මල් වත්ත පාර


පිටකොටුව ප්‍රධාන මාර්ගයේ සිට වරාය දෙසට ගමන් කිරීමට වැටී ඇති අතුරු මාර්ගය මල් වත්ත පාර ලෙස හඳුන්වනු ලැබේ. පාරේ නම නම් හරිම සුන්දරය. එහෙත් ඒ මල්වත්ත පාර නම් හරිම අසුන්දරය. ඒ මග දෙපස විවිධ වෙළෙඳාම් කරගෙන යන ව්‍යාපාරිකයන්ගේ ජීවිත මෙන්ම එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ද කටු ගොඩකි. පසුගිය දිනක අපි ඒ කටු ගොඩට පය තිබ්බේ වෙනස්‌ වූ කොළඹ, පැරැණි මල්වත්ත පාර ගැන කතා කිරීමටය. එහෙත් දැන් අපට කතා කිරීමට සිදුව ඇත්තේ මල්වත්ත පාරේ පරණ පාවහන් වෙළෙඳුන්ගේa අලුත් අවුලක්‌ ගැනය. අවුල ඇති කර ඇත්තේ රට අවුල් කරන දේශපාලන මඩගෝහුරුවේ මඩ තලන, යහපාලන ආණ්‌ඩුවේ කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ඇමැතිවරයෙක්‌ය. මල්වත්ත පාරේ පාරම්පරික වෙළෙන්දන් කියන විදිහට අවුල ගැට ගැසෙන්නේ මෙසේය.

මල්වත්ත පාර යනු අතීතයේ සිට විවිධ ජන කොටස්‌ ජීවත් වන තට්‌ටු නිවාස, පැල්පත් වැනි අනේකවිධ ජීවන ශෛලීන්ට ඉඩකඩ සැලසූ ප්‍රදේශයකි. එමෙන්ම ත්‍රීවීල් රියෑදුරන්, සංචාරක වෙළෙඳුන්, පදික වෙළෙඳුන්, පෙට්‌ටි කඩ වෙළෙඳුන් මෙන්ම සුපිරි වෙළෙඳසල් ඇතුළු සියලු වෙළෙඳාමෙන් සැදුම්ලත් වාණිජ ප්‍රදේශයකි. අලුත්, පරණ පාවහන්, ඔරලෝසු, බෑග්, ජංගම දුරකථන, ඉලෙක්‌ට්‍රොනික්‌ උපාංග, විදුලි උපකරණ සහ සී.ඩී වෙළෙඳසල් පාර දෙපස එක පෙළටය. එහෙත් මෑතක සිට ඒ මල් පාරේ වෙළෙඳුන් වෙළෙඳාම නැතිව වේලෙන්නේය. රුපියලක ආදායමක්‌ නැති දවස්‌ ද ඒ අතර බොහෝ ඇති බව වෙළෙන්දෝ අපට කීහ. ඒ අල්ලපනල්ලේ යහපාලන ආණ්‌ඩුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ ඇමතිවරයකුගේ 'වන්දිභට්‌ටයන්' පිරිසක්‌ බලහත්කාරයෙන් මල්වත්ත පාරේ පරණ පාවහන් විකිණීමට පටන්ගෙනය.

'අපි මේකෙ උපන් අය. සුද්දගේ කාළෙ ඉඳලා මේ පාරේ බිස්‌නස්‌ කරනවා. රෝහිණි පටු මග, දෙවැනි පටු මග, මයිල පටු මග සහ මැලිබන්වීදිය දිගටම කරගෙන යන්නේ පරණ සපත්තු වෙළෙඳාම. මල්වත්ත පාරේ පැරැණිම බිස්‌නස්‌ එකත් පරණ සපත්තු බිස්‌නස්‌ එක තමයි. මේ බිස්‌නස්‌ එකත් සුද්දගේ කාලේ ඉඳලා පැවත එන එකක්‌. අපේ සීයා, කිරිකිත්ත බිස්‌නස්‌ කළෙත් මේ පාරේ. ඒ ලෑල්ලේම තමයි අද අපි බිස්‌නස්‌ කරන්නෙත්. එහෙම අයිතියක්‌ තියෙන අපිව තමයි අහසින් පාත් වුණු උන් පන්නන්න හදන්නේ. අපිවත් එහෙම ලේසියෙන් පාරට ඇදලා දාන්න බෑ. දේශපාලන බලය නිසා තමයි අපි සීන් එකෙන් ටිකක්‌ හරි පසු බැහැලා ඉන්නේ. නැත්තම් දන්නවා මොකද්ද කරන්න ඕනා කියලා...' පාසල හැරගියදා සිට පරණ පාවහන් සමග මල්වත්ත පාරේ පිච්චෙන තරුණයා දැන් අප ඉදිරියේ පිට කරන වචන ද ගිනියම්ය. එක දිගට කතා කරගෙන යැමට බැරි තරමට ඔහු ආවේගශීලීය. ඔහු නිහඬ වූ පුංචි විරාමයට කතාවට ප්‍රවිෂ්ට වූ 'මල්වත්ත පාරේ එක්‌සත් තරුණ කැළ සංවිධානයේ' සභාපති දිල්රුක්‌ ප්‍රියන්ත සංයමයෙන් යුක්‌තව කතාව මෙසේ පැහැදිළි කළේය.

''අපි අතර ජාති බේද නෑ. අපේ සංවිධානයේ ඉන්න සියලුම සාමාජිකයන් මල්වත්ත පාර අවට පදිංචිකරුවන්. එදා කාලේ ඉඳලා සහෝදරයෝ වගේ අව්වේ වේලිලා දුක්‌මහන්සි වෙලා තමයි අපි හම්බ කරගෙන කෑවේ බිව්වේ. කාගෙවත් දෙයක්‌ කඩා වඩාගන්න ගියෙත් නෑ. කාටවත් අත පාන්නෙත් නෑ. කුක්‌කෝ වගේ දේශපාලනඥයෝ පස්‌සෙ යන්නෙත් නෑ. අපේ පාඩුවේ බිස්‌නස්‌ එක කරගෙන ඉන්නකොට තමයි අපිට මේ කරදර එන්න පටන් ගත්තේ. අපිට මල්වත්ත පාර සම්පූර්ණයෙන් ලීයා දීලා නැති බව ඇත්ත. ඒත් අපි හදාගත්ත බිස්‌නස්‌ එකක්‌ තියෙනවා. මේ අද ඊයේ බිස්‌නස්‌ එකක්‌ නෙමෙයි සුද්දගෙ කාලේ ඉඳලා කරගෙන එන බිස්‌නස්‌ එකක්‌. බිස්‌නස්‌ එක කරගෙන යන්න අපිටම කියලා වෙන් වෙච්ච ඉඩක්‌ තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ අපේ සංවිධානය මැදිහත් වෙලා නගර සභාවට කතා කරලා මල්වත්ත පාරේ කඩ හාරසීය එකකට අවසර අරගෙන තියෙනවා. ඒ කඩවලින් පරණ සපත්තු වෙළෙඳාමට කඩ හැටක්‌ වෙන් කරගත්තා. අපිට දුන්නේ අඩි 4X4 ක ප්‍රමාණයක්‌. ඒ ප්‍රමාණය වෙළෙඳාම් කරන්න මදි නිසා ආයෙමත් අපි නගර සභාවත් එක්‌ක කතා කරලා අඩි 4X5 ප්‍රමාණයකට අවසර ගත්තා. ඒ කඩ අතර තියෙන්නෙත් පුංචි ඉඩක්‌. අන්න ඒ ඉඩේ තමයි දේශපාලන හයිය අරගෙන අලුතින් කඩ දාන්න යන්නේ. ඒත් පාඩුවේ බිස්‌නස්‌ කරනවා නම් අපිට ප්‍රශ්නයක්‌ නෑ. උන් ඇවිත් අපිට ඇමැති ගෙම්බර් පාට්‌ දාල අපේ ඉඩත් කොල්ල කන්න හදනවා. එහෙම කඩ හදාගෙන ආපු කිහිප දෙනෙක්‌ කියනවා අපි මනෝ ගනේෂන්ගේ මිනිස්‌සු කියලා. තව දෙතුන් දෙනෙක්‌ කියනවා මේ ඇමැතිගේ පුතාගේ අය කියලා. කාගේ මොකෙක්‌ වුණත් අපිට ප්‍රශ්නයක්‌ නෑ. අපි කියන්නේ අපේ කඩ කොල්ල කන්න එපා කිsයලයි. අනිත් එක මේ අය සපත්තු විකුණන තැන එළවළු විකුණන්න යනවා. එළුවළු විකුණන තැන සපත්තු විකුණන්න බෑ වගේම තමයිs සපත්තු විකුණන තැන එළවළු විකුණන්නත් බෑ. ඇමැතිවරුන්ගෙන් ඇවිල්ලා තියෙන අය සපත්තු බිස්‌නස්‌ කරන අය නෙමෙයි. ඒ අය වෙනත් බිස්‌නස්‌ කරපු අය. ඒ මිනිස්‌සු මෙතැනට ඇවිල්ලත් කරන්න හදන්නේ ඒ බිස්‌නස්‌මයි. ඇමැතිවරු කරන වැඩ නිසා ඒ මිනිස්‌සුත් අසරණයි අපිත් අසරණයි...''

''අවුරුදු විස්‌සක විතර කාලයක ඉඳලා අපි මේ දේශපාලන ප්‍රශ්නවලින් බැට කනවා. තියෙන මිනිහට දේශපාලන හයියත් තියෙනවා නැති මිනිහට කටේ හයිය විතරයි. මෙතැන මහ ලොකු බිස්‌නස්‌කාරයෝ කවුරුවත් නෑ. හුඟ දෙනෙක්‌ එදිනෙදා බඩු දාන්නේ සීයට 15, 20 පොලියට සල්ලි අරගෙන. පොලිය ගෙවන්නත් ඕන. අපි කන්න බොන්නත් ඕන. හිටපු ගමන් පොලිසිය ඇවිත් මේ තට්‌ටු කඩලා ගිහාම ඒවා හදාගන්නත් ඕන. ඒ ඔක්‌කොම කරන්න ඕන මේ බිස්‌නස්‌ එකෙන් ලැබෙන සොච්චමෙන් තමයි. අනිත් එක වටිනා කියන සපත්තු දෙකක්‌ අඩු මුදලකට ගන්න තියෙන ලංකාවේ එකම තැන මේ මල්වත්ත පාර විතරයි. ලෝකෙ තියෙන ඕනෑම වටිනා සපත්තු මේ මල්වත්ත පාරේ තියෙනවා. බොහෝම සාධාරණව තමයි අපි බිස්‌නස්‌ කරන්නේ. එහෙම බිස්‌නස්‌ කරගෙන යන අපිව තමයි දේශපාලන හෙන්චයියන් ඇවිත් නැති කරලා දාන්න හදන්නේ. පහුගිය ආණ්‌ඩුවෙන් සම්පූර්ණයෙන්ම අපේ කඩ ඉවත් කරන්න ගියා. කිහිප වතාවක්‌ම පොලිසිය ඇවිත් අපේ තට්‌ටු කඩලා ගියා. දෙයියෝ බලලා ඒක නතර වුණා. ඊට පස්‌සේ ආයෙමත් හෙණහුරොA පාත් වෙලා. කාලයක ඉඳලා මෙතැන බිස්‌නස්‌ කරගෙන ගිය අහිංසක මිනිස්‌සුන්ව එළවළා ඇමැතිගොල්ලන්ගේ අය දානවා. සමහර ඇමැතිවරුන්ගෙ අය ඇවිල්ලා මේ කඩේ ඕනා, අර කඩේ ඕනා කියලා ඉල්ලනවා. ඉල්ලන පලියට අපේ තැන දෙන්න අපි කල්ලතෝනින ද මහත්තයෝ. අර පේන්න තියෙන්නේ අපේ ගෙවල්. දරුමල්ලෝ පිටින් අපි පදිංචි වෙලා ඉන්නේ ඔය ගෙවල්වල...'' දිල්රුක්‌ගේ කතාව මැදට පැන්න සමන්ත කියන වචන තරමක්‌ සැරය. එහෙත් ඔහු කියන කතාවේ ඇත්තක්‌ ද තිබේ. සමන්ත කියන කතාව තහවුරු කිරීම සඳහා ඔවුන් පදිංචිව සිටින තට්‌ටු නිවාස පෙළක්‌ ද අපට පෙන්නුවේය. ඉරි තැලී, පතුරු හැලී යන ඒ තට්‌ටු නිවාස ද මිනිස්‌ වාසයට නොසුදුසු තරම්ය. සුළං පොදක්‌ ගෙට නොඑන ඒ තට්‌ටු නිවාසවල ජීවත්වීම ද මල්වත්ත පාරේ ගිනි කනවටත් වඩා අසීරු කාර්යයක්‌ බව අපට පෙනෙන ඇත්තය.

''දේශපාලනඥයෝ කොල්ල කන්න හදන්නෙ අපේ උරුමය මහත්තයෝ. මේකත් කොල්ලකා ගත්තම අපි මොනවද කරන්නේ. අපිට මේ පොළවේ ජීවත් වෙන්න අයිතියක්‌ නැද්ද. එහෙම නැත්නම් අපිට කියන්නේ මංකොල්ල කන්න කියලද... මිනී මරන්න කියලද... අපි වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නෑ. ඉන්නේ අපිම විතරයි...'' නටබුqන් වෙමින් තිබෙන තට්‌ටු නිවාස අතර අතරමං වී සිටි අප සමන්තගේ කතාවට නැවත ඇහැරිණි. එහෙත් අපට තියෙන ගැටලුව සමන්තලා කියන කතාව බලධාරීන්ට නොතේරීමය.

රට පත්ව ඇති අවුල් සහගත තත්ත්වයෙන් නිරවුල් කර ගැනීම සඳහා ජනතාව විසින් යාහපාලනයක්‌ ඇති කරගත්තේය. එහෙත් තව තවත් අවුල පැටලුණා මිස ලිහුනේ නැත. දැන් අවුල අච්චාරුවක්‌ වී හමාරය. ඒ අච්චාරු හැලියේ ඇඹුල කෑමට නැවතත් දේශපාලනඥයන් පොරපිටියට පැමිණ ඇත. 'හඳ දෙන්නම්, ඉර දෙන්නම්' කියා දේශපාලන වේදිකා පුපුරන්ට මොර දෙන්නේය. කවුරු ආවත් බෙදන හැන්ද එකය. උන්ගේ අයට රස කෑම සහ අහිංසක මිනිසුන්ට ඉඳුල්ය. මේ දේශපාලන ක්‍රමය තුළ අහිංසක දුප්පත් මිනිසුන්ට කිසිදු සෙතක්‌ නැත. මල්වත්ත පාරෙන් මේ ප්‍රදර්ශනය කරමින් තිබෙන්නේ ද එකී යථාර්ථයමය.

තරංග රත්නවීර
පින්තූර සමන් අබේසිරිවර්ධන

Post a Comment

0 Comments