උපතින් උරුම බුදුදහම අනුව ජීවිතය හැඩගස්‌වාගන්න

ඔබ හැමට මවුපියන්ගෙන් උරුම වුණු බුද්ධ බීජ පුබුදුවා ගෙන බෝධි සත්වයෝ විදියට වැඩ කළොත් ඔබටත් ජය ගන්න බැරි අභියෝගයක්‌ නැහැ. වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවෙක්‌, විශාරද කලාකරුවෙක්‌ වෙන එක විශේෂඥ තාක්‌ෂණ ශිල්පියෙක්‌ වෙන එක සුවිශේෂ හැකියාවන් සහිත විශේෂඥ කාර්මික ශිල්පියෙක්‌ වෙන එක. ඒවා මහ ලොකු දේවල් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ ඔබට උපතින්ම උරුම වුණු බුද්ධ බීජ පුබුදුවා ගෙන බෝධි සත්ව වීර්යයෙන් අධිෂ්ඨාන සහගතව වැඩ කිරීමයි. හැබැයි එහෙම බෝධි සත්වයෙක්‌ විදියට ලොකු ඉදිරි ගමනක්‌ යන්න නම් අපේ ජාතිය වනසන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන කාලේ ආරම්භ කරපු මත්පැන්හල්වල ඉඳලා එන විවිධාකාර මත්ද්‍රව්‍ය ජාතිවලින් ප්‍රවේශම් වෙන්න ඕන. මත් වෙන දේ ඇඟට ඇතුළු වුණොත් ඔක්‌කොම අවුල් වෙනවා. ඔබ ඉතා හොඳින් නොදන්න කෙනෙක්‌ දෙන බුලත් විටක්‌වත් කටට ගන්න එපා. මම ඊයේ රාත්‍රියේ හිටියේ මේ කිට්‌ටුව තියෙන ධර්මවිජය පිරිවෙනේ. පිරිවෙනේ නායක හාමුදුරුවෝ මහාචාර්යවරයෙක්‌. උන්වහන්සේ මට කිව්වේ කළුතර ලොකු ඉස්‌කෝල බොහොමයක සතරු උපක්‍රම ජාලයක්‌a ක්‍රියාත්මක වෙනවා කියලා. සිංහලයාව දුර්වල කරන්න. ඒ නිසා පුතේ නොදන්න කෙනෙක්‌ නෙවෙයි මිතුරු වෙසින් එනමිතුරු ප්‍රතිරූපකයෙක්‌ දෙන සැක සහිත දෙයක්‌ කන්න බොන්න එපා. අපේ පරිසරයේ ඉන්න කුරුල්ලොවත් මත් වෙන දේ කලවම් කරපු කෑමක්‌ දුන්නොත් කන්නෙ නෑ. පුංචි ලේන පවා කෑම බීම හොඳට ඉව කරලා බලලයි කන්නෙ බොන්නෙ. ඉතින් පුතේ පුංචි ලේනත් පුංචිම පුංචි වී කුරුල්ලත් තමන්ගේ කෑම බීම ගැන වගේම ගමන් රටාව ගැනත් ප්‍රවේශම් වෙනවා නම් බෝසත් ගුණය උරුම කරගෙන උපන්න අපි අපේ ආරක්‌ෂාව ගැන අපේ අනාගතය ගැන ප්‍රවේශම් විය යුතු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ.

මේ ළමයි දන්නවා පුංචිම පුංචි වී කුරුල්ලෝ දහස්‌ ගණනින් රංචු ගැහිලා පියාඹන්නේ උකුස්‌සන්ගෙන්, ගිජුලිහිණියන්ගෙන්, රාජාලියන්ගෙන් බේරෙන උපායක්‌ අනුව බව. ඉගිලෙන වී කුරුලු රංචුව තමන්ගේ පැත්තට එන උකුස්‌සෙක්‌ දැක්‌ක ගමන් ගල් කුට්‌ටියක්‌ වගේ පේන විදියට එකට එකතු වෙනවා. ඒක දකින උකුස්‌සා, රාජාලියා බය වෙලා ඈතට යනවා හතුරා ඈත් වෙන කොටම වී කුරුලු රෑන වලාකුළක්‌ වගේ විසිරෙනවා. නැවත එකතු වෙනවා. පුංචි වී කුරුල්ලන්ගේ ගමන් රටාව එහෙමයි. මේක මගේ සොයා ගැනීමක්‌ නෙවෙයි. ලෝක ප්‍රකට චීන ජනනායක මාඕසේතුං චීන විප්ලවය ජය ගන්න කලින් ගොවියන්ට උපදෙස්‌ දුන්නා සතුරන්ගෙන් ආරක්‌ෂා වෙන හැටි පුංචි වී කුරුල්ලන්ගෙනුත් ඉගෙන ගන්න කියලා. ඉතින් දරුවනේ ඕ ගොල්ලෝ හොඳින් දන්නවා කළුගඟත් මුහුදත් අතර අනාගාරික ආශ්‍රමයේ හිටපු මම සුනාමියට අහුවෙලා ගහගෙන යද්දී වැටකේ ගහක එල්ලිලා බේරිච්ච බව. වැටකේ ගහෙන් බැහැලා එන කොට මම දැක්‌කෙ මොකද්ද? සුනාමි රළ වේගයට යට වෙච්ච ගෙවල්වල හිටපු වයස අවුරුදු දොළහේ දාහතරේ තරම් ළමයි, ආච්චිලා, සීයලත් අල්ලා ගෙන ගාලු පාර පැත්තට යන හැටි. මහ බලගතු ඇමෙරිකාවේ තරුණයෝ පවා කැට්‌නා, රීටා, විල්මා වගේ මහ කුණාටු අවස්‌ථාවල වයස්‌ගත දෙමාපියන් අමතක කරලා පණ බේරා ගන්න දිව්වෙ. සුනාමියෙන් බේරිලා එද්දී මම දැකපු විශේෂ සිද්ධිය තමයි වෙනද අංශභාගෙන් එක්‌තැං වෙච්ච තාත්තාට අවුරුදු ගාණක්‌ සාත්තු කරලා එපා වුණු තරුණ වඩුබාස්‌ කෙනෙක්‌ මේ කාලකන්නිය මැරෙන්න කවද්ද කිය කියා හිටියත් සුනාමි විපත් වෙලාවේ රෝගී තාත්තාව කර තියා ගෙන ගියේ. "පුතේ උඹ මාව බිම තියලා පණ බේරා ගෙන පලයං" කියද්දීත් තාත්තව උස්‌සා ගෙන ගියේ විපතේදී යටපත් වෙලා තිබුණු බුද්ධ බීජය මතු වෙලා බෝධි සත්ව ගුණය බලවත් වුණු නිසයි. ඒa බුද්ධ බීජය ඇමෙරිකාවේ, එංගලන්තෙ තියා සමාජවාදී අතීතයක්‌ තිබුණු රුසියාවේ මිනිසුන් අතරවත් නැහැ. ලෝකෙ සිනාමුසු මුහුණ ඇති එකම ජාතිය සිංහලයො. සිනාව නොමිලේ දෙන්න පුළුවන් දානයක්‌ කියලා. අරාබි ජනතාවට සිනාව පුරුදු කරන්න උත්සාහ කරපු මොහමඩ් නබිතුමාටත් බැරි වුණා. අරාබි මුහුණුවලට සිනාව ලබා දෙන්න. ලංකාවට ආපු සුදු බුද්ධිමතෙක්‌ වරක්‌ කිව්වෙ හැම සිංහල මුහුණකම බුදු සිනහව තියෙනවා කියලා. මඟ තොටේදී හමුවන සිංහලයෙක්‌ගේ මුහුණ බැලුවොත් ඒ ඕනම කෙනෙක්‌ සිනා වෙනවා. ඒ හිනාව එන්නෙ ඇතුළතින්මයි. ඒ සිනාවට මුල් වෙලා තියෙන්නෙ අධ්‍යාත්ම ගත බුද්ධ බීජය. ඒ නිසා දරුවනේ අපි අපේ හිත් තුළ තියෙන බුද්ධ බීජය වර්ධනය කරගෙන බෝසත් වීර්යයෙන් බෝධි සත්ව අධිෂ්ඨානයෙන් බුද්ධිමත්ව ප්‍රඥවන්තව වැඩ කරමු.

දියුණුවේ නාමයෙන් ලොකු බිල්ඩින් ගහලා යුරෝපය කොන්ක්‍රීට්‌ ගොඩක්‌ වෙලා. එයාර් කන්ඩිෂන් නැතුව ඉන්න බෑ. හීතල කාලෙට හීතල දරා ගන්න බෑ. යුරෝපීය සංචාරකයෝ උෂ්ණ කාලෙට නුවරඑළියට එනවා. ශීත කාලෙට රට පුරා සංචාරක හෝටල්වලට එනවා. ඒ නිසා ලෝකෙටම ආදර්ශයක්‌ වෙන විදියට අපි අපේ ගෙවතු උයන් වතු බවට හරවමු. බුදුන් වදාළ විදියට "ආරාම රෝපා" යන උතුම් අදහස ක්‍රියාවට නඟමු. ආරාම, අරණ, උයන කියන වචනවල අදහස අනුව අපි අපේ ගෙවතු උයන් වතු බවට පත් කරමු. එහෙම වුණොත් සුන්දර ශ්‍රී ලංකාව ලෝකෙටම ආදර්ශයක්‌ වෙන උද්‍යාන දේශයක්‌ බවට පත් වෙයි. ඔබ හැම දෙනා දහදිය වගුරලා ගෙවත්ත වැව්වොත් ඔබේ දහදිය මල් පල දලු කොළ බවට පත් වෙනවා. එහෙම වුණොත් ඔබේ දහදිය මීමැසි, බමර, සමනල් ලේන, ගිරාදී සියලු සත්වයන්ට ආහාරයක්‌ වෙනවා. මම මගේ ධර්ම දේශනය අවසන් කරන්න නැවතත් වරක්‌ කුරුල්ලෝ ගැන කියන්න ඕන. කුරුල්ලෝ අවුරුදු ලක්‌ෂ ගණනක්‌ තිස්‌සේ කූඩු හැදුවත් එයින් සොබා පරිසරයට කිසිම හානියක්‌ වුණේ නැහැ. අපේ උතුම් මුතුන් මිත්තෝ අඩුම ගානේ ගඩොල්වලින් ගෙවල් හැදුවානම් අද අපිට පොල් ගහක්‌ තියෙන මල් ගහක්‌වත් හිටවන්න තැනක්‌ නෑ. මැටිවලින් හදන ගඩොල් පෝරණුවල දාලා පිළිස්‌සුවාම ජීවානුහරණය වෙනවා. ඒ ගඩොල්වල තණකොළ ගහක්‌වත් හැදෙන්නෙ නෑ. අපේ මහා සංස්‌කෘතිය මූර්තිමත් කරන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ඡේතවනය, කැලණි චෛත්‍යය, මහියංගණ මහා සෑය, තිස්‌සමහාරාම චෛත්‍යය, කිරිවෙහෙර ඒ ඔක්‌කොම හදලා තියෙන්නෙ ගඩොල්වලින්. ඒත් ඒ මහා චෛත්‍ය විහාර දාගැබ කරවපු රජවරු මාලිගා හදන්න ගඩොල් ගත්තේ නෑ. ලෝවාමහාපායේ නටබුqන් තිබුණට දුටුගැමුණු රජතුමාගේ මාලිගාවක නටබුන් නෑ. ලෝකෙ ලොකුම දාගැබ වන අභයගිරිය හදවපු වලගම්බා රජතුමාගෙත් මාලිගාවක නටබුන් නැහැ. අදත් රැළි නඟන කලාවැවත්, බලලු වැවත් ඇතුළු ලොකු කුඩා වැව් සිය ගණනකුත් ලෝක උරුමයක්‌ ලෙස පිළිගැණුනු යෝධ ඇළත් කරවපු ධාතුසේන රජතුමාගේ මාලිගාවක නටබුන් නෑ. තමන්ගේ වස්‌තුව වැවේ රැස්‌ කරපු වතුරයි කියපු ධාතුසේන රජතුමාගේ වගේම අවුරුදු එක්‌දහස්‌ පන්සියයක්‌ තරම් දිගුකලක්‌ පැවතුණු අනුරාධපුර රාජධානියේ කිසිම රජෙක්‌ගේ මාලිගාවක නටබුන් නැහැ. ඒ රජදරුවන්ගේ මාලිගාවක නටබුන් නැත්තේ ඒ ශේ්‍රෂ්ඨ රජවරු තමන්ගේ වාසස්‌ථාන හදන්න ගඩොල් යොදා නොගත්ත නිසයි. ගඩොල් යෙදුවේ විහාර දාගැබ්වලට විතරයි. එහෙමනම් දරුවනේ ඔබට උපතින්ම උරුම වුණු බුද්ධ බීජ මතු කරගෙන බෝධි චිත්තයෙහි පිහිටලා බෝධි සත්වයෝ විදියට වැඩ කරන්න. හිස්‌ ප්‍රදර්ශනවාදී ලොකු ගෙවල් හැදීමේ පටු කල්පනා අත්හැරලා පුංචි ගෙවල් සමඟ ලොකු ගෙවතු හදමු. එහෙම කළොත් අපේ උතුම් මාතෘ භූමිය වූ ධර්මද්වීපය ගිනි ගෙන දැවෙන ලොවට ආශිර්වාදයක්‌ ආදර්ශයක්‌ වෙන උද්‍යාන දේශයක්‌ වෙයි. ඔබ හැමට තෙරුවන් සරණයි. 

මාලේවන ධර්මවිජය හිමි
කලින් අනගාරික ධර්මසේකර තුමා

Post a Comment

0 Comments