රුහුණේ තිබුණේ යෑයි සිතිය හැකි රෝහණ වංසට්‌ට කතාව දැන් විනාශ වී ගොස්‌ය. අංගුත්තර නිකායට අයත් මනෝරථපුරාණයේ හා විභංගප්පකරණයට අයත් සම්මෝහවිනෝදනියේ රුහුණේ පුවත්, ජනතාවගේ දිවි පෙවෙත, ආගමික සිද්ධස්‌ථාන හා භිකෂූන් වහන්සේලා ගැන බොහෝ තොරතුරු අඩංගුය. තවද දීපවංශය, සීහලවස්‌තුපකරණය, සහස්‌සවත්ථුපකරණය, රසවාහිනිය, ලළාටධාතුවංසය , මානාවුළු සන්දේශය, පදසාධන සන්නස, කහකුරුළු සන්දේශය, නීලකොබෝ සන්දේශය, ගජමන් නෝනාගේ දැඩිතර ශෝකාලාපය ජනකවි වලින් හා ජනශ්‍රැතිය මගින් ද රුහුණ ගැන අපට තොරතුරු ලැබේ.
එහෙත් මේ එකදු ලේඛනයක්‌වත් අනුරාධපුර ශිෂ්ටාචාරය බිහිවීමට කලින් ලියෑවුණු ඒවා නොවේ. ඒ නිසා ඒවායින් අපේ මාතෘකාවට ලැබෙන පිටිවහලක් නැත. එසේ නම් අනුරාධපුරයට කලින් රුහුණ ජනාවාස වී තිබුණේ නැද්ද? ඇත්තටම රුහුණ ජනාවාස වූයේ කවදාද? රුහුණ ගැන කතා කරද්දී කිසි විටකත් එය හුදකලා කරගෙන කතා කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‌කි ඉතිහාසඥයන්වත් පුරා විද්‍යාඥයන්වත් අපට සපයා නැත.
ඒ නිසා පළමුවෙන්ම අනුරාධපුර යුගය ගැන කීමටම ලියෑවුණු මහාවංසයෙන්ම රුහුණේ ඉතිහාසය ගැන සොයා බලමු. මහාවංශයෙන් ඒ සඳහා ඉඟි 3 ක් අපට ලබා දී ඇත.
පළමුවැන්න පණ්‌ඩුවාස රජුගේ බිසව වන භද්දකච්චානාගේ සහෝදරයන් 6 දෙනෙක් තම නංගි හොඳින් පැමිණියාද කියා අසාගෙන පැමිණ ලංකාවේ නා නා දෙසින් ගොඩ බැස ඒ ඒ තැන්වල රජ වූ බවයි. මේ අය ඇත්තටම ජනාවාස නැති තැන්වල ජනාවාස පිහිටෙව්වාද? නැතිනම් ඒ ප්‍රදේශවල සිටි මිනිසුන් මර්දනය කර බලය ඇල්ලුවාද? එසේත් නැතිනම් බුදුහිමිගේ නෑයන් වූ නිසා අප ඔවුනට රාජ්‍ය පිදුවාද?
දීඝවාපියේ ඇති සෙල්ලිපියකට අනුව අමිතෝධන පරපුරක් ගැන කියෑවේ. අමිතෝධන යනු සිදුහත් කුමරුගේ පියා වන සුද්ධෝදන රජුගේ මල්ලි ය. ඔහු භද්දකච්චානාගේ පියා වන පණ්‌ඩුශාඛ්‍යගේ පියාය. භද්දකච්චානා අනුරාධපුරයට පැමිණි විලාසයෙන්ම (පැවිදි වෙස් ගෙන) ඇය ආරක්‌ෂාව පතා පැමිණි බව පැහැදිලිය. ඇය මෙහි පැමිණියේ අපේ වංස කතාවලට අනුව නම් බුද්ධ පරිනිර්වාණයෙන් අවු. 31 කට පසුවයි. මේ අනුව දේ.දු.ද.සොයිසා මැතිතුමා කියන්නේ අනිවාර්යයෙන්ම ඇයට මේ වන විට වයස අවු. 90 ක් විය යුතු බවයි.
ඇත්තටම බෞද්ධ ඉතිහාසයට අනුව නම් ඇයටත් ඇයගේ සහෝදරයන්ටත් පලා යාමට සිදු වූ කරුණක් අපට හමුවේ. ඒ විඩුඩභ කුමරුගේ ශාක්‍ය සංහාරයයි. එහිදී ඉතිරි වූයේ පණ්‌ඩුශාක්‍ය පමණයි. ඇත්තටම මෙය සිදු වූයේ බුදුහිමියන් ජීවමානව වැඩ සිටිනා අවධියේය. හරියටම පැවසුවහොත් බුදුහිමියන්ගේ අන්තිම අවුරුදු 8 තුළදී ය. අප කවුරුත් දන්නා පරිදි බුදුහිමි පිරිනිවන් පා වදාළේ අජාසත් රජුගේ 8 වැනි රාජ වර්ෂයේදීය. අජාසත්ගේ මව වූයේ පසේනදී කොසොල් රජුගේ සහෝදරියයි. අජාසත් රජ වූ සැනෙකින් කොසොල් රජු ඔහුට විරුද්ධව සටනට එන්නේ තම සහෝදරියට හා ඇයගේ සැමියාට වූ අසාධාරණයට පලිගැනීමටයි. මේ අවස්‌ථාවේ බුදුහිමි මෙය සංසිඳවාලූ බව පැවසෙන අතර කොසොල් රජුගේ දියණිය ද අජාසත් රජුට සරණ පාවා දුණි. ඉනුත් පසුවයි කොසොල් රජු මියයන්නේ. එවිට කොසොල් රාජ්‍යයට පත් වූයේ කොසොල් රජුටම දාව වෛශ්‍යා ස්‌ත්‍රියකට උපන් විඩුඩභ කුමරුයි. ඔහු තමාගේ පහත් ජන්මය කියා පාමින් තමාව ගර්හාවට ලක් කළ ශාක්‍යයන් සමඟ සිටියේ දැඩි වෛරයකිනි. ඒ නිසාම සාක්‍ය සංහාරයක් සිදු කළේය. එසේ නම් මේ අවස්‌ථාවේදී නොවේද පඩුශාක්‍ය තම දරුවන් ආරක්‌ෂාව පතා රාජයෙන් පිටමං කළ යුත්තේ? ඒ යුද්ධයෙන් පසුව විඩුඩභ කුමාරයා හා සේනාව ද ගංවතුරකින් මියයයි.
මේ ප්‍රශ්නය පැත්තකින් තබා වංශ කතාවල දෙවැනි ඉඟිය කරා යමු. මහානාග දේවානම්පියතිස්‌ස රජුගේ මල්ලිය. රජ බිසව තම පුතුට රජකම ලබාදීම පිණිස සැමියාගේ මල්ලි මැරීම සඳහා කළ කුමන්ත්‍රණයක් ගැන එයින් කියෑවේ. මේ කතාවේ එන මහානාගට විෂ යෙදූ අඹ වගයක් යවයි. ඒ අවස්‌ථාවේ ඔහු සිටියේ වැවක් සාදවමිනි. ඒ අඹයෙන් මියයන්නේ රජුගේම පුතා නිසා මහානාග රුහුණට පලා යන බව කියෑවේ. මේ කතාව තර්කානුකූල නොවන්නේ ඉතිහාසඥයන්ට අනුව අනුරාධපුරයේ රජකම සහෝදරයාගෙන් සහෝදරයාට ගිය නිසාය. ඒ අනුව ඔහු මියගියද රජකම් යන්නේ අනිත් සහෝදරයාට නිසාය. එහෙත් ඉතිහාසඥයන් එවැනි නිගමනයකට බැස්‌සේ කුමන සාධක මතද? මීට පෙර අනුරපුර රජකම එසේ ගියේ කවදාද? මුටසිවට සහෝදරයන් නැත. පණ්‌ඩුකාභයට ද නැත. පඬුවස්‌ට ද නැත. එහෙත් පඬුවස්‌ට නම් පුත්තු දස දෙනෙකු සිටියේය. (ඒ අනුව ඔවුන්ද දසභාතිකයන්ය) ඔවුන්ගෙන් වැඩිමලා අභයයි. මෙන්න මොවුන් අතරේ නම් රජකම ගිය බව පෙනේ. එහෙත් එයද අභයගේ ඇවෑමෙන් නොව අභය සිටිද්දීම ඔහුට විරුද්ධව අනිකුත් සහෝදරයන් නැගී සිට රාජ්‍ය පැහැර ගැනීමෙනි.
එයත් සිහියේ තබාගෙන අපි නැවත එමු මහානාග ළඟට. ඔහු සාදවමින් සිටියේ තරච්ච නම් වැවක් බව මහා වංශයේ දක්‌වයි. මෙම තරච්ච වැව අසලින් සොයාගත් සෙල්ලිපියකින් එය තහවුරු වේ. එසේ නම් පලා යාමේ කතාවේ ඇත්ත කුමක් විය යුතුද? උත්තිය, මහාසිව, සුරතිස්‌ස සහ අසේල ඇත්තටම දේවානම්පිය තිස්‌ස රජුගේ සහෝදරයන්ද? එසේ නැතිනම් දරුවන්ද? නැතිනම් දරු පරම්පරාවක්‌ද? මහානාගගේ ඉවත්වීමෙන් පසු සිහසුනට පත් උත්තිය, තිස්‌ස රජුගේ වෙනත් බිසවකගේ දරුවෙක්‌ද? මහාසිව කියන්නේ ඔහුගේ දරුවෙකුටද? මහානාග අග බිසවගේ දරුවෙක්‌ද? ඔහු මැරුණා නම් රජ වන්නේ දෙවැනි බිසවගේ දරුවා වන අර පුංචි කුමාරයා ද? ඇත්තටම මෙවැනි සිද්ධීයක් වූවා නම් මහානාග පළා යන්නේ ඇයි? කොහොමත් රජකම් උරුම ඔහුට නම් මේ ගැන පවත්වන පරීක්‌ෂණයේදී ඔහුට නොබියව මුහුණ දිය හැක. එසේ නම් ඔහු පලා යන්නේ රජ මෙහෙසිය මහානාග හා අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීමට ගත් උත්සාහය මහානාග ප්‍රතික්‌ෂේප කළ නිසාද? ඇත්තටම දේවානම්පියතිස්‌ස සිටියේ මහලු වයසේය.
තිලකා රන්දෙනි
thilakarandeni@yahoo.com
0 Comments