බොරු ආවේශයෙන් වාසනාව උදා වූ හැටි

හුඟක්‌ ඉස්‌සරකාලෙ දුෂ්කර පළාතක පිහිටි ගමක දුප්පත් පවුලක්‌ ජීවත් වුණා. මේ ගෙදර මහ මිනිසා ජීවත්වුණේ කටුවල අල හාරලා ආහාරයට ගැනීමෙන්. හැමදාම කැළේට ගිහිල්ලා කටුවල අල හාරාගෙන ගෙනවිත් ඒවා තම්බලා කනවා. හැබැයි මේ මිනිහ කටුවල අල වල හොඳ කොටහ එයාගෙ ගෑණිට නොදී තමුන්ම කනවා, එයාට දෙන්නෙ තැම්බෙන්නේ නැති කෑලියි නැටියා කෑලියි. ඉතින් තමුන්ගෙ ගෑණි මේක දැනගෙන තරහින් තමයි හිටියේ. බඩගින්න ඉවසගන්න බැරි හින්ද කටුවල අලවල අහක දමන කොටස්‌ වුණත් ඇය කෑව.



එක දවසක්‌ මිනිහා කටුවල අල හාරන්න කැළේට වැදුනම, ලනුවක්‌ එක්‌ක හරක්‌ බානක්‌ ගහක පැටලිලා, ලනුව එතිලා ඉන්නවා දුටුවා. එදා කටුවල අලත් හාරාගෙන ඒවා තැම්බෙන්ට ඇරලා ඉන්න කොට අර හරක්‌ බාන කැළේ ගහක ලනුවක්‌ එක්‌ක වෙලිලා හිටපු හැටි ගෑණිට කීවා. එදත් අර තැම්බිච්ච කටුවල අල වලින් හොඳ කොටහ මිනිහ කාල, අහක දාන කොටස්‌ ගෑණිට ඉතුරු කරලා බැද්ද පැත්තට එළිපහළට ගියා.




මිනිහ ශරීරකෘත්‍ය කරන්න ගිය වෙලාවේ මිනිසුන් දෙන්නෙක්‌ ලනුවකුත් අරං ඒ ගෙය ළඟිsන් යනවා ගෑණි දැක්‌කා. මේ දෙන්නා ලනුවකුත් අරං යනවා දැක්‌ක හින්ද ගෑණි ඇහුවා ඒ දෙන්නගෙන් "උඹලා කොහාටද යන්නේ" කියලා? ඒ මිනිස්‌සු දෙන්නා කීවා "අපේ හරක්‌ බානක්‌ නැතිවෙලා එවුන් හොයා යනවා" කියලා. මේක අහපු ගෑණිට මතක්‌ වුණා තමන්ගේ මිනිහා හරක්‌ බානක්‌ ගැන කියාපු කථාව. ගෑණිට නුවණ පහළ වෙලා මෙහෙම කීවා... "ඔය හරක්‌ නැතිවෙලා ඉන්න එක ගැන කියන්න මගෙ මිනිහට පුළුවන්... එයා හොඳට පේන, නිමිති සාත්තරේ දන්න කෙනෙක්‌. බැරිම වුනොත් අංජනමක්‌ බලල හරි කියයි".




මේ මිනිස්‌සු දෙන්නටත් ඕනෑ වුණේ කැලේ රස්‌තියාදු නොවී හරක්‌ ඉන්න හරිම තැන දැන ගන්නයි. ඒ හින්දා එදාම හවස්‌ ජාමෙ තෑගි බෝග අරං, අර මිනිහ හම්බවෙන්න ගෙදෙට්‌ට ආව. එහෙම ඇවිල්ල හරක්‌ බාන ඉන්න තැන හොයා ගන්න නිමිත්තක්‌ බැලුවා. ගෙදර මිනිහත් තැනට සුදුසු නුවණ යොදලා බොරු ආවේශයක්‌ මවාගෙන හිස එහෙ මෙහෙ කරකවලා, හරක්‌බාන ඉන්න ඉසව්ව උන්ගේ පාට, ලනුව වෙලිලා ඉන්න ගහේ නම, යන පාර, එහෙම හොඳට පෙන්නුම් කළා.




ඉතින් හරක්‌ බාන අයිතිකාරයන් දෙන්නත් ආවේශ සාස්‌තරේට අනුව හරක්‌ දෙන්න ඉන්න තැනට ගිහිං එවුන් අරං යද්දී සාස්‌තර කියපු මිනිහට ස්‌තූති කරල තෑගිත් දීලා යන්න ගියා.




මේ සිද්ධිය වෙලා ටික දොහකට පස්‌සේ ඒ රටේ රඡ්ජුරුවන්ගේ රජ මාළිගාවේ රාජ්‍ය භාණ්‌ඩාගාරයේ තිබුණ වස්‌තුව සේරම හොරු පැනල අරං ගිහින්. හොරු අල්ල ගන්න රඡ්ජුරුවන්ට බැරිම තැන අඬබෙර ගහලා හොරකම කළ අය අල්ලා දෙන කෙනකුට ඇතෙක්‌ බරට වස්‌තුව දෙන බව ප්‍රචාරය කළා. අර බොරු ආවේසයක්‌ ගෙන හරක්‌ බාන හොයා දෙන්න ශාස්‌ත්‍ර කිව් මිනිහගෙ ගේ ළඟින් අඬබෙරකරු යනවා දැක්‌කා ඒ මිනිහගෙ ගෑණි. "කටුවල අලවල අහක දාන කොටස්‌ මට කන්න දෙන මිනිහට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනෑ කියලා" ගෑණි හිතලා අඬබෙර කරු ළඟට ගියා. "අපේ ගෙදර එක්‌කෙනාට පුළුවන් පේන නිමිති, අංජනම් සාස්‌තර කියලා, ඔය හොරුන් අල්ලන්න" ඒ ගෑණි කීවා. බෙර කාරයා මේක රඡ්ජුරුවන්ට දැනුම් දුන්නා.




රඡ්ජුරුවෝ රාජ සේවකයන් අර මිනිහගෙ ගෙදෙට්‌ට එව්වා. රජතුමා හොරු අල්ලන් දෙන්ට කීවා, කියල සේවකයින් මිනිහත් අරංගියා.... මේ මිනිහට රාජ නීතියට පිටු පාන්ඩ බැරි නිසා "මං හොරකම් කළ දේවල් අල්ලා දෙන්නම් කියලා රජතුමාට කීවා. ඒකට භාණ්‌ඩාගාරයේ වෙනම තැනක්‌ වෙන්කරල දෙන්න කියලත් ඉල්ලුවා. එහෙම කියල ආයෙත් රඡ්ජුරුවන්ට කීවා "වෙන කාටවත් ඒ තැනට එන්න ඉඩදෙන්න එපා" කියල. රජතුමාත් ඒ විදියටම භාණ්‌ඩාගාරයේ වෙනම තැනක්‌ පිළියෙළ කරදීලා කාටවත් එහි යන්න තහනම් නියෝගයක්‌ පැනෙව්වා.




මේ බොරු ශාස්‌ත්‍රකාරයාට වෙච්ච දේට දුක්‌වෙලා කාමරයට වෙලා දොරවල් වහගෙන කෑමක්‌ බීමක්‌ නැතිව හිටියා. ඔහොම ඉන්නකොට කාමරයේ කොනක ලණු කෑල්ලක්‌ එල්ලිලා තියෙනවා දැක්‌කා. දුකින් ඉන්න මිනිහ එදා රාත්තිරියේ අර ලනුපොට වහලේ බාල්කෙට දාලා බෙල්ල ගැට ගහගෙන මැරෙන්න ලැහැත්ති වුණා. අනේ ලනුව බෙල්ලට දිග මදි වුණා. මේ වෙච්ච දේට මිනිහට නිකංම වගේ කියවුණා "ගෑණු නිසාමයි පිරිමි නහින්නෙ" කියලා. මෙහෙම කීප වතාවක්‌ම මේක කියමින් පාන්දර වෙනකම්ම ඉන්නකොට, රජ මාලිගාවේ සේවය කරන දෙතුන් දෙනෙක්‌ අර කාමරේ ළඟින් යනකොට "ගෑණු නිසාමයි පිරිමි නහින්නෙ" කියන කථාව ඇහුණ. මේ සේවක දෙතුන්දෙනාගේ ගෑණු මේ හොරකම ගැන දැනගෙන හිටිය හින්ද, තමන් ගෑණු නිසා අමාරුවේ වැටෙන්ඩ ඉස්‌සෙල්ලා හොරකම් කළ බඩු සියල්ලම ගෙනත් දැම්මා.




මැරෙන්ඩ හිතාගෙන හිටපු මිනිහ උදේ භාණ්‌ඩාගාරය ඇතුළ දැක්‌ක ගමන් ඒකෙ තිබුණ බඩු ආයිත් එහිම තියෙන බව දැක්‌කා. මේ මිනිහට සතුට ඉහවහ ගිහිල්ලා, රඡ්ජුරුවෙ ළඟට ගිහිල්ල කිව්වා රජතුමනි, මං ගුරුකමක්‌ කරල රාජ දේපළ ඔක්‌කොම ගෙන්න ගත්තා. ඒවා ගෙනාපු උදවිය, බඩු මේකෙ දාල පැනල ගියහින්ද හොරු අල්ලගන්න බැරිවුණා.




හොරු අල්ල ගන්න බැරිවුණත් බඩු ලැබිච්ච එකට රඡ්ජුරුවන්ට හරි සතුටුයි. අඬබෙර කාරයා ලවා කළ දැන්වීමට අනුව පොරොන්දු වූ පරිදිම ඇතෙක්‌ බරට වස්‌තුව රඡ්ජුරුවෝ අර මිනිහට දුන්නා. එච්චරක්‌ විතරක්‌ නෙවි, ඒ වස්‌තුව ගෙනියන්න වාහනයකුත් සේවකයනුත් රඡ්ජුරුවෝ දුන්නා. වස්‌තුව ලැබුණ ඒ මිනිහ ඊට පස්‌සෙ කටුවල අල හාරන්න ගියේ නැහැ. තමුන්ගෙ ගෑණිට හොඳට කන්න බොන්න දුන්නා. ඒ දෙන්නා හොඳින් යහතින් ජීවත්වුණා.




(මේ කථාව බින්තැන්න පත්තුවේ ජන කථා මැයින් ආරියපාල රත්නායකයන් විසින් රචිත ග්‍රන්ථයක්‌ මගින් සැකසිනි)




මීරිගම 

ආර්.ඇම්.ටී.බී. රත්නායක