බොදු කුල කාන්තාවක්‌ වන්නේ කෙසේද?

ලොව ඇති සෞන්දර්යාත්මක වස්‌තූන් අතර කාන්තාවට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. එමෙන්ම එම සුන්දරත්වයම විටෙක ඇය විනාශය කරා පමුණුවයි. දියණියක්‌, බිරිඳක්‌, මවක්‌ වශයෙන් කාන්තාව තම ජීවිතයේ විවිධ චරිත හොබවන්නීය.එහිදී ඇයට මුහුණදීමට සිදුවන අභියෝගයන් රැසකි. එම අභියෝගය ජයගත නොහැකිව ඇතැම් කාන්තාවෝ තම ජීවිතයම අඳුරු කර ගනිති. 

මේ නිසා කාන්තාව පිළිබඳ බුදුසමයේ දැක්‌වෙන අයුරු සහ ඇයට බුදුසමය තුළ හිමිවන තැන පිළිබඳ අප මෙවර සාකච්ඡාවට බඳුන්කරන්නෙමු. එහිදී නූතන බොදු කුල කාන්තාවන්ට බුදුදහමෙන් ලැබෙන ආදර්ශයන් මොනවාද යන්නත් සැබෑ ලොව ජය ගැනීමට කාන්තාවකට බුදුදහමෙන් ලැබෙන ආභාෂය පිළිබඳවද සාකච්ඡා කළෙමු. මෙවරද අප ඒ සඳහා වර්තමාන සඟ පරපුරේ වියත් සහ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක්‌ වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් හමුවුනෙමු. 

බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර භාරතීය සමාජයේ කාන්තාව ජීවත්වූයේ අධික පීඩනයකිනි. බ්‍රාහ්මණ ආධිපත්‍යය පැතිරී ගිය භාරතීය සමාජයේ කාන්තාවට හිමිවිය යුතු මූලික මිනිස්‌ අයිතිවාසිකම් පවා අහිමිව තිබිණි. එහෙත් බුදුදහම භාරතීය සමාජය පුරා පැතිරයත්ම ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම විමුක්‌තිය සොයා යැමේ මඟ හෙළිවිය. මෙනිසා එතෙක්‌ සමාජ පීඩාවෙන් තැලී පොඩිවී සිටි කාන්තාවට සමාජය ඉදිරියේ නැගී සිට විමුක්‌තිය සාධනය කර ගැනීමේ අවස්‌ථාව උදාවිය. එය බුදුදහමේ එන ශේ්‍රaෂ්ඨ කාන්තා චරිත තුළින් විග්‍රහ කිරීම වැදගත්ය. ඒ නුතන බෞද්ධ කුල කාන්තාවට එම චරිතයන්ගෙන් ලැබෙන ආදර්ශයන් ඔවුනගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්වන බැවිනි. 

ස්‌වාමියාට ධෛර්යය සපයන කාන්තාව...

බෞද්ධ සාහිත්‍ය තුළ අපට හමුවන ශ්‍රේෂ්ඨ කාන්තා චරිත අතර යශෝදරාවට හිමිවනුයේ සුවිශේෂී තැනකි. පුරුෂයකු හට තම අරමුණු සාධනය කර ගැනීම සඳහා කාන්තාවකගෙන් ලැබිය යුතු සහයෝගය පිsළිබඳ හොඳ ආදර්ශයන් යශෝදරාවන්ගේ චරිතය තුළින් වත්මන් කාන්තාවට සැපයෙන්නේය. සිදුහත් බෝසතාණන් හට ශ්‍රේෂ්ඨ බුද්ධත්වයට පත්වීමට සංසාරික වශයෙන් ධෛර්ය සැපයූ ශ්‍රේෂ්ඨ කාන්තාව ලෙසය යශෝදරාවෝ අප හඳුනාගත යුත්තේ. රාහුල කුමරා සහ තමා මාලිගය තුළ තනි කර සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළද ඒ පිsළිබඳ උරණ නොවී තම ස්‌වාමියාගේ උතුම් අරමුණ සාක්‌ෂාත් වේවා යන්න යශෝදරාවන්ගේ ප්‍රාර්ථනය විය. බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්නුවරට වැඩමකොට යශෝදරාවන් හට චන්නකින්නර වැනි ජාතක කතාවක්‌ දේශනා කරමින් ඇය කාන්තාවන් අතර සිළුමිණ බවට පත්කිරීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළහ. තම ස්‌වාමියාට ලැදිව ඔහුට ධෛර්ය සැපයිය යුත්තේ කෙසේද යන්න යශෝදරාවන්ගේ චරිතය ඔස්‌සේ නූතන බොදු කාන්තාවට ලබාගත හැකි උතුම් පරමාදර්ශයයි. 

බුදුදහම තරම් කාන්තා විමුක්‌තිය සාධනය කළ වෙනත් දහමක්‌ වේද?

ලෝකයේ ආගමික වශයෙන් කාන්තාව සම්බන්ධයෙන් විප්ලවයක්‌ ඇතිවූයේ බුදුදහම තුළය. බුදුරජාණන් වහන්සේ භික්‌ෂුණී ශාසනය පිළිගැනීම තුළින් එය මනාව පැහැදිලි වේ. තම ශාස්‌තෘවරයාගේ ධර්මය දේශනා කිරීමටත්, ප්‍රචාරය කිරීමටත්, ඒ ඔස්‌සේ ශාස්‌තෘවරයා අවබෝධ කර ගත් උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීමටත් කාන්තාවට අයිතිය ලබාදුන් ලොව එකම ආගම බුදුදහමය. ලෝකයේ කාන්තාවට පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මානව හිමිකම් බුදුදහම නිසා ලැබිණි.

රූප මදයෙන් උඩඟු නොවනු....

බුදු සමයේ එන කාන්තා චරිත අතර ෙ€මාවන්ගෙන්ද ලැබිය හැකි ආදර්ශය ඉතා වැදගත්ය. ෙ€මා යනු තම රූපය, ශරීරය පිsළිබඳ උඩඟුවෙන් සිටි කාන්තාවකි. ඇය බුදුරජාණන් වහන්සේ හමුවට යැමට පවා මැලිවූ ස්‌ත්‍රියකි. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ස්‌ථානයට ෙ€මාවන් පැමිණි විට උපක්‍රමිකව ඇයට රූපයේ නිස්‌සාරය වටහා දුණි. ඉන් පසු ඇය සම්බුදු ශාසනය තුළ අග්‍රශ්‍රාවිකාවක්‌ වූවාය. රූපය යනු කිසිදු විටෙක උඩඟු වීමට හේතුවක්‌ නොවන බව ෙ€මාවන් හරහා බෞද්ධ කාන්තාවට ලැබෙන ආදර්ශය වේ. කාන්තාව සෞන්දර්යාත්මක වස්‌තුවක්‌ ලෙස සාහිත්‍යය තුළ සඳහන් වේ. එහෙත් එම සෞන්දර්යය කාන්තාවකට ලැබෙනුයේ උඩඟු වීමෙන් නොව වඩාත් නිහතමානීවීමෙනි. 

තම දරුවා මියගිය බව පිළිගැනීමට මැලිවූ කිසාගෝතමියද වත්මන් බෞද්ධ කාන්තාවට සපයන ආදර්ශය වැදගත්ය. මියගිය තම පුතනුවන් සුවපත් කර ගැනීමට නොමළ ගෙයකින් අබ මිටක්‌ සොයා යන ගමනේදී ඇයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය වැටහිණි. බොහෝ විට තමන්ට සමීප අයකු මියයැම නිසා කාන්තාව දැඩි කම්පාවට පත්වන්නීය. පිරිමියාට වඩා ඇය හඬා වැටෙන්නීය. එවැනි කාන්තාවන්ට කිසාගෝතමිය පරමාදර්ශී චරිතයකි. ලෝකය පිළිබඳ ගැඹුරු යථාර්ථය අවබෝධ කර ගත හැක්‌කේ කෙසේදැයි කිසාගෝතමී කතාපුවත බෞද්ධ කාන්තාවට දෙන පණිවුඩයයි. අනිත්‍ය ධර්මය පිළිබඳ පණිවුඩය දෙන මෙම කතාපුවත නූතනයේ සැලකිය යුතු ආකාරයේ සාකච්ඡාවකට බඳුන් නොවීම අවාසනාවකි. 

නූතන කුණ්‌ඩලකේසියෝ....

කුණ්‌ඩලකේසිය යනු බාල, තරුණ, වැඩිහිටි යන විවිධ වයස්‌ සීමාවන්හි සිටින කාන්තාවන්ට ආදර්ශයන් සපයන චරිතයකි. කුණ්‌ඩලකේසි ඉතා මනා රූ සපුවකින් යුත් කාන්තාවකි. කුඩා කාලයේ සිටම ඇය රූමත්ය. එම රූමත් බව නිසාම දෙමව්පියන්ගෙන් ඇයට ලැබුණේ දැඩි ආරක්‌ෂාවකි. මෙය නූතනයේ වුවද දෙමව්පියන් විසින් සිදුකරන වැරැද්දකි. තම දියණිය රූමත්බවින් යුතු නම් දෙමව්පියන්a ඇයට අනවශ්‍ය ආකාරයේ ආරක්‌ෂාවක්‌ යොදයි. තම රූමත් තරුණ දියණිය යන සෑම ස්‌ථානයක මව ඇය පසුපසින් යයි. එසේත් නැතිනම් නිවසට ගෙන්වා ටියුෂන් දෙයි. තම මෝටර් රථයෙන්ම දියණියව පාසලට, පන්සලට, පුද්ගලික පන්තියට කැඳවාගෙන යයි. එම නිසා එම තරුණ දියණියන්ට සමාජය පිළිබඳ කිසිදු දැනීමක්‌ නැත. දියණිය රූමත්වූ පමණින්ම සමාජමය අයිතිවාසිකම් අහිමිකිරීම නිසා ඇය නොමඟ ගිය පසු හඬා වැටීමෙන් ඵලක්‌ නැත. එනිසාය කුණ්‌ඩලකේසි කතාව නූතනයට වඩාත් ගැළපෙනුයේ. 

විශේෂයෙන්ම බාලිකා පාසල්වලට යන දියණියන්ට බාලක සමාජයේ ඇසුරු නොලැබේ. එනිසා මානුෂිකව, ස්‌වභාවිකව ඇතිවන යම් යම් ආශාවන් සහ අපේක්‌ෂාවන් නිසා ඇය දැඩි පීඩාවකට පත්වන්නීය. දෙමව්පියන් උත්සාහ ගනුයේද ඇය තව තවත් සිර කර තැබීමටය. කුණ්‌ඩලකේසියට සිදුවුණෙත් එයමය. එනිසා අවසන ඇය විවාහවනුයේ මරණයට කැපවුණු සොරකු සමගිනි. සොරදෙටුවකු හා විවාහ වූ කුණ්‌ඩලකේසිය හැසිරෙනුයේ මෙහෙකාරියක්‌ පරිද්දෙනි. ඇයට යුග ජීවිතය පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නොතිබිණි. මේ හේතුවෙන් ඇය විනාශයේ දොරටුව විවර කර ගන්නීය. නූතනයේ බොහෝ තරුණ දියණිවරුන් සමාජ අවබෝධය නොමැතිකමින් ලැබෙන මුල්ම අවස්‌ථාවේදී කිසිදු ගැලපීමක්‌ නැති අයකු සමග හිතුමතයේ විවාහ වී අවසානයේ ජීවිතයම අපායක්‌ කර ගනී. නමුත් කුණ්‌ඩලකේසිය අවසානයේදී ලෝකයට ශ්‍රේෂ්ඨ ආදර්ශයක්‌ ලබාදෙන්නීය. එනම් මෙහෙකාරියක්‌ ලෙස තමන් ඇප උපස්‌ථාන කළ ස්‌වාමිපුරුෂයා තමන්ගේ ජීවිතය නැතිකිරීමට උත්සාහ ගැනීමේදී උපක්‍රමිකව බේරීමෙන් ස්‌ථානෝචිත ප්‍රඥව පිළිබඳ නූතන කාන්තාවන්ට ආදර්ශයක්‌ සපයන්නීය. තමන් විනාශ කිරීමට සූදානම් වන සමාජමය බලවේග පිළිබඳව "ඉව" පිරිමියාට වඩා ගැහැණියට තිබිය යුතුය යන පණිවුඩය සපයන කතා පුවතක්‌ වශයෙනුත් කුණ්‌ඩලකේසි හඳුනාගත හැකිය.

විශාඛාවට දුන් අවවාදයේ නූතනත්වය

බුද්ධ කාලයේ තවත් ශ්‍රේෂ්ඨතම කාන්තාවක්‌ ලෙස සැලකෙන විශාඛාවන් පිළිබඳ විමසා බැලීම නූතන දියණිවරුන්ට ඉතා වැදගත්ය. විශාඛාව විවාහ වීමට සූදානම් වූ අවස්‌ථාවේ ඇයගේ පියා විසින් දෙන ලද අවවාද දහයේ එන "ගෙයි ගිනි පිටත නොදෙන්න - පිටත ගිනි ගෙට නොගන්න" යන අවවාදය නූතනයට වඩා ගැළපේ. එයට හේතු වනුයේ වත්මනේ බොහෝ කාන්තාවන් මෙය පිළිනොපැදීම නිසා ජීවිත අඳුරු කරගන්නා බැවිනි. විශේෂයෙන් ජංගම දුරකථනය මගින් කාන්තාවන් සිදුකරනුයේ නිවසේ සියලු දේ පිටට පැවැසීමයි. මෙහි වඩා ෙ€දනීය තත්ත්වය වනුයේ ගුවන්විදුලිය, රූපවාහිනිය හරහා සමස්‌ත සමාජයටම ගෙදර ප්‍රශ්න පැවැසීමය. එමෙන්ම එලියේ ඇති ප්‍රශ්න සියල්ල තමන්ගේ කරගෙන යුගජීවිත විනාශ කර ගනී. එනිසා විශාඛාවන්ට දුන් අවවාද නූතන කාන්තාවට වඩා නවීන බව අපගේ අදහසයි. 

ලොව දිනන කාන්තාව නම්....

මේ පරපුරේම තවත් පුරුකකි සංඝමිත්තාවෝ. චක්‍රවර්තී මහ රජකුගේ තරුණ දියණිය. ඇය තම වැඩිමහල් සහෝදරයා (මිහිඳු මාහිමියන්) ගිය මග යමින් අවසානයේ සංඝමිත්තා රහත් තෙරණිය බවට පත්වූවාය. සංඝමිත්තා රහත් තෙරණිය පිළිබඳ කතාකිරීමේදී ථේරී ගාථාවල සෝමා තෙරණියගේ උදානය වැදගත්ය. ඥනවන්ත වූ කල්හි, සිත මනාව පිහිටුවා ගත් කල්හි සද්ධර්මය දැකීම සඳහා ස්‌ත්‍රීභාවය කවර බාධාවක්‌ද? යෑයි සෝම තෙරුණියෝ පවසන්නාහ.

මින් අවධාරණය වනුයේ හැඟීම් පාලනය කළ, නුවණ දියුණු කළ කාන්තාවකට ලෝකය දිනිය හැකි බවයි. භාරතීය පඬිවරයකු වන ආචාර්ය සර්වපාලි රාධක්‍රිෂ්ණන් මෙවැනිම අදහසක්‌ පළ කර ඇත. ඒ "යම්කිසි රටක කාන්තාව නූගත් වේද එම රට දිළිඳුභාවයට පත්වීම වැළැක්‌විය නොහැකි බවය. රටක්‌ දිළිඳු හා පිරිහීමට ලක්‌වීමට කාන්තාවගේ නූගත් බව ප්‍රධාන හේතුවක්‌ වන බව පැහැදිලිය. බෞද්ධ කාන්තාව ඥානවන්තය. සංඝමිත්තාවන් හට රහත් භාවයට පත්වීමට හැකිවනුයේද මේ ඥානවන්තභාවය නිසාය.

ජාතක පොතෙන් ආදර්ශයන්....

ජාතක පොතෙහි එන මහාජනක ජාතකය අපූරු කතා පුවතකි. එහි රජතුමා තම දියණියට විවාහයක්‌ කරදීමට පෙර මියයන්නේය. රජ තම දියණියට මියයන මොහොතේදී මෙවැනි උපදෙසක්‌ දෙන්නේය. ඒ රට පාලනය කළ හැකි, දේපල පාලනය කළ හැකි ඥානවන්ත, බුද්ධිමත් හොඳ තරුණයකු සොයා ඔහු හා විවාහවී හොඳින් රාජ්‍ය පාලනය ගෙන යන ලෙසය. තම පියාණන්ගේ අභාවයෙන් පසු ඔහුගේ අවවාද පිළිගත් දියණිය විවාහවීම සඳහා තරුණයකු සෙවීය. දිනක්‌ මෙම තරුණ දියණිය සමග විවාහවීමට කැමැති තරුණයෙක්‌ රජවාසලෙහි දොරටුව අසල සිටින බවට ඇයට ආරංචි විය. එම තරුණයා කැඳවන මෙම දියණිය "ඔබ පැමිණියේ මා විවාහවීමට නම් ඒ සඳහා සුදුස්‌සකු වීමට මා ළඟ දණගැසිය යුතු" යෑයි පැවැසුවාය. රාජ්‍ය ලෝභයෙන්, දේපළ ලෝභයෙන් පෙළුණු මෙම තරුණයා තරුණිය ඉදිරියේ දණගැසීය. එවිට රාජ සභාව ඉදිරියේ "මෙන්න මා හා විවාහවීමට පැමිණි තරුණයාගේ හැටි. පිරිමියකු ගැහැණිය ඉදිරියේ මෙලෙස දණගැසිය යුතුද? මෙහෙව් පිරිමියෙක්‌ සමග රට පාලනය කළ හැකිදැයි" පවසමින් රජවාසලෙන් එම තරුණයා එලවා දැම්මාය. 

මෙම කතාවත් ඥනවන්ත, වීරවන්ත බුද්ධිමත් කාන්තාවට පිරිමියාට එරෙහිව ඉතා ශ්‍රේෂ්ඨ පෞරුෂයකින් කටයුතු කළ හැකිය යන ආදර්ශය ලබාදේ. එලෙස ඥනවන්ත නොවුණහොත් සිදුවනුයේ පිරිමියා ඉදිරියේ ගැහැණියට දණ ගැසීමටය. 

බටහිර ස්‌ත්‍රීවාදයේ මුලාව....

කාන්තාව පුරුෂාධිපත්‍යට යටත්වී ඇය පීඩනයට පත්ව සිටින බව නූතන ශ්‍රී ලාංකික සමාජයේ නූතනයේ ඇසෙන කතාවකි. මෙය සම්පූර්ණයෙන්ම බටහිර ස්‌ත්‍රීවාදී චින්තනයකි. බුදුදහමෙන් හැඩ වුණු අපේ සංස්‌කෘතිය තුළ තිබෙනුයේ පුරුෂාධිපති සමාජයක්‌ නොව ගෞරවණීය වූ පීතෘමූලික සමාජයකි. මෙරට සමාජය අතීතයේ සිට ගැඩගැසුණේ පියා යටතේ රැකීමටය. එහිදී සිදුවූයේ මව දෙවැනි කොට සැලකීමක්‌ නොව පියා පළමුකොට සැලකීමකි. මව ද එයට එකඟව කටයුතු කළාය. ඉන් කිසිදු ප්‍රශ්නයක්‌ ඇති නොවුණි. බටහිර ස්‌ත්‍රීවාදී පුරුෂ්‍යාධිපත්‍ය සංකල්පය මෙරටට එන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන මේ උතුම් බෞද්ධ සංස්‌කෘතික ලක්‌ෂණයට පහරදීමටය. නමුත් අප සංස්‌කෘතිය අගයන කිසිදු කාන්තාවක්‌ මේ ස්‌ත්‍රීවාදීන්ට හසු නොවිය යුතුය. මෙරට සමාජයේ ඇතැම් අවස්‌ථාවල පිරිමියාටත් වඩා ශ්‍රේෂ්ඨභාවයට පත්වීමට කාන්තාවට අවස්‌ථාව උදාවී තිබේ. ලොව ප්‍රථම අගමැතිනිය, ජනාධිපතිනිය බිහිවනුයේද අප රටෙනි. එමෙන්ම එම සමයේ පාර්ලිමේන්තු මහ ලේකම්ධුරය දරනුයේ කාන්තාවකි. එනිසා බටහිර ස්‌ත්‍රීවාදී සංකල්පය මෙරටට කිසිසේත් ගැලපෙන්නක්‌ නොවේ.

සෝමතිලක ජයමහ ගායනා කරන "පොඩි දුවගේ සිනාපෙළයි" ගීතයේ එන "ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ විලයි මගේ නිවන මගේ පැල්පතයි" යන පද පේළිය තුළ කාන්තාවට පැල්පත පවා නිවනක්‌ බවට පත්කිරීමේ හැකියාව තිබෙන බව සාහිත්‍යයට නගා ඇති අයුරු අපූරුය. සැබවින්ම සිදුවිය යුත්තේද එයය. දියණියක්‌ ලෙස, බිරිඳක්‌ ලෙස, මවක්‌ ලෙස කාන්තාව තම ජීවිතයේ විවිධ චරිතයන් හොබවන්නීය. එම සෑම අවස්‌ථාවකටම බුදුදහමෙන් කාන්තාවට ලද හැකි පෝෂණය ඉමහත්ය. ඒ සඳහා සැපයී ඇති පරමාදර්ශයන් බොහෝය. දයාබර දියණියනි, සොයුරියනි, මෑණියනි ඔබත් යශෝදරාවක්‌, විශාඛාවක්‌ වන්නට උත්සාහ ගන්න. එය ඔබ මෙලොව තුළ ඉහළට ඔසවා තබනු නිසැකය.

සාකච්ඡා කළේ - ලක්‌මාල් බෝගහවත්ත