සෞන්දර්යය කලාවේ සුන්දර මහා බලය

සුසංයත ජන සමාජයක් ගොඩනැඟීමේදී කලාවේදියා සතු කාර්යය, වගකීම සුළුපටු නොවේ. එකිනෙකින් පෝෂණය වන පද බෙදීමක් වුව කලාව සහ සෞන්දර්යය එකම විෂය පථයක සම්බන්ධයක් යැයි සටහන් කිරීම අභියෝගයට ලක් නොවනු ඇත.

කෙසේ වුවද පවුල, සමාජය, ගෝත්‍රය, රාජ්‍ය යන ජාතික රාජ්‍ය සංකල්පයෙහි දෙවැනි වර්ධනීය අවස්ථාව වන සමාජය සජීවී ජීවීන් සමුදායකින් සමන්විත වූවකි. මිනිස‍ා භෞතික සහ මානසික දෙඅංශයෙන් උපලක්ෂිත වූ දියුණු ජීවී කොට්ඨාසයකි. ඓන්ද්‍රීය වශයෙන් ශරීර වර්ධනයට ආහාර අවශ්‍ය වන්නා සේම මානසික ප්‍රවර්ධනය උදෙසා කලාව අත්‍යවශ්‍යය. මේ අවශ්‍යතා සපුරන පුළුල් දෘෂ්ටියක් සහිත පුද්ගලයා කලාකරුවාය. සාහිත්‍ය, නාට්‍ය, නර්තනය, සංගීතය, චිත්‍රය, සිනමාව ආදී කුමන අංශයක් නියෝජනය කළ ද ඉන් සිදුවන්නේ වින්දන පරාසය තීව්‍ර කිරීමයි.

ඓතිහාසික අර්ථයකින් ගත් කල්හි කලාව බිහිවූයේ යථාර්ථය ඥානය කරන මෙවලමක් ලෙසිනි. කලාව මිනිසා සඳහා වුව කලාව සඳහා වුව මිනිසා පැටලී ඇති අවුල් ජාලාවෙන් තමන්ගේ අභිමතය තෝරා ගන්නා ක්‍රමය යැයි කීම විවාදයට තුඩු නොවෙනු ඇත.

කලා කෘති වින්දනය කරන වින්දකයන් තුළ මනෝභාවයන්, මනෝගතීන්, හැඟීම් ඇති වුවද ඒ සඳහා ද බලපාන ප්‍රධාන සාධක දෙකකි. කලාවේදියා තම කලා කෘතිය සම්බන්ධයෙන් කොතරම් අවංක වේද? වින්දිකයාගේ මනෝතාව මණ්ඩලයේ වපසරිය කොතරම් වේද? යන්න හේතුකොටගෙන වින්දිතයා හෙවත් සමාජය ඥානනයන් කිරීමේ සීමාව තීරණය වේ.

මිනිසාට බැහැරින් ඇති තත්‍ය විශ්වයේ මෙතෙක් සොයා නොගත් අලුත් යමක් සොයා ගන්නෝද අප අතරම වෙසෙති. මිනිස් ස්වභාවයේ ඇති සුළුතර බවත්, බෙලහීනතාවයන් පෙන්වන අනාගත ව්‍යක්තෘන් වන්නේ හේ අන් කවරෙක් නොව කලාවේදියාය. මිනිස් ස්වභාවයේ ඇති සුළුතර භාවය සහ බෙලහීනතාවය යැයි අප ඉහතින් සඳහන් කරන්නේ මනඃකල්පිත ලෝකයක පුද්ගලයා ගාල් වී සිටින නිසාය. අනෙක් අතට සිතන්නට පුරුදු සත්ත්වයෙකි.

ගැටලුවලට විසඳුම් සොයන්නෙකි. ගැටලුවලට පිළිතුරු සෙවීමට යෑමේදී ඇතුළත දිස්වන්නේ තවත් ප්‍රශ්න සම්භාරයකි. මේ අරුම සංසිද්ධියෙන් මිනිසාව සවිඥානිකත්වයට පත්කරන්නේ කලාවේදියාය. සෞන්දර්යාත්මක සිතිවිලි, විවිධ වූ කලා භාවිතයන් සමඟ සම්පූර්ණ කිරීමෙන් ‍සමාජය ඥානනය කිරීමේ කාර්යයක කලාවේදියා නිරතව සිටී.

අද්භූතවාදී කලා ප්‍රවාහයේ (Romantic Movement) ඵලයක් විසින් දහනවවන සියවසේ මුල් දශකයේ දී නව සම්භාව්‍ය ගීත කාව්‍යයේ පරම පිවිතුරු ප්‍රකාශනය ලෙස අධ්‍යයනය සුභාවිත ගීතය අනාවරණය වූ බවට අදහසක් ඇත. රටක ජනතාව කතා කරන භාෂාවෙහි භාෂාංග, රිද්මය, ධ්වනිය, ඒ ඒ රටවල කලාකෘති බිහිවීම උදෙසා ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි.

ඒ තුළින් ගතානුගතික අන්ධානුකරණයෙන් බැහැරවීම සිදුවේ. ලෝක ප්‍රකට දාර්ශනිකයකු වන “ෂෝපන්හවර්” මිනිස් ජීවිතයේ විවාදාත්මක පැතිකඩක් විවරණය කරයි. ඒ මෙසේය. “මිනිසුන්ගේ අධිෂ්ඨානය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ දෙයක් නැති විට එය විවේක ගනී. එමෙන්ම ඔවුන්ගේ බුද්ධිය ද නිවාඩු ගනී. එහි ප්‍රතිඵලය වන්නේ මිනිසා තුළ ශක්ති වේගයක් ඇත්නම් එය භයානක ලෙස එක තැන පල්වීමයි. මේ තත්ත්වයෙන් සමාජය බේරාගන්නා පුද්ගලයා කලාවේදියාය.

කලාව සමාජය කෙරෙහිත්, සමාජ සංස්ථා කෙරෙහිත් අසීමිත බලයක් පතුරුවාලීමේ උත්තුංග හැකියාවන් සහිත මාධ්‍යයකි. කලාකරුවා රාජ්‍යයක් තුළ පහළවන තවත් රාජ්‍යයකි. එකම භූමි භාගයක රාජ්‍යයන් දෙකක් පැවැතීම නිසා ඇතිවන තත්ත්වය අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. කලාව නමැති රාජ්‍යය ජාතික රාජ්‍ය සංකල්පයට අභියෝග කරන්නේ ඔවුන් ගෙනයන සංවාදයට ප්‍රතිවිරුද්ධ වක්‍ර සංවාදයක් ගොඩනැඟීම උදෙසාය. මෙම වක්‍ර මැදිහත්වීම අරභයා සෞන්දර්යාත්මක භාෂාවක් හෝ ප්‍රවිශ්ඨයක් භාවිත කිරීම කලාකරුවා අතින් සිදුවේ. එය අනෙකුත් භාෂා මාධ්‍යයෙන් වඩා ප්‍රබල වූ භාෂාවකි.

අමරදේවයන් ඔහුගේ වචනයෙන්ම පවසන්නේ ජනතාවගේ හද පත්ලේ සිනහව කඳුළ අනුව යමින් අනුකම්පිත හදවත්වල වාගාලාපය දෙස වෙතත් හඬවන්නේ කලාකරුවාබවය. තැවුණු සිතට අඳුනක් වන් සම්භාව්‍ය කලාවේදියා වෙත මිනිසුන් නිරන්තරයෙන් ඇදී යන්නේ මේ ධර්මතාවය නිසාය. වරෙක පොදු මිනිසාගෙන් ඈත්වෙමින් තවත් විටෙක අතපොවන මානයේ සිටිමින් පහන් තරුවක් සේ මං හෙළිකරමින් සමාජයේ ඉදිරි ගමනට පූර්වාදර්ශයක් වෙමින් ජීවත්වන්නේ කලාවේදියාය. විවිධ අවස්ථාවල විවිධ පාලනයන් වෙනස් කිරීමේ කාර්යය ජනතාව සිදුකළද මිනිස් සිත හා නිරන්තරයෙන් බැඳීගත් කලාකරුවන් වෙනස් කිරීම හෝ අලුත් පත් කිරීමක් ජනතාව කිසිසේත් සිදු නොකරයි. ඒ මක්නිසාද ප්‍රතිභා සම්පන්න කලාකරුවන් යුග පුරුෂයන් වන බැවිනි.

කලාව සහ සෞන්දර්යය එකිනෙක වෙනස් කළ නොහැකි ලෙස බැඳී තිබේ. කලාවට සම්බන්ධ සියලු අංශයන්ම සෞන්දර්යාත්මකය. ගීතය, නර්තනය. නාටකය, චිත්‍රය, මූර්තිය ආදී සියල්ල ලලිත සුලලිත කලාවන් ලෙස නිර්මාණය වී ඇත. එය වඩාත් පුළුල් අර්ථයකින් Fine Arts යන්නෙන් හැඳින්වේ. මේ කිනම් අරුතකින් විග්‍රහ කළ ද මානව ජීවිතය විවරණය කරන කල්පිතය කලාවය.

“මනුස්ස උස්සන්නතාය මනුස්ස” උතුම් වූ මනසක් ඇත්තා මනුෂ්‍යයාය. එවන් වූ මිනිසා කලාව නමැති සෞන්දර්යාත්මක වින්දන බවෙහි වින්දකයාය ආදී වීර කාව්‍ය, උපමා කතා, සින්දු, පාරම්පරික, සුභාෂිත, කාලයේ වැලි තලාවෙන් වැසී යා නොදී වින්දනය කළේ පවත්වාගෙන ආවේත්, ප්‍රතිනිර්මාණය කළේත් ජනයාය. එමඟින් මිනිසාම වින්දනය සහ ඥානනය කිරීම සිදු වේ.

ඉතිහාසයත්, සාහිත්‍යයත් යන දෙකම විෂය කොට ගන්නේ මිනිස් ජීවිතයයි. ඉතිහාසකරුවා සිදුවුවත් වාර්තාකරණයක යෙදේ. ඒ තුළ නිර්මාණාත්මක පාර්ශ්වයක් නැත. සාහිත්‍යකරුවා ලෝකයේ සිදුවිය හැකි දේ සටහන් කරයි. එය සාර්වත්‍රික සහ සර්වකාලීන වේ. මනුෂ්‍යත්වය මිනිස් හැඟීම් සහ සංවේදීතාවයන් විවරණය කරන්නේ කලාවේදියාය. වර්තමාන සමාජයේ බොහෝ තරුණ නිර්මාණකරුවන් මේ තත්ත්වයෙන් ඈත්වන බවට චෝදනා එල්ල වේ. ඔවුන් ඉතිහාසයම වාර්තාකරණ තත්ත්වයකට පත්ව ඇත. නමුත් කලාකරුවාගේ භූමිකාව පුළුල් සමාජාර්ථයක් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදීමයි.

රංචාගොඩ ළමයා, අන්දරේ, ගජමන් නෝනා වැනි ප්‍රසිද්ධ ජන මන පිනවූ නිර්මාණකරුවන් ඒ හරහා ගොඩනැංවූ චරිතත්, මෙතරම්ම ප්‍රසිද්ධියට පත් නොවූ ග්‍රාමීය විශිෂ්ට ගණයේ නිර්මාණකරුවන් සමාජයේ ඕනෑ තරම් වෙසෙත්. ඔවුන්ගේ නිර්මාණ විවිධාකාරයෙන් අදටත් බොහෝ පිරිස් රසවිඳිති.

එමෙන්ම කලාවේදියාගේ මනස නමැති ජන්ම භූමියේ උපන් එමා බෝවාරි, ඇනි කරලිනා, හැමිලට්ගේ මව, අසනඝ කුමාරයා, මහලු ගෝරියෝ, කරමසොෆ් සහෝදර‍යෝ වැනි චරිත අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් ඇතිවිය හැකියවුන් ඔබට පත් කළේ සාහිත්‍ය සංකල්පනා ශක්තිය විසිනි. කලාකරුවා තමාට අභිමත හා තමන් සෞන්දර්යාත්මක යැයි සලකන දේ සැබෑ ජීවිතයට වඩා සෞන්දර්යාත්මකව නිර්මාණය කරයි. ඒ තුළ පුළුල් සමාජ විවරණයක් සිදු වේ.

කලාකරුවා ජන සමාජයෙහි කොටස්කරුවකු බව අප අමතක නොකළ යුතුය. ඔහුට ද අනෙක් සෑම මිනිසකුට මෙන් ධන ගවේෂණය, ආහාර සම්පාදනය, අඹු දරු පෝෂණය ආදී ගෘහස්ථ යුතුකම් පැවරී ඇත. කෙසේ වුවද ඒ සියල්ල අතරින් හිස ඔසවා වානිජත්වයේ රැහැනින් මුදා සම්භාව්‍යත්වයට පත් කරමින්, සමාජය සමඟ උරෙනුර ගැටෙමින් ජීවත්විය යුතුය. එසේ වන්නේ හුදී ජන සුඛ විහරණය උදෙසා වන කලාව භාවිතයට හුරුවීමෙන් පමණි. එසේ වන කල්හි සමස්ත සමාජ ප්‍රගමනය කෙරෙහි මං විවර කරන්නා වන කලාකරුවාගේ සමාජ භූමිකාව ප්‍රබල වනු ඇත.

අනෙක් අතට චූල සම්ප්‍රදාය හෝ මහා සම්ප්‍රදාය හෝ වේවා අතික්‍රමණය කිරීමට සම්ප්‍රදාය පිළිබඳව නිවැරැදි අවබෝධය අත්‍යවශ්‍යය. එය ඕනෑම කලාවකට හෝ න්‍යාය ධර්මයකට යටත්ය. එසේ නොදැන කරන නිර්මාණ ප්‍රතික්ෂේප වන්නේ වින්දිකයා සජීවී පුද්ගලයකු වන නිසාය. ඒ නිසා කලාවේදියා සෑම විටම පුද්ගල අනුභූතිය පොදු අනුභූතියක් බවට පත් කිරීමේදී පළමුව තම නිර්මාණය වින්දනය කිරීමෙන් කලා කෘතියට අවංක වන්නා සේම වින්දනය කරන පාර්ශ්වයට ද සාධාරණයක් ඉටු කරයි. එය දියුණු කලා භාවිතයකට මෙන්ම පුළුල් සමාජ ප්‍රගමනයකට ‍මඟ විවර කිරීමකි.

මනීෂ දුග්ගන්නාරාල