කාශ්‍යප බුදුන්ට නිග්‍රහ කළ "ජෝතිපාල"

අප මහා බෝසතාණෝ දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ගෙන වෙස්‌සන්තර ආත්මභාවය දක්‌වාම පාරමිතා පුරමින් සසරේ ගමන් කර පසුව තුසිත දෙව්ලොව ඉපදුණහ. තුසිත දෙව්ලොව වැඩ වසන විට දස දහසක්‌ සක්‌වල දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනාව මත මෙලොව උපන්නේය. සිදුහත් නමින් මෙලොව උපන් මහබෝසතාණෝ ක්‍ෂත්‍රිය කුලයට හිමි පස්‌කම් සැප වින්දේය. ගිහි ගෙය හැරයන තෙක්‌ නැටුම් ගැයුම් වැයුම් බලමින් අසමින් සන්තෝෂ විය. සිදුහත්ට විසිදහසකින් යුතු අන්ත(පුරයක්‌ වූබව යතිවරයන් ලියූ සිද්ධාර්ථ චරිතයේ සඳහන් වෙයි. මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් වන්නේ යශෝදරා දේවිය ප්‍රධානකොට හතළිස්‌දහසක්‌ බිසෝවරුන් සමඟ සිදුහත් කුමරා කල් ගෙවූ බවයි. මේ සියලු සැප සම්පතින් ආඪ්‍යව විසූ අප මහ බෝසතාණෝ රාහුල කුමරු මෙලොව උපන් දිනයේම ගිහිගෙය හැර යන්නට සිතූහ. බෝසතාණෝ ගිහිගෙය හැර යන බව දැන වසවර්ති මාරයා කලබල විය.

"අහෝ අද සිද්ධාර්ථ කුමාරයා මේ දොරින් පිටත්වී ගියේ නම් ඒකාන්තයෙන්ම බුදුවෙයි. එදවස මාගේ නරක ඵල ගිනි නිවෙයි හැම නරක සිස්‌කෙරෙයි මාගේ ආඥව බිඳ මට මහත් හානි කෙරෙයි. මායාවකින් ඔහු නවතාලම්" යෑයි ප්‍රකාශකොට බෝසතාණන් ඉදිරියට පැමිණියේය. එහිදී බෝසතාණෝ මාරයා අමතා මෙසේ කීය.

"මාරය චක්‍රවර්ති රාජ්‍යයෙන් මට ප්‍රයෝජන නැත්තේය. තා සේ සිය දහසක්‌ මාරයෝ පැමිණියද මට බාධා කළ නොහැක. තෝ මට බාධා නොකර දොරකොඩ නොයිද පලා යව" යෑයි පැවසූහ.

සිදුහත් කුමරා මහබිණික්‌මන් කරන බව දැන හැට දහසක්‌ දෙවියෝ මැණික්‌ පහන්ගෙන අහසේ රැඳී සිටි බව මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ.

බෝසතණෝ දුෂ්කර ක්‍රියා කළ කාලයේ පිරූ භයංකරවත් මඡ්ජිම නිකායේ බෝධිරාජ සූත්‍රයෙහි හා මහා සිහනාද සූත්‍රයෙහි මනාව විසින් තර කර ඇත. ඒ විස්‌තර මුදු මොලොක්‌ හිතක්‌ ඇති කාරුණික මනුෂ්‍යයකුට කඳුළු නොසලා කියවිය නොහැකි බව මාර්ටින් වික්‍රමසිංහ මහතා "බවතරණය" ග්‍රන්ථයට සංඥපනය ලියමින් සඳහන් කර සිටී.

දුෂ්කර ක්‍රියා කරන කාලයේ බෝසතාණන් විඳි වේදනාව බෝධිරාජ කුමාර සූත්‍රයෙහි මෙසේ විස්‌තර කර ඇත.

"රාජ කුමාරය. ඒ මම දත් මිටිකාගෙන දිව උඩු තල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි. තවමි. ඒ මාගේ කිහිලිවලින් දාදිය වැගිරෙන්නේය. මම කටින් ද නාසයෙන් ද ආශ්වාස ප්‍රශ්වාස නැවැත්වූයෙමි. එකල කන් සිදුරුවලින් පිටවන අධික ශබ්දය ඇති වෙයි. මම කටින් ද නාසයෙන් ද ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්‌වූ කල්හි මයිනහමක්‌ පිඹින කල්හි මෙන් කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්ද ඇති වෙයි.

"කටින් ද නාසයෙන් ද කනින් ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්‌වූ කල්හි අධික වාතය හිස්‌ මුදුන පළන්නාක්‌ මෙන් වෙයි. යම් සේ බලවත් පුරුෂයෙක්‌ තියුණු කටුවකින් හිස්‌ මුදුන විඳින්නේද... එපරිද්දෙන්ම අධික වාතය හිස්‌ මුදුන පළන්නා සේ වෙයි.

"රාජ කුමාරය, දක්‍ෂ වූ ගවයන් මරන්නකු........ ගෙරි කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම් සේ ද එපරිද්දෙන්ම කටින් ද නාසයෙන් ද කනින් ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්‌වූ කල්හි අධික වාතය උදරය කපන්නා සේ වෙයි.

"රාජකුමාරය, යම් සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක්‌ දුර්වල පුරුෂයකු අත් දෙකින් ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහු ද අතිශයින් තවන්නාහු ද එපරිද්දෙන්ම කටින් ද නාසයෙන් ද කනින් ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්‌වූ කල්හි මාගේ ශරීරයෙහි අධික දැවිල්ලක්‌ වේ."

පහත දැක්‌වෙන්නේ මහා සිංහනාද සූත්‍රයෙන් ගන්නා ලද්දකි.

"ඒ මම අමුපල කන්නෙක්‌ වෙමි. බඩහමු කන්නේත් වෙමි. ඌරු හැල් කන්නේත් වෙමි. සම් කෑලි කන්නේත් වෙමි. මැලියම් කන්නේත් වෙමි. කුඩු අනුභව කරන්නේත් වෙමි. මම හන වැහැරිත් අඳිමි මිනියෙන් ඉවත් කළ වස්‌ත්‍රත් අඳිමි. ගස්‌වල පතුරුත් අඳිමි. අඳුන් දිවි සම් ද දරමි බකමුහුණ පිහාටුවලින් කළ වැහැරී ද දරමි ඉසකේ රැවුල් උගුලන්නෙක්‌ වෙමි කටු යහනේ හේත්තු වන්නේ වෙමි. කටු ඇතිරිලි මතුයෙහි සයනය කරමි.

"ශාරි පුත්‍රය, මම හික්‌මුණු ගවයන් ඇති ගොපලුන් නැති යම් ගැල් වේද එහි දෙදණ දෙවැලමිටි බිම තබා දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන්නා වූ බාල වූ වස්‌සන්ගේ ගොම අනුභව කරමි. ස්‌වල්ප ආහාරය ඇති බව නිසාම මාගේ ශරීර අයවය අසූ අවුරුදු ගිය යල් පුරුක්‌ හෝ කළුවැල් පුරුක්‌ හෝ යම් සේ ද එපරිද්දෙන්ම විය. මාගේ නිසී දන මාංසය ඔටුවකුගේ කුරයක්‌ මෙන් වී ය. රැහැණින් අවුරන ලද ලී වැටිය සේ මාගේ කොඳුඇටය උඩට යටට නැමුණේ වෙයි. දිරූ සාලාවක පරාල සේ මාගේ ඉල ඇට උඩුයටිව නැමී වැටුණේ වෙයි. ගැඹුරු ළිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්‌නා ලැබෙත්ද එපරිද්දෙන් මාගේ කළු ඉංගිරියා ගැඹුරට ගියා ඇතුළට පිවිසියේය. මම බඩ අතගාමියි පිට කොන්ද අතගාමී, පිටකොන්ද අතගාමීයි බඩම අතගාමී."

බෝසතාණෝ දුෂ්කර ක්‍රියා කාලයේදී දුර්වලව ඇද වැටී සිටියදී සමහර දේවතාවෝ සුද්ධෝදන රජු කරා ගොස්‌ නුඹගේ පුතා මියගොස්‌ ඇතැයි ප්‍රකාශ කළ බව මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන්ව ඇත.

බෝසතාණෝ සය අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කිරීම පෙර අකුසලයක විපාකයකි. මේ බව ආපදාන පාලියේ කම්මපිලෝතිකා පාදානයෙන් හෙළිවේ. මෙය තිබෙන්නේ ආපදාන පාලියේ 39 වැනි වග්ගයේ 390 වැනි ආපදානයෙහිය. ඒ බව අග්ගමහාපණ්‌ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් රචිත "ථෙරවාද බෞද්ධ දර්ශනය" ග්‍රන්ථයේ දක්‌වා ඇත. එහි මෙසේ සඳහන් වේ.

"ජෝතිපාල මානවකව උන් මම කාශ්‍යප බුදුන්ට නින්දා කරමින් "ඔය මුඩු මහණාට බුද්ධත්වයක්‌ කොයින්ද? එය අතිශයින් දුර්ලභ එකකැයි" කීවෙයි. ඒ කර්ම විපාකයෙන් සය අවුරුද්දක්‌ දුෂ්කර ක්‍රියා කළෙමි. මේ ජෝතිපාල මානවකයා යනු බෝසතුන්ය. 

අත්තකිලමතානු යෝගය පිරීම නිසා බෝසතාණන්ගේ කය දුබල වුවත් සිත දුබල නොවූවේය. වේගයෙන් දුර්වල වූ ශරීරය අන්අයකු දුටුවහොත් බය ඉපදෙන්නේය. බඩ අත ගාන විට පිටකොන්ද අතට අසුවිය. ගැඹුරු ළිඳක තාරකා ඡායාවෙන් බෝසතාණන්ගේ කළු ඉංගිරියා ඇස්‌ කුහර තුළටම කාවැදිණි. කෙසේ නමුත් බෝසතුන්ට දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන්නට වූයේද අතීත කර්මයක්‌ නිසාවෙනි. එය කළකම් පළ දීමකි.

චතුර පමුණුව