නොවේ. අවශ්‍ය මේ සම්බන්ධයෙන් නිවැරැදි සමාජය දැනුවත් කිරීම පමණි.
දැනටමත් අපි මේ වැඩසටහනේ
පෙර ගමන්කරුවන් විදිහට කටයුතු කරනවා
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
ශ්‍රී ලංකා ජාතික රෝහලේ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්
අවයව බද්ධ කිරීමේ වැඩසටහන ජාතික තලයට ගෙන යැමට ශ්‍රී ලංකා ජාතික රෝහලේ මැදිහත්වීම කෙසේදැයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අපි විමසා සිටියෙමු. මේ ඒ මහතා දැක් වූ අදහස්‌ය.
අවයව බද්ධ කිරීම් හැටියට වකුගඩු, අක්‌මාව, පෙනහලු, හදවත් බද්ධ කිරීම් කෙරෙනවා. ඒත් දැනට අපි සැලසුම් කරලා තියෙන්නෙ වකුගඩු සහ අක්‌මා බද්ධ කිරීම් පමණයි. වකුගඩු රෝගය, අක්‌මා අකර්මණ්‍ය රෝග අපේ රටට බරපතල ගැටලුවක්. කොළඹ ජාතික රෝහලේ තමයි ලංකාවේ වැඩියෙන්ම වකුගඩු බද්ධ කිරීම් කෙරෙන්නෙ. අක්‌මා බද්ධ කිරීමත් කරලා තියෙනවා. මෙරට වෙනත් ප්‍රධාන රෝහල්වලත් කෙරෙනවා. එතැනදී බලපාන ප්‍රධාන ගැටලුව තමයි අවශ්‍ය අවයව ප්‍රමාණවත්ව නොතිබීම. මේ අවයව සොයාගැනීමට ජාතික මට්‌ටමේ වැඩසටහනක් තියෙන්න ඕනා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනා සෞඛ්‍ය අමාත්‍යාංශය. එම කර්තව්‍යයේ ප්‍රධාන නියමුවා වෙන්න ඕනා ශ්‍රී ලංකා ජාතික රෝහල. දැනටමත් අපි මේ වැඩසටහනේ පෙරගමන්කරුවන් සේ ක්‍රියාත්මක වෙමින් විශාල වැඩකොටසක් කරගෙන යනවා. මෑතකදී මේ වැඩසටහනටම කියලා අමාත්‍යාංශයෙන් විශේෂ වාහනයක් අපට ලබා දුන්නා. දැන් අපිට පුළුවන් වෙනත් රෝහලක දැඩිසත්කාර ඒකකයක සිටින මියගිය කෙනෙකුගේ අවයව කොටස් ලබාගෙන තවත් රෝහලක සිටින රෝගීයෙකුට ලබාදෙන්න. ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ වෙනම වෛද්‍ය කණ්‌ඩායමක් ඉන්නවා. මේ සඳහා අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් දියුණු කරගන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.
ඡායාරූප - නිමල් දයාරත්න
0 Comments