මුහුණු පහක්‌ හා අත් දහසක්‌ ඇති විශ්වකර්ම දෙවියෝ

දෙවියන් සමාජගත වූයේ විවිධ හේතු පදනම්කොට ගෙනය. එනම් බිය, පිහිට හා ආරක්‍ෂාව, පළිගැනීම ආදී දේ එහි මූලික කරුණු ලෙස රැඳී තිබිණි. පූජා භාණ්‌ඩ, යාතිකා, සුවඳදුම්, පොල් ගැහිලි, තිර රෙදි හා බාර හාර එම දේව නිර්දේශයේ අනිවාර්ය අංග විය. එහෙත් එම පුද පූජා වලට ලක්‌ නොවූ දෙවියෙක්‌ ජන වහර තුළ මෙන්ම ජනයා අතර ද වෙසෙයි. ඒ විශ්වකර්ම දෙවියාය.

"මේක විශ්වකරුම වැඩක්‌.." විශ්වකරුමයාට මිසක්‌ මේ වැඩේ වෙන කිසිම කෙනකුට කරන්න බෑ" මේකා විශ්වකරුමයෙක්‌ නේ..." මේ ආදී කියමන් බිහිවූයේ අසිරිමත් සුන්දර නෙත් සිත් වශීකරන නිර්මාණයක්‌ දුටු විටය. එම නිර්මාණය අරුම පුදුම එකකි. එහි ඇති අතිසියුම් බව කලාත්මක ස්‌වභාවය නිසා විශ්වකරුම යන නාමය ගැමියන් අතර ප්‍රචලිත විය.

එසේනම් මේ විශ්වකර්ම දෙවියන් කවුරුහුද? ඔහු සතු බලය කුමක්‌ද? වේදයේ ඔහු ගැන මෙසේ සඳහන් වෙයි. 

"ඔහු සියලු දේ උත්aපාදනය කළේය. සියලු සත්ත්වයන්ගේ පියා ඔහු ය. සියලු ලෝකය දන්නා තැනැත්තාත් සියලු වස්‌තු පෙන්වන්නාත් ඔහුය"

විශ්වකර්ම දෙව්ලොව වාසය කරයි. සියලු කර්මාන්තවලට අධිපති ඔහු වන අතර ශක්‍රගේ පරිවාර දෙවියෙක්‌ බව ද කියෑවේ.

"සියලු කලාවන්හි නිර්මාතෘවරයා වූද, සියල්ල මවන තැනැත්තා වූද, ආභරණ නිර්මාපකයා වූද, දිව්‍ය රථ නිමවන්නා වූද, පුද්ගලයා විශ්වකර්ම දෙවියන් ය."

එපමණක්‌ නොව සියලු දෙවිවරුන්ට හා ඔවුන්ගේ වාසභවනයන්ට නම් දෙන්නේද මෙම දෙවියෝය. මේ අනුව විශ්වකර්මට ඇති හැකියාව අරුම පුදුමසහගත එකකි. ඔහුගේ එම අතිදක්‍ෂතාවයට සරිලන පරිදි රූපකායක්‌ ද ඇත.

"රූපාවලිය" නමැති සංස්‌කෘත ග්‍රන්ථයේ විශ්වකර්මගේ රූපය අනික්‌ දේව ගණයාට වඩා බොහෝ වෙනස්‌ය. පුදුමාකාරය. සාමාන්‍යයෙන් දේව රූප අරුම රූ සපුවකින් යුක්‌තය. මූණ-අත්-ශරීරය හා අනිකුත් අඟපසඟ මනුෂ්‍ය ස්‌වභාවයෙන් තොරය.

රූපාවලිය දක්‌වන පරිදි විශ්වකර්මට මුහුණු පහක්‌ ඇත. අත් දහසකි. එම අත්වල, පොතක්‌, පන්හිඳක්‌, කඩුවක්‌, වෑයක්‌, දිය කළයක්‌, සිදරමක්‌, කුසලානයක්‌ හා නව ගුණ වැලක්‌ දරා සිටියි. ගෙල වටා නාගයෙක්‌ ඇත. සුදු ගවයෙක්‌ ඔහුගේ වාහනය වේ. එසේම ශක්‍රයාගේ සියලු කාර්යයන් කරන දෙවියා ඔහු වේ.

මැවීම් ගැන ශක්‍රයා ද සුපතළය. එහෙත් - විශ්වකර්ම ශක්‍රයාට වඩා මැවීන් කටයුතු කිරීමේ සූරතාවයකින් හෙබි දෙවියෙකි. ශක්‍රයාගේ පමණක්‌ නොව සියලුම දෙවියන්ගේ ශිල්පියා විශ්වකර්ම වේ. දෙවියන්ට අසීමිත බලතල තිබුණද විශ්වකර්ම තරම් ශිල්පීය නිපුණතාවයක්‌ නැත. එම නිසා ඔවුන්ගේ සියලු මැවීම් කටයුතු භාරව විශ්වකර්ම ක්‍රියා කරයි. විශ්වකර්මගේ අසාමාන්‍ය නිමැවුම් තුළ අප්‍රමාණ කලා කෞශල්‍යයක්‌ ද නොමඳව ඇත. ඔහු අත ගැසූ සැණින් ඕනෑම දෙයක්‌ විස්‌මිත කලා නිර්මාණයක්‌ වේ. ඔහුගේ පවුලේ තොරතුරු ද විශ්වකර්මසේ අපූර්වතාවයකින් යුක්‌තය.

විශ්වකර්මට දරුවන් දෙදෙනෙකි. ඔහුගේ පුතා විශ්වරූප වන නම් ලැබූ අතර දියණිය සංඥා වූවාය. සංඥා විවාහ වූයේ ලෝක ප්‍රකට මහා බලවතා වන හිරු දෙවියන් සමගය. එහෙත් මෙම කුටුම්භය වැඩි කල් නොපැවැතුණි. සංඥට දරුවන් තිදෙනෙක්‌ ලැබුණ පසු ඇය හිරු දෙවියන් අතහැර වන වැදුණාය. එහිදී ඇය වෙළඹකගේ වෙස්‌ මවාගෙන වන වාසය කරමින් දිගු කලක්‌ සිටි බව වේද ග්‍රන්ථ සඳහන් කරයි.

විශ්වකර්මගේ පුත් වූ "විශ්වරූපට" හිස්‌ තුනකි. එම හිස්‌ ද පුදුමාකාරය. එක හිසකින් සෝමපානය ලැබේ. අනිත් හිස්‌ දෙකින් එකකින් මිදිරස ද ආහාර භක්‍ෂිණයද සිදු වේ.

සුර-අසුර යුද්ධය ඉතා සරුවට ඇවිළෙද්දි විශ්වරූප සිටියේ සුරයන්ගේ කණ්‌ඩායමේ නොව අසුරයන්ගේ පිලේ ය. මෙය සුරයන්ගේ දැඩි පිළිකුලට මෙන්ම කෝපයට ද හේතු වූවකි. මොහුට දඬුවම් කළ යුතුයෑයි සුරයන් ඒකමතික තීන්දුවක්‌ ගත්තේය. ඒ අනුව මෙයින් අතිශයින් කුපිත වූ ඉන්දු වහාම විශ්වකර්මගේ පුත් විශ්වරූප සොයා ගොස්‌ ඔහුගේ හිස්‌ ගසා දැමීය. විශ්වරූපගේ හිස්‌ ගසා දැමීමෙන් පක්‍ෂීන් තිදෙනකු ලොවට බිහිවිය. සෝමපානක හිසෙන් උපත ලැබූවේ ඇටි කුකුළාය. මිදිරස පාන හිසෙන් ගේ කුරුල්ලා ලොවට ජනිත වුණි. ආහාර බුදින හිසෙන්a වටුවා මෙලොවට ආවේය.

වේද ස්‌තෝත්‍ර ගීතිකා රැසක විශ්වකර්ම ගැන බොහෝ විස්‌තර සඳහන් වේ. බොහෝ සුවිසල් කලාත්මක ගොඩනැඟිලි නිමකිරීමට අපහසු වූ විට විශ්වකර්මගේ දායකත්වය ඒ සඳහා ලැබේ. "මන්දකි" ගෘහ නිර්මාණ ශිල්පය ලොවට ප්‍රකාශ කරන ලද්දේ විශ්වකර්ම විසිනි. වඩු කාර්මිකයන් විශේෂයෙන්ම විශ්වකර්ම ගැන දැඩි සැලකීමක්‌ දක්‌වයි.

මහාවංශයේ ද ඇතැම් සිංහල රජවරු දාගැබ් - විහාර ආරාම - පිළිම හා වැව් අමුණු ඉදිකිරීමේදී මොහුගේ සහාය පැතූ බව ජන සාහිත්‍යයේ සඳහන් ය. බොහෝවිට විහාර කර්මාන්තවලදී ඒවා නිම කිරීමට අපහසු වූ විට කිසියම් අදිසි බලයක්‌ මගින් එය අවසන් වීම විශ්වකර්මගේ ප්‍රාතිහාර්යයක්‌ බඳුය.

විශ්වකර්ම නොමියනෙ දෙවියෙකි. ඔහු ලෝකය තනන්නාය. නූතන තාක්‍ෂණයෙන් බිහි වූ බොහෝ අපූර්ව දේ තුළ පවා ඔහුගේ බැල්මා ශක්‌තිය තිබෙන බව පෙනේ.

ප්‍රේමදාස රොඩ්රිගෝ