මල් පෙතිවලට යටින් විසකුරු කටු තිබේ

වයස තිහක්‌ පමණ ඇතැයි අනුමාන කළ හැකි ඕ කාලවර්ණය. අතිශය රූමත් නැතත් සිත් ඇදගන්නාසුළු සිරුරකින් හෙබිs ඕ පිරිසිදුව හැඳ පැළඳ සිටින්නීය.

මාතර ප්‍රධාන බස්‌ නැවතුම් පොළේදී හැම දිනකම පාහේ දිවා කාලයේදී දැක ගත හැකි ඕ එකම තැනක නොරැදෙමින් එහාටත්, මෙහාටත් යන්නීය. පෞද්ගලික බස්‌ කොන්දොස්‌තරවරුන්, රියෑදුරන් හා බස්‌ නැවතුම් පොළේ වෙළෙ¹ම් කරන සංචාරක වෙළෙඳුන් හා නිරතුරුව සුහද ලෙස කථා බහේ යෙදෙන්නීය. ඇතැම් දෙනා ඇයට දෙපැත්ත කැපෙන විහිළුවක්‌ අසැබි වදනක්‌ දෙකක්‌ කියා විනෝද වෙද්දී ඕ ඔවුනට සිනා මුසු මුහුණින් ප්‍රතිචාර දැක්‌වූවාය.

වයස විස්‌සේ විසිදෙකේ තරුණයන් දෙදෙනෙක්‌ දින ගණනාවක්‌ තිස්‌සේ ඇයට ඉව අල්ලමින් සිටියහ. ඕ සැබැවින්ම නගර ශෝබනියකදැයි දැන ගැනීමටත් එසේනම් ඇගේ සේවය ලබා ගැනීමටත්ය ඒ.

තරුණයන්ගේ උත්සාහය මල්ඵල ගැන්විණි. ඕ විටින් විට තම පාරිභෝගිකයන් කිහිප දෙනකුට සමඟ ත්‍රීවිලර්වල නැගී නික්‌ම යන ආකාරයත් පැයකදී දෙකකදී ආපසු විත් සුපුරුදු අයුරින් බස්‌ නැවතුම් පොළේ සැරිසරන ආකාරයත් ඔවුනට දැක ගත හැකි විය.

දැන් නම් හොඳටම ෂුවර් මචං දාමුද ටෝක්‌ එක" එක්‌ තරුණයෙක්‌ තම සගයාට කීවේය.

"බයයි බං. කුඩ පාර දුන්නොත් ඉඳලා වැඩක්‌ නෑ" මිතුරා තවමත් දෙගිඩියාවෙනි.

"තව දවසක්‌ දෙකක්‌ බලමු එහෙනම්" ඔහුද පසුබාමින් කීවේය.

තරුණයන් දෙදෙනා ඊළඟ දිනයේත් තම රාජකාරියේ යෙදුනහ. ඇයට නොදැනෙන අයුරින් ඇය අසලින්ම සිටිමින් බස්‌ සේවකයෝ හා සංචාරක වෙළෙඳුන් ඇයට කියන්නේ මොනවාදැයි සවන් දුන්හ.

"කෙහොමද නඟොa මේ දවස්‌වල බිස්‌නස්‌?" එක්‌ වයෝවෘද්ධ රියෑදුරෙක්‌ ඇගෙන් ඇසීය.

"ඊයෙ නම් මෝඩයො හතර දෙනෙක්‌ අහු වුණා. අද නම් තාම හිස්‌ බඩ මේ ඉන්නෙ." ඕ සිනා සෙමින් කීවාය.

"ඕක ඉතින් හිස්‌ බඩ වෙච්ච එක හොඳට ගියා. නැත්නම් මෙලහකට දහ පහළොස්‌ දෙනකුගෙ අම්මා වෙලා අතපය වැහැරිලා ගිහින් අරවා මේවා එල්ල වැටිලා කස්‌ටර්මල්ලට විතරක්‌ නොවෙයි මේ වයසක අපට වුණත් මූණ බලන්න එපා වෙලා" හේ යළි කීවේය.

"මොකෝ වැට්‌ ගෙවනවද?" ලයිට්‌ බිල්, වතුර බිල් ඉන්කම් ටැක්‌ස්‌ ගෙවනවද? ගෙවල් කුලී, වරිපනම් සේවක වැටුප් ප්‍රශ්න තියෙනවද? ගියා සැතපුනා ගනුදෙනු බේරා ගත්තා. වොෂ් එකක්‌ දාගත්තා. ආවා. එච්චරයිනෙ" තවත් අයෙක්‌ කීවේය.

"සියයට සියයක්‌ම ශුද්ධ ලාභ. ආයෝජනයක්‌ නෑනේ" ඔවුනට සවන්දීගෙන සිටි පෞද්ගලික බස්‌ වේලා සටහන්කරුවෙක්‌ද සිනාසෙමින් කීවේය.

දැන් අර තරුණයන් දෙදෙනාට එකක්‌ සහතිකය. ඒ ඕ සැබවින්ම නගර සෝබනියකැයි දැන් ඔවුන් සැක හැර දනී.

"දාමුද මචං ටෝක්‌ එක" එකෙක්‌ තම මිතුරාට යෝජනා කළේය.

"ටිකක්‌ තනි වෙනකල් බලාගෙන ඉඳිමු" හේ යෝජනා කළේය.

විනාඩි කිහිපයකදී ඇය එතැනින් ඉවතට යද්දී ඔවුන් දෙදෙනා ඇය පසුපසින් ගියහ.

"අක්‌කේ?" එක්‌ අයෙක්‌ පහත් හඬින් කියද්දී ඕ පසු පසට හැරුණාය.

"ඇයි මල්ලී? ඕ සිනාමුසු මුහුණින් ඇසුවාය. තරුණයටත් පෙර නොවූ විරූ හයියක්‌ ආවේය.

"ඔයා කීයක්‌ ගන්නවද?" එක්‌ අයෙක්‌ පහත් හඬින් බිම බලාගෙන ඇසීය.

"එක්‌දාස්‌ පන්සීයයි මල්ලි" ඕ සිනාසෙමින් කීවාය.

"අපි දෙන්නම එනවා. දෙදාහකට බැරිද?" ඔවුහු ඇසූහ.

"දෙදාස්‌ පන්සීයක්‌ දෙන්න" ඕ කීවාය.

"කොච්චර වෙලාවක්‌ ඉන්නවද?" අයෙක්‌ ඇසීය.

"ඔයාලට ඕන වෙලාවක්‌ ඉන්නම්" ඕ සිනාසෙමින් කීවාය.

අවට සිටි පෞද්ගලික බස්‌ සේවකයන්, සංචාරක වෙළෙඳුන් ඔවුන්ගේ සාකච්ඡාව දෙස සිනාසෙමින් බලා සිටින අයුරු ඕ දුටුවද තරුණයෝ ඒ වගක්‌ නොදුටු සෙයකි.

"කොයිබටද යන්නෙ. බයික්‌ එකේ යන්න කැමැතිද? එක්‌ තරුණයෙක්‌ ඇසීය.

"අපෝ බෑ. මාව කොයිබ අරගෙන යාවිද දන්නවැයි. අපේ තැනක්‌ තියෙනවා. එතැනට දාහක්‌ ගන්නවා. එතැනට යනවා නම් යමු. දෙදාහක්‌ ගෙවන්න වෙයි. එහෙම නැත්නම් ඔයාලා කැමැති තැනකට යමු. හැබැයි යන්න ඉස්‌සෙල්ලා සල්ලි ඕන. ත්‍රීවිලරේක යමු." ඕ සිය කොන්දේසි සඳහන් කළේ එපරිද්දෙනි.

තරුණයන් දෙදෙනා පහත් හඬින් සාකච්ඡාවකය. ඇය නොඉවසිලිමත්ය.

"මොකද කියන්නෙ යනවද?" ඕ තරමක උස්‌ හඬින් ඇසුවාය. තරුණයෝ නිහඬය. ඔවුන් තවමත් සතර කන් මන්ත්‍රණයේය.

"උඹ ඒ. ටී. එම්. එකෙන් තව දෙදාහක්‌ අරගෙන ටක්‌ ගාලා වරෙන්. මම එයාත් එක්‌ක ත්‍රීවිලරේක එයා කියන තැනට යන්නම්. උඹ බයික්‌ එකෙන් ෆලෝකරගෙන එතැනට වරෙන්." එක්‌ තරුණයෙක්‌ අනෙකාට කීවේය. එක්‌ තරුණයෙක්‌ බස්‌ නැවතුම් පොළෙන් නික්‌ම අසල ඇති පෞද්ගලික බැංකුව කරා යනවා පෙනිණි.

"මොකද යනවද? තරුණිය ඉතා නොඉවසිල්ලෙන් ඇසුවාය.

"යමු අක්‌කෙ සල්ලි අඩුවක්‌ තියෙනවා එයා අරගෙන එයි." අනෙක්‌ තරුණයා එසේ කියද්දී ඔහුට මඳ සිනාවකින් සංග්‍රහ කළ ඇය පසෙකට ගියාය. විනාඩි කිහිපයකදී මිතුරා ආවේය. ඔවුහු ඇයට අතින් සන් කරද්දී ඕ එතැනින් නික්‌ම බස්‌ නැවතුම්පොළෙන් පිටතට ගියාය. තරුණයෝ ඇය පසුපසින් ගියහ.

ඇය අසල නවතා තිබූ ත්‍රීවීලරයක්‌ කරා ගොස්‌ එයට නැඟුනාය. එක්‌ තරුණයෙක්‌ද ඊට නැඟුණු අතර අනෙක්‌ තරුණයා සිය යතුරු පැදියේ නැගී පසුපසින් ආවේය.

"දෙන්න මල්ලි සල්ලි" ඕ තම ගනුදෙනුකරු ඇමතුවාය.

"ඔක්‌කොම ඕනෑද? ඇඩ්වාන්ස්‌ එකක්‌? ඔහු ඇසීය.

"බෑ... බෑ දෙදාස්‌ පන්සීයම දෙන්න" ඕ කීවාය.

තරුණයා සිය මුදල් පසුම්බියෙන් රුපියල් දෙදාස්‌ පන්සීයක්‌ ගෙන ඇයට දිගු කළාය. කෑදර ලීලාවෙන් එදෙස බැලූ ඕ නෝට්‌ටු කිහිපය ගෙන ඒවා පුංචි වෙන සේ නමා තම තිසර පට තුළ සඟවා ගත්තාය.

ත්‍රිරෝද රිය මාතර තොටමුණ ප්‍රදේශයේ කුඩා සංචාරක නිවාසයක්‌ වෙත ළඟා විය.

"රුපියල් දෙසිය පණහක්‌ දෙන්න සර්" රියෑදුරා කීවේය.

"ඒක දෙන්නත් ඕන මමද?" තරුණයා තරුණියගේ මුහුණ බලමින් ඇසීය. ඇයි මල්ලි... ඔයාගෙ ඕන කමටනේ ඒ අයියා" ආවේ ඕ කියද්දී ඔහු එම මුදලද ගෙවා දැමීය.

දෙදෙනා රියෙන් බටහ. තරුණියට එම සංචාරක නිවාසය ආගන්තුක තැනක්‌ නොවන බව පෙනෙන්නට විය. ඕ කෙලින්ම කාමරයක්‌ වෙත ගොස්‌ එහි දොර අරගෙන ඊට ඇතුළු වූවාය.

"මහත්තයා සල්ලි ගෙවලා යන්න" තරුණයා ද එම කාමරය වෙත යද්දී හෝටල් සේවකයෙක්‌ එසේ කීවේය.

"කීයද අයියෙ. අපි දෙන්නෙක්‌ ඉන්නවා" තරුණයා තම මුදල් පසුම්බිය අදිමින් ඇසීය.

"දෙදාහක්‌ දෙන්න මහත්තයා" හේ කීවෙන් තරුණයා එම මුදලද ගෙවා තරුණිය ගිය කාමරය වෙත ගොස්‌ එහි දොර ඇරගෙන ඊට ඇතුළු විය.

ඔහුගේ මිතුරාද හෝටලයේ ආලින්දයට ගොඩවී අසුන් ගත් අතර තරුණිය හෝටලයට ප්‍රවාහනය කළ ත්‍රීවීලරය අසල මල් පඳුරකට මුවාවෙන සේ නතර කර තිබූ අයුරු හෝටල් සේවකයෝ හැර ඉන් පිටස්‌තර කිසිවෙකු නොදුටුවේය.

ගතවූයේ විනාඩි පහකටත් අඩු කාලයකි. කඩිමුඩියේ දිව ආ තරුණයෙක්‌ ගේට්‌ටුවෙන් ඇතුළට ආවේය.

"කෝ මැනේජර් මහත්තයා?" හේ ඇසීය.

"ඇයි ඇයි?" හෝටල් කළමනාකරු එළියට දිව එමින් ඇසීය.

"එහා හොටෙල් එකට පොලිසියෙන් පැන්නා. අද පළාතම චෙක්‌ කරනවා. දැන් මෙහාටත් එයි. රූම්ස්‌වල කවුරු හරි ඉන්නවද? ඇසීය.

"උඹ පලයන් මල්ලි. තැන්ක්‌යූ ආරංචිය දුන්නට." කී කළමනාකරු කලබලයෙන් ගොස්‌ අර තරුණයාත් තරුණියත් සිටි කාමරයේ දොරට තට්‌ටු කළේය.

"මහත්තයා... මහත්තයා දොර අරින්න ටක්‌ ගාලා. පොලිසියෙන් එනවලු. දැන් මෙහාටත් එයි. ඉක්‌මන් කරන්න" හේ උස්‌ හඬින් කීවේය.

ක්‍ෂණයෙන් දොර විවෘත විය. තරුණයා සිය කමිසය හා යට බැනියම ගලවා කලිසම පිටින්a සිටි අතර තරුණිය සිය උඩ ඇඳුම් ගලවා යට ඇඳුම් පිටින් සිටින අයුරු කළමනාකරු දුටුවේය.

"මිස්‌.... ඉක්‌මන් කරන්න... පොලිසියෙන් එනවලු" ඔහු කලබලයෙන් කීවේය.

තරුණියත්. තරුණයත් දඩි බිඩි ගා ඇඳුම් ඇඳගත්හ. තරුණයා ඇය අමතක කරමින් දිවගොස්‌ තම මිතුරාගේ යතුරු පැදියට නැගී ඔහු හා නික්‌ම ගියේය. තරුණිය තම ඇඳුම් ඇඳගෙන සන්සුන් ගමනින් ගොස්‌ මල් පඳුරක්‌ පිටුපස නතර කර තිබූ ත්‍රීවීලරයේ නැඟී නගරය බලා නික්‌මුණාය.

ඕ මඳ දුරක්‌ එනවිට පාර අයිනේ සිටි පොලිස්‌ නිලධාරියෙක්‌ යතුරු පැදිකරුවන් දෙදෙනකු අල්ලාගෙන සිටින අයුරු දුටුවාය.

"අන්න නඟොa අර හාදයො දෙන්න පොලිසියෙන් අල්ලගෙන. එක්‌කෙනකුට හෙල්මට්‌ නැහැනෙ" ත්‍රීවීලර් කරු කීවේය.

"කොරේ පිටට මරේ කීවලු නේද අයියෙ. දෙන්නටම හෙල්මට්‌ තිබුණා. කලබලේට හෝටලේ දාල එන්න ඇති." තරුණිය කීවාය.

තරුණිය ආපසු බස්‌ නැවතුම්පොළට වාර්තා කළාය. පැයකට පමණ පසු අර තරුණයන් දෙදෙනා යළි ඇය සොයා පැමිණියහ.

"මාර වැඩේ නේද උනේ මල්ලි. අනූනවයෙන් අපි බේරුණේ. මට නම් කාරි නෑ. මම කීප වරක්‌ම අහුවෙලා උසාවි ගිහින් දඩත් කාලා තියෙනවා. එහෙමයෑ මල්ලිලා අහුඋනා නම්. වස නෝන්ඩියනේ. පත්තරවල එහෙම පළවුනොත් ඉඳලා වැඩක්‌ නෑ නේද මල්ලියෙ" ඕ සිනාසෙමින් කීවාය.

"පූරුවෙ වාසනාවක්‌ තිබිලා බේරුණේ අක්‌කෙ. අපේ සල්ලි දෙනවද?" එක්‌ තරුණයෙක්‌ පහත් හඬින් ඇසීය.

"සල්ලි... මොන සල්ලිද මල්ලි?" ඕ තරමක උස්‌ හඬින් ඇසුවාය.

"ඇයි මම ඔයාට දීපු දෙදාස්‌ පන්සීය?" තරුණයා ඇසීය.

"මේ මල්ලි... ඔයාලා කථා කළා. මම ආවා. ඔයාලගෙ වෙලාව නරකයි. පොලිසියෙන් ආවට මම මොනව කරන්නද?" ඕ තරමක්‌ උස්‌ හඬිaන් කෝපයෙන් මෙන් ඇසුවාය.

"එහෙම කියල හරියන්නෙ නෑ අක්‌කෙ මගේ සල්ලි ඕන." තරුණයාද තරමක උස්‌ හඬින් කෝපයෙන් කීවේය.

මදාවි පෙනුමකින් යුත් හැඩි දැඩි පුද්ගලයෙක්‌ ඔවුන් අසලට ආවේය.

"ඇයි මොකක්‌ද මහත්තයා ප්‍රශ්නෙ? ඔහු තරුණයාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ළංවෙමින් ඇසීය.

"නෑ මේ ඒක අපේ ගනුදෙනුවක්‌" තරුණයා එසේ කියද්දී තරුණිය මඳක්‌ ඉවතට ගියාය.

"සල්ලි දෙනවද නැද්ද? නැත්නම් නෑ කියන්න. තරුණයා ඇයට කීවේ තරමක තර්ජනාත්මක ස්‌වරයෙනි.

"දෙන්නෙ නෑ පුළුවන් නම් ගන්නවා" උස්‌ හඬින් කී ඕ ඉවතට ගියාය.

"මේ මහත්තයා මම තමුසෙට හොඳින් කියන්නෙ. ඒ මගේ ගෑනි මොකක්‌ද තමුසෙට එයත් එක්‌ක තියෙන ගනුදෙනුව" අර මැරයා තරුණයාගේ අතකින් අල්ලා ගනිමින් ඇසීය.

"නෑ නෑ මොකවත් නෑ අයියෙ.... අත අරින්න මගේ අත." තරුණයා එසේ කියද්දී මැරයා ඔහුගේ අත අඹරවා අතහැරියේය.

කදිම පාඩමක්‌ උගත් තරුණයන් දෙදෙනා හීං සීරුවේ බස්‌ නැවතුම් පොළෙන් නික්‌ම ගියහ.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන
එක්‌ සත්‍ය කතාවක්‌