එදා කොත්මලේ බඹර කැපූවේ මෙහෙමයි

නාවලපිටිය නගරයේ සිට සැතපුම් හයක්‌ ගිය විට කොත්මලේට අයත් හරංගල පිටිසර ගම්මානය හමුවෙයි. 1979 සිට අවුරුදු දහතුනක්‌ පමණ මම එහි විදුහල්පති පදවිය දැරුවෙමි. කොත්මලේ ව්‍යාපාරය ඇරැඹී තිබූ නිසා පැරණි කොත්මලේ නූතන තාක්‍ෂණය සමඟ මිශ්‍රව ජීවිතය අවුල් වූ අවධියක්‌ එදා දිස්‌ විය. විදුහලට අවුරුදු පණහ පිරීම නිමිත්තෙන් විශාල උත්සවයක්‌ දින තුනක්‌ පවත්වා කොත්මලේ ගැන මා ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ එහිදී නිකුත් විය. මේ උත්සවයේ වැඩි බරක්‌ දැරුවේ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි නවරත්න මහතාය. ඒ වනවිටත් අවුරුදු පණහකට පමණ පෙර කොත්මලෙන් අතුරුදන්ව තිබූ මල් එළිය නමැති පැරණි දේව නැටුම ඔහු දැක තිබී එදා උත්සවයේදී ඔහු පුරුදු කළ ළමුන් කණ්‌ඩායමක්‌ අති උත්කර්ෂවත්ව මල් එළිය රඟ දැක්‌වූහ. නියම වත් පිළිවෙත් අනුව නැටුම රඟ දක්‌වන විට දේව ආකර්ෂණය ඇති වෙයි. නළුවෝ දේව දිෂ්ටියෙන් පේන කියති.

නවරත්න මහතා පැරණි කොත්මලේ ජන ජීවිතය ගැන අසීමිත අත්දැකීම් ඇති අයෙකි. ඔහු තම වැඩිහිටි පරපුරෙන් අසා දැනගෙන තිබූ බොහෝ පැරණි තොරතුරු විවේක වේලාවල රසවත්ව කීමට පුරුදුව සිටියේය. කොත්මලේ දැනට අතුරුදන් වී ඇති බඹර කැපීම පිළිබඳ මේ ත්‍රාසජනක සිද්ධිය ඔහු මට විස්‌තර කළ අයුරු අදත් සිතේ කා වැදී පවතී.

"දැන් මේ කොත්මලේ සෙනඟ වැඩිවෙලා. මහවැලියට පාරවල් හරස්‌ කරලා. කැලෑ පිරිලා තිබුණු කැලෑ අඩවි දැන් නැත්තටම නෑ කියන එක තමා හරි. කැලෑ නැතිවෙන්න හේතු කිහිපයක්‌ බලපෑවා. ආණ්‌ඩුවෙන් වගේම තේ වතුවලින් සහන මිලට කැලෑ ඉඩම් සුළු මුදලට බෙදුවා. ගම් පළල් කිරීම යටතේ කැලෑ ඉඩම්වල අලුත් ගම් කොළණි ඇති කළා. මිනිස්‌සු බලෙන් කැලෑ අල්ලා ගෙන එළි කළා. හොරෙන් ගෙස්‌ කපන එක පැතිරිලා ගියා. ඉතින් කැලෑ නැතිවෙන එක පුදුමයක්‌ද? දැන් කාලෙට ඉස්‌සර බඹර කැලේ, බෝපත්තලාව, රම්බොඩ, කඩදොරපිටිය, දුම්මළගස්‌තලාව, විල්කඩ, මොණරාගල, ක්‌වීන්ස්‌බෙරි ලොකු කැලෑ දිවියා වළහා හිටපු කැලෑ ඒ කාලේ කුඹුරු කපලා ඉවර වුණාම ගම්මු කණ්‌ඩායම් විදිහට එකතු වෙලා හාල්, තුනපහ, පොරෝකෙටේරි, පිහියා, හට්‌ටි මුට්‌ටි බැඳගෙන සුමාන තුන හතරක්‌ නවතින්න බලාගෙන බඹර කපන්න මේ කැලෑවලට යන එක පුරුද්දක්‌ වුණා. ඒ යන්නේ නැවතිලා උයා පිහාගෙන කාලා දඩයම් කරගෙන බඹර කපලා බඹර පැණි, බඹර ඉටි, දඩ මස්‌ බැඳගෙන එනවා. අද බඹර කැලේ, බෝපත්තලාව, කොටගල වගේ කැලෑ අයිති නුවරඑළියට කොත්මලේට අයිති නෑ.

බඹරවල පැණි වැඩි කාලයක්‌ තියෙනවා. ඒ නෙලූ මල් පිපෙන කාලයට කැලැවල වැඩි උස නැති නෙලු කියලා පැළෑටියක්‌ වැවිලා එක යායට පැතිරිලා මල් පිපෙනවා. නෙලුමල් පිපෙන කාලයට මී මැස්‌සෝ බඹරු ඒවායේ පිරිලා නෙලු ජාති දෙකක්‌ තියෙනවා. එකක්‌ වැල් නෙලු අනෙක රත් නෙලු. රත්නෙලු පිපෙන්නේ අවුරුදු හතකට සැරයක්‌ කියලා තියෙනවා. රත් නෙලුවල පැණි වැඩියි. නෙලු මල්වල පැණි බීලා ලොකු නෙලු මීයෝ හැමතැනම දඟලනවා. දඩයමේ යන අය උල්වලින් ඇනලා උන් මරලා කෑමට ගත්තා. නෙලු පිපෙන කොට වළස්‌සුත් පැණිවලට ඇදිලා එනවා ඒක හරි අවදානම් අනතුරක්‌.

ලොකු ගස්‌ උස ගල් පර්වත ගල් කුහරවල බඹර බඳිනවා. උස්‌ තැන්වල බඳින බඹර කපන එක හරි අමාරුයි. එතකොට ඉස්‌සර වෙලා මැස්‌සක්‌ බැඳ ගන්නවා. මැස්‌සට නැඟලා උස ගලට නැත්නම් ගහට හයිය වැල්වලින් හැර පොට බැඳ ගන්නවා. මේ හැරපටවල එල්ලිලා ගිහින් තමා බඹරවලට ළං වෙන්නේ. එක ළඟ බඹර කිහිපයක්‌ තිබුණොත් කපන එක අවදානම් හේතුව එකක මැස්‌සෝ ඇවිස්‌සුණොත් අනෙක්‌ බඹරුත් ඇවිස්‌සෙනවා. බඹර කපන්න යන අය කැලේ වාඩි ගහගෙන සූදානම් වෙනවා. බඹර කපන අය කෙටි පොරව පිහියා, මුට්‌ටි, හැරපට කඹ අරගෙන යනවා. එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ පැලේ නවතිනවා. මැස්‌ස ගහගෙන බඹරු එළවන්න. මඩි අරගෙන යනවා. මඩිය කියන්නේ හොඳට ඇවිලෙන වියළි කොළ ජාතිවලින් හදාගත්තු දුම නඟින පන්දම්. මේ මඩි ඇල්ලුවාම බඹරු බඹරේ අතහැරලා උඩට ඉගිලෙනවා. උන් ආපසු එන්න ඉස්‌සර හැරපට දිගේ ගිහින් බඹරේ කපා ගන්න ඕනෑ. බඹරවල පැණි වද වෙනම පිළව් වද වෙනම කපාගෙන වෙන හැරපටවල් දිගේ බිමට මුට්‌ටිවලින් බානවා. හොඳ බඹරෙකින් පැණි කළයක්‌ ගන්න පුළුවන්. බිම ඉන්න අය උඩින් බාන මුට්‌ටි බිම තියෙන භාජනවලට හලාගෙන මුට්‌ටි ආපහු ඉහළට යවනවා. සමහර වෙලාවට ලොකු ගල් දෙබොක්‌කාවල බඹර කපන්න දාඩිය මුගුරු පෙරාගෙන ගලදිගේ නඟින්න වෙනවා.

අපි මේ ඉන්න හරංගල ගමේ ගම ඉහළින් දිගටම අඩි තුන්දාහට වැඩි උස හැතැප්මක්‌ විතර දිග ලක්‌පාන ගල් පර්වතයේ විහිදෙනවා. ලප්පාන ගල වටේම කැලෑව හැර බැඳලා බඹර කැපූ හින්දම මේ ගමේ නම හැරගල කියන එක තමා පස්‌සේ හරංගල වෙලා තියෙන්නේ. අවුරුදු හත අටක්‌ මිනිසුන්ට අහු නොවී එක පිට එක පැණි වද පිළව් වද පිරිලා තියෙන ලොකු බඹර, කලාතුරකින් අහුවෙනවා. එව්වට කියන්නේ "යකිනි බලිය" කියලා. අවුරුදු ගණන් පැණි පිරුණු පරණ බඹරවලට යක්‍ෂ බැල්ම වැටෙනවා. කපන එක හරිම අවදානම්. ස්‌පිට්‌ල් මහත්තයා ලියපු " මැකී ගිය දඩමං" කියන පොතේ මේ යක්‍ෂ බැල්ම වැටෙන යකිනි බලි. ගැන විස්‌තර කරනවා. බඹරු ආපහු පාත්වෙනකොට මඩිය අල්ලලා ආයෙත් උන් උඩට එවනවා. බඹර කපලා ඉවර වෙලා එදා කපපු පැණි වද පිළව් වද ඉති ඔක්‌කොම පැලට අරන් යනවා. පැලේ දී ඒවා මිරිකලා භාජනවලට එකතු කර ගන්නවා. ඒකට ලොකු මුට්‌ටි යොදා ගන්නවා. පිළව් මඳ අව්වේ වේලා ගන්නවා. ඉටි වෙනම එකතු කරනවා. දඩයම් කළ සත්තුන්ගේ මස්‌ දුම්මැස්‌සේ නැත්නම් අව්වේ වේළා ගන්නවා. ඒ අස්‌සේ ගෝනල - කටුවල වගේ අල හාරා ගන්නවා. පැලේ දී බත් එක්‌ක වැඩිපුර කෑවේ දඩමස්‌ උයාගෙන. බඹර කපපු හැටි මේ කවියෙන් පේනවා.

"බලන් කන්ද කොටගල ඉස්‌මත්තේ යා

බඹර බඳිති දෙවිඳුගෙ මල් වත්තේ යා

එක බඹරෙක පැණි කළයක්‌ ඇත්තේ යා

බඹර කැලේ දී නෑකම් නැත්තේ යා"

මාසෙකට විතර පස්‌සේ පැණි ඉටි දඩ මස්‌, අල ජාති කද බැඳගෙන මුට්‌ටි කර තියාගෙන කැලේ ඉඳලා ඒ අය ගමට එන්නේ වීරයෝ වගේ. බඹර පැණි මුට්‌ටිවල පිරිලා. වේළපු පිළව් වද කුණිස්‌සෝ වගේ කෑමට බැදුමට ගත්තා. බඹර පැණි හරි රසයි. කැලේ නොගිය ළඟපාත අයටත් මේ පැණි ටික ටික බෙදුවා. බඹර පැණි කාලයක්‌ යනකොට හකුරු වගේ මිදෙනවා. ඒවා අවුරුදු කාලෙට උත්සවවලට කැවිලි හදන්න ගත්තා. ඖෂධයක්‌ ලෙස භාවිතා කළ. පැණි අල්ලට අරගෙන කහට තේ බිව්වා. පිළව් වද බැදලා කෑමට ගත්තා.

බඹර කැපීමට ගියාම එනකල් ජීවිතේ අවදානම්, වනාන්තරේ සර්පයෝ වළහා දිවියා ඉන්නවා. රෑ නවතින ගල්ලෙන් පැල්පත්වලට වළහා රිංගනවා. හැර බැඳගෙන ගස්‌, ගල් නඟින එක දෙවියන් බුදුන් සිහිකර ගෙන පණ එපා කියලා කරපු අවදානම් වැඩක්‌. අවුරුදු කීපයක්‌ කැලෑවට බඹර කපන්න ගිය අය ඒ මුහුණ දුන්න අවදානම් රස කර කර පුරසාරම් එක්‌ක කිව්වා. ඒ අය තරුණ අයට පෙනුණේ ලොකු වීරයෝ විදිහට. අද සෙනඟ වැඩිවෙලා කැලෑ එළිවෙලා බඹර බඳින එකක්‌ අඩුයි. අද ඒ ඔක්‌කොම අතීතයට එකතු වෙලා."

නවරත්න මහතා කතාව නවතා මා දෙස බලයි. ඔහු ඒ අතීත අත්දැකීම් කියනුයේ නළල රැළි ගන්වමින් අංගචලන සහිතව ඒ සිද්ධි ජීවමානව මවා පාමින් බව මට හැඟෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන

Post a Comment

0 Comments