අන්ත්‍ර ප්‍රදාහය හෙවත් බඩවැලේ තුවාල


ප්‍රශ්නය - පසුගිය සතිවල අප ගුදගත රෝග කිහිපයක්‌ ගැන සාකච්ඡා කළා. භගන්දරය, ගුද විද්‍රdධිය, ගුද භ්‍රංගය යන රෝග ගැන එහිදී කරුණු පැහැදිලි කළා. ඒ අතර අපගේ පාඨකයන් කිහිප දෙනෙක්‌ අපෙන් ඉල්ලා සිටියා බඩවැලේ හටගන්නා තුවාල ගැනත් විස්‌තර කරන්න කියා...

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බඩවැලේ තුවාල හටගැනීම බහුලව පවත්නා නමුත් රෝගීන් වැඩිදෙනා නොදන්න රෝගයක්‌. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ අන්ත්‍ර ප්‍රදාහය හෝ අන්ත්‍රවල ව්‍රණ යන නමින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙයට කියන්නේ Ulcerative Colitis කියලයි. රෝග නිශ්චයේ දී දිගුකාලීන සහ කෙටි කාලීන ලෙස හඳුනා ගන්නා රෝග තිබෙනවා. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක්‌ මාස 3 කට වැඩි කලක්‌ පවතිනවා නම් බටහිර වෛද්‍යවරුන් එයට Chronic හෙවත් නිධන්ගත රෝග තත්ත්වයක්‌ බව කියනවා. ආත්‍රයිටිස්‌, ඇදුම, පිළිකාව, දියවැඩියාව, සිගරැට්‌ බීම නිසා හටගන්නා ඇතැම් පෙණහලු රෝග, සමහර වෛරස්‌ ආසාදන, හෙපටයිටිස්‌, යනාදිය නිදන්ගත රෝගවලට උදාහරණ ලෙස ගත හැකියි. අන්ත්‍ර ප්‍රදාහයත් මෙවැනි නිදන්ගත තත්ත්වයක්‌. මෙය දිගුකාලීනව තිබෙන විට මහ බඩවැල සහ ගුද මාර්ග යන ප්‍රදේශවල තුවාල හටගන්නවා.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහයට සෘජු හේතුව මේ යයි කියන්නට පුළුවන් කමක්‌ නැහැ. එයට බලපෑ හැකි සාධක ලෙස හඳුනාගත් දේවල් කිහිපයක්‌ තිබෙනවා. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ බිඳවැටීම, ජානමය හේතු, බඩවැල්වල තිබෙන බැක්‌ටීරියාවල ක්‍රියාකාරිත්වය සහ පාරිසරික හේතු මෙසේ හඳුනාගත් සාධක ලෙස ගැනෙනවා. තවත් තර්කයක්‌ වන්නේ බටහිර ක්‍රමයේ ආහාර වේලකට සහ සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වීමෙනුත් මේ රෝගය හටගන්නා බවයි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - අන්ත්‍ර ප්‍රදාහය හටගන්නේ මිනිස්‌ ශරීරයේ වැදගත්ම කොටස වන ආහාර ජීර්ණ පද්ධතියට අයත් මහාන්ත්‍රය තුළයි. 

ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්විය හැකියි. මෙය මහාන්ත්‍රයේ කොතැනක හටගත්තාද කියන කාරණය මත තමයි එමගින් ඇති විය හැකි හානිය තක්‌සේරු කරන්නට පුළුවන් වන්නේ. මෙහි රෝග ලක්‍ෂ මුලදී විටින් විට පහල වී අතුරුදන් වෙනවා. මූලිකව හටගන්නා රෝග ලක්‌ෂණයක්‌ සමහර විට සති, මාස, අවුරුදු ගණන් පහුවෙලා තමයි ආපසු පිට දමන්නේ. එහෙත් මේ රෝගයට පොදු ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි රුධිරය සහිත පාචන තත්ත්වය. ඔබ වැසිකිළියට ගිය පසු මළ පිරික්‌සා බැලුවොත් සමහර විට එහි රුධිරය තිබෙන්නට පුළුවන්. නැති වෙන්නටත් පුළුවන්. ඔබේ අන්ත්‍රයේ තුවාල තිබෙනවා නම් ආහාර ගත් සැණින් වැසිකිළි යැමට සිදුවීම ඉතාම ස්‌වභාවිකයි. ඔබේ බඩවැල් තුවාල තිබියදී කෙඳි සහිත ආහාර, කුළුබඩු බහුල ආහාර ගත්තොත් පාචන තත්ත්වයන් ඇති වෙනවා නම් එය මේ රෝගයේ ලක්‍ෂණයන් විය හැකියි.

දෙවැනි රෝග ලක්‍ෂණය තමයි උදරයේ වේදනාව. ආහාර ගැනීමෙන් පසු ඔබේ බඩ පෙරළෙනවාක්‌ වැනි තත්ත්වයක්‌ හට ගන්නට ඉඩ තියෙනවා. අන්ත්‍ර ප්‍රදාහය තිබෙන තවත් සමහරුන්ගේ සන්ධි ඉදිමෙනවා. තවත් සමහරුන්ට දීප්තිමත් ආලෝකය දිහා බලන්නට බැහැ.

තුන්වැනි රෝග ලක්‍ෂණය හැටියට අප ගන්නේ විඩාවයි. ඔබට අන්ත්‍ර ප්‍රදාහය තිබෙනවා නම් විඩාව දැනෙනවා. එය අසාමාන්‍ය විඩාවක්‌. ඊළඟට ඔබට ආහාර අරුචිය හටගන්නවා. ඒ පාචන තත්ත්වය නිසා ආහාරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ උකහා ගන්නට බඩේ අන්ත්‍රවලට බැරි වීමයි. නිතර පාචනය තිබුණොත් ඔබේ මහ බඩවැල ඉදිමෙනවා. ඒ අතර බඩවැල් තුවාලවලින් ලේ ගලන නිසා රක්‌තහීනතා තත්ත්වයත් ඇති වෙනවා. නිතර නිතර මළ පහකිරීමේ අවශ්‍යතාව මතුවන නිසා ඔබට රාත්‍රී නින්ද හරියට ලැබෙන්නෙත් නැහැ. ඒ එක්‌කම ඔබ විජලනය වෙනවා.

මෙහි ඊළඟ ප්‍රතිඵලය තමයි ශරීරයේ බර අඩුවීම. ඒ අතර ඔබේ මුඛය තුළත් සමෙහිත් කුඩා තුවාල හට ගන්නවා. ඔබේ සම මත කුෂ්ඨ රෝග තත්ත්වයකුත් මතු වෙනවා.

Post a Comment

0 Comments