තොටගමුවේ රාහුල හිමි 15 වැනි ශත වර්ෂයේ ලක්‌දිව පහලව සිටි අගනා පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සකල කලා සර්වඥ, ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමයන්ගෙන් පිදුම් ලදහ. රහල් හිමියන්ට ධර්ම ඥනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදිය සම්බන්ධයෙන්ද විශාල දැනුමක් තිබිණ. උන්වහන්සේ විවිධ ඖෂධයන් පිළිබඳ හසළ දැනුමක් තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුපුරා වූ ජයබාහු කුමරා රජවූ පසු සපුමල් කුමරු ඔහු ඝාතනය කොට රජවීමට තුන් වරක්‌ම උත්සාහ ගත්තද රාහුල හිමි එය වැළැක්‌වීය. නමුත් සිව්වන වතාවේදී සපුමල්, ජයබාහු මරා සය වැනි බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ "අම්බන" නම් ගමෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේගේ දකුණු බාහුවේ "සතුරු බුවනෙකබා බලය තෙවිටක් පසුබා, රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගෙ ගජබා" යන කවි දෙකක් කොටා තිබූ බව විශ්වාස කරයි. උන්වහන්සේ අම්බනදී අපවත් වීමට මොහොතකට කලින් ශරීරය දින ලක්‍ෂයක් නරක් නොවී තබා ගැනීම සඳහා "සුදු අලු රසය" නම් ඖෂධයක් පානය කළ බවද සඳහන් වේ.
1505 දී පෘතුගීසීහු මෙරටට පැමිණි පසුව රජවරුන්ගේ අසමගිකම් ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෲර ලෙස ලක්‌දිව පාලනය කළහ. මේ අතරතුර අම්බන ප්‍රදේශයේ නරක් නොවී තිබෙන දේහය දැක ගම්වාසීන්ගේ විරෝධය ද නොතකා එම දේහය දොඩන්දූව වරායෙන් ගෝවේට ගෙන ගිය බව පැවසෙන පැරැණි ජන කවි දෙකක්‌ද අදටත් එම ප්‍රදේශයේ ජනතාව අතර පවතී. පෘතුගීසීහු ගෝවේ තිබෙන මෙම දේහය ශාන්ත සේවියර්ගේ යෑයි කියමින් ගෞරව දක්‌වති.
සේවියර් පියතුමා යනු පාප් වහන්සේ විසින් 15 වන සියවසෙහි ඈත නැගෙනහිර ආගම පතුරුවා හැරීම සඳහා පත්කළ නියෝජිතයාය. ඔහු චීනයට යන අතරමගදී "සැන්ක්‌ෂන්" නම් දූපතේදී මියගිය බව පැවසේ. ඔහුගේ සිරුර එහි වළලා සති කිහිපයකට පසු මලක්‌කාවට ගෙන යැමට නැවත ගොඩ ගන්නා විට සිරුර නරක් නොවී තිබෙනු දුටු බව කියති.
මෙම දේහය රහල් හිමිගේ යෑයි සිංහලයෝ පවසන අතර එය ශාන්ත සේවියර්ගේ යෑයි කිතුනුවෝ විශ්වාස කරති. මේ සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර තර්ක විතර්ක ගෙනහැර පාති. මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහ යෙදී ඇත්තේ පනස් වැනි දශකයේය. අද එම දේහයේ දකුණු අත නොමැත. එය රෝමයේ පාප් වහන්සේගේ ඉල්ලීමට කපා රෝමයට යෑවූ බව කිතුනුවෝ පවසන අතර එම අතෙහි පෙර කී කවි දෙක කොටා තිබූ බැවින් එය රාහුල හිමිගේය යන්න තහවුරු වන නිසා අත කපා දමා ඇති බව සිංහලයෝ කියති. මේ සම්බන්ධයෙන් පැරැණි පුවත්පත්වල පළවූ ලිපි කිහිපයක් නැවත පෙන්වා දෙන අතර එම ලිපියේ ඉතිරි කොටස අද දැක්‌වේ.
මෙහි සඳහන් වන්නේ කුලතිලක මහතාගේ ලිපි පෙළෙහි අවසාන කොටසය. (බුද්ධ වර්ෂ 2496 බක්‌මස අව දොළොස්‌වක් ශනි දින, සිංහල බෞද්ධයා පුවත්පත)
මෙම සිරුර දැන් දිරාපත් වන්නේ අව්, සුළංවලට මුහුණ දීමෙන් යෑයිද ඒ නිසා මෙම සිරුර වීදුරු පෙට්‌ටියක තබා ආරක්‍ෂා කරතැයි යන්න අපගේ කතෝලික මිත්‍රවරුන් පවසයි. සාවියර්තුමා මළ විගස දෙවියන් විසින් ඒ සිරුර තම බලයෙන් රක්‍ෂා කරමින් අව් සුළං ඊට වහ කදුරු වැනි අපත්‍ය අගුණ බව එසේ නම් නොකීවේ/ දැන ගැනීමට නොතිබ්බේ ඇයි? රෝගියකුට බෙහෙතක් පොවා, ඇල් පැන් පානය කළහොත් ක්‌ෂණයකින් මියයන බව ඒ වෛද්‍යවරයා දැන දැනම ඒ බව රෝගියාටවත් ඔහුගේ හිතවතෙකුටවත් නොකියා සිට ඒ හේතුවෙන්ම රෝගියා නැසී ගියහොත් රෝගියාගේ මරණයට ඒ වෛද්‍යවරයා කතෘ නොවන්නේද? මේ වාගේ බොරු කාරණා කීමෙන් අප්‍රසාදයට පත්වන්නේ තමන්ගේම ආගමික ශාස්‌තෘවරයාණන් වහන්සේම නේද?
සීමා රහිත දෙවියෙක් එසේම අසීමිත කාලයක් නොදිරා දෙව් බල මහිම පෑමට සුරක්‍ෂිත කළැයි කියන ඔය සිරුර එතුමා විසින්ම මාවාලූ හුළං පොදක් වැදීමෙන් අව් රශ්මියෙන්, දිරා පිච්චී ගියෑයි කීම නියම කතෝලික බැතිවරුන්ට නම් විහිළුවකි. විවෘතව තිබීමෙන් වායෝ, තෝජෝ, ධාතුද්වයේ ගුණ ගැන ඒ සිරුරට ස්‌පර්ශ වීම හේතුවෙන් දේව කැමැත්තක්/ අධිෂ්ඨානයක් විනාශ වෙත්නම් ලෝකයේ ඇති ධාතුවල ලෝකය මැවූ සර්වබලකාරයාගේ සකල බලම මැඬලීමෙහි, අබලන් කිරීමෙහි, සමථි ඊට වඩා ශක්‌තියක් එකී ධාතුබලවලට ඇති රඟ මොනවට ලොවට ප්‍රත්‍යක්‍ෂ නොවේද? දේවබල පරද්දා ලෝක ධාතු බල රජකරන බව එසේ නම් කතෝලික ධර්මධරයන් පිළිගන්නවාද? සියලු බල යුත් දෙව් කෙනෙකුට වුවමනා නම් ඔය සිරුරම මහා මඩ වගුරක ඔබා තිබූවත්, අග්නි ජාලාවකට මැදිකොට තිබූවත්, කෙසඟක පමණ වෙනසක්, විකෘතියක් නොවන ලෙස පවත්නට සුරක්‍ෂිත කරලීම එතුමා හිතූ පමණින් කළ හැකිවන ඉතා සුළු වැඩක් බව හිතා ගන්නටවත් බැරි මිනිස්‌සු බත් කන්නේ පුරුද්දට විය යුතුයි.
කිසිම දෙවියකුගේ සම්බන්ධයක් නැතිව වර්ෂ හාර පන්සියයක් නොව තිස් ලක්‍ෂයක් නොදිරා තිබී ගොඩගත් එක් සත්ත්වයකුගේ සිරුරක් ගැන "පිල්ඩැල්පියා, රැකෝඩ්" නම් පත්‍රයෙහි පුවතක් අපි මෙහි දක්‌වන්නෙමු. මේ සත්ත්වයාගේ උස අඩි 18 කි. දත් 5000 කි. මේ සත්ත්ව සිරුර සොයාගෙන තිබෙන්නේ චාර්ල්ස් එච්. ස්‌ටර්න් බර්ත් නම් පෘථිවි ගර්භාත්කරගත ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙහි නියුක්‌තව සිටි ශාස්‌ත්‍රඥ මහතා ඇතුළු පිරිසකටයි. ඇමරිකන් කෞතුකාගාරයේ මේ සිරුර අදටත් තිබේ. වර්ෂ 1909 දී එහි ප්‍රධාන ධුරය උසුලා සිටි ආචාර්ය ඔස්‌බෝර්න් මහතා මේ සත්වයා ගැන කියා ඇත්තේ 1909 දී පොළොවෙහි ගල් තට්‌ටුවක් හාරාගෙන යන විට පාත්තයකුගේ හොටක ආකාර විශාල හොටක් හා ඇත් බඳක් තරම් මහා ශරීරයක් ඇති සත්වයකුගේ මෘත ශරීරයක් ඔවුන්ට සම්භ වූ බවත්, උගේ සම් මස් නහර කිසිවක් කුණු නොවී වියළී වැලි භූමියක මැරී අධික සූර්යතාපයෙන් කුණුනොව ඇට සම් මස් නහර කිසිම දෙයක් කුණු නොවී සුරක්‍ෂිතව තිබූ බවත්. මේ වර්ගයේ සත්ත්වයන් වාසය කොට තිබෙන්නේ නිව් ජර්සි, මිසිසිපි, ඇලඩාම්, යෝමං, මොංටැනා, ඩැකෝටස් යන රටවල බවත්ය. කතෝලික මිතුරනි, මේ දැන් අපි ඔබ තුමන්ලාට පෙන්වා දුන් ප්‍රවෘත්තිය අනුව සර්වබල යුත් මහා දෙවියකු විසින් මිත්‍යාදෘෂ්ටීන්ගේ පවා ආත්ම නැලවිල්ල සඳහා ඉර හඳ පවත්නාතුරු මහා අපූරුවක් ලෙස ලොව කොතැනකවත් නැති අරුම වස්‌තුවක් ලෙස නොදිරා පවත්නට බොහෝ ඕනෑකමින් ආශිර්වාද කොට සුරක්‍ෂිත කරන ලද සාවියර් මුනිවරයාගේ ආත්ම කූඩාරම, විශේෂ උගත් පූජක කිහිප දෙනෙක් විසින් රෑ දවල් දුක් මහන්සි ගෙන හුලං නොවදින වීදුරු පෙට්‌ටියක ලා පාට ඇතිරිලි මතුයෙහි පරෙස්‌සමින් පොරවා රැකබලා ගෙන සිටලත් වර්ෂ හාරසීයක් ඉක්‌මවන්නටත් පෙර එහි මස් කොටස පිටිමෙන් දිරා ගිය මුත් පොළොවේ ඉතා ගැඹුරු පස් යට මේ තිරිසන් සිරුර කිසි නිලධාරියකුගේ පිළිසරණ මාත්‍රයක් නැතිව වර්ෂ තිස් ලක්‍ෂයක් ධාතු ගුණ සංසර්ගයෙන් පමණත් තවමත් මස් පමණකුදු කුණු නොව තිබීම කතෝලිකයන්ගේ පමණක් නොව ක්‍රිස්‌තියානි යෑයි කියන සෑම අයගේම මැවුම්කාරයාට පා පහරක් දීමක් මෙන් නින්දා ගෙනදෙන කාරණයක් නොවේද? තවත් එම සත්වයාගේ මස් කුණු නොවී පැවැත්මට විශේෂයෙන් හේතු වූ බව කියා ඇත්තේ ඔය දේව සුරක්‍ෂිත සිරුරට විෂ වූවා යෑයි කියන සූර්ය රශ්මි ස්‌වල්පයක් නොව අධික සූර්ය තාපයලු. යුදෙව් හෙවත් ක්‍රිස්‌තියානි දෙවියන්ගේ දේව දුර්වලකමක තරම. ඔවුන්ගේම මහා විද්‍යාඥයෙකුගේම මේ ප්‍රකාශයෙන් ප්‍රත්‍යක්‍ෂ වන අයුරු පෙනේද?
එසේම බර්ලින් සමස්‌ත ශාස්‌ත්‍ර ශාලාව සම්බන්ධ ප්‍රථිවිගර්භ විද්‍යාලයේ ආචාර්ය හැන්ස්‌රෙක් නම් ජර්මන් පඬිතුමාට ජර්මනියට අයත් නැගෙහිර අප්‍රිකාවේ උතුරු පෙදෙසෙහි පොළොව යට තිබී මනුෂ්‍ය ඇටසැකිල්ලක් සම්බ වී තිබේ. එය අවුරුදු 150, 900 ක් පරණ එකකැයි එතුමා පරීක්‍ෂා කර කියා තිබේ. මේ අය විලක ගිලී මළ බව අනුමාන කටයුතු බවත් මළකඳ වළ පතුලට වූවිට ක්‍රම ක්‍රමයෙන් වතුර සමඟ ආවැලි පස් හා රට හුණුද ඒ මත වැටී ඉන් වැසී ගොස් කල්යැමෙන් ඒ වැලි හුණු හයිවී ඒ මැද ඇටසැකිල්ල සුරක්‍ෂිතව තිබුණු බවත් සිතා තිබේ. මේ සිරුර ගැන තවත් සැලකිය යුත්තක් නම් මොවුන් ජීවත්ව සිටි බව කියා ඇත්තේ වෙන මැවුම්කාරයකු මවා ඇති ලෝකයක බවයි. බයිබල් දෙවියා මේ ලෝකය මවා තිබෙන්නේ වර්ෂ හයදාහකට බොහෝ මෑතය. මොවුන් සිට ඇත්තේ වර්ෂ එක් ලක්‍ෂ පනස් දහසකට පෙරය. එතෙක් කල් පෘථිවි ගර්භයේ කිසිම බාහිර ආධාරයක් නැතිව වැළලී පැවති මේ මිනිස් ඇටසැකිල්ලෙහි ඇට කටු, දත් ඔය ශාස්‌ත්‍රඥ පූර්ණ ප්‍රසාදීවරු බොහෝ දෙනෙක් දිවා රෑ ආරක්‍ෂා කළ සිරුරෙහි ඇට කටු තරම් තවම දිරා ගොස් නැති බව පුදුමයකැයි නොසිතිය යුතුයි. මහා භූත ශක්‌තියෙන් හෙවත් ස්‌වභාව ධර්මය සංයෝගයේ බල මහිමයෙන්ම එලෙස ඒ සැම සිදුව ඇති බව දැනගැනීම යහපති."
ඉහත සඳහන් වූයේ පේරාදෙණියේ සඳසිරියේ වැසි පුරාවෘත විශේෂඥ සී. පී. කුලතිලක මහතා විසින් 1952 දෙසැම්බර් මස 27 වැනි දින ගෝවේ මෘත දේහය කාගේද යන මැයෙන් ආරම්භ කරන ලද ලිපි පෙළක අවසාන කොටසයි. මෙම ලිපිවල සඳහන් කොටස් ඔහුගේම වචනවලින් උපුටා දක්‌වන්නට සිතුවේ මීට දශක කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් දැක්‌වූ උනන්දුව සහ භාවිත කරන ලද වචනවල ස්‌වරූපය, එම ශෛලියද පෙන්වනු පිණිසය. ඔහු විසින් උත්සාහ කර ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ආගමික සාස්‌තෘවරයාට හෝ මැවුම්කාර දෙවියන් වහන්සේට හෝ අපහාස කිරීමට නොව මෙම දේහය දෙවියන් විසින් සුරක්‍ෂිත කරන ලද එකකැයි යම් කෙනෙක් කියන්නේ නම් ඔවුන් විසින්ම එම දෙවියන්ගේ බල මහිමය හෑල්ලුවට පත් කරන බැවින් එසේ කිරීමෙන් වළකින ලෙස කියාපෑමටය. දේහය දැන් දිරාපත් වෙමින් පවතින බැවින් බුද්ධ දර්ශනයෙහි සඳහන් වන සියලු දේ අනිත්‍යයි යන්න මෙයටත් බලපා ඇති බවත් දෙවියන් විසින් සුරක්‍ෂිත කොට ඇත්නම් එය සදාකාලික එකක් වනු ඇති බවත්ය. එය සදාකාලිකව සුරක්‍ෂිත වී නොමැති නිසා එම දේහය දෙවියන් වහන්සේ විසින් ආරක්‍ෂා කළ එකක් හෝ දේව බැල්මක් නොලද එකක් බවය. එසේ නම් එය සාන්ත සේවියර් පියතුමාගේ දේහය වීමට නොහැක. එය නම් බෙහෙත් බලයෙන් වසර ගණනාවක් නරක් නොවී තබාගත් රාහුල හිමියන්ගේම දේහය බවයි.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
0 Comments