තරබාරුවන්නට ඌරු පෙති බීම


සූකරයන් නැතිනම් ඌරන් පිළිබඳව ඔබ බොහෝ කරුණු දන්නවා ඇති. සූකරයන් නැතිනම් ඌරන් නිසා වැළඳෙන "සූකර උණ" ගැනත් ඔබ දන්නවා ඇති එසේ වුවත් "ඌරු පෙති" ගැන ඔබ දන්නේ මොනවාද....?දැන් ඔබ සිතාවි "ඌරු පෙති" යනු පෙති.......පෙති ගැසූ ඌරු මස්‌ කියාය. නැතිනම් ඌරන්ට දෙන (ඖෂධ) පෙත්තක්‌ය. කියාය? ඔබ සිතූ දෙවැනි කරුණ අපගේ පිළිතුරට ආසන්නය.

ඌරු පෙති යනු ඌරන්ගේ මාංශපේශි වර්ධනය කොට, තරබාරු කිරීමට උන්ගේ ආහාර වලට යොදන අමතර ශක්‌තිජනක පෙත්තකි. මෙම පෙති යොදා හෝ ඌරන් තර කරන්නේ ඌරන්ට ඇති ආදරයකින් නොව වැඩිපුර මස්‌ විකුණා සාක්‌කුව තර කර ගැනීමට බව ඔබ අප කාටත් වැටටෙහන කරුණක්‌ වනු ඇත.

ඌරන් තර කර ගැනීමට භාවිත කරන මෙම පෙත්ත අප රටේ යෞවනයන්, ගැටවරයන් වත්මනේ භාවිත කරන බව ඔබ දන්නවාද? එසේ භාවිත කිරීමෙන් කීප දෙනකු මරණය කරා ගමන් කළ බව වෛද්‍යවරුන් පවසන බව ඔබ අසා ඇතිද? මෙවන් ෙ€දවාචකයකින් ඔබේ දරුවා පාසල් සිසුවා, දියණිය බේරා ගැනීමට කල් තබා රතු එළි දැල්වීමේ නිවේදනයකුයි මේ.

පසුගිය දිනෙක වෛද්‍යවරයෙක්‌ මා සමඟ පැවැසුවේ සිහින් කෘශ තරුණ පාසල් සිසුවෙක්‌ තමා හමුවට පැමිණ ඇසුවේ ඌරු පෙති දීමට හැකිද කියායි. තමා මෙයින් තුෂ්නිම්භූතව සිටියද පසුව එම තරුණයා විමසීමේදී ඔහු කියා සිටියේ පාසල් සිසුන් හා තරුණ ගැටවුන් මේවා කලක සිට භාවිත කරන බවයි. මෙම පෙති ගැනීමට පටන් ගත් පසු සිහින් සිරුර මහත් වී හොඳ පෙනුමක්‌ ලැබෙන බවද ඔහු පැවැසූ බවත් ඒ සඳහා පෙති වර්ග තුනක්‌ (03) ගන්නා බවත් සිසුවා කී බව වෛද්‍යවරයා මා සමඟ කීය.

අපිත් ඔය කෑම අරුචිය මඟ ඇරෙන්න පිරිය ඇති වෙන්නට පෙරිටෝල් (PERITOL) නමැති පෙත්ත ඇතැම් ලෙඩුන්ට නිර්දේශ කරනවා. එයම ඌරන්ටත් දෙනවා ඇති. දැන ගැනීමට ඇති පරිදි මේ සමග "පෙරප්" (FERRUP) හා RETAMETAZONE පෙති කළවම් කර දෙනවලු. ළමුන් විශ්වාස කරනවා මේ පෙති ගත්තම මහත් වෙනවා. ශක්‌තිවන්ත වෙනවා කියලා තවත් හේතූන් ඇති. ඒත් මේකේ ප්‍රතිඵල භයානක වෙමින් පවතිනවා. දැනටමත් සිසුවෙක්‌ තරබාරුවී මියගිහින්. තව අයෙකු ද මිය ගියා හේතුව තාම සොයනවා. වෛද්‍යවරුන් අනුමාන කරනවා මෙම පෙතිවලින් අයහපත් ප්‍රතිඵල උදාවී ජීවිත විනාශ වෙනවා කියා. ළඟදීම මෙකී පර්යේෂණවල ප්‍රතිඵල රටටම දැන ගැනීමට ලැබේවි. බොහෝ දුරටම වෛද්‍යවරුන්ගේ සැකය අනුමානය මෙම පෙති තුන් වර්ගය (ඌරු පෙති මිශ්‍රණය) නිසා ජීවිත නැසුණාය කියා.

සැබැවින්ම එසේ මෙම ඌරු පෙති නිසා ජීවිත විනාශ වන්නේ හෝ එනිසා ඇතිවන අතුරු ආබාධ නිසා ජීවිත විනාශ වන්නේ යෑයි සිතන්නේ නම් හෝ ඉදිරි දිනෙකදී පර්යේෂණවලින් හෙළි වන්නේ නම් හෝ අප ඉදිරියේ මේ සම්බන්ධව බරපතළ ගැටලු රැසක්‌ම ඉතිරි වෙයි. කවුරුන්ද මෙම ඌරු පෙති මිශ්‍රණය අපගේ ඉදිරි අනාගත කොඳු ඇට පෙළ වන තරුණ තරුණියන් වෙත නිර්දේශ කළේ එය විද්‍යාත්මකද? නැතිනම් ගොඩ වෙදුන්ගේ නිපැයුමක්‌ද තවත් මුදල් ගරා ගැනීමේ සූත්තරයක්‌ද කාගේ සූත්තරයක්‌ වුවද නැතිවන්නේ අපගේ අනාගත පරපුරයි.

අප දන්න පරිදි අපේ රටේ කිසිදු විනයක්‌ නොමැතිව වණයක්‌ බවට පත්වී තිබෙන්නේ ඖෂධ හිතුමතයේ පරිහරණ යයි.

වෛද්‍ය තුණ්‌ඩු නැතිවද, හිතවත් පාමසියකින් ඕනෑම ඖෂධයක්‌ පෙත්තක්‌ එන්නතක්‌ තවමත් ලබා ගත හැකිව තිබේ. ඒ අතරම ඇතැම් වෛද්‍යවරු ජනප්‍රිය වීමටද, මුදල් ගරා ගැනීමටද රෝගීන් සඳහා වන් ෂොට්‌ එකෙන්ම සුවපත් වීමට අධිමාත්‍රාවකින් හෝ අවසානයට ගත යුතුව තිබෙන බෙහෙත් වර්ග නිකුත් කරති. නිර්දේශ කරති. බටහිර වෛද්‍ය ශාස්‌ත්‍රයෙහි හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි හෝ වෙනත් වෛද්‍ය ක්‍රමවේදයක ඇත්තේ මුලින්ම හෙද කමයි. දෙවනුව වෙදකමයි. එයද ක්‍රමානුකූලවය සරල බෙහෙත් වර්ගවලින් රෝගය සුවපත් කරවීමට ප්‍රථම උත්සාහය කරයි. දෙවනුව තෙවනුව ඉන් ඉහළ ඖෂධ ලබාදී සුවපත් කිරීමට තැත් කොට අවසානයට ඉහළම මාත්‍රාවෙන් යුතු ඖෂධ ලබා දෙයි. මෙයද රෝග නිධානය අනුව වෙනස්‌ වනු දක්‌නට ලැබේ. කෙසේ වෙතත් දක්‍ෂ වෛද්‍යවරයා යනු රෝගියාගේ සතුරා නොව ඉසිවරයාය. නමුදු වත්මනේ සිදුව ඇත්තේ කුමක්‌ද? වන්ෂොට්‌ වෛද්‍යවරු බිහිවීමය. ඉන් පහර වදින්නේ යහපත් උගත් දැනුමැති වෛද්‍යවරුන්ටය. අපගේ උපහාරය ඇත්තේ ලෙඩුනට දයාව, කරුණාව ඇති ලෙඩුන් දිගු කලක්‌ සුවපත් භාවයෙන් තබනා එවන් ඉසිවරුනටය.

ෆාමසිකරුවෝ ද ඔවුන් වෛද්‍යවරුන් යෑයි සිතා ඖෂධ නිකුත් කරති. මා දන්නා ෆාමසි ශිල්පය උගත් පණ්‌ඩිතයෙක්‌ ඔහුගේ දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර ගත්තේ වෛද්‍ය වරුන්ගෙන් නොව තමාගෙන්මය අවසන ඔහු අක්‌මාව ඉදිමී ප්ලීහාව, අග්න්‍යාශය පිපිරී අකාලයේ මිය ගියේ ඖෂධ වල සැරකම නිසාත් අතුරු ආබාධ පැන නැඟි නිසාත්ය.

අද දවසේ තවත් "නැගලා යන" ඖෂධ වනුයේ කාමෝද්දීපන පෙතිය. ටැබ්ලට්‌ ය. රජ දවසේ පුරාණයේ ගමින් ගම දරුවන් දහ පහළොස්‌ දෙනා හැදූ වැඩූ රටේ දැන් සිටින්නේ අප්‍රාණී, නෂ්ඨකාමීන් යෑයි කියා වෙළෙන්දොa විවිධ නම් වලින් එවැනි බෙහෙත් වර්ග රටට හඳුන්වා දෙති. පුවත්පත් දැන්වීම්වලින් පිටු පුරවති. කාම ද්වීපයක්‌ බවට පත්වී ඇති අප රටේ මෙම උගුල්වලට යළිදු හසු වන්නේ තරුණ තරුණියන් මය, පෙර කල වෛද්‍යවරුන් මෙවන් ඖෂධ වශී එන්නත් වර්ග නිර්දේශ කළත් දැන් මේවා නිර්දේශ කරන්නේ ෆාමසිකරුවන්ය. පුවත්පත් දැන්වීම්ය. මෙවැනි දැ විවෘත සන්නිවේදනයේ දී සිදුවන්නේ සැමදේම කුතුහලයෙන් සොයා බලන අත්හදා බැලීමට යන තරුණ පෙළ ඊට ගොදුරු වීමයි. ඉන්පසු ජීවිතයේ හොඳම යුගයේ පිරිහුණු නෂ්ඨකාම පුද්ගලයන් බවට පත්වීමයි. සිගරට්‌ බීමෙන් තුරුණු ජවය, ශක්‌තිය, ලිංගික ශක්‌තිය අප්‍රාණී වන බවට රජයෙන්ද දෙපාර්තමේන්තුවෙන්ද දැන්වීම් හා වෙනත් සන්නිවේදනයන් කරනා අප රටේ ඉහත කී තාවකාලික කාමෝද්දීපන සඳහා කිසිදු ක්‍රියා මාර්ගයන් ගෙන නැත. කලින් තිබූ ආයතන වෙනුවට දැන් ඒ සඳහා ආයතන කීපයක්‌ම බිහි වී විවිධ ටැබ්ලට්‌ වර්ග එළිපිටම සන්නිවේදනය කරනු දක්‌නට ලැබේ.

මේවායේ අඩංගු දැ ගැන වෛද්‍ය පර්යේෂණ සභාවත් පර්යේෂණ පවත්වා ඇති දැයි නොදනිමු. ඒත් ඇතැමුන් පවසන්නේ මේවායේ ඇත්තේ එක්‌කෝ අබිං හෝ කේරළ ගංජා, මත්ද්‍රව්‍ය වැනි දේ බවයි.

යුරෝපීයයන් චීනයේ මිනිස්‌ සම්පත ගැන සිතා ඔවුනට ජාතියක්‌ වශයෙන් හිස එසැවීමට නොහැකි වන සේ ගංජා බීමට ඇබ්බැහි කරවන ලදී. මා ඕ සේතුං චීනය භාර ගන්නා විට සිටියේ නාටු කෝටු ගැසුණු ගංජාවලට ඇබ්බැහි වූ වැඩකට ගත නොහැකි චීනුන් පිරිසකි. මා ඕ සේතුං සියලු වැර යොදා ගංජා මත්ද්‍රව්‍යය රට තුළ පාලනය කරන ලදී. අද චීනය ලෝකයේම බලවතා වෙමින් සිටිනුයේ බුද්ධිමත් මිනිස්‌ සම්පතට පිං සිදු වන්නටය. අද අප රටට සිදු වන්නට යන්නේද එදා චීනයට සිදුවී තිබූ අබග්ගය මය.

අප රටේ බෙහෙත් මිල අඩු කළා යෑයි පැවසුවද සිදුව ඇත්තේ ඉඳුරාම වෙනස්‌ දෙයක්‌ බවද ඇස්‌පනාපිටම දක්‌නට තිබේ. ඖෂධ සමාගම් හරියට ගිනිදැල් විහිදුවන භයානක මකරුන් සේය. ඔවුනට බරපතළ ලෙස පහර එල්ල වන විට බෙල්ල හරහා යළි ප්‍රබල ගිනි දැල් එවා සියල්ල ගිල ගනී.

දැන් ඔවුන් නමට පමණක්‌ ඖෂධ පෙත්තකින් ශත කීපයක්‌ අඩු කළද (ඇතැම් ඒවායේ අඩු කළ මිල ශත 2 කි. නැතිනම් ශත තුනකි.) රෝගීන්ට ඇති වූ මහ සෙතක්‌ නැත. තරගකාරී මට්‌ටමේ ඖෂධ වෙළෙඳාමක්‌ තිබියදී පෙත්තකින් ශත හතළිස්‌ ගණනක්‌ මිල අඩු කරමින් තරග වෙළඳාමක්‌ අන් සමාගම් සමඟ කළ ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකට අත් වූ රුපියල් බිලියන ගණනක වාසිය ද සුළුපටු නොවේ. රජයෙන් සියලු මිල එකම තත්ත්වයට ගෙන ආ නිසා ඔවුනට ඇදුණේ එසේ මෙසේ ස්‌වීප් ටිකට්‌ එකක්‌ නොවේ. රුපියල් කෝටි ගණනක ලාභයකි. අන් සමාගම්ද ශත ගණනින් මිල අඩු කොට සිදුවූ සුළු අලාභය පියවීමට අනෙකුත් ඖෂධවලින් දෙගුණයක මිලක්‌ ඉහළ නංවා තිබේ. සේනක බිබිලේ අප ශ්‍රේෂ්ඨ සිරිමතාණෝ තම හිස හප්පා ගත්තේද මෙවන් කළුගලකය. ලෝක ඖෂධ මාෆියාව හැසිරෙන්නේ එසේය. ඔවුන් පැරදී නැත වැරදී ද නැත.

මේ සියලු කරුණු හමුවේ "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා" වැනි හැඟීමක්‌ අපට දැනෙමින් තිබේ. ඖෂධ විනයක්‌ රට පුරා ඇති විය යුතුය. හොර වෙදුන්ගේ අනවශ්‍ය ඖෂධ නිර්දේශවලින් තරුණයන්ද රටද බේරා ගත යුතුය. රටේ උගත් වෛද්‍යවරුනි ඔබලාට සයිටම් කබල හැර රටේ විසඳිය යුතු මහා සෞඛ්‍ය ප්‍රශ්න රැසක්‌ම තිබේ. සෘෂීන් වහන්සේලා ලෙසට කට පුරා පවසන ජනතාවම ඔබලා වැඩ වරන දිනවලදී ඔබලාගේ දයාබර මෑණියන්ලා මතක්‌ කරන අයුරු අපි අසා ඇත්තෙමු. අපගේ ලක්‌මෑණි මේ මොහොතේ ලෙඩ රෝග වලින් සුවපත් කරගත හැක්‌කේ දෙස්‌පාලුවන් පසුපස නොයන ජනතාවට ආදරය ඇති උගත් වෛද්‍යවරුනි, ඔබටයි, මේ ප්‍රණාමය!

ටෙරන්ස්‌ වනිගසිංහ

Post a Comment

0 Comments