වනාන්තරයක් යනු සොබා දහමේ අසිරිමත් නිර්මාණයක්. ශාක නැතහොත් ගස්‌වැල් ලෙස අප ඇත්තවශයෙන්ම හඳුන්වන්නේ මොනවාදැයි නොදැන අපට වනාන්තරය ගැන කතා කළ නොහැකියි. කොළ පාටට සහ වෙනත් විවිධ වර්ණයන්ගෙන් අපට පෙනෙන පැලෑටි සහ විවිධ නම්වලින් හඳුන්වන ගස් පිළිබඳ නොදන්නා කිසිවෙකුට වනාන්තරයක සුන්දරත්වය විඳගන්නට හැකියාවක් නෑ.
වනාන්තරයක් යනු කාලාන්තරයක් තිස්‌සේ එම ප්‍රදේශයට අනුවර්තනය වෙමින් හැදී වැඩුණු ශාක විශාල ප්‍රමාණයක එකතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ රටේ ශාක පිළිබඳව බොහෝ පොත පත ලියෑවී තිබෙනවා. මේ අතර මහාචාර්ය සවිත්‍රි ගුණතිලක සහ නිමල් ගුණතිලක යන ප්‍රවීණයන් විසින් සම්පාදිත Trees and Shrubs in Sri Lanka (ශ්‍රී ලංකාවේ ගස් සහ පඳුරු) යන කෘතිය විශේෂයෙන් හඳුන්වා දිය හැකියි.
සාමාන්‍යයෙන් ශාක ලෙස අප හඳුන්වන ගස් ප්‍රභේද ගණනාවකින් යුක්‌තයි. ගස්‌වැල්, තෘණ වර්ග, මීවන ශාක, ජලයේ වැවෙන පැළෑටි ආදිය එලෙස හඳුන්වන්න පුළුවන්. ඒවායේ ප්‍රමාණයන්, ඒ ඒ ප්‍රදේශයන්හි පැවතීම සඳහා විශේෂයෙන් සැකසුණු අනුවර්තන, ඒවා පැතිරීම නැතහොත් ප්‍රචාරණය සඳහා සැකසී ඇති අන්දම, මල් සහ ඵල හටගන්නා ආකාරය මේවායේ ඇති බොහෝ වෙනස්‌කම් හඳුනාගැනීම තුළින් වනාන්තරයක් තුළ ක්‍රියාත්මක වන ජීව ප්‍රවාහය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි. මේ අතර තාලවර්ගයේ ශාක ලෙස හඳුන්වන තල්, කිතුල්, පුවක් වැනි ගස් වර්ග වනාන්තරයක් තුළ දැකිය හැකියි. සපු වැනි ගස්‌වර්ගයක් මේ සඳහන් කළ සියලු ගස් වර්ගයන්ට වඩා වෙනස්. වනාන්තරයක් තුළ මෙලෙස එකිනෙකට වෙනස් ශාක ප්‍රජාවන්ගේ පිහිටීම නැතහොත් එකතුව ජෛව විවිධත්වය ලෙස හඳුනාගැනීමම එහි සුන්දරත්වය විඳගැනීමට රුකුලක්.
මේ සෑම ශාකයකටම විද්‍යාත්මක නාමයක් තිබෙනවා. මේ සෑම ශාකයක්‌ම පාහේ අපේ දේශීය වෙදකම හා සම්බන්ධ වී ඇති නිසා මේවා හඳුන්වන දේශීය නාමයන් ද තිබෙනවා. ඇතැම් ශාක නම් ගණනාවකින් හඳුන්වනවා. උදාහරණයක් ලෙස අරලු, බුළු, නෙල්ලි වැනි ශාක ත්‍රිපල ලෙස හඳුන්වනවා. පාවට්‌ටා ශාකයට ආඩතෝඩ නමින් තවත් නාමයක් තිබෙනවා. මේවායේ නම් සහ ඒවායේ ප්‍රයෝජන දැනගැනීමෙන් ශාක පිළිබඳ අප තුළ ඇති අවබෝධය පුළුල් කර ගැනීමත් වනාන්තරයක ස්‌වභාවය හා එහි භූගෝලීය හා පාරිසරික වටිනාකම අවබෝධ කරගැනීමට පහසුවක්. ශාක හඳුනාගැනීමට පහසුවන විවිධ ක්‍රමවේදයනුත් තිබෙනවා. ඇතැම් ශාක ඒවාට ආවේණික සුවඳකින් යුක්‌තයි. සපු ශාකය එක් උදාහරණයක්. කිඩාරම් එලෙස හඳුනාගත හැකි තවත් ශාකයක්. වනාන්තරයක දී හමුවන ඇතැම් ශාක එදිනෙදා ජීවිතය සමග බොහෝ සම්බන්ධයි. වනාන්තරයක් තුළ දී මේවා හඳුනාගැනීමත් ඒවා වෙනත් ගස්‌වැල් සමග පවතින අයුරු අධ්‍යයනය කිරීමත් තුළින් වනාන්තරයක ජීව ක්‍රියාවලිය වටහාගැනීමට පහසු වෙනවා. කහඹිලියා, වැල් පිච්ච, එරමිණියා වැනි ශාකවල ඒවාට පමණක් හිමි විවිධ ස්‌වභාවයන් තුළින් මේවා හඳුනාගැනීමත් පහසුවෙනවා.
භූගෝල විද්‍යාත්මකව මේ ශාක පිළිබඳ අධ්‍යයනය කිරීමේදී වනාන්තරයක හමුවන බොහෝ ශාක මෙරටට හඳුන්වා දී තිබෙන්නේ අවුරුදු 500 ක තරම ඉතිහාසයක් තුළදීයි. තෙත් කලාපයේත් බොහෝ නාගරික ප්‍රදේශවලත් ශාක බොහොමයක් මෙයට ඇතුළත්. රබර්, ඇල්බීසියා, මහොගනී, රට දෙල්, විවිධ අඹ වර්ග වැනි ශාක උදාහරණ ලෙස හඳුන්වන්න පුළුවන්. මීට අමතරව විවිධ පඳුරු වර්ග සහ ගස් රාශියක් විශේෂයෙන් උඩරට වතු වගාව සඳහා මෙරටට ගෙන ආ ශාක ලෙසත් හඳුනාගන්න පුළුවන්. අද අපේ ජලාශවලට විශාල තර්ජනයක් ලෙස පැතිරෙන ජපන් ජබර නැතහොත් සැල්වීනියා ශාකත් මෙලෙස ආනයනය කළ ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පසුගිය වසර 500 ක කාලය තුළ අප රටට හඳුන්වා දී ඇති ශාක පිළිබඳ විශේෂ ගණනය කිරීමක් නැතත් අද මේවා බොහොමයක් ආර්ථික වශයෙන් වටිනාකමක් ඇති ශාක බවට පත්වී තිබෙනවා. මේවා අතර ඇතැම් ඒවා අලංකාරය සඳහා වවන ශාක බවටත් පත්වී තිබෙනවා. බාලොලියා ශාකය එලෙස නාගරික ප්‍රදේශවල ප්‍රචාරණය වූ ශාකයක්. වල් සූරියකාන්ත ලෙස හඳුන්වන ශාක උඩරට ප්‍රදේශය මාවත් දෙපස ඉතා අලංකාර ලෙස වැවී ඇති අයුරු දැක බලාගන්න පුළුවන්.
වනාන්තරයක සුන්දරත්වය දැකගත හැකි තවත් එක් ආකාරයක් වන්නේ විවිධ ශාක තම වර්ගයාගේ පැතිරීම සඳහා අනුවර්තනය වී ඇති විවිධ ක්‍රම පිළිබඳ විමසිලිමත් වීම. මේවායේ මල් හා ඵල හටගන්නා ආකාරය, කෘමීන්, පක්‌ෂීන් වැනි සතුන් මේවා වෙත ආකර්ෂණය කර ගැනීමට සිදුකරගෙන ඇති අනුවර්තන ආදිය විමසා බැලීමේදී වනාන්තරයක් යනු අති විශාල ජීව ප්‍රවාහයක් ලෙස හඳුනාගන්නට පුළුවන්. බඳුරා වැනි ශාක කෘමි සතුන් ගොදුරු කරගන්නා ආකාරයට සැකසී වී අන්දම සොබාදහමේ විශ්මිත නිර්මාණ ලෙස වනාන්තරයක් තුළ දී හඳුනාගත හැකියි.
ශ්‍රී ලංකාවේ භූගෝලාලංකාරය පිළිබඳ
පාරිසරික පුරාවිද්‍යාඥ මහාචාර්ය
සෙනෙවි එපිටවත්තයන්ගේ විග්‍රහය
සාකච්ඡා සටහන
පාලිත සේනානායක
0 Comments