ප්‍රශ්නය - වණයක් හෝ තුවාලයක් කියන්නේ ශරීරයට ඇති විය හැකි ලොකු ප්‍රශ්නයක්. සමහර දියවැඩියා රෝගීන් තම ශරීරයේ ඇති වන තුවාල සුව නොවීම නිසා අපමණ දුකට පත් වෙනවා. එසේම සුව නොවන තුවාලයක් කෙනෙකුට තිබීම සමාජ ප්‍රශ්නයක්. අද අප බලාපොරොත්තු වන්නේ මේ ගැන සාකච්ඡා කරන්නටයි.
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - සුශ්‍රැත කියන ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරයා ගැන ඔබ අහල ඇති. ක්‍රිස්‌තු වර්ෂයටත් අවුරුදු 600 ක් ඉස්‌සර ඒ කියන්නේ දැනට අවුරුදු 2600 කට ඉස්‌සර ජීවත් වුණ ඔහු තම වෛද්‍ය පර්යේෂණ හා වෛද්‍ය ග්‍රන්ථවලින් අඩක් පමණ වෙන් කළේ වණ සහ තුවාල සහ ඒවා කළමනාකරණය කිරීම වෙනුවෙන්. වණ හෙවත් ව්‍රණ වර්ග හතරක් ගැන එතුමා සඳහන් කර තිබෙනවා. Chronically Contaminated wound හෙවත් දුෂ්ඨ වණ Clean wound හෙවත් ශුද්ධ වණ, Healing wound හෙවත් රුහියාමන වණ සහ Properly Healed wound හෙවත් සම්යග් රූධා වණ යනුවෙන් මේවා හඳුන්වනු ලබනවා. මේවා අතුරින් අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දුෂ්ඨ වණ හෙවත් Chronic wound ගැනයි. මේ වර්ගයේ තුවාල මසකට වැඩි කාලයක් පවතින අතර සුව නොවීමේ හෝ සුව වීමට බෙහෙවින් ප්‍රමාද වීමේ ප්‍රවණතාවක් දක්‌වනවා. තුවාල කියන ඒවා ශරීරයේ හැම තැනකම එනවා.
ප්‍රශ්නය - එවැනි තත්ත්වයක් හට ගන්නේ ඇයි?
විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ආයුර්වේදයේ හැටියට තුවාලයක් සුව වීමට කල් යන්නේ නෑ. තුවාලයක් සුව නොවන්නේ මධුමේහ හෙවත් දියවැඩියා තත්ත්වයක් නිසයි. කුෂ්ට, තුවාල, විෂ තත්ත්ව ක්‍ෂය රෝග නිසා හට ගන්නා තුවාල වැනි විවිධ තුවාල තිබෙනවා. එසේම වෙරිකෝස් තුවාල හෙවත් ධමනි අවරෝධ වීම, වැනි තුවාලත් තිබෙනවා. දියවැඩියා රෝගියකුට මෙවැනි තුවාලයක් හටගැනීම ලොකු ප්‍රශ්නයක්. සමහර විට කෙනෙක් තමන්ට දියවැඩියාව තිබෙන බව දැන ගන්නේ තුවාලයක් හැදුනාම එය සුවපත් නොවීම නිසා වෛද්‍යවරයකු හමුවීමට ගිය විටයි. දියවැඩියා රෝගියකුගේ පාදවල නහර අවහිර වීම සිදු වෙනවා. එයට හේතුව කොලෙස්‌ටරෝල් විය හැකියි. එවැනි වෙලාවක රුධිරය පාදවල ඇඟිලි දක්‌වා හරියාකාරව ගමන් කරන්නේ නැහැ. මේ නිසා සමහර විට රුධිරය මදවීම නිසා පාදවල ඇඟිලි නරක් වී කපා ඉවත් කරන්නට සිද්ධ වෙනවා. ඔන්න එතැන තුවාලයක් හටගන්නවා. දියවැඩියා රෝගියාගේ රුධිරයේ සීනි බහුල වීම නිසා තුවාලය මත ක්‍ෂුද්‍ර ජීවී ඝනත්ත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ සීනි වැඩිපුර තිබෙන තැනක ක්‍ෂුද්‍රජීවීන්ට ඉතාම පහසුවෙන් වර්ධනය වෙන්නට පුළුවන්. මේ නිසා එම තුවාල සුව වෙන්නේ නැහැ. අවුරුදු 20 ක් ගිහිල්ලත් සුව නොවූ දියවැඩියා තුවාල ගැන අපට අත්දැකීම් තිබෙනවා. මෙබඳු අවස්‌ථාවලදී වෙනත් වෛද්‍ය ක්‍රම මගින් නිතරම නිර්දේශ කරන්නේ පාදය කපා ඉවත් කිරීමයි. එහෙත් පාදයත් ආරක්‍ෂා කරගෙන තුවාලය කළමනාකරණය (Wound management) කර ගන්නට ප්‍රමාණවත් ක්‍රමවේදයක් ආයුර්වේදය තුළ තිබෙනවා. මේ තුවාල සුවපත් කරන්න ක්‍රම 60 ක් ආයුර්වේදයේ තිබෙනවා.
0 Comments