අතිශයින්ම මව්වරුන්ට පමණයි


ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන්ගෙන් සියයට 30.3 ක්‌ පමණ දෙනා යකඩ ඌණතාවය නිසා හටගන්නා රක්‌තහීනතාවයෙන් (ඇනීමියා) පෙලෙන බව අනාවරණය වී ඇති අතර මෙම තත්ත්වය මත ඔවුන්ට උපත ලබන දරුවන් ද රක්‌තහීනතාවට ගොදුරු වෙමින් පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසන්නීය.

මෙසේ ගැබිනි මවුවරුන් විශාල ප්‍රතිශතයක්‌ රක්‌තහීනතාවට හෙවත් ගම්බද භාෂාවෙන් පවසන්නේ නම් 'අඟෙහි ලේ නැතිකම' රෝගයට ගොදුරුව ඇත්තේ ගර්භණී සමයේදී ඇතිවන රක්‌තහීනතාවය ඇතුළු පෝෂණ ගැටලුවලට පිළියමක්‌ වශයෙන් රජයෙන් නොමිලයේ යකඩ පෙති (ෆෝලික්‌ අම්ල පෙති) හා කැල්සියම් පෙති මෙන්ම ත්‍රිපෝෂ පිටි ලබා දෙන වාතාවරණයක්‌ තුළදීය.

මෑතකදී සිදු කරන ලද සමීක්‍ෂණයකට අනුව රජයේ මාතෘ රෝහල් හා මාතෘ ඒකක සායනවලට සහභාගි වන ගැබිනි මවුවරුන්ගෙන් සියයට 73 ක්‌ මෙසේ එම සායන වෙතින් තමන්ට නොමිලයේ ලබාදෙන යකඩ පෙති 90 ක ප්‍රමාණය භාවිත නොකර ඉවතලන බව අනාවරණය වී තිබිණි. මේ අනුව ගැබිනි මවුවරුන්ගෙන් සිය ගර්භණී කාලය තුළදී ලබාදෙන යකඩ පෙති ප්‍රමාණය භාවිත කරනුයේ සියයට 27 ක්‌ වැනි සුළු ප්‍රතිශතයක්‌ බව සනාථ වී තිබේ.

ත්‍රිපෝෂවල තත්ත්වය ද එසේමය. ජාඇල කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගරයේ නිපදවා රජයේ මාතෘ රෝහල් හා මාතෘ ඒකක සායනවලට ලබාදෙන ත්‍රිපෝෂ පිටි ගැබිනි මවුවරුන් සඳහා මසකට වරක්‌ නිකුත් කරනුයේ නොමිලයේය. මෙම ත්‍රිපෝෂ පිටි නිපදවනුයේ ගර්භණී මවුවරුන්, කිරි දෙන මවුවරුන් හා වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ඔවුන් මන්දපෝෂණයට ගොදුරු වීමෙන් වැළැක්‌වීමට ලබා දීම සඳහාය. ත්‍රිපෝෂ පිටි නිපදවීම සඳහා රජය විසින් දේශීය ගොවීන්ගෙන් වාර්ෂිකව තිරිඟු මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ ද, සෝයා බෝංචි ඇට මෙටි්‍රක්‌ ටොන් 10,000 ක්‌ ද, පූර්ණ යොදය සහිත කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 10,000 ක්‌ ද මිලදී ගනු ලබයි. මෙහිදී දේශීය ගොවියාගේ ආර්ථිකය ද ශක්‌තිමත් වී ඔවුනගේ අතමිට සරුවේ.

එහෙත් මෙසේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවනු ලබන ත්‍රිපෝෂ පිටි පැකට්‌ටුව බැගින් මාසිකව ගැබිනි මවුවරුන් වෙත රජයේ මාතෘ රෝහල් හා මාතෘ ඒකක සායනයන් ඔස්‌සේ බෙදාහැරිය ද ඔවුන්ගෙන් බහුතරය එනම් සියයට 95 ක්‌ ම එය භාවිත නොකරන බව හෙළි වී තිබේ.

මෙරට වාර්ෂිකව ගර්භණීභාවයට පත් වන කාන්තාවන්ගේ සංඛ්‍යාව 380,000 ක්‌ පමණ වේ. මෙම කාන්තාවන්ගෙන් බහුතරය රජයේ මාතෘ රෝහල් හා මාතෘ ඒකක සායන වෙත යොමුව සිටින අතර ඔවුන්ට නිකුත් කරනු ලබන ත්‍රිපෝෂ පිටි පැකට්‌ටු බහුතරයක්‌ විසින් තම නිවසේ සාමාජිකයන්ට අනුභව කිරීම සඳහා බෙදා දෙමින් තමන් අනුභව කිරීමෙන් වැළකී සිටින බව අනාවරණය වී තිබේ.

තවත් ගැබිනි මවුවරුන් පිරිසක්‌ තමන්ට ලැබෙන ත්‍රිපෝෂ පිටි පැකට්‌ටුව පිටතට අලෙවි කිරීම තහනම්ව තිබියදීත් පුද්ගලික ඔසුසල් වලට අලෙවි කර එමගින් ආදායමක්‌ උපයා ගන්නා බව වාර්තා වී තිබේ.

මෙහිදී මෙසේ තමන්ට නොමිලයේ රජයෙන් ලබාදෙන ත්‍රිපෝෂ පැකට්‌ටුව තම පවුලේ සාමාජිකයන් අතර බෙදා දෙනුයේත්, පිටතට අලෙවි කරනුයේත් ත්‍රිපෝෂ පිටි භාවිතයෙහි වැදගත්කම පිළිබඳව ගැබිනි මවුවරුන්ගෙන් සියයට 92 ක්‌ ම නිසි පරිදි දැනුවත් වී තිබෙන වාතාවරණයක්‌ තුළදීය.

ත්‍රිපෝෂ යනු බඩඉරිඟු, සෝයා බෝංචි, කිරිපිටි, ලවණ හා විටමින් වර්ගවලින් අනූන වූ පෝෂණීය පිටි විශේෂයකි. ගැබිනි මවකට ගර්භණී සමයේදී මන්දපෝෂණය ඇතිවීම වැළැක්‌වීම සඳහා ත්‍රිපෝෂ පිටි පැකට්‌ටුවකින් ග්‍රෑම් 50 ක්‌ දිනකට අනුභව කරන ලෙස වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.

එහෙත් එම ග්‍රෑම් 50 වත් ලබා නොගෙන ත්‍රිපෝෂ පිටි පිළිබඳව දැනුවත් වී සිටිය ද තම පවුලේ සාමාජිකයන් හා බෙදා දෙන හා පුද්ගලික ඔසුසල්වලට අලෙවි කරනු ලබන ගැබිනි මවුවරුන් ඔවුන්ගේ පමණක්‌ නොව උපත ලැබීමට සිටින දරුවාගේ ද පෝෂණ මට්‌ටම පහළ මට්‌ටමකට දමන බව පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසන්නීය.

අනෙක්‌ අතට රක්‌තහීනතාවය මඟහැරවීම සඳහා ගර්භණී සමයෙහි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති (ෆෝලික්‌ අම්ල පෙති) බහුතරය භාවිත නොකිරීම හේතුවෙන් ගැබිනි මවට මෙන්ම අලුත උපන් දරුවා ද රක්‌තහීනතාවයට ගොදුරු වී ඔවුනට ප්‍රතිකාර ලබා දීමට යන වියදම රටෙහි ආර්ථිකයට ද බරක්‌ වන බව වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසන්නීය.

රක්‌තහීනතාවට ගොදුරු වූ අයකු වෙතින් අලස බව, කාර්යක්‍ෂම නොවීම යන ලක්‍ෂණ පෙන්නුම් වන බැවින් එවැනි අයකු රැකියාවක නිරත වන්නේ නම් ඵලදායී අයුරින් රැකියාවෙහි කටයුතු කරගෙන යැම ද අසීරු වේ.

අනෙක්‌ අතට රක්‌තහීනතාවය නිසා හටගන්නා වෙනත් අතුරු ආබාධ තත්ත්වයන් හමුවේ රටක ආර්ථිකය දළදේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ අලාභයක්‌ සිදුවන බව අනාවරණය වී තිබේ.

ත්‍රිපෝෂවල තත්ත්වය ද එයමය. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනු ලබන දේශීය ගොවීන්ට ද ත්‍රිපෝෂ නිෂ්පාදනයෙහි උපරිම ප්‍රතිඵලය නොලැබීමෙන් ඉදිරියේදී ආදායමක්‌ අහිමි වී යැමට ඉඩ තිබේ. ඒ ත්‍රිපෝෂ මවුවරුන් බහුතරය භාවිත නොකිරීම නිසා යම් හෙයකින් නිෂ්පාදනයෙහි අඩපණ වීමක්‌ ඇති වුවහොත්ය. කෙසේ වුවද ත්‍රිපෝෂ නිෂ්පාදනයෙහි අතිරික්‌තය මෑතකදී "සුපෝෂ" නාමයෙන් වෙළෙඳපොළට නිකුත් වීම නිසා එසේ නිෂ්පාදනය අඩපණ වීමක්‌ සිදුවෙතැයි අපේක්‍ෂා කළ නොහැකිය.

එහෙත් ත්‍රිපෝෂ භාවිතය ගැබිනි මවුවරුන් අතර දිගින් දිගටම අඩු මට්‌ටමක පවතී නම් එය නිෂ්පාදනය කිරීම සඳහා වැය කෙරෙන විශාල ධනස්‌කන්ධය ද අපතේ යැමක්‌ සිදුවී එයද ආර්ථිකයට අලාභයක්‌ බවට පත්වනු ඇත.දැනට සිදුවෙමින් පවතින්නේ ද එය බව වෛද්‍යවරු පවසති.

මෙරට මවුවරුන් හා ඔවුනගේ දරුවන් අතර පවතින රක්‌තහීනතාව 2016 වසර අවසානය වන විට සියයට 50 කින් පමණ අඩුකරලීමට සෞඛ්‍ය බලධාරීන් විසින් මුලදී සැලසුම් කර තිබුණ ද ගැබිනි මවුවරුන් යකඩ පෙති නොගැනීමෙන් ඇතිව පවතින තත්ත්වය මත රක්‌තහීනතාව තවත් ඉහළ යැම හේතුවෙන් එම සැලසුම සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

රටේ අනාගතය භාර ගැනීමට සිටින අලුත උපදින දරුවන්ට රක්‌තහීනතාවට හා වෙනත් පෝෂණ ගැටලුවලට මුහුණපෑමට ප්‍රධාන වශයෙන්ම සිදුව ඇත්තේ ඔවුනගේ මවුවරුන් ගර්භණී සමයේදී යකඩ පෙති හා ත්‍රිපෝෂ භාවිත කිරීම අතහැර දැමීම නිසා බව මෙම කරුණුවලින් පැහැදිලි වේ.

මෙයට පිළියම් වශයෙන් නගරබදව මෙන්ම ගම්බදව ගැබිනි මවුවරුන්ව යකඩ පෙති හා ත්‍රිපෝෂ භාවිතයෙහි වැදගත්කම පිළිබඳ නැවත පුළුල් වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වෛද්‍ය ජයතිස්‌ස මහත්මිය සඳහන් කර සිටින්නීය.

මෙම ක්‍රියාවලිය සාර්ථක වුවහොත් ගැබිනි මවුවරුන් හා අලුත උපදින දරුවන් අතර රක්‌තහීනතාවය මඟහරවා රටේ ආර්ථිකයට දැරීමට සිදුව ඇති එවැනි අයට ප්‍රතිකාර කිරීම සඳහා යන අධික වියදම අවම කරලීමට ඉදිරියේදී හැකිවනු ඇත.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments