එදා ගාන්ධි පසුපස ගිය පුංචි කොලූ පැටියා හමුවුනෙමි

ඉන්දියාවේ ගාන්ධි පදනම බංගලාදේශයේ නොත්අලි ගාන්ධි ආශ්‍රමය හා එක්‌ව සංවිධානය කළ දකුණු ආසියානු තරුණ සාම කඳවුර අර්ථපූර්ණ එකකි. දින හතක කාලයක්‌ මුළුල්ලේ බංගලාදේශයේ අගනුවර වන ඩකා නුවරට දුර බැහැර නොත්අලි ප්‍රදේශයේ ගාන්ධි ආශ්‍රමයේදී පැවති එය පසුගියදා අවසන් විණි.

දකුණු ආසියානු රටවල තරුණ තරුණියන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එය දකුණු ආසියානු රටවල ජාතීන් අතර සාමය සහ සහයෝගිතාව ගොඩනැඟීම මුල්කරගෙන පැවැත්වුවක්‌ වුවත් එම තේමාව ඉක්‌මවූ මානව වර්ගයාගේ සහජීවනය පිණිසම හේතුවන බව පෙනිණි. සැබවින්ම ඉන්දියාවේ නවදිල්ලි ජාතික තරුණ ව්‍යාපෘතිය වසරක්‌ පාසා පත්වන මෙවැනි තරුණ හමුවකින් බලාපොරොත්තු වන අරමුණ එකී ජාතීන් අතර සාමය සහ සහයෝගිතාව ගොඩනැඟීමයි. නමුත් එකී සීමාවෙන් එහා ගිය මානව වර්ගයාටම බලපවත් වන්නා වූ සහජීවනයක්‌ මෙවර වැඩසටහනින් පිළිබිඹු වූ බව ඊට පෙරත් මෙවැනි වැඩසටහන් වලට සහභාගි වූ එහි සිටි බොහෝ දෙනාගේ අදහස විය. එය එසේ සිදුවන්නට හේතුවක්‌ තිබිණි. ඒ බංගලාදේශයේ පැවති දකුණු ආසියානු තරුණ සාම කඳවුර මෙහෙය වූ ආචාර්ය සුබරාවෝ මහතාගේ ජීවන දෘෂ්ටියයි වර්තමාන සමාජයේ සිටින අන්තගාමී සංකල්පයන්ගෙන් හෙබි මිනිසුන් හා සසඳන කළ ඔහුට ඒසා විසල් සංකල්පයක ජීවත්වීමට කියා දුන් පුද්ගලයා වී ඇත්තේ නිදහස්‌" ඉන්දියාවේ මෙතෙක්‌ පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා වන මහත්මා ගාන්ධි නම් ලෝ පතල නායකයායි. සුදු අධිරාජ්‍යයේ අඩුපාඩු වලින් මිදුනු නිදහස්‌ ඉන්දියාවක්‌ සඳහා මහත්මා ගාන්ධි වීදි දිගේ" ඇවිද යමින් නිදහස්‌" සටන මෙහෙය වන විට ආචාර්ය සුබරාවෝ පුංචි කොලු ගැටයෙකි.

ඔහුගේ ජීවිතය මේසා විසල් දැක්‌මකට ලක්‌කළ මහත්මා ගාන්ධි හමුව සිදුවන්නේද එවැනි එක්‌ වීදියකදියි. එම හමුව අහම්බයක්‌ මුත් වර්තමාන ඉන්දියානුවන්ගේ සේම ජාති කුල භේදවලින් පීඩිතව සිටින මානවයාගේ වාසනාවක්‌ යෑයි මට සිතේ. මහත්මා ගාන්ධි අවිහිංසාවාදීව ඉන්දියානු නිදහස්‌ අරගලය මෙහෙයවමින් එක්‌ වීදියක්‌ දිගේ පාද යාත්‍රාවේ යෙදෙයි. එම මාවතේ පසෙකට වී බලා සිටින පුංචි කොලුගැටයෙක්‌ සිය ශක්‌ති ප්‍රමාණයෙන් මහත්මා ගාන්ධි ගෙන යන එම අරගලය හා එක්‌වීමට නිවසින් නික්‌මෙයි. එදිනෙන් පසු යළි නිවසට නොයන ඔහු තම මාතෘ භූමිය නිවහන කරගෙන ඉන්දියාවට නිදහස ලැබෙනතාක්‌ පමණක්‌ නොව අද දක්‌වාම ගාන්ධි චින්තනය ඔස්‌සේ යමින් මානව වර්ගයාගේ සහජීවනය සහ යහපත පතා වෙහෙසෙයි. ඉඳින් ඔහුගේ මගපෙන්වීම මත සත් දිනක්‌ මුළුල්ලේ පැවති දකුණු ආසියානු තරුණ සාම කඳවුර මානව වර්ගයාගේ යහපත සඳහාම හේතු වූ බව බොහෝ දෙනාගේ අදහසයි. විශේෂයෙන් කය වෙහෙසා මිනිසුන් වෙනුවෙන් වැඩ නොකර පුටුවක හිඳ මුදල් පමණක්‌ එක්‌රැස්‌ කරන මිනිසුන් මිනිස්‌ ප්‍රජාවගේ යහපත් පැවැත්මට හානි කර වේ යන්න මහත්මා ගාන්ධි ඇදහු දෙයකි. අද අසු වැනි වියේ සිටියද එම කඳවුරේ සිටි අන් හැමට පෙර අවදිව දවසේ මුල්ම රාජකාරිය පරාර්ථකාමිත්වය සඳහා කැපකර එය අන් අයටද කියා දෙන ආකාරය පැසසුම් සහගතය. ලාංකිකයන් වන අපට බෞද්ධයන් වන අපට පරාර්ථකාමිත්වය අලුත් සංකල්පයක්‌ නොවුණත් ගාන්ධි සංකල්පය ඔස්‌සේ යමින් ඔවුන් එය ක්‍රියාවේ යොදවන ආකාරය නැවුම් අද්දැකීමක්‌ බව නම් කිව යුතුය.

තිස්‌ස ගුණතිලක, බංගලාදේශයේ සංචාරයකින් පසු