වසර හාරසියයක් පමණ පැරණි කුරුණෑගල ගැට්ටුවානේ වෙද පරම්පරාවේ සාමාජිකයකු වන වෛද්‍ය වසන්ත උදයජීව මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපාධිධරයෙකි. ආත්රයිටිස් හෙවත් ආම වාතය, අංශභාගය, පිළිකාව ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති ඔහු ආත්රයිටිස් රෝගය සම්බන්ධයෙන් වයඹ පළාතේ සිටින හොඳම ආයුර්වේද වෛද්‍යවරුන් අතුරින් කෙනෙකි. අද සිට දිවයින මේ ලිපි පෙළ මගින් ඔහු සමඟ සාකච්ඡා කරමින් විවිධ රෝගාබාධ ගණනාවකට සුදුසු ප්‍රතිකාර ඉදිරිපත් කරනවා ඇත.
ප්රශ්නය - රූමටික ආත්‍රයිටීස් රෝගය නිසා හානියට පත්විය හැකි ශාරීරික ඉන්ද්‍රීන් ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. සාමාන්‍ය පිළිගැනීම වන්නේ ආත්‍රයිටීස් රෝගය නිට්ටාවට සුවකළ නොහැකි බැවින් කළමනාකරණය කර ගැනීම වඩා සුදුසු බවයි. ආයුර්වේදය මගින් කරන්නේ රෝගය සුව කිරීමද නැත්නම් කළමනාකරණය කිරීමද?
වෛද්‍ය වසන්ත උදයජීව - දෙකම කරනවා. මුලින්ම කළමනාකරණය කරනවා. ඉන්පසු නිට්ටාවට සුව කරනවා. ඊළඟට සුවපත් වූ පශ්චාත් රෝග තත්ත්වය නැවත වරක් කළමනාකරණය කරගත යුතුයි. එය සිදු කරන්නේ ආහාර සහ විහරණවලින්. ඒ දෙක වැරැදුණොත් ආයි මුල සිට පටන් ගත යුතු වෙනවා. එය හරිම කරදරකාරී වැඩක්. ඒ නිසා කටත් (ආහාර), හැසිරීමත් (විහරණ) පාලනය කළාම ඔක්කොම හරි.
ප්රශ්නය - ආත්රයිටිස් රෝගය පුරාණ වෛද්‍ය ශාස්ත්‍රය තුළ අර්ථ නිරූපණය කරන්නෙ කොහොමද?
වෛද්‍ය වසන්ත උදයජීව - චරක සංහිතාව සහ මධව් නිධාන (මේ ග්‍රන්ථය ලියා ඇත්තේ 7 වැනි සියවස සහ 8 වැනි සියවස අතර ජීවත් වූ මාධව-කර නමැති ආයුර්වේද ශාස්ත්‍රඥයා විසින්. පරිච්ඡේද 79 කින් යුතු මේ ග්‍රන්ථයේ රෝග ගණනාවක් සහ එයට නිධාන වන කරුණු දහස් ගණනක් ඇතුළත්. වසූරිය රෝගයට වෙන්වූ වෙනම පරිච්ඡේදයන් මෙහි තිබෙනවා. වසූරිය හෙවත් මසුරිකා රෝගය ගැන පුළුල් වශයෙන් සාකච්ඡා කළ පළමු ආයුර්වේද වෛද්‍යවරයා ඔහුයි) යන ග්‍රන්ථවල ඇත්තේ ආත්‍රයිටීස් රෝගය ස්නායු ආබාධයක් බවයි. එහෙත් වෙනත් ආයුර්වේද ගුරුකුල කියන්නේ මෙයට මුල ආම වාතය බවයි.
ආමය කියන්නේ ආහාරවල නොදිරවූ කොටස් නිසා හටගන්නා විෂකාරකයන් බව ආයුර්වේදයේ කියනවා. වාත කියන්නේ ශරීරය පෙළන ත්රිදෝෂවලින් එකක්. ඉතිරි දෙක තමයි පිත සහ කප. ආයුර්වේදය කරන්නේ ත්‍රිදෝෂ අසමතුලිත භාවය නිසා හටගන්නා රෝගාබාධ සුව කිරීමයි. ඒ සඳහා ආහාර සහ විහරන මගින් ත්‍රිදෝෂ සමතුලිත එහෙමත් නැත්නම් බැලන්ස් කරනවා. චරක සංහිතා ග්‍රන්ථයේ මෙහෙම සඳහන් වෙනවා. ශරීරයේ වාතය අසමතුලිත වූ විට එනම් වාතය ඉහළ ගිය විට අත් පාවල සහ සන්ධිවල දරුණු වේදනාකාරී තත්ත්වයක් හට ගන්නවා. එසේම එය කිසියම් සන්ධියකට සංකේද්‍රණය වුණාම එතැන හුළං පිරුණු මුත්‍රා බොක්කක් මෙන් පිම්බී වේදනා දෙන්න පටන් ගන්නවා. මෙය තමයි ආත්රයිටිස්.
ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අර්ථ නිරූපණවල හැටියට ඉහළ නගින වාත මට්ටම ශරීරයේ හැම සන්ධියකින්ම මතු වන්නේ නැහැ. එය එක සන්ධියක සිට තවත් සන්ධියකට ක්‍රමානුකූලව පැතිර යනවා. උදාහරණයක් ලෙස එක් වැළමිටකට රෝගය වැළඳෙනවා. ඊළඟට එය හැදෙන්නේ අනෙක් වැළමිටට.
ආත්‍රයිටීස් රෝගයට පදනම්වී තිබෙන වාත තත්ත්වය නිසා එයට ප්‍රතිකාර වශයෙන් දෙන ශාකසාර ඖෂධ සියල්ලම වාගේ වාත නාශක ගුණයෙන් පිරුණු දේවල්. හැබැයි වෛද්‍යවරයා ඒ ඖෂධ රෝගියාට නියම කරන්නේ සුදුසු මාත්‍රාව සැලකිල්ලට අරගෙනයි. මේ නිසා ආත්රයිටිස් රෝගියා නිතර වෛද්‍යවරයකු වෙත යැම තමයි සුදුසු වන්නේ.
ප්රශ්නය - ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී කහවලින් කළ හැකි මෙහෙවර ඉතා විශාල බව පසුගියදා අපට දැන ගන්නට ලැබුණා.
වෛද්‍ය වසන්ත උදයජීව - රූමටොයිඩ් ආත්‍රයිටීස් සහ ඔස්ටියො ආතරයිටිස් යන රෝග තත්ත්ව දෙකටම කහ මගින් ප්‍රතිකාර කළ හැකියි. ප්‍රදාහ තත්ත්වයත් සමඟ සටන් කරන්නටත් ශරීරයේ විෂ සහිත තත්ත්වයන් ඉවත් කරන්නටත් කහවලට පුළුවන්. කහ වල තිබෙනවා Curcumin කියන සංයෝගය. එය තමයි ක්‍රියාත්මක වන්නේ. ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මගින් රූමටික ආත්රයිටිස්වලදී ප්‍රතිකාර වශයෙන් කහ යොදා ගැනීම ගැන සාර්ථක පර්යේෂණ රැසක් කර තිබෙනවා.
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
0 Comments