නාය යාම විද්‍යාත්මක ඇසින්


නාය යැම යනු විශාල ප්‍රදේශයක පොළොව සෙලවීමේ භූගෝලීය සංසිද්ධියයි. එයින් ගිලාබැසීම, ගල් වැටීම, සහ කඳු කොටස්‌ ගැලවීයැම සිදුවිය හැක. මෙය බොහෝදුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදුවිය හැකිය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත් නායයැම් වලට බලපාන තවත් සාධක රාශියක්‌ ඇත. දැන් බොහෝමයක්‌ නායයැම් ඇතිවන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම්වල බලපෑමෙන්ය. නාය යැම භූමි කොටසේ ස්‌ථායිතාව මත රඳා පවතී, මෙම ස්‌ථායි - අස්‌ථායිතාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපායි

මිනිසාට වින කරන උපද්‍රව අතරින් නායයැම් ප්‍රධාන තැනක්‌ ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ අති ප්‍රබල මට්‌ටමේ නායයැම් කිහිපයක්‌ ම සිදුවිය. අද වන විට ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 25න් 10 ක්‌ ම නායයැමේ තර්ජනයට මුහුණ පා සිටියි. නායයැම සඳහා භෞතික සාධක සේම මානව සාධක ද බලපාන අතර අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස නායයැම් උග්‍ර වී ඇත. නාය යැමක්‌ යනු කුමක්‌ද? එහි ප්‍රති විපාක මොනවාද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසා දැනුවත් කළ යුතුව ඇත.



නායයැමක්‌ යනු කුමක්‌ද?

මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති නිර්වචන 02ක්‌ පහත දැක්‌ වේ.

''නායයැමක්‌ යනු, ගුරුත්ව බලය හේතුකොටගෙන බෑවුමක පස, පාෂාණ, ගස්‌ ගල් වැනි ද්‍රව්‍යයන් පහතට හා පිටතට පරිවහනය වීමයි.''
- ඵ්.කේ. ලොබෙක්‌

''උස්‌ ස්‌ථානයක සිට පහත් ස්‌ථානයක්‌ දක්‌වා බෑවුම දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන් මඩ, වැලි, බොරළු, විශාල ගල්වලින් සමන්විත. ගලා යැමකි.''
- මහාචාර්ය කපිල දහනායක

නායයැමක්‌ ආශ්‍රිත ක්‍රියාවලිය.

කඳු බෑවුමක්‌ මුලින් නිර්මාණය වීමේදී ඵහි මතුපිට සකස්‌ වී ඇත්තේ මවු පාෂාණ වලිනි. කාලයක්‌ ගත වීමත් සමඟ භෞතික, රසායනික සහ ඓන්ද්‍රිය (ජීව විද්‍යාත්මක) ජීර්ණ ක්‍රියාවලියට මවු පාෂාණ නතු වීම නිසා ජීර්ණයට ලක්‌ වේ. එම දිරාපත් වූ ශේෂ කොටස්‌ කඳු බෑවුම මත තට්‌ටුවක්‌ ලෙස තැන්පත් වේ. ඊට යටින් පිහිටා ඇත්තේ ජීර්ණයට ලක්‌ නොවූ මවු පාෂාණයයි. තද වැසි ඇති වන විට මෙම ජීර්ණාවශේෂ තට්‌ටුව උරා ගන්නා ජල ප්‍රමාණය අධික වීම නිසා අවසානයේ ජීරණාවශේෂ තට්‌ටුව ජලයෙන් සංතෘප්ත වී එහි බර වැඩි වේ. එමෙන් ම භූගත ජල ප්‍රමාණය, මවු පාෂාණය සහ ජීර්ණාවශේෂ තට්‌ටුව අතර තිබෙන ඉඩ තුළින් ගලා යැමට පටන් ගැනීම නිසා ස්‌ථර දෙක අතර ඒකාබද්ධතාව බිඳ වැටේ. අවසානයේ ගුරුත්ව බලය හේතුවෙන් කඳු බෑවුමේ තැන්පත් වූ ජීර්ණාවශේෂ තට්‌ටුව පහළට රූරා යයි. මෙය විද්‍යාත්මකව ස්‌කන්ධ අවගමනය (MASS
MOVEMENT) ලෙස ද හඳුන්වනු ලැබේ.



අධික ශබ්දයක්‌ද සමඟින් සිදුවන මේ ආකාරයේ නායයැම් 'දිය හෙණ ගැසීම' යනුවෙන් ජන ව්‍යවහාරයේ හඳුන්වයි.

කඳු නිම්න සෑදී ඇති පාෂාණ වර්ගය, පාෂාණය ගැඹුරට ජීර්ණය වී තිබීම, පාෂාණය මත පිහිටි ජීර්ණය වූ පස්‌ තට්‌ටුවේ උස, කුස්‌තූර පද්ධති වලින් සමන්විත පාෂාණ ව්‍යqහ, ගුරුත්වය යටතේ පතිත වී සෑදුණු පස්‌තට්‌ටු තිබීම ආදී කරුණු ද ස්‌වාභාවික නායයැමකට හේතු වේ.

සාමාන්‍යයෙන් එකිනෙක වෙන් වූ හෝ එකිනෙක අතර බැඳීම අඩු පස්‌ හා ගල් තට්‌ටු ඇද හැලීම් හෝ ලිස්‌සා යැමට වැඩිපුරම භාජන වේ. ඒවා ලිහිල්ව පැවතීමට එම පාෂාණවල ව්‍යqහය ඇතුළු ගති ලක්‌ෂණ හේතු වෙයි. විවිධ ඛණිජ වර්ග යම් සංයුතියකට අනුව මිශ්‍ර වීමෙන් පාෂාණ නිර්මාණය වේ. ඛණිජ වර්ග මිශ්‍ර වන සංයුතිය අනුව ඒවා කළුගල්, හුණු ගල්, තිරුවාන ආදී විවිධ පාෂාණ ලෙස නිර්මාණය වී ස්‌ථර ලෙස පොළොවේ තැන්පත් වෙයි. මේවා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ස්‌වභාව ධර්මයාගේ විවිධ ක්‍රියාකාරිත්වයන්ට හසු වීමෙන් දිරාපත් වී බිඳ වැටීමට පටන් ගනී. එමෙන් ම උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස්‌වීම් වලට මුහුණ පෑමෙන් එම පාෂාණ එක්‌ එක්‌ අතට පැලී යැමටද හැකිය. එක්‌ එක්‌ පාෂාණ වර්ග දිරායන වේගය වෙනස්‌ වන අතර ඒවා ජීරණය වී සෑදෙන වැලි, මැටි, පස්‌ ආදියද විවිධාකාර ගතිගුණ වලින් යුක්‌ත වේ. මෙම දිරාපත් ද්‍රව්‍යයන් තට්‌ටු වශයෙන් කඳු බෑවුම්වල තැන්පත් වීම නායයැම් වලට හේතු වේ. යම් පාෂාණයක්‌ ජීරණය වී සෑදුණු පස්‌ මැටි අධික වුවහොත් එම ස්‌ථානයේ නායයැමේ ඉඩකඩ වැඩිය. සමහර පාෂාණ ස්‌ථර ඒවා පිහිටි ස්‌ථරයේම ජීරණය වීමෙන් එම ස්‌ථානයේ ම පස්‌ ස්‌ථර වශයෙන් පිහිටා තිබේ. ස්‌ථානීය තැන්පතු යනුවෙන් හඳුන්වන එවැනි ස්‌ථාන වල නායයැමේ අවදානම අඩුය. එහෙත් නායයැමක්‌ නිසා ගුරුත්වය යටතේ පහළට ගමන් කර බෑවුමේ වෙනත් ස්‌ථානයක තැන්පත් වන පස්‌ ස්‌ථරයේ (මේවා සුණු පහන් යනුවෙන් හඳුන්වයි) ඝනකම වැඩි වුවහොත් එහි නාය යැමකට වැඩි ඉඩකඩක්‌ පවතී. කඳු බෑවුම් වල ආනතියද නායයැම් කෙරෙහි බලපානු ලබයි. මතුපිට බෑවුම වැඩි ස්‌ථානයක නායයැමේ ඉඩකඩ වැඩිය.

සාමාන්‍යයෙන් අංශක 15ත් - 45 ත් අතර ආනතියක්‌ සහිත මතුපිටක්‌ ඇති කඳු බෑවුම් වැඩි වශයෙන් නායයැම් වලට ගොදුරු වේ. අංශක 26ත්- 35ත් අතර කඳු බෑවුම් නායයැමේ වඩාත් අවදානමක්‌ ඇති බෑවුම් ලෙස හඳුනාගෙන ඇත. මිනිසුන් තමන්ට නිවාස තැනීමට භූමිය හිඟ වූ නිසා කඳුකර ප්‍රදේශවල නිවාස ඉදිකර ඇති අතර අංශක 90 බෑවුම කපා නිවාස හැදීම නිසා නායයැම බහුල වී තිබේ.

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග හා නිරිත දිග මෝසම් වර්ෂා මඟිනි. ඒ හැරුණු විට එම මෝසම් කාල දෙක අතර ඇති වන අන්තර් මෝසම් වර්ෂාව මඟින්ද වැසි ඇද හැලේ. කඳුකර බෑවුම් මෙම මෝසම් වැසි වලට වැඩි වශයෙන් මුහුණ දුන් විට එම බෑවුම් නායයැමට පටන් ගනී. නිරිත දිග මෝසම් කාලයේදී කෑගල්ල, රත්නපුර, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කයන්හි නායයැම් බහුලව සිදුවන අතර ඊසාන දිග මෝසම් කාලයේදී මධ්‍ය කඳුකරයේ ඊසාන සහ නැගෙනහිර බෑවුම් වර්ෂාවට වැඩිවශයෙන් නිරාවරණය වීම නිසා බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ මහනුවර වැනි දිස්‌ත්‍රික්‌ක වල නායයැම් බහුලව සිදුවේ. කඳුකරයේ පිහිටි ස්‌වාභාවික සහ කෘත්‍රිම ජලාශවල ජලය පස්‌ ස්‌ථර හරහා පොළොවට කාන්දු වීම එහි කඳු බෑවුම් වල පස්‌ අංශු අතර බැඳීම දුර්වල කිරීමට හේතු වේ. එමෙන්ම ජලවහන රටාව දුර්වල වීම නිසාත් කඳු බෑවුම් වල තෙත් ගතිය වැඩි වීම නිසාත්, භූගත ජල මට්‌ටම් වල වෙනස්‌ වීම නිසාත් නායයැම් ඇතිවිය හැකිය. නායයාමක්‌ කෙරෙහි බලපාන අනෙක්‌ සාධකය භූ රූපණයයි. එනම් බෑවුමක හැඩයයි. මේවා උත්තල, අවතල වැනි ආකාරවලට පිහිටා ඇත. උත්තල භූ රූපණයක්‌ සහිත කඳු බෑවුම්වල නායයැම් ඉඩකඩ වැඩිය.

ලෝකය බිහිවූ දා සිට ම ලෝකයේ නායයැම් සිදුවිය. නායයැම් යනු ස්‌වාභාවික භූ විද්‍යාත්මක ක්‍රියාවලියක්‌ බැවින් එය නැවැත්වීම කළ නොහැක්‌කකි. අනෙක්‌ අතට එය සිදුවීම ලෝකයේ පැවැත්මට අවශ්‍ය දෙයකි. අවාසනාවකට අපට අසන්නට දකින්නට ලැබෙන නායයැම් වලින් 90% ක්‌ම මිනිසාගේ අයහපත් ක්‍රියාකාරකම් නිසා සිදුවන ඒවායි. කැලෑ හා රක්‌ෂිත එළිකිරීම ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගනී. විශාල වශයෙන් වනාන්තර එළිකිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා කඳු බෑවුම් එළි කිරීම වැනි කරුණු නිසා පසේ ස්‌ථායිතාව දුර්වල වේ. ඒ මඟින් පස්‌ පුපුරායැම, ලිහිල් වීම, පාංශු ඛාදනය හා නායයැම් ඇතිවේ. නිසි සැලසුමකින් තොරව අවිධිමත් ආකාරයෙන් සිදුකරන ඉඩම් පරිහරණය නායයැම් සඳහා බලපාන තවත් කරුණක්‌ ලෙස පෙන්වා දිය හැකිය. අතීතයේ සිට කඳුකරයේ වගාවන් සඳහා යොදා ගත්තේ හෙල්මළු වගා ක්‍රමයයි. නමුත් අද දුම්කොළ, එළවළු ආදී වගාවන් වලදී මේ ක්‍රමය යොදා නොගනී. මෙය ජලය බැස යැමට බාධාවක්‌ වන අතර මේ නිසා පාංශු ඛාදනය බහුලය. බෑවුම් සහිත උස්‌ බිම් කපා මට්‌ටම් කර නිවාස ඉදි කිරීම නිසා එම ඉදිකිරීම ඉහළින් ඇති බෑවුම අස්‌ථාවර වේ. මෙහි පස්‌ ස්‌ථර ක්‍රමයෙන් දුර්වල වීම නිසා එම ස්‌ථානය නායයැමකට ලක්‌වීමේ ඉඩකඩ පවතී. වාරි ඇළ මාර්ග, කඳු ආශ්‍රිත මහා මාර්ග ආදිය ඉදි කිරීමේදී නිසි ගවේෂණයක්‌ නොමැතිව කඳු බෑවුම් කපා එම ඉදිකිරීම් සිදු කිරීමත්, භූමියේ යෝග්‍යතාව (අදාළ කාර්යය සඳහා එම ස්‌ථානය සුදුසු වේද යන්න සොයා බැලීම) නොසලකා, සුදුසු කාලයකදී (වර්ෂාව නැති, පොළොවේ තෙතමනය අඩු) එම ඉදිකිරීම් සිදු නොකිරීමත් නායයැම් සිදු වීමට හේතු වේ. කඳු ආශ්‍රිතව කළුගල් බහුලව පිහිටි සමහර ස්‌ථානවල ගල්වළවල් පවත්වාගෙන යයි. එම විශාල කළුගල් කැඩීම සඳහා යොදන උපක්‍රමය වන්නේ ගල්වෙඩි දැමීමයි. මේ සඳහා යම් ප්‍රමිතියක්‌ ඇතිමුත් එම ප්‍රතිශතය ඉක්‌මවා සමහර ස්‌ථානවල ගල්වෙඩි දැමීම නිසා ඇතිවන කම්පනයෙන් ඉහළ කඳු බෑවුම් දුර්වල වී එය පහතට කඩා හැලීමේ ඉඩකඩ පවතී. එමෙන්ම ස්‌වාභාවිකව ජලය ගලා එන ජලමාර්ග අවහිර කිරීමෙන් ඒවා පොළොව තුළට ගමන් කිරීම නිසාත් කඳුකරයේ උස්‌බිම්වල ජලාශ ඉදිකිරීම නිසාත් පසේ ජලය අධික වීමෙන් නායයැම් සිදුවේ.

අධික තීව්‍රතාවක්‌ සහිත වර්ෂාපතනයක්‌ දිගු කාලයක්‌ තිස්‌සේ ලැබුණහොත් එය නායයැම් කෙරෙහි බලපෑමක්‌ ඇති කරයි. අධික වර්ෂාපතනයක්‌ ලැබීම නිසා කඳු බෑවුමේ ජීරණාවශේෂ අධි සංතෘප්ත (Over Saturation) බවට පත් වේ. එය නායයැමට අවශ්‍ය වටපිටාව සකස්‌ කිරීමකි. 

භූමිකම්පාවක්‌ නිසා ඇතිවන කම්පන තරංග පෘෂ්ඨය මතුපිට ගමන් කිරීම නිසා අදාළ ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශ ද චලනයට ලක්‌ වේ. එවැනි අවස්‌ථාවක කඳු බෑවුමේ පවතින පාෂාණ කොටස්‌ ගැලවී ක්‌ෂණිකව පහළට කඩාවැටිය හැකිය. කළුගල් වැඩපලවල ඩයිනමයිට්‌ යොදා පිපිරවීම් කරයි. එමගින් ඇති කරන කම්පනය භූමිකම්පාවකින් සිදුවන ක්‍රියාවලියට සමානය. ජීර්ණාවශේෂ තට්‌ටුව පිපිරීම නිසා සෙලවීමකට ලක්‌ විය හැකිය. ජීර්ණාවශේෂ තට්‌ටු අතර ඒකාබද්ධතාව නැති වීම නාය යැමට හේතු වේ.

නායයැමක්‌ ඇති වීමට පෙර 

ඇති විය හැකි ලක්‌ෂණ

මූලික ලක්‌ෂණ කිහිපයකි.

ෆ කඳු බෑවුම් ප්‍රදේශවල පැලුම් ඇතිවීම හා ඒවා ක්‍රමයෙන් පුළුල් වෙමින් ගැඹුරු වීම.

ෆ කලින් තිබූ ජල උල්පත් සිඳී යැම හා පෙර ජල උල්පත් නොතිබූ තැන් වලින් හිටි හැටියේ ජල උල්පත් මතු වීම.

ෆ කඳු බෑවුමේ ඇති ගස්‌, දුරකථන කණු, විදුලි කණු, කඳු බෑවුමේ පහළ ප්‍රදේශයට ඇලවීම. මොහොර බෑවුමක පස්‌ තට්‌ටුව මත සරුවට වැඩුණු පොල්, පුවක්‌ වැනි ශාක ක්‌ෂණිකව මැරී යැම.

ෆ ස්‌ථිර ගොඩනැ`ගිලි පුපුරා යැම.

ෆ ස්‌වාභාවික දිය උල්පත් වලින් පිටවන ජලය මඩ සහිත වීම.

ෆ ආපදාවට ලක්‌ වන ප්‍රදේශයේ කාලයක්‌ තිස්‌සේ අධික ලෙස ඇදහැළෙන වර්ෂාපතනය.

ෆ ආපදාවට ලක්‌ වන ප්‍රදේශවල තිබෙන බෑවුම, මාර්ගවල, ගොඩනැඟිලිවල, නිවාසවල බිත්තිවල හෝ ඉදිකිරීම්වල හදිසියේ පැලීම් ඇති වීම.

ෆ බෑවුම්වල ගිලා බැසීම්, ඉලිප්පීම්, හදිසියේ ජලය මතු වීම.

ෆ ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල සතුන්ගේ හා පක්‌ෂීන්ගේ අසාමාන්‍ය අස්‌වාභාවික හැසිරීම.

නායයැම් වළක්‌වා ගැනීමට අපට කළ හැකි දේ

නායයැම් වලට අවධානමක්‌ ඇති කඳු බෑවුම්වල මිනිස්‌ කටයුතු පාලනය කළ යුතුය.ඒ යටතේ අක්‍රමවත් ඉදිකිරීම් සිදු කිරීම, වගා කටයුතු කිරීම වැනි දෑ පාලනය කළ යුතුය.

පොළොව මතුපිට ජලය රඳා නොසිට පහසුවෙන් බැස යැම පිණිස කාණු පද්ධතියක්‌ ස්‌ථාපිත කළ යුතුය. මෙම කාණු ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ වන සේ සමෝච්ඡ රේඛාවන් ඔස්‌සේ කැපිය යුතුය.

කඳු බෑවුම ආශ්‍රිතව කරන වගාවන් වලදී ජලය නිසි ලෙස බැස යන ආකාරයට සැකසීම.

පැරණි නායයැම් බිම් හඳුනාගෙන එම බිම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිතියම් නිර්මාණය කිරීම.

නායයැම්වලට ලක්‌ වූ ප්‍රදේශවල පාංශු ස්‌ථරය ආරක්‌ෂා කිරීම සඳහා ගස්‌ වැල් රෝපණය කිරීම.

බෑවුම මත ජීර්ණාවශේෂ තට්‌ටුවේ ඒකාබද්ධතාව ඇති කිරීම සඳහා දේශීය ශාක සමෝච්ඡ වැටි ලෙස වැවීම.

නායයැම් පූර්ව ලක්‌ෂණ හඳුනාගෙන පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියා පටිපාටියක්‌ රට තුළ ස්‌ථාපිත කිරීම.

නායයැමේ දී පහතට ලිස්‌සා යන බිමෙහි හිස ඉවත් කර (මුදුන කපා) භූමියේ බර අඩු කිරීම සහ මනා ජලවහන රටාවක්‌ ඇති කිරීම. මෙහිදී ජලය නිසි ආකාරයෙන් බැස යන ආකාරයට කාණු පද්ධතියක්‌ ස්‌ථාපිත කළ යුතුය.

නායයැම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විකල්ප නිවාස හා ඉඩම් ලබා දීම.

වන විනාශය අවම කිරීම.

කඳුකර ප්‍රදේශ ආරක්‌ෂා කිරීමට නම්,

ක්‍රමවත් ඉඩම් ප්‍රතිපත්තියක්‌ යටතේ පාංශු සංරක්‌ෂණයට ක්‍රමෝපායන් හඳුන්වා දීම.

කඳුකර බිම්වලට උචිත භූමි පරිභෝගයක්‌ ස්‌ථාපිත කිරීම.

සැලසුම් සහගත නොවන ඉදි කිරීම් නතර කිරීම.

පරිසරයට වන හානිය අවම කර ගනිමින් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම.

ජනතාවගේ දැනුම් මට්‌ටම වර්ධනය.

නවීන තාක්‌ෂණික ක්‍රියා මාර්ග අනුගමනය කිරීම යන ක්‍රම අනුගමනය කිරීමෙන් නායයැමේ ස්‌වාභාවික ක්‍රියාවලිය නිසා සිදුවන ආපදා අවම කර ගත හැක.

(ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ සංවිධානය තොරතුරු ඇසුරෙනි) 

Post a Comment

0 Comments