මගේ ආදර ලිලී මල

එදා හරිම ලස්‌සන හැන්දෑවක්‌. අප ගේ ළඟම තිබුණු විලේ බෝට්‌ටු පදිමින් සිටියෙ. සැමි අයියයි මායි, බැස යන හිරු එළිය විල් දියට වැටිල දිළිසෙනවා. විල් අයිනෙ තියෙන තිරිඟු ගස්‌ දියට නැමිල. හරිම නිශ්ශබ්දයි. අවට කවුරුවත් නෑ. අපේ ඒ අහිංසක නිදහස්‌ හුදකලා පරිසරයට බාධා කරන්න. මම ඒ පරිසරයට හරියට ආදරය කළා.

එතකොට තමයි අපි හිටි හැටියෙම ඇලන්ව දැක්‌කේ. ඇලන් තිරිඟු අස්‌සෙන් අපි දිහා බලාගෙන හිටිය. එයාගෙ විශාල ඇස්‌ තරු වගේ අපි දිහාට හැරවිලා තිබුණ. එයාගෙ හිසකේ අවුල් වෙලා. එයා කොණ්‌ඩෙ පීරපු දවසක්‌ මං දැකල නෑ. කෙස්‌ හැඩපලු ගෙතිල තිබුණ. ඇඳල තිබුණෙ ඇඟට නොගැලපෙන කලිසමකුයි කමිසයකුයි. ඒවා පලින් පල ඉරිල. ඒ වගේම කිළුටු වෙලා. ලොකු ගෑනු ළමයෙක්‌ වුණාට වයසට කොහොමටත් නොගැලපෙන විදියට එහා හැසුරුනේ. හුඟ දෙනෙක්‌ කිව්ව එයාට පිස්‌සු කියල.

ඇත්තම කියනවා නම් එයාට පිස්‌සුවක්‌ තිබුණෙ නෑ. හැබැයි එයාගෙ ළඟ තරමක අස්‌වාභාවික බවක්‌ පෙනෙන්නට තිබුණ.

ඇත්තටම එයාගෙ මොළේ කිසියම් අසනීපයක්‌ තිබුණයි කියල කවුරුත් කිව්ව. එයා කවදාවත් ඉස්‌කෝලෙ ගිහින් නෑ. කිසිම දෙයක්‌ දන්නේ නෑ. අඩුම ගණනේ දත් මදින්නවත් දන්නෙ නෑ. ඒත් එකක්‌ කියන්න ඕන. ඇලන්ට ලස්‌සන මූණක්‌ තිබුණා.

අපි ජීවත් වුණේ ඇමරිකාවේ ලස්‌සන පළාතක ඇලන්ගෙ ගෙදරයි අපේ ගෙදරයි එකම ගොවිපළකින් වෙන් වෙලා තිබුණෙ. මේ ගෙවල් දෙකේ ලොකු වෙනසක්‌ තිබුණා.

අපේ ගෙදර අපි හුඟක්‌ සතුටින් සිටියෙ. අපේ ගෙදර හිටියෙ තාත්තයි මායි අයියා සැමියි, අපේ ආච්චියි. අපේ අම්ම පුංචි කාලෙම මෙලොවින් වෙන් වෙලා ගිහිල්ල. ඒත් අම්ම නැති පාඩුව මට දැනෙන්න ඉඩ තිබ්බේ නෑ ගෙදර කවුරුත්. අම්මගෙ වැඩ ඔක්‌කොම කළේ මම. ඉබේම මම ගෙදර පුංචි ගෘහනිය වෙලා. තාත්තා සේරම දේ ඉල්ලුවෙ මගෙන්. එයාගෙ කෑම, ඇඳුම්, යන ගමන්, ගැන සේරම ඇහැව්වේ මගෙන්. මං තමයි කුස්‌සියෙ වැඩ සේරම කළේ. හරිම සතුටින් ඒවා කළේ.

ඒත් ඇලන්ලාගෙ ගෙදර සහමුලිsන්ම වෙනස්‌. එයාගෙ තාත්තා හරිම නපුරු මිනිහෙක්‌. පොඩි දේකටත් එයා ඇලන්ට පහර දුන්න. සමහර දවස්‌වල එහෙම පහර දුන්නම කටින් ලේ දමාගෙන ඇලන් සිහි නැතුව වැටිල හිටියා.

එයා මොනතරම් කෲරකම්වලට ගොදුරු වුණාද කිවහොත් පස්‌සෙ පස්‌සෙ එයාට අමුතු ලෙඩක්‌ හැදෙන්නත් පටන් ගත්තා. ඒක අපස්‌මාරය වගේ සිහිනැති වෙන ලෙඩක්‌.

ඇලන්ට ගෙදර කිසිම සතුටක්‌ තිබුණෙ නෑ. ගෙදර කවදාවත් සමාදානයක්‌ තිබුණෙ නෑ. නිතරම අඬදබර කෑකෝ ගැහීම්වලින් ගෙදර පිරිල තිබුණ.

ඇලන් කවදාකවත් පාසලකට ගිහින් නෑ. එයාගෙ තාත්තා එයා පාසලකට යවන්න කිසිම උත්සාහයක්‌ ගත්තේ නෑ. එයා මන්දබුද්ධික තාලෙට හැසුරුණු හින්ද එයාව කොන් කරල හිටිය. හරියට කැලෑ සතෙක්‌ වගේ. ඇත්තටම කියනවා නම් ඇලන් වැඩිපුර ගැවසුනේ කැලෑව ඇතුලේ.

අපි ඇලන්ව බලෙන් අල්ලගෙන අපේ බෝට්‌ටුවට ගොඩකර ගත්තා. එයා අපි දෙන්න මැදින් ඉඳ ගත්තා. එයාට හරිම පුදුමයි. මට එයා ගැන හරිම දුකක්‌ හිතුණා. සැමි අයියා එයාට අකුරු කියා දෙන්න උත්සාහ කළා. අපේ ළඟ තිබුණ පුංචි බයිබලයක්‌. සැමි ඒකෙ තියෙන වචන එයාට කියල දුන්නා. ඒත් එයා ඒ වචන ශබ්ද කළේ හරිම නුහුරු විදියට. මට තේරුණෙ එයාට කණ ඇහීමේ දෝෂයකුත් තියෙන බව.

ඇලන් ඊට පස්‌සෙ නිතර අපිත් එක්‌ක කාලය ගත කරන්න ආවා. ඒත් එයා අපිත් එක්‌ක ඉන්නවට අපේ ගෙවල් දෙකේම අය වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නෑ. ඒක නිසා අපි ඇලන්ව හමුවුණේ වත්ත පහළ විල ළඟදී.

අපි ඇලන්ට පුළුවන් තරම් ඉගැන්නුව. අකුරු විතරක්‌ නෙවි හැම දෙයක්‌ ගැනම. අවට තියෙන දේ. ගෙදර තියෙන භාණ්‌ඩ අලුත් විදුලි උපකරණ වල නම් මේ හැම දෙයක්‌ම වගේ. ඒත් ඒවයින් ඇලන්ගේ හිතේ හිටියෙ ඉතාම ටිකයි. අපි එයාට හිස පීරන හැටි කියල දුන්න. අලුත් ගවුමක්‌ ඇන්දුවා. කෙල්ල හරිම ලස්‌සනට පෙනුණ. හරියට රතුපාට ලිලී මලක්‌ වගේ.

අපි දවසක්‌ අපේ ආච්චිට කිව්වා "එන්න පුදුම දෙයක්‌ පෙන්වන්න" කියලා.

"හැබැයි ආච්චි අම්මා එතනට යන්න ඉස්‌සෙල්ල ආච්චි අම්මගෙ ඇස්‌ බඳින්න ඕන" සැමි කිව්වා. ආච්චි අම්ම හිනා වුණා. සැමී ලේන්සුවක්‌ අරගෙන ආච්චි අම්මගෙ ඇස්‌ බැන්ද. ඊට පස්‌සෙ අපි එයාව ගෙයි සාලෙට එක්‌කර ගෙන ගියා. ඇලන් පුංචි සුරඟනක්‌ වගේ කෑම කාමරයෙ පියගැට පෙළ ළඟ හිටගෙන හිටිය. අපි ආච්චි අම්මගෙ ඇස්‌ ලිහුවම ඇය හොඳටම පුදුම වුණා. ලස්‌සන ගවුමක්‌ ඇඳල හිස පීරල හිනා වෙවී ඉන්න ඇලන් හරිම ලස්‌සන චිත්‍රයක්‌ වගේ.

ඇලන් ආච්චි අම්ම දිහා බලල අපි කියා දුන්න විදියට "ගුඩ් මෝනිං" කිව්ව. ඒත් ඒක කියන්න ඈ සෑහෙන වෙලාවක්‌ ගත්තා. ඊළඟට අපි පාඩම් කරවපු විදියට ඈ ඇගේ නමත්, වයසත්, ඇය හොඳ ළමයෙක්‌ බවත් කීවා. ඒත් පොඩි ඇබ්බැද්දියක්‌ ඒ අස්‌සෙ වුණා. ඈ එක දෙයක්‌ පැහැදිලි කරන්න අත කොයිතරම් ඉස්‌සුවාද කිවහොත් ඇගේ අත ළඟ තිබුණු මල් පෝච්චියෙ වැදිල ඒක පෙරළිලා ගියා. ආච්චි අම්ම පුදුමයෙන් බලා හිටියා. ඇලන් අර මල් පෝච්චිය නවතා ගන්න හුඟක්‌ උත්සාහ ගත්තා. නමුත් අවසානයේ ඒක බිම වැටුණේ අපි කවුරුත් බිය කරමින්. අන්තිමට ඇලන් කෑ ගැහුව වියරුවෙන් වගේ. ඊට පස්‌සෙ එයා එතනින් පැනල දිව්ව.

ඊට පස්‌සෙ හුඟ දවසක්‌ යනකම් අපට ඇලන් හමුවුණේ නැහැ. ඒත් සැමීට එක්‌ රාත්‍රියක හඳපානේ විල ළඟදී ඈ හමුවෙලා තියෙනවා. හඳ එළියට වැටුණු විල් ජලයේ කවුදෝ අඳුරේම නානව. හරියට සුරඟන කතාවක එන දියකිඳුරියක්‌ ජලයෙන් මතුවුණා වගේ. හඳ එළියට ඇගේ කිරි පැහැති ඇඟත් වරලත් අපූරුවට පෙනුණ. ඈ හිටයෙ පිටුපාල. සුමී හරිම

ලඡ්ජාවෙන් කීවෙ. එයා මුළුමනින් ම නිරුවතින් ඉඳල තියෙන්නෙ.

ඇලන්ගෙ අම්ම ඇයට කොහේවත් යන්න දුන්නෙ නෑ. ඒත් අපි ඇලන්ට ඉගැන්නුව කොහොමද ඒක අම්මට කියල අවසර ගන්නෙ කියලා. ඇලන් අම්මා ළඟට ගිහින් "අනේ අම්මෙ මට සැමිලගෙ ගෙදර යන්න ඉඩ දෙන්නකො" කියල කියනව අපි අහගෙන. ඇලන්ගෙ කතාවට අම්මට පුදුම නොවී ඉන්න බැරි වුණා.

අපිට ඇත්තටම ඕන වුණා ඇලන්ව පිළිවෙළකට හදන්න. ඇගේ කරදරකාරී ගෙදරින් ඇයව වෙන්කර ගන්න. අපේ තාත්තගෙන් අරිම අමාරුවෙන් අවසර ගත්තෙ. දවසක්‌ ඇලන්ගෙ තාත්තා ඇලන්ට හොඳටම පහර දීල තියෙනවා. ඇගේ කටින් ලේ ආවා. ඇය කෙළින්ම දුවගෙන ආවෙ අපේ ගෙදරට. එදා තමයි අපේ තාත්තා ඇත්තටම ඇලන්ගෙ තත්ත්වය දැන ගත්තෙ. තාත්ත ඇලන්ට අපේ ගෙදරට එන්න ඉඩ දුන්න.

අපි ඇලන්ට සිංදු ඉගැන්නුව. යුගළ නැටුම් ඉගැන්නුව. එයා හරි ඉක්‌මණින් ඒව ඉගෙන ගත්ත. දවසක්‌ අපේ තාත්ත දොස්‌තර මාමට ඇලන්ව පෙන්නුව. ඊට පස්‌සෙ ඒ ගොල්ල ටවුමට ගිහින් මොකක්‌ද උපකරණයක්‌ ගෙනාව. ඒක ඇලන්ගෙ කනේ සවිකරල ශබ්දයක්‌ කරන ගමන් ඇලන්ගෙ මූණ බැලුව. ඇලන්ගෙ මුණ පුදුමයෙන් පිරිල. දෙවියනේ ඇයට ඇහෙන්නට පටන් අරගෙන.

අපි කවුරුත් සතුටින් අත්පොළසන් දුන්න. අපට හරිම සතුටක්‌ දැනුනෙ. ඊට පස්‌සෙ ඇලන් හැම දෙයක්‌ම ඉක්‌මණින් ම ඉගෙන ගත්ත. අපි එයාව පොඩි සාදයකට එක්‌ක යන්න සැලසුම් කළා. තාත්තා මම ආච්චි අම්ම අපි සේරම ගියා. සැමි අයියා මේ දවස්‌වල වැඩිදුර අධ්‍යාපනයට සරසවියට ගිහින් හිටිය. මේ ගැන ඇලන් හිතේ අමාරුවෙන් ඉන්න බව මට තේරුණා. මේ හිතේ අමාරුවට හේතුවක්‌ තිබුණා.

අපෙ අයිය දවසක්‌ එයාගෙ පෙම්වතියත් එක්‌ක ගෙදර ආවා. ඒ ගොල්ල ඇලන්ට සමච්චල් කරල තියෙනවා.

කොහොම වුණත් ඇලන් එදා යුගළ නැටුම් වෙලාවෙදි හරිම දක්‍ෂ විදියට නැටුව. අපි කවුරුත් ඇලන් ගැන සතුටු වුණා. අනේ සැමි අයියත් හිටිය නම් කියල මට හිතුණා.

එතකොටම බලාපොරොත්තු නොවුණු දෙයක්‌ සිද්ධ වුණා. ඇලන්ගෙ තාත්තා සාදයට කඩාගෙන වැදුනා. එයා ඇලන් එලවගෙන ගිහින් පහර දෙන්න හැදුවා. ඒත් එදා ඇලන් බයේ පස්‌සට ගියේ නෑ. අපි ඔක්‌කොම ඉස්‌සරහ ඇලෙන් තාත්තට මෙහෙම කිව්ව.

"ඔහේ මගේ පියා බව ඇත්තයි. ඒත් මට සැලකුවෙ හරියට සතෙකුට වගේ. මට ඇත්තටම ආදරය කළේ මේ අයයි. ඒ අය හින්දයි මම ජීවත් වුණේ." මෙහෙම කියද්දී ඇගේ ඇස්‌වලින් කඳුළු කඩා වැටුණා. අපි කවුරුත් ගල් ගැහිල බලා හිටිය. පුදුමයකට වගේ ඇලන්ගෙ නපුරු තාත්තා ආපහු හැරිල ගොරවමින් යන්න ගියා.

ඒ ගමන තවත් එක්‌කෙනෙක්‌ එතනට ආවා. ඒ අපේ සැමි අයිය. එයාට සත්‍ය තේරුම් ගිහිල්ල තිබුණ. එයාගෙ අතේ ලස්‌සන රෝස මලක්‌ තිබුණ. එයා දිගටම ගියේ අඬ අඬා හිටිය ඇලන් ගාවට. එහෙම ගිහින් ඇය දෙසට රෝස මල දිගු කළා.

ලිලී මලක්‌ වගේ ලස්‌සන ඇලන් අපේ සැමි අය්යගෙ මනාලිය වුණේ එහෙමයි. ඇත්තම කියනව නම් මේ ලස්‌සන කෙල්ල කැලෑවට අත හැරල තිබුණෙ පුංචි හේතුවක්‌ හින්ද. ඒක කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. කවුරුත් හිතුවෙ මන්දබුද්ධික ළමයෙක්‌ කියල. නමුත් එයාට තිබුණු එකම අඩුපාඩුව කන් නෑසෙන එකයි. දෙවියන් වහන්සේ අපට ඒක සොයාගන්න උදව් වුණා.

අනේ දෙවියනේ ලෝකය කොතරම් පුදුමද? අර කැලේට අතහැරල හිටි බිහිරි කෙල්ල මගේ අය්යගෙ පෙම්වතිය වේවි කියල කවුද හිතුවෙ. වැඩි කලක්‌ යන්නට මත්තෙන් එයා මගේ නෑනා වේවි.

ඇමරිකාවේ ප්‍රාන්ත ජනපදයක සිදු වූ සත්‍ය පුවතකි.
ලීලානන්ද වික්‍රමසිංහ