අවබෝධය නැති තැන විවාහය බිඳ වැටෙනවා


වත්මන් තරුණ පරපුර, විවාහ වෙනවාට වඩා ඉක්මනින් විවාහය කඩාකප්පල් කර ගන්නා බව බොහෝදෙනා පවසති. මෙවන් තත්ත්වයක් අප සමාජය තුළ ඇතිවීමට විවිධ හේතු කාරණා බලපා ඇති බව සමහරුන්ගේ මතය වී තිබේ. කාර්යබහුලත්වය, තාක්ෂණයේ දියුණුව, කාන්තාව රැකියාවකට යාම වැනි මෙකී නොකී විවිධ හේතු කාරණා මීට බලපා තිබෙන බව මේ මත අතරින් ඉස්මතු වන ප්‍රබලතම අදහස් වේ. විවාහය බිඳ වැටීමට හේතු වන්නේ කුමන කරුණු කාරණාද? එසේනම් අප කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳ ආකල්ප සංවර්ධන උපදේශක වඩුගේ පියරත්න මහතා සමඟ කළ කතාබහකි මේ.


* වර්තමානය වනවිට පවුල බිඳවැටීමකට ලක්ව ඇති බව පැවසෙනවා. විවාහවී කෙටි කාලයක් තුළ විවාහය දෙදරා යාමට හේතුව කුමක් විය හැකිද?



වර්තමානයේ විවාහ ජීවිතයට ඇතුළත් වන බොහෝදෙනාට විවාහය කියන්නේ මොකක්ද? එයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? විවාහ වන දෙදෙනකු සතු වගකීම්, යුතුකම් මොනවාද? මේ වගේ කිසි දෙයක් ගැන අවබෝධයක් නෑ. මේ අනවබෝධය නිසා ජීවිතයට මුහුණ දීමට යාමේදී මොවුන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගැටුම් ඇතිකර ගන්නවා. මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ වසර ගණනක් සැලැසුම් කරලා විවාහ වෙලා මාසෙන් දෙකෙන් විවාහ දිවියට සමු දෙන්න සිදු වීමයි.



විවාහයේදී දෙදෙනා අතර අවබෝධය අතිශයින් ම වැදගත්. එහෙම නොවී මේ ගමන දුර යන්න බෑ. අන්‍යෝන්‍ය විශ්වාසය, සැක නොකිරීම, බොරුවෙන්, වංචාවෙන් තොරවීම වැනි උතුම් ගුණාංග දෙපාර්ශ්වය අතරම පැවතිය යුතුයි. මේ කුමන දෙයක් හෝ බිඳවැටෙනවා කියන්නේ එතැන කුඩා හෝ හිත් අමනාපයක් වෙලා, හිත් රිදවීම් වෙලා කළකිරීමක් ඇතිවෙනවා කියන එකයි. මේ කළකිරීම විවාහ දිවියට කොහෙත්ම සුබදායක නෑ.



නිසි වයසට පෙර විවාහ වීමත් සමහරවිට විවාහය බිඳවැටීමට හේතුවක් වෙන්න පුළුවන්. ආදර හැඟුම් පරීක්ෂාවට ඇති වුවමනාව නිසා බොහෝවිට පුද්ගලයන් විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා.



ඒත් මේ අයට විවාහය පිළිබඳ අවබෝධයක් ඇත්තේම නෑ. කායික සහ මානසික හැඟීම් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් මේ අය විවාහ ජීවිතය තුළ ප්‍රපාතයටම ඇද වැටෙනවා. මේ නිසා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් වගේම විවාහ දිවියට ඇතුළත්වෙලා සිටින පුද්ගලයන් තරයේ අවබෝධ කරගතයුතු දෙය වන්නේ, එක වහළක් යටට වෙලා හිටියට, දෙදෙනෙක්ගෙ හිතුම් පැතුම් එක තලයකට ගේන්න අමාරු බවයි.



ඒ නිසා, අවබෝධය මත ඉවසිල්ලෙන් යුතුව මේ ගමනයා යුතු බව හැම කෙනෙක්ම වටහා ගැනීම වැදගත්. ඒ අවබෝධය තුළින් මේ ගමන යාමේ හැකියාව තමන් සතු කරගත යුතුයි. වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීම මඟින්, ඔවුන‍්ගේ අත්දැකීම් තම දිවියට උකහා ගැනීම මඟින් මේ අවබෝධය ළඟාකර ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතිව පුංචි පුංචි දේට විවාහය කඩාකප්පල් කර ගැනීම සුදුසු යැයි කොහෙත්ම අනුමත කරන්න බෑ.



*‍ අතීත සමාජය තුළ දරු පවුල රැකගෙන සතුටින් ජීවත් වෙන්න දෙන්නා දෙමහල්ලන්ට හැකි වුණා. ඒත් අද්‍යතන දියුණු සමාජය තුළ වෙසෙන උගත් බුද්ධිමත් ජනතාව විවාහය කඩාකප්පල් කර ගන්නවා. අවබෝධය, දැනුම තිබුණට මේ අයට මේ ගමන යන්න බැරි ඇයි?



අතීතයේ අපි හැදුනෙ වැඩුනෙ සාරධර්මත් එක්කයි. ගැහැනියක් ජීවත් විය යුත්තේ කොහොමද කියලා අපේ සමාජය තුළ එක්තරා මිම්මක් තිබුණා. බුදු දහමට අනුව හැඩගැසුණු සමාජයක් තුළ ජීවත්වුණ මේ අය, ගැහැනියගේ සංවරකමට මුල්තැන දුන්නා. ඇඳුම් පැළඳුම් ඇඳිය යුතු ආකාරය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අනුව කටයුතු කළා. එදා සමාජයේ පැවැතියේ විස්තෘත පවුලක්. ඒ නිසා කුඩා වයසේ ඉඳන් ම ජීවිතය පිළිබඳ අත්දැකීම් ලබමින් ජීවත්වීමට ඔවුන්ට අවකාශ ලැබුණා.



අම්මා -තාත්තා, ආච්චි - සීයා, නැන්දා -මාමා, බාප්පා - පුංචි මේ හැම දෙනාම ඔවුනොවුන්ට සලකා ගනිමින් පවුල් ජීවිතය ගෙනයන ආකාරය මොවුන් දැක්කා. විවාපත් යුවලක හැසිරීම අත්දැක්කා. මේ නිසා එදා අලුතෙන් විවාහ වන දෙපළක‍ට විවාහ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණා. කාන්තාවන් වුණත් ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වැඩ පිළිබඳ කුඩා අවධියේ ඉඳන් ම අත්දැකීම් ලැබුවා.



ඒ අය බොහෝවිට ගැටුම් ඇතිකර ගන්න උත්සාහ කළේ නෑ. බහින්බස් වීමක් වුණත් බත් හැළිය ඉදෙනකම් විතරයි. ‍ඒත් අද්‍යතන කාර්යබහුල, න්‍යෂ්ටික පවුලකට කොටුවෙලා හැදුණු, තාක්ෂණය අතින් දියුණු සමාජයක් තුළ මේ අවබෝධය එදාවගේ අද ලබා ගන්න හැකියාවක් නෑ. ඒකෙ ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ.



* ඔබ කියන්නේ කාන්තාවන් එදා වගේ නිවෙසට කොටුවෙලා හිටියානම්, කාර්යබහුල නොවුණානම් විවාහය පිළිබඳ ගැටලු පැනනඟින්නේ නෑ කියලද?



කාන්තාව ගෙදරටම කොටුවෙලා සිටිය යුතුයි කියලා මං කියන්නේ නෑ. කාලීනව සිදුවන සමාජ විපර්යාස සමඟ අප වෙනස්විය යුතුයි. ඒත් අප බටහිර අනුකරණය කරන්න ගියොත්, අපේ හැදියාව අමතක කළොත් අපට අප බලාපොරොත්තු වන සාමකාමී විවාහ දිවිය ලබා ගැනීම අපහසුයි.



* ගැහැනියට නිදහසේ ජීවත්වීමට ලැබීම තරම් ඛේදවාචකයක් තවත් නෑ කියන එකයි මගේ අදහස. ගැහැනු ළමයින්ට තමන්ට හිතුමනාපෙ ගෙදරින් දොට්ට බැහැලා යන්න ලැබීම නිසා තමන්ගේ පෙම්වතා සමඟ ඕනෑ තැනකට යාමට හැකිවී තිබෙනවා. මෙයින් අයුතු ප්‍රයෝජන ගන්න පිරිමි කටයුතු කරන තත්ත්වයක් තිබෙන්නේ. ඒකෙ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කාන්තාවන් තමන්ගේ ජීවිත විනාශ කර ගන්න තත්ත්වයකුයි. වර්තමානය වනවිට ‘රූම්’ සංස්කෘතිය රටපුරා ගම්දනව් පුරා ව්‍යාප්තවී තිබීම මඟින් ම පැහැදිලි වෙන්නේ මොකක්ද? එය අපේ සමාජ ඛේදවාචකයක් නෙමෙයිද?



වර්තමානය වනවිට දුරකථන, අන්තර්ජාලය, මුහුණු පොත වැනි තාක්ෂණය සමඟ ගැටීම නිසා කාන්තාවන් තම විවාහ දිවිය දෙදරවා ගත් අවස්ථා වැඩිබව මට මුණගැසුණු බොහෝ පිරිස් සමඟ කළ කතාබස් මඟින් පැහැදිලිවී තිබෙනවා. නාගරික සමාජය විතරක් නෙමෙයි, ග්‍රාමීය සමාජය පවා මේ ඛේදවාචකයට ගොදුරුවෙලා. ඒ වගේම විවාහය බිඳවැටීමට නැන්දම්මා ලේලි හබය, රැවටීම්, අනියම් සබඳතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම , කාන්තාව විදෙස්ගත වීම වැනි දේත් හේතුවී තිබෙනවා. මේ නිසා විවාහය බිඳවැටීමේ ගැටලුවට එක හේතුවක් නෙමෙයි, හේතු බොහොමයක් බලපා තිබෙන බව පැහැදිලියි.



* අලුත විවාහ වන දෙදෙනකුට ඔබ දෙන උපදේශය මොකක්ද?



විවාහයක් කියන්නේ පරිත්‍යාගයක්. අනෙකාගේ ආශා, වුවමනා ඉදිරියේ තමාගේ වුවමනා කැප කිරීමක්. එකිනෙකාට සවන් දීම, අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය, අවබෝධය, වංචා නොකිරීම, ‍නොරැවටීම වැනි ‍ගුණාංග ඔවුනොවුන් අතර පැවතිය යුතුයි. වැරැද්දක් වුණත් හිත නොරිදෙන විදිහට එය පහදා දීම අත්‍යවශ්‍යයි. විවාහ වන දෙදෙනෙක් හොඳ බැඳීමකින් සිටීම ඉතාමත්ම වැදගත්. අනෙකාට දයාබර වීම, ඔහුගේ ප්‍රශ්නයකදී පැන නොයාම, දුක සැප දෙකේදීම එකට සිටීම, ඉවසීම ‍විවාහ දිවියක් සතුටින් ගෙවීමට අත්‍යවශ්‍යයි.



අනෙකාට තිබෙන්නෙත් තමාට වගේම රිදෙන හිතක් බව තේරුම් ගැනීමත්, බාහිර පෙනුම, වත්කම ගැන ආඩම්බර නොවීමත් කාන්තාවකට වෙසෙසින්ම වැදගත්. ඒ වගේම තම සැමියාට රසට කෑම ටික හදලා කන්න දෙන එක, නිදහස් වෙලාවට විනෝද ගමන් යාම, මිනිස් වුවමනාවලට ඉඩදීම මේ හැම දෙයක්ම විවාහයක් සාර්ථක වෙන්න බලපානවා.



ඒ වගේම පිරිමියා විසිනුත් කාන්තාව වෙනුවෙන් විය යුතු යුතුකම් ඉටු කිරීම වැදගත්. හැම මොහොතකම ඇය අගය කිරීමට කටයුතු කිරීම හොඳ සැමියකුගේ ලක්ෂණයක්. ඒ දෙය සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන බව සිහියේ තබා ගැනීම වැදගත්. ඒ වගේම ඈ සතු යහපත් ගුණාංග පිළිබඳ නිතර කතා කිරීමත් සැමියා අතින් සිදුවිය යුතුයි.



කොටින්ම කියනවානම් දෙපාර්ශ්වයම හොඳ අවබෝධයකින් ජීවත්වීම විවාහ දිවියක් සාර්ථක වෙන්න බලපානවා. මේ නිසා විවාහ උත්සවය සාර්ථකව පැවැත්වීමට දරන උත්සාහය හා සමානවම විවාහය රැක ගැනීම වෙනුවෙනුත් කටයුතු කරනවා නම් , අපේ සමාජය තුළ දික්කසාද වීම් මේ තරම් බහුල නොවේවි.



ඒ වගේම විවාහ වීම‍ට බලාපොරොත්තු වන යුවළකට විවාහය පිළිබඳ උපදේශනයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් , එය විවාහයේ බරපතළ බව ඔවුන්ට තේරුම්කර දීමට බෙහෙවින් ම වැදගත් වෙනවා. මෙවන් තත්ත්වයක් ඉදිරියේදී අප සමාජය තුළ ඇතිවීම අත්‍යවශ්‍යයි. එසේ නොවුණොත් දික්කසාදය කියන දෙය මීට වඩා සාමාන්‍යකරණය වේවි.



වඩුගේ පියරත්න ආකල්ප සංවර්ධන උපදේශක

ඉරෝ­ෂිණී දීපිකා
ඡායාරූපය-රුවන් ද සිල්වා