ඔබේ ප්‍රෙෂර් එකත් වැඩිවෙලාද?

අධිරුධිර පීඩනය හඳුනාගැනීම 

යම් පුද්ගලයකු වෙහෙසෙනවිට ක්‌ලාන්තය වැනි අපහසුතාවයක්‌ මතුවේ නම්, වහාම වෛද්‍යවරයකු හමුවී රුධිර පීඩනය පරීක්‌ෂා කරගත යුතුය. එම තැනැත්තා අධික තරබාරුනම්, නිතර නිතර තෙල් සහිත ආහාරපාන අනුභව කරයි නම් වඩාත් අවධානය යොමු කළ යුතුය.

වෛද්‍ය පරීක්‌ෂාවේදී එම තැනැත්තාගේ රුධිර පීඩන අගය 130-90 ත් අතර හෝ ඊට වැඩි නම් අධිරුධිර පීඩනය ලෙස සලකනු ලබයි. නමුත් එය එක වරම නිශ්චිතවම තහවුරු කරන්නේ නැත.

එම තැනැත්තාගේ රුධිර පීඩනය දින කිහිපයකට පසු යළිත් පරීක්‌ෂා කරනු ලබයි. එහිදීද රුධිර පීඩන අගය ඉහත සඳහන් මට්‌ටමේ පවතී නම් තවත් දිනයක එම තැනැත්තාගේ රුධිර පීඩනය පරීක්‌ෂා කරනු ලැබේ. එහිදීද රුධිර පීඩන අගය ලෙස 130-90 ත් අතර හෝ ඊට වැඩිනම් එම තැනැත්තා අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව තීරණය කරනු ලැබේ.

අධිරුධිර පීඩනය ඇතිවීම

අධිරුධිර පීඩනය ඇති බවට තහවුරු වූ විට එම පුද්ගලයන් ආහාරපාන ගැනීමේදී වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. අධික මේදය සහිත ආහාර පාන ගැනීම අවම කළ යුතුය. මත්පැන් දුම්වැටි ගැනීම නතර කළ යුතුය. ලුණු සහිත ආහාරපාන ගැනීම සීමා කළ යුතුය. වෛද්‍ය උපදෙස්‌මත දිනපතා ව්‍යායාමවල යෙදිය යුතුය.

අධිරුධිර පීඩනයට බලපාන හේතු

තෙල් සහිත ආහාරපාන අධිකව ගැනීමට අමතරව නිතර මානසික පීඩාවන්ගෙන් පෙළීම, අවිවේකී බව, ජාන මගින් දියවැඩියා රෝගයෙන් පෙළීම, දීර්ඝ කාලීනව වකුගඩු රෝගවලින් පෙළීම යන හේතුද බලපායි.

මෙම හේතු වර්තමානයේ ඉතා බහුලවම පුද්ගලයන් අතර මතුවන නිසා වයස අවුරුදු 20 පමණ වියේ සිට අධිරුධිර පීඩනයට ගොදුරු වූවන් හමුවේ. එවැනි පුද්ගලයන් නිසි වෛද්‍ය උපදෙස්‌මත ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය.

අධිරුධිර පීඩනයට ගනු ලබන ඖෂධ

අධිරුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ දීර්ඝ කාලයක්‌ ගැනීමෙන් විවිධ ආබාධ ඇතිවේ යෑයි කියා ඇතැම් දෙනෙක්‌ මත පළකරති. නමුත් මෙම ඖෂධවලින් අතුරු ආබාධ මතුවීම ඉතා අවමය. එබැවින් වැරැදි ආකල්ප තුළ හිඳිමින් අධි රුධිර පීඩනය පාලනය සඳහා ලබාදෙන ඖෂධ නොගෙන සිටීමෙන් මාරාන්තික අනතුරුවලට ලක්‌විය හැකිය. එනම් වකුගඩු අක්‍රීයවීම, හෘදයාබාධ ඇතිවීම, මොළයේ රුධිර නාල පුපුරායාම, අංශබාගය ඇතිවීම වැනි රෝගවලට ගොදුරුවීමේ අවස්‌ථා මතුවේ.

අධිරුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ රුධිර නාළවල මේදය තැන්පත්වී එම නාල ඇතුළත බිත්ති සිහින්වීමය. මෙම තැන්පත් වූ මේදය ඉවත්කර ගැනීම සඳහා ව්‍යායාමවල යෙදීම අත්‍යවශ්‍යය. එය වෛද්‍ය උපදෙස්‌මත නිසි කාලසීමාවක්‌ කළ යුතුය. එසේ නොමැතිව ව්‍යායාමවල යෙදීමෙන් රුධිර නාළ පුපුරා යැමේ භයානක අනතුරුවලට මුහුණ දිය හැකිය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි.

සකස්‌ කළේ -  උපාලි ද සේරම්

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us