අයි. එස්. ත්රස්තයන්ගේ ග්‍රහණයට නතුව පවතින සිරියාවේ පිහිටි ලෝක උරුම නගරයක් වන පැල්මයිරාවෙන් හද කම්පා කරවන සුළු පුවතක් වාර්තා විය. ඒ, මැද පෙරදිගට පමණක් නොව සමස්ත මිනිස් වර්ගයාටම පොදු උරුමයක් ලෙස සැලකිය හැකි පැල්මයිරාවේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීම වෙනුවෙන් සිය ජීවිතයෙන් හරි අඩකටත් වඩා කැප කළ විශිෂ්ට පුරා විද්‍යාඥයකු වූ ඛලීද් අල් -අසාද් අයි. එස්. ත්රස්තයන් විසින් ගෙල සිඳ ඝාතනයකිරිමය. 81 හැවිරිදි පුරාවිද්‍යාඥයාගේ හිස සුන් සිරුර, ඔහු සිය ජීවිතයටත් වඩා උතුම් කොට සැලකූ පැල්මයිරාවේ චතුරස්රයේ පිහිටි පුරාණ කුලුනක එල්ලා තිබියදී හමුවිය. ඔහුට එරෙහි චෝදනා ඇතුළත් කඩදාසියක් ඉනෙහි ගැටගසා තිබිණි. අල් අසාද් ඝාතනය කිරීමට ප්‍රධානම හේතුව පැල්මයිරාවේ නටබුන් පිළිබඳ තොරතුරු අයි. එස්. ත්රස්තයන්ට හෙළිදරව් නොකිරීමයි. පැල්මයිරාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ අතැඹුලක් සේ දැන සිටි ඔහු ඉන් බිඳක් හෝ මුවින් හෙළන්නේ නැතිව මවුබිමේ උරුමය වෙනුවෙන් ජීවිතය දුන්නේ සිය ක්ෂේත්රයේ සගයන්ට මහා ධෛර්යයක් සපයමින් සහ ලෝකයටම ආදර්ශයක් දෙමිනි. අල් - අසාද් කොපමණ පැල්මයිරාවට ආදරය කළේද යත්, සිය දියණියට නම් තැබුවේද ෂිනෝබියා යනුවෙනි. ෂිනෝබියා යනු මීට වසර 1700කට පෙර පැල්මයිරාව පාලනය කළ රැජනය. අයි. එස්. ත්රස්තයන් අතට පැල්මයිරා නගරයේ පාලනය පත්වීමෙන් පසුව පවා ඔහු නගරය හැර යාම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ නිවසට පැල්මයිරා නගරයේ නටබුන් මනාව දර්ශනය විය.
සිරියාවේ පුරාවිද්‍යා බලධාරීන් විශ්වාස කරන පරිදි කලීද් අල් - අසාද් මාසයක් පමණ තිස්සේ අයි. එස්. ත්රස්තවාදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නට ඇත. දශක ගණනාවක් තිස්සේ එම පුරාවිද්‍යාත්මක බිමෙහි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ලැබූ පසුවද නිහඬ වූයේ නැත. පැල්මයිරාෙව් ගවේෂණ සිදුකිරීමෙන් මෙන්ම එම අගනා උරුමය අනාගතයට ඉතිරි කොට තැබීම වෙනුවෙන් ඔහු නොමැකෙන මෙහෙවරක් ඉටු කොට තිබිණි. පැල්මයිරාව පිළිබඳ දැනුම් කෝෂ්ඨාගාරයක් බඳු ඔහුෙගන් තොරව කිසිවකුටත් ඒ පිළිබඳ හැදෑරීමට නොහැකි විය.
රෝම යුගයට අයත් වසර 2000ක් පමණ පැරණි මේ නගරය අදටත් හැඳින්වෙන්නේ පුරාතනයේදී එය හැඳින්වු පැල්මයිරා යන නමින්ම ය. අල් - අසාද් කෲර ලෙස ඝාතනය කිරීමෙන් පසු සිරියානු පුරාවිද්‍යාඥයන් භීතියටත් කම්පනයටත් පත්ව සිටින්නේ අයි. එස්. ත්රස්තයන් නගරය මංකොල්ල කනු ඇතැයි පෙනෙන බැවිනි. අයි. එස්. ත්රස්තයන් මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙසද පුරාවස්තු මංකොල්ලය භාවිත කරයි. අල් - අසාද් වඩාත් ප්‍රචලිත වූයේ “පැල්මයිරා මහත්තයා” යනුවෙනි. තවත් සිරියානු පුරාවිද්‍යාඥයකු මෙන්ම අසාද් ගේ මිතුරකු ද වූ අහ්මඩ් කර්සාත් ඔහුගේ අභාවය පිළිබඳ සැලවූ විට පවසා තිබුණේ, “අපට අහිමි වූයේ පුරාවිද්‍යා ක්ෂේත්රයේ ප්‍රවීණයකු පමණක් නොවේ. විසිවැනි සියවසේ පුරාවිද්‍යා ක්ෂේත්රයේ එක් කුලුනකි” යනුවෙනි. සිරියාවේ පුරා විද්‍යා හා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මාමුන් අබ්දුල් කරීම් පවසන පරිදි අල් - අසාද් යනු සිරියානු පුරාවිද්‍යාවේ පුරෝගාමියෙකි. පැල්මයිරා නගරය ත්රස්තවාදීන් අතට පත්වෙද්දී එම ඓතිහාසික මෙන්ම වටිනා පුරාවිද්‍යාත්මක වස්තු සම්භාරය රැකගැනීමට අල් - අසාද් ඇතුළු පුරාවිද්‍යාත්මක බලධාරීන් යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇතැම් වස්තූන් සැඟවූයේ කොහිදැයි අල් - අසාද්ගෙන් දැනගැනීමට ත්රස්තවාදීන්ට අවශ්‍ය වී තිබේ. ඔහුගේ මරණය සිදු වූයේ එය හෙළිදරව් කරගත නොහැකි වූ තැනදීය.
කීර්තිමත් පුරාවිද්‍යාඥයාට අත්වූ ඉරණම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්නි ද ප්‍රකාශයක් කළේය. එහි දැක්වුණේ මෙම ඝාතනය අමෙරිකාව දැඩි ලෙස හෙළා දකින බවයි. පුරාවිද්‍යා ක්ෂේත්රය වෙනුවෙන් ඔහු සිය ජීවිතය කැප කළ බව ද සිරියාවේ අගනා ඉතිහාසය මකා දැමීම සඳහා අයි. එස්. කල්ලිය දරන වෑයම අසාර්ථක වනු ඇතැයි ද එහි සඳහන් විය. මේ ප්‍රකාශයේ කවරක් සඳහන් වුව ද සිරියාවේ අසාද් පාලනය පෙරළා දැමීම සඳහා කැරැළිකරුවන්ට අමෙරිකාවේ සහාය ලැබිණි. අයි. එස්. කල්ලිය එහි රිංගා ගත්තේ සිරියානු පාලනය සහ අසාද් විරෝධීන් අතර ඇතිවූ බරපතළ ගැටුම්කාරී ව්‍යසනය මැදිනි. මරා දමනු ලැබූ පුරාවිද්‍යාඥයා ජනාධිපති අල් - අසාද් ගේ පාලනයේ දැඩි සහායකයකු ද විය. අයි. එස්. කල්ලියේ උදහස ඔහු දෙසට එල්ලවීමට ද එය හේතුවක් විණි. ඔහු සිරියානු පාලක පක්ෂය වන බාත් පක්ෂයේ සාමාජිකයකු ලෙස 1954 පටන්ම කටයුතු කළේය. බටහිර මාධ්‍ය වෙත අල් - අසාද් ඝාතනය කිරීම පිළිබඳ අදහස් දක්වා තිබූ ඔහුගේ බෑනණුවන් පවසා තිබුණේ, ඔහු අසාද්ට එරෙහි කැරැල්ලක් පිළිබඳ විශ්වාස නොකළ බවයි. 2011 මාර්තු මාසයෙන් පසු එහි සිවිල් යුද තත්ත්වයක් උද්ගත වුවද ඔහු එය බරපතළ ලෙස ගණනකට නොගත් බවත් එම පුද්ගලයා පවසා තිබේ. අල් - අසාද් ගේ බෑණා ජනාධිපති අසාද් ගේ පාලනයට එරෙහි වූ අයෙකි.
සිරියාවේ ඩමස්කස් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය හා අධ්‍යාපනය පිළිබඳ හදාරා ඇති අල් - අසාද් පැල්මයිරා පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ මෙන්ම වෙනත් මාතෘකා ඔස්සේ කෘතීන් ගණනාවක්ම ලියා ඇත.
පැල්මයිරාව අත්පත් කරගැනීමෙන් පසු ඇතැම් අගනා පුරාවස්තු විනාශ කිරීමට අයි. එස්. ත්රස්තයන් පෙළඹිණි. නගරයේ පිහිටි කෞතුකාගාරයේ දොරටුව අබියස තබා තිබූ 2 වැනි සියවසට අයත්, 1975 දී සොයාගනු ලැබූ සිංහ රුවක් ද එලෙස වැනසූ දෑ අතර විය. නගරයේ තත්ත්වය අයහපත් අතට හැරෙමින් තිබියදී අල් - අසාද් ගේ සමීපතමයන් ඉන් බැහැර වන ලෙස ඔහුට ආයාචනා කර තිබේ. නගරයේදී අල්ලා ගත් රජයේ හමුදා භටයන් 20 දෙනකු ගෙල සිඳ මරා දමන අයුරු දැක්වෙන වීඩියෝවක් පවා අයි. එස්. ත්රස්තයන් ජූලි මාසයේදී නිකුත් කර තිබිණි. තත්ත්වය කොපමණ බියකරු වුවද අල් - අසාද් තීරණය කොට තිබුණේ සිය ජීවිතය කැප කළ භූමිය හැර නොයාමටයි. අල් - අසාද් ගේ ගෙල සිඳලන විට ඔහුට, පෙර අවස්ථාවලදී මෙන් තැඹිලි පැහැ ඇඳුමක් ඇන්දවීමට ත්රස්තවාදීන් ක්‍රියා කර නැත. ඔහු මරා දමා තිබුණේ සාමාන්‍ය ඇඳුමෙන්මය. සිරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවය වාර්තා කළ පරිදි හා එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක සිරියානු මානව හිමිකම් කණ්ඩායමකට අනුව අල් - අසාද් කුරිරු ලෙස මරා දමා තිබුණේ ඩමස්කස් අගනුවර පිහිටි කෞතුකාගාරය ආසන්නයේම වූ චතුරස්රයේදී විශාල පිරිසක් බලා සිටියදීය. ඉන් පසු ඔහුගේ සිරුර පුරාවිද්‍යාත්මක නටබුන් ඇති පෙදෙසට රැගෙන ගොස් පුරාණ ස්ථම්භයක එල්ලා තිබේ.
සිරියාවේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ අගනා ගවේෂණ රැසක් අල් - අසාද් සිදු කර ඇත. කලීද් අල් - අසාද් ගැන සඳහනකින් තොරව පැල්මයිරාවේ ඉතිහාසය පිළිබඳ කිසිවකුටත් ලිවිය නොහැකි බව පුරාවිද්‍යා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මතයයි. එය හරියටම හොවාර්ඩ් කාටර්ගෙන් තොරව ඊජිප්තුවේ පුරාවිද්‍යාත්මක උරුමය ගැන ලිවීමට නොහැකිවීම බඳුය. මේ අනුව බලන විට අමානුෂික ලෙස වනසා ඇත්තේ හුදු පුද්ගලයකුටත් වඩා පැල්මයිරාවේ ඉතිහාසය පිළිබඳ පුස්තකාලයකි, පර්යේෂණාගාරයකි.
පැල්මයිරා නගරය පුරාණ සේද මාවතේ හමුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් ද විය. එහි පිහිටි වසර 2000කටත් වඩා පැරැණි නටබුන් අතර පුරාණ රෝමානු සොහොන්බිම් මෙන්ම දේවාලද වෙයි. දශක 5ක් තිස්සේ අෙමරිකානු, ප්‍රංශ, ජර්මානු සහ ස්විස් පුරාවිද්‍යාඥයන්ද සමඟ එක්ව කලීද් අල් - අසාද් එහි පුරාවිද්‍යා ගවේෂණවල නිරත විය.
පුරාවිද්‍යාත්මක උරුමයන් මේ අන්දමින් මංකොල්ලකෑම වාණිජ මට්ටමින් සිදුවන බවට යුනෙස්කෝව ඉකුත් මාසයේදී ද අනතුරු අඟවා තිබිණි. ඛනිජ තෙල්, බදු ආදායම් සහ කප්පම්වලට අමතරව පුරාවස්තු අලෙවි කිරීමෙන්ද අයි. එස්. ත්රස්තයන් මුදල් සම්භාරයක් ඉපැයූ බව වාර්තා වී තිබේ.
පැල්මයිරා නගරයේ පිහිටි ඉපැරණි රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ගොඩනැඟිලි මත අයිසිස් ධජ ලෙල දෙන්නට පටන් ගැනීමෙන් පසු ලන්ඩනයේ පැරැණි දෑ අලෙවි කරන වෙළෙඳසල්වල සිරියාවෙන් කොල්ලකනු ලැබූ පුරාවස්තු විකිණීමට තිබිණි.
මීට පෙර බැග්ඩෑඩ කෞතුකාගාරයෙන් අතුරුදන් වූ පුරාවස්තුද මෙලෙසම ලන්ඩනයේ වෙළෙඳසල්වලින් මතුවිය. ලන්ඩනය යනු පැරැණි භාණ්ඩ සඳහා ලොව ඇති විශාලතම වෙළෙඳපොළක් ෙමන්ම කොල්ලකනු ලබන දෑ සඳහා ද හොඳ වෙළෙඳපොළකි.
එමෙන්ම මෙය ලන්ඩනයට අලුත් දෙයක් ද නොවේ. මේ වසරේ පෙබරවාරි මාසයේදී එ. ජා. ආරක්ෂක මණ්ඩලය මඟින් ඉරාකයෙන් හා සිරියාවෙන් කොල්ලකනු ලැබූ පුරාවස්තු අලෙවිය තහනම් කළද තවමත් එය ව්‍යාපාර මට්ටමින්ම සිදුවේ.
ධම්මික සෙනෙවිරත්න