ටූටන්කාමන් කාගේ කවුද?

ටූටන්කාමන්ගේ මමිය සොයාගෙන වසර සියයකට ආසන්න කාලයක් ගතවෙමින් ඇතත් ටුටන්කාමන් ගැන නිවැරදි තොරතුරු හෙළිදරව් කරගැනීම අදටත් දුෂ්කර වී තිබේ. ඊජිප්තුවේ පාරාවෝ රජ පෙළපතට අයත් මේ සාමාජිකයා සම්බන්ධයෙන් පසුගිය සියවස පුරා විවිධ පර්යේෂණ සිදු කෙරිණි. ඒ පර්යේෂණ හරහා ටූටන්කාමන්ගේ තොරතුරු ටිකෙන් ටික අනාවරණය විය. කෙතරම් තොරතුරු හෙළිදරව් කරගත්ත ද ටූටන්කාමන් යනු අදටත් අබිරහස් රජෙකි. ටූටන්ඛාමන් ගේ ජීවිතයේ තොරතුරු විවරණය වන තවත් පර්යේෂණ වාර්තාවක් මේ දිනවලත් කරළියට පැමිණ තිබේ. 

නව වාර්තාව ඉදිරිපත් කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ආචාර්ය නිකොලස් රීව්ස් ය. ආචාර්ය නිකොලස් රීව්ස්, අමර්නා රාජකීය සොහොන් ගෙවල් සම්බන්ධයෙන් අධ්‍යනයන්හි නිරත පර්යේෂකයෙකි. මෙකී අමර්නා රාජකීය සොහොන් ගෙවල් තිබෙන්නේ රජවරුන්ගේ නිම්නය වශයෙන් හැඳින්වෙන භූමි පෙදෙසකයි. රජවරුන්ගේ නිම්නය ඊජිප්තුවට යටත් ප්‍රදේශයකි. ටූටන්කාමන්ගේ සොහොන් ගෙය සහ දේහය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක නිරත ආචාර්ය නිකොලස් දැන් කියන්නේ ටූටන්කාමන්, නෙෆර්ටිටි රැජිනගේ පුත්‍රයකු විය හැකියැයි කියා ය.

ආචාර්ය රීව්ස් පෙන්වා දෙන අන්දමට ටූටන්කාමන් රජුගේ සොහොන්ගෙයි බිත්තියෙහි කිසිදාක විවෘත නො කළ අබිරහස් දොරටු දෙකක් ඇත. අද මේ දොරටු දෙක, දොරටු දෙකක් හැටියට ම දකින්නට නැත. එසේ වුවත් සොහොන් ගෙයි බිත්ති මත ඇති තීන්තවලට සහ කපරාරුවට යටින් එකී දොර දෙකෙහි සලකුණු හොඳාකාරවම දකින්නට පුළුවන. ආචාර්ය රීව්ස් දොර දෙක ගැන විවරණය කරගෙන තිබෙන්නේ සොහොන්ගෙයි බිත්ති ස්කෑන් පරීක්ෂාවන්ට ලක්කිරීමෙනි. දොර දෙකෙන් එකක් නෙෆර්ටිටි රැජිනගේ සොහොන් ගෙයට විවෘත වන්නේ යැයි කියන විශ්වාසය ආචාර්ය රීව්ස් තුළ ඇත. එම දොර ටූටන්කාමන්ගේ සොහොන්ගෙයි උතුරු පැත්තට වන්නට පිහිටා තිබේ. සොහොන්ගෙයි අනෙක් දොරටුව විවෘත වී තිබෙන්නේ ගබඩා කාමරයකට බව තහවුරුව තිබේ.

කොහොම වුණත් ටූටන්කාමන්ගේ සොහොන් ගෙය සාපේෂව ඉතා කුඩා ප්‍රමාණයේ එකක් බවත් එහි හැඩය අසාමාන්‍ය බවත් විද්‍යාඥයන්ට ඒත්තු ගොස් තිබුණේ සොහොන්ගෙය සොයා ගත් මුල් කාලයේ සිට ය. ටූටන්ඛාමන් යනු ඊජිප්තුවේ පාරාවෝ පෙළපතෙහි පාලකයෙකි. එහෙව් රජකු වෙනුවෙන් එපමණට ම කුඩා ප්‍රමාණයේ සොහොන්ගෙයක් තැනුවේ ඇයිදැ යි කියන පැනය විද්‍යාඥයෝ එදා සිට ම නැඟූහ. ඇතැම් පුරාවිද්‍යාඥයන් කියා සිටියේ ටූටන්කාමන්ගේ සොහොන්ගෙය එකල රජකු වෙනුවෙන් තැනූ සොහොන් ගෙයකට වඩා වෙනත් සොහොන් ගෙයකට යා කර තැනූ කාමරයක් හා සමාන වන්නේයැ යි කියාය. එහෙත් ටූටන්කාමන්ගේ සොහොන් ගෙය මෙපමණට ම කුඩා සහ වෙනස් එකක් වුණේ කෙසේද? යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් එදා මෙදා තුර සොයා ගත නො හැකි විණි. ආචාර්ය රීව්ස් දැන් අනුමාන කරන්නේ ටූටන්ඛාමන්ගේ සොහොන් ගෙය නෙෆර්ටිටි රැජිනගේ සොහොන්ගෙහිම දිගුවක් හෙවත් රැජිනගේ සොහොන්ගෙට යා කර තනන ලද්දක් වියයුතුය කියා ය.

ඊළඟ වැදගත් ප්‍රශ්නය පැන නැඟෙන්නේ නෙෆර්ටිටි රැජිනගේ දේහය සම්බන්ධයෙනි. නෙෆර්ටිටි රැජිනගේයැයි කියා තහවුරු කරගත් දේහයක් අද වන තුරුත් විද්‍යාඥයන් අතට පත් ව නැත. ඒ වුණත් ආචාර්ය රීව්ස් නම් කියන්නේ ටූටන්කාමන්ගේ සොහොන් ගෙයි උතුරුදිගට වන්නට ඇති දොර සලකුණ සැලකිල්ලට ගත් විට දොරෙන් එහා තිබෙන්නේ නෙෆර්ටිටි රැජිනගේ සොහොන්ගෙය විය යුතුය කියා ය. රැජිනගේ සොහොන්ගෙය වියයුතුය කියන සොහොන් ගෙයි පිහිටීම පමණක් පරික්ෂාවට ලක් කිරීමෙන් ආචාර්ය රීව්ස් යට කී නිගමනයට එළඹ තිබේ. ඒ අනුව, ටූටන්කාමන්ගේ දේහය තැන්පත් කර තිබෙන්නේ ඔහුගේ මව ලෙස සැකකෙරෙන නෙෆර්ටිටි රැජිනගේ දේහය තැන්පත්කර තිබූ ඉඳිකිරීමට කොටසක් එකතු කිරීමෙනි. ටූටන්කාමන්ගේ සොහොන්ගෙය කුඩා ප්‍රමාණයේ සහ අසාමාන්‍ය ස්වරූපයේ එකක්වී තිබෙන්නේ ඒ අනුව බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වන ආකාරයට නෙෆර්ටිටි රැජිනගේ ස්වාමිපුරුෂයා ආඛෙනාටෙන් රජු ය. ආඛෙනාටෙන් රජු දහ අටවැනි පාරාවෝ පෙළපතට අයත් රජෙකි. ක්‍රිස්තු පූර්ව 1353ත් 1336ත් අතර කාලයේදී හෝ ක්‍රිස්තු පූර්ව 1351ත් 1334ත් අතර කාලයේදී හෝ හෙතෙම රජකම් කර කළ බව කියැවේ. ආඛෙනාටෙන් රජු කාන්තාවන් කිහිපදෙනකුම බිසවුන් කරගත් කෙනකු බව පැහැදිලි ය. ඒ සියලු ම බිසවුන් අතර කැපී පෙනෙන්නිය වූයේ නෙෆර්ටිටි රැජින බව ඉතිහාසඥයෝ විවාදයෙන් තොරව පිළිගනිති. ඈ කෙතරම් බලසම්පන්න කතක්වීදැයි කියා කිවහොත් ආඛෙනාටෙන් රජුගේ මරණයෙන් පසු කෙටිකාලයක් රාජ්‍ය පාලනයෙහි නිරත වූයේ යැයි කියා ද මතයක් පළව තිබේ. කොහොම වුණත් ඉතිහාසඥයන් පෙන්වාදෙන අන්දමට දහ අටවැනි පාරාවෝ පෙළපත තුළ අසීමිත කීර්තියක් හිමිකරගත් රැජිනක වේ නම් ඒ අන් කිසිවකු නොව නෙෆර්ටිටි රැජින ය.

නෙෆර්ටිටි රැජිනගේ ජීවිතයේ අවසානය කෙබඳුවීද යන්න ගැන පැහැදිලි සටහනක් හෝ සාක්ෂියක් නැතිවීම විශාල අඩුවකි. සමහර තැනෙක දැක්වෙන ආකාරයට රැජින වසංගත රෝගයකට ගොදුරුව ජීවිතක්ෂයට පත් ව ඇත. තවත් තැනෙක කියැවෙන අන්දමට රජුගේ මරණින් පසු ලේ උරුමය ඇති රාජකීයයකුට රජකම ලබාදෙන්නට ඈ වෙහෙස වී තිබේ. ඒ කුමක් සත්‍ය වුවත් අසත්‍ය වුවත් ආඛෙනාටෙන් රජුගේ මරණයෙන් පසු ටූටන්කාමන් රජවන්නට ආසන්න කාලය වනතුරු මේ බලගතු රැජින ජීවත්ව තිබෙන බව නම් සත්‍යකි. එනම් ක්‍රිස්තු පූර්ව 1330 පමණ වනතුරු ය. මේ කාලය තුළ ලේ ඥාතියකුට රජකම ලබාදෙන්නට ඈ වෙහෙස ගත්තා නම් ඈ එසේ කළේ කාට රජකම ලබාදෙන්නටද? යන ගැටලුව මෙහිදී මතුවේ. වාර්තාවන් පෙන්වාදෙන ආකාරයට ඇය ආඛෙනාටෙන් රජුට දාව ලබා ඇත්තේ දියණියන්ම හයදෙනෙකි. එවිට ටුටන්ඛාමන් ඇගේ දරුවකු නොවන්නේදැයි කියා නො අසා බැරි ය. අනෙක් අතට ටූටන්කාමන් මේ කාලය වන විට වයස අවුරුදු නවය පසු කරමින් සිටි බවත් අප සැලකිල්ලට ගතයුතු ව ඇත.

නෙෆර්ටිටි රැජින සම්බන්ධයෙන් මේ අපැහැදිලිකම් වගේම තවත් අපැහැදිලිකමක් ඇත. එය ගොඩනැඟෙන්නේ ආඛෙනාටෙන් රජු කාන්තාවන් කිහිප දෙනකු බිසවුන් කරගැනීම තුළ ය. ආඛෙනාටෙන් රජුගේ බිසවුන් අතර ඔහුගේම සොයුරියක ද සිටි බව කියැවේ. ඒ සොයුරිය කවරකු ද යන්න ගැන ස්ථිර සඳහනක් නැත. ඇතැම් ඉතිහාස වාර්තාවල ඒ සොයුරිය අනෙකකු නොව නෙෆර්ටිටි රැජින යැයි කියා සඳහන් වේ. නෙෆර්ටිටි රැජිනගේ දේහය හමුව නැති නිසා මේ ගැන හරියටම යමක් කියන්නට බැරිව ගොස් ඇත.

මේ අතර “යන්ගර් ලේඩි” හෙවත් කණිෂ්ට ආර්යාව යනුවෙන් නම් කරන ලද මමියක් සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයෝ පර්යේෂණ පවත්වති. කණිෂ්ට ආර්යාවගේ මමියත් පුරාවිද්‍යාඥයන් අතට පත් වුණේ රජවරුන්ගේ නිම්නයෙනි. කණිෂ්ට ආර්යාව ටූටන්කාමන්ගේ මව බව කියන්නට හැකි ජෛවවිද්‍යාත්මක සාක්ෂි නම් විද්‍යාඥයන් අතට පත් ව තිබේ. එහිලා කැපී පෙනෙන්නේ කණිෂ්ට ආර්යාව සම්බන්ධයෙන් කරන ලද ඩී.එන්.ඒ. පරික්ෂාවන්ය. ඒ ඔස්සේ මේ කියන කණිෂ්ට ආර්යාව, ටූටන්කාමන්ගේ පියාගේ සොයුරියක වන්නේයැයි කියා කියන්නටත් විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. එහිදී නැඟෙන ගැටලුව වන්නේ නෙෆර්ටිටි රැජින සහ විද්‍යාඥයන් කියන කණිෂ්ට ආර්යාව යනු එක් අයෙකුද යන්නයි. එසේ නම් ආචාර්ය රීව්ස්ට වැරදී ඇත්ද?

ටූටන්ඛාමන් රජකම ලබාගෙන ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1331 දී පමණය. ඔහු සිය පාලනය කේන්ද්‍ර කරගෙන තිබෙන්නේ ඊජිප්තුවේ තිබෙස් නගරය මුල්කරගෙන බව කියැවේ. අද තිබෙස් නගරය හැඳින්වෙන්නේ ලක්සොර් යනුවෙනි. රජවරුන්ගේ නිම්නය තිබෙන්නේද එකී නගරය තුළයි. ඒ අනුව ටුටන්ඛාමන්ගේ දේහය සොයා ගැනුණේද එහි තැන්පත් කර තිබියදීය. මේ නිසා නෙෆර්ටිටි රැජිනගේ දේහයත් එහි තිබෙන්නට බැරිකමක් නැත. සමහරවිට ටූටන්කාමන් සමඟ නෙෆර්ටිටි රැජිනත් තිබෙස් වෙත පැමිණියා වන්නට පුළුවන. නැත්නම් ඇය ආඛෙනාටෙන් රජු ගොඩනැඟූ ආඛෙටාටෙන් හෙවත් වත්මන් අමර්නා නගරයේම ජීවත් වූවා වන්නටත් බැරි නැත. නමුත් ඇගේ මරණයෙන් පසු ටූටන්කාමන් රජු ඇගේ දේහය තිබෙස් වෙත ගෙනයන්නට ඇත. එහෙමත් නැත්නම් ඇය තිබෙස් වෙත නොපැමිණම අමර්නා නගරයේ පස් අතර සැඟවිණි ද? මේ කිසිවක් ගැන එක තීරණයකට එන්නට තවත් සාක්ෂි ගණනාවක් අවශ්‍යයව ඇත. ලෝකයා දැන් බලා සිටින්නේ ආචාර්ය රීව්ස් ටූටන්කාමන්ගේ සොහොන්ගෙයි අබිරහස් දොර ඇරගෙන නෙෆර්ටිටි රැජිනගේ දේහය ඇතැයි කියන කුටියට පිවිසෙන තුරුය. වසර 3300 ක් පැරණි අතීතය ගැන හරියටම යමක් කියන්නට සමහරවිට එදාට හැකියාවක් ලැබෙනු ඇත.

 මංජුලා විජයරත්න
මේල් ඔන්ලයින් ඇසුරෙනි