සිය මංගල උත්සවය සඳහා නිදිවරමින් අධික ලෙස වෙහෙස වෙමින් කටයුතු කළ තරුණයකු මංගල දිනයේදී තමා අතිනත ගත් සහකාරියගේ උරමත හිස තබාගෙන සිටියදී හෘදයාබාධයකට ලක්ව මියගිය ශෝචනීය පුවතක් පසුගියදා අපට අසන්නට ලැබුණි.
වයස අවුරුදු 25 ක තරුණයකු වූ ඔහුට තරුණ වියේදී හෘදයාබාධයක් ඇතිවීම තුළින් පෙන්නුම් කරන්නේ වර්තමානයේ අපගේ තරුණ පරපුර සෞඛ්‍යය අතින් කොතරම් පරිහානියට පත්ව සිටින්නේදැයි කියාය.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර ඉතා ශීඝ්‍ර ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අධික බව යන බෝ නොවන ත්‍රිත්වයට ගොදුරු වෙමින් සිටින බව වෛද්‍යවරු කොතරම් අනතුරු ඇඟවුවත් ඒ පිළිබඳව ජනතාව අතර එතරම් අවධානයක් නැති බව මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් හමුවේ පැහැදිලි වේ.
එනිසා නැවත වරක් අපට හෘදයාබාධ පිළිබඳව දැනුම අලුත්කර ගැනීමට සිදුව තිබේ.
හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය -
මවු කුසින් මෙලොව උපන් දා සිට මියයන මොහොත දක්වාම අපගේ හෘදය වස්තුව නැවතීමකින් තොරව ක්‍රියාත්මක වේ. හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නේ හෘද ස්පන්දනය අනුවය.
හෘදය වස්තුව ස්පන්දනය වනුයේ විද්‍යුතය උපයෝගී කර ගනිමිනි. මෙම විද්‍යුතය නිෂ්පාදනය කරනු ලබන්නේ දකුණු කර්ණිකාවේ ඉහළින් ඇති විශේෂ විද්‍යුත් කෝෂ වැනි සෛල මගිනි. එම සෛල පිහිටි ස්ථානයට හෘත් කර්ණිකා ගැටය යෑයි කියනු ලැබේ.
මෙම හෘත් කර්ණිකා ගැටයෙන් නිපදවන විද්‍යුතය හෘදයේ සෙසු ප්‍රදේශ කරා ගමන් කරනුයේ විශේෂ විද්‍යුත් පරිපථයක් මාර්ගයෙනි. මෙය හෘදයේ සන්නායක පද්ධතිය ලෙස හැඳින්වෙයි. මෙම සන්නායක පද්ධතිය දිගේ ක්‍රමානුකූලව ගමන් කරන විද්‍යුතය මගින් සාමාන්‍ය හෘද ස්පන්දනය ඇතිවේ. එය ක්‍රමානුකූලව සිදුවනවා දැයි නිවැරැදිව හඳුනාගත හැක්කේ ඊ.සී.ජී. (ECG) පරීක්ෂණයකිනි.
රුධිර පීඩනය
නීරෝගි පුද්ගලයකුගේ රුධිර පීඩන වේගය ප්රශස්ත මට්ටම 120/80 ලෙස බ්‍රිතාන්‍ය අධික රුධිර පීඩන සංවිධානය නියම කර ඇත.
120 අගය යනු හෘදය සංකෝචනය වන විට ඇතිවන පීඩනයයි.
80 අගය යනු හෘදය විස්තාරණය වන විට ඇතිවන පීඩනයයි.
රුධිර පීඩන වේගය ප්රශස්ත මට්ටම 120/80 ලෙස නියම කළත් සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර පීඩනය 130/85 ලෙස සලකයි.
අධි රුධිර පීඩනය
අධි රුධිර පීඩන යනු හෘදයේ පීඩනය 180/110 අතර අගයක පැවතීමය.
හෘද පීඩනය 140/90 යනු මද වශයෙන් හෘද පීඩනය ඉහළ යැමයි. 160/100 යනු මධ්‍යම වශයෙන් පැවතීමය.
මෙම රුධිර පීඩන අගය යනු සාමාන්‍ය අයුරින් සැහැල්ලුවෙන් සිටින විටදීය.
අධික වෙහෙසව සිටින විට හෘදයේ පීඩන අගය ඉහළ ගොස් තිබේ.
හෘද පීඩනය ඉහළ යා හැකි අවස්ථා -
වෙහෙස වූ අවස්ථාවකදී හැර යම් පුද්ගලයකුගේ ශරීරයේ හෘද පීඩනය ඉහළ අගයකින් පැවතීමට බලපාන ප්‍රධාන කරුණ වනුයේ හෘදයේ රුධිර නාල තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමය.
ඊට අමතරව වායු ගෙඩි ඇතිවීම නිසා, හෘදය වස්තුව ඉදිමීමකදී, මධ්‍යසාර විෂ වූ විට සහ දැඩි මානසික අසහනයකදී හෘද පීඩනය ඉහළ යයි.
මෙලෙස හෘද පීඩනය ඉහළ ගොස් ඇති පුද්ගලයන් ඉතා කහට සහිත තේ හෝ කෝපි පානය නොකළ යුතුය.
කෝලා වර්ගයේ බීම පානය, කැස්සට සෙමට පීනසට, ඇදුමට ලබාදෙන ඖෂධ පෙති සහ සිරප් වර්ග නොගත යුතුය.
හෘදයාබාධයක් ඇති වූ විට වහා ලබාදිය යුතු ප්‍රථමාධාර
වර්තමානයේ අප ජීවත්වන ජීවන රටාව මත හෘදයාබාධවලට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නිසා ඉන් වැළකී සිටීමට ආහාරපාන පාලනයකින් යුතුව ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට දැනුවත් විය යුතු මෙන්ම හෘදයාබාධයක් ඇතිවූ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳවද අවබෝධයක් ලබා සිටීම වැදගත්ය.
යම් පුද්ගලයකුට හෘදයාබාධයක් ඇතිවුවහොත් වහාම එම පුද්ගලයා ඇඳක හාන්සි කිරීම හෝ බිම දිගා කරවීම සිදුකරන්න.
තදට ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉනපටිය, ටයිපටිය ආදිය ඇත්නම් ඒක ඉවත් කරන්න.
මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් දිගාවී සිටියදීම එසේ කිරීමට ඉඩ හරින්න. නැගිටුවා ඇවිද්දවීම නොකළ යුතුය.
හෘදයාබාධයකදී ක්ෂණිකව ලබා දෙන ටී. එන්. ටී. පෙති ඇත්නම් ඉන් දෙකක් ලබා දෙන්න. නැත්නම් ඇස්ප්‍රීන් හෝ දියවෙන සුළු ඇස්ප්‍රීන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලක පමණ දිය කොට රෝගියාට පොවන්න.
දහදිය දැමීම අධික නම් රෙදිකඩකින් සිරුර පිසදමා සෙමෙන් පවන් සලන්න.
රෝගියා වටා වටවී නොසිට වාතාශ්‍රය ලැබෙන ලෙස අවට පරිසරය නිදහස් කරන්න.
ඇතැම් විට පිරිස වටවී සිටින විට වාතාශ්‍රය නොලැබීම පමණක් නොව මානසික අසහනය සහ බිය වැඩිවීම නිසා හෘද ස්පන්දන වේගය ඉහළයා හැකිය.
ගෑස් අඩංගු බීම පානයට ලබා නොදෙන්න.
හදවත නතර වී ඇත්නම්
යම් පුද්ගලයකුගේ හටගත් හෘදයාබාධයක් නිසා හදවත නැවතී ඇත්නම් වහාම එය යළි පණ ගැන්වීම සඳහා තමාගේ දකුණු අත මිට මොළවා රෝගියාගේ පපුවේ වම් පැත්තට වැරෙන් තලන්න. එසේ කළ වහාම බාහිර හෘද සම්බාහනය ආරම්භ කළ යුතුය.
හදවත නතර වී ඇති බව හඳුනා ගන්නා අයුරු
යම් පුද්ගලයකුගේ හදවත නැවතී ඇතිවිට ශ්වසනය නවතී. නාඩි හසු නොවේ. ශරීරය වලිප්පුවකදී මෙන් ගැස්සීමට ලක්වේ. ඇස් උඩට කරකැවී ගොස් ඇත. ඇඟිලි තුඩු නිල්පැහැවේ.
හෘදයාබාධ වළක්වා ගැනීම
සෑම පුද්ගලයකුම වයස අවුරුදු 40 සම්පූර්ණ වූ විට නිරතුරුව වෛද්‍ය පරීක්ෂණවලට ලක්විය යුතුය.
තම දෙමාපියන්ට ආච්චි සීයාට හෘද රෝග ඇත්නම් තරුණවියේ සිටම මාස 06 කට වරක්වත් රුධිර පීඩන පරීක්ෂාවක් සිදුකරගත යුතුය.
රුධිරයේ අධික සීනි මට්ටම පැවතීම පාලනය කරගත යුතුය. එනම් දියවැඩියාව ඇතිවීම වළක්වා ගත යුතුය.
දුම්පානය සම්පූර්ණයෙන් නතර කළ යුතුය. ශරීරයේ තරබාරුව පාලනය කරගත යුතුය.
හෘද රෝගියකු යෑයි සැක කළ යුතු රෝග ලක්ෂණ
සුළු කාර්යයක නිරත වූ විට ඇතිවන හතිය. කය මෙන්ම සිත වෙහෙස වන විට පපුව මැද ප්‍රදේශයේ ඇතිවන වේදනාව සහ එම වේදනාව වෙහෙස නිවෙන විට නැතිව යැම, කරන කාර්යයට අදාළ නොවන ලෙස අධික තෙහෙට්ටුවක් ඇතිවීම, ආහාර වේලකින් පසු පපුව හිරවීම හෝ හතිය ඇතිවීම.
සෙම කැඩී නොයන කැස්ස පැවතීම, කකුල් ඉදිමුම, බඩ පපුව දැවිල්ල, අධික වෙහෙසකදී ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමී යැම, පපුවේ ගැස්ම, හිස මුදුනේ ඇතිවන හිසරදය, විශේෂයෙන් උදැසන ඇතිවන හිස මුදුනේ වේදනාව යන මෙම රෝග ලක්ෂණ කිහිපයක් ඇත්නම් වෛද්‍යවරයකු හමුවී තම හෘද පීඩනය පිළිබඳව පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත්ය.
0 Comments