වසර 12ක්‌ නේපාල ගුහාවක සිටි බෞද්ධ කත

බුදුන් උපන් දේශය නේපාලයයි. නේපාලය හින්දු රාජ්‍යයක්‌ වුවද එහි වෙසෙන බෞද්ධ ප්‍රතිශතය සියයට දහයකි. ඔවුහු ටිබෙට්‌ බුද්ධාගම අදහති. සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණි සල් උයන පිහිටා ඇත්තේ රුපන්දෙනි දිස්‌ත්‍රික්‌කයේය. අතීත කපිලවස්‌තු රාජ්‍යය මේ ප්‍රදේශය පුරා විසිර තිබිණි.

හදිසියේම නේපාල බෞද්ධයන් සිහිවූයේ ලුම්බිණි සල් උයන ගැන කතා කිරීමට නම් නොවේ. නේපාලයේ වාසය කළ බෞද්ධ කතක්‌ ගැන විස්‌තර අන්තර්ජාලයේ පළවීම නිසාය. ඇගේ විශේෂය කුමක්‌ද? ඇය පුරා වසර 12 ක්‌ කඳුකර නේපාලයේ ගුහාවක වාසය කර ඇත. එහි සිට බවුන් වඩා ඇති මේ කාන්තාව ඇගේ අත්දැකීම් ගැන පවසන්නට නවසීලන්තයට ගොස්‌ තිබේ.

මීටර් 1400 ක්‌ උසින් පිහිටි ගල්ගුහාවක වාසය කළ ඇය නමින් තාරා ඩොයින් ලාමෝය. ඔස්‌ටි්‍රයාවේ උපන් ඇය ක්‍රිස්‌තියානි බැතිමතියක්‌ වුවත් පසුව සිය කැමැත්තෙන්ම බුදුදහම වැළඳගෙන ඇත. නේපාලයට පැමිණ බුදුදහම ගැන විශාල පැහැදීමට ලක්‌වූ තාරා ඒ හරහා ආධ්‍යාත්මික ශාන්තිය ලබාගෙන ඇත. ගල් ගුහාව තුළ වසර 12 ක්‌ ජීවත් වෙද්දී ජීවිත පීඩනය මැකී ගිය බව තාරා කියයි. ගුහාව තුළ බෞද්ධ සම්ප්‍රදායන් අනුගමනය කරමින් කටයුතු කළ කාලය තුළ ඊර්ෂ්‍යා පරවශ හැඟීම් දුරුවී ගිය බව ඇය කිsයයි.

තමා වසර 12 ක්‌ ගුහාව තුළ වාසය කළේ නිවන් මාර්ගය ළඟා කර ගැනීමට බව ඇය කියයි. පසුගිය වසරේදී ඇය සිය අත්දැකීම් ලන්ඩන් නුවරදීද හෙළි කර ඇත. එහෙත් ගුහාවේ වසර 12 ක ජීවිතයෙන් පසු නැවත සාමාන්‍ය මනුෂ්‍ය සමාජයට පැමිණීමේදී විශාල අපහසුවක්‌ දැනුණු බව ඇය කියයි. ඇය පුරා වසර 20 ක්‌ තිස්‌සේ නේපාලයේ ගතකර ඇත්තේ බෞද්ධ උවැසියක්‌ ලෙසිනි.

වජ්‍රයාන බෞද්ධයකු වන ඇය වසර 12 ක්‌ වාසය කර ඇත්තේ ප්‍රකට ටිබෙට්‌ බෞද්ධ දාර්ශනිකයකු මෙන්ම අතිශය පූජනීයත්වයට පත් මිලාරේපා යෝගී තුමාගේ ගුහාවේය.

ගුහා ජීවිතය ගත කිරීම ජීවිතයෙන් පලා යැමක්‌ නොවන බව ඇය කියයි.

සදාකාලික සතුට ළඟාකර ගත හැක්‌කේ මේ මාර්ගය අනුගමනය කිරීමෙන් බව තාරාගේ අදහසයි. මමත්වය අතහැරීම තුළින් සදාකාලික සතුට ලබාගත හැකි බව ඇය කියයි. ඒ සඳහා ගල් ගුහාව තුළ ගතකළ ජීවිතය ඉතා වැදගත් වූ බව මේ ඔස්‌ටි්‍රයානු බෞද්ධ කතගේ අදහසයි.

මීට පෙරද නේපාලයේ ගල් ගුහා ජීවිතය ගැන කිහිප දෙනකුම අදහස්‌ දක්‌වා තිබිණි. නමුත් තාරාගේ ගල් ගුහා ජීවිතය අපට වැදගත් වන්නේ ඇය බෞද්ධ බැතිමතියක නිසාය.

මිලාරේපා ගුහාව පිහිටා ඇත්තේ මට්‌සැන් ගංගාවට ඉහළිනි. යාලව් නගරයට කිලෝ මීටර් 11 ක්‌ උතුරිනි. මිලාරේපා ගුහාව ගැන විස්‌තර විකිපීඩියා වෙබ් අඩවියේද සටහන්ව ඇත.

කෙසේ නමුත් ඉන්දියාව හා නේපාලය අතර නම් බුදුදහම ගැන කඹ ඇදීමක්‌ මතුව තිබේ. එය මිලාරේපා යෝගීතුමාට හෝ තාරාට සම්බන්ධයක්‌ නැත. චීනයේ ආධාර ඇතිව නේපාලය සංවිධානය කළ බෞද්ධ සම්මන්ත්‍රණයට ඉන්දියාව සහභාගි වුණේ නෑ. චීනය ලුම්බිණිය සංවර්ධනයට මැදිහත් වීම ගැන ඉන්දියාව සතුටු වන්නේ නෑ. බුදුන් සඳහා ඇති දේශපාලන අරගලය පිළිබඳ තාරා කවර අදහසක්‌ දරන්නේද යන්න අපි නොදනිමු. ඒ ගැන කතා කිරීමට හෝ ඇය උනන්දු නොවනු ඇත.

චතුර පමුණුව

Post a Comment

0 Comments