ජලය සිඳී ගිය වැල්ලේ වළවල් හාරා බොන්න වතුර ගන්න කුමන ජනතාව


චණ්‌ඩවූ හිරු කිරණවල ගනියම් කාෂ්ටක අව්වට හසුව ගස්‌ කොළන් වියළි පරඬැල් බවට පත්ව ඇත. වෙනදා මහා ආඩම්බරයෙන් ගලායන ඇළ දොළවල් මෙදා කෙඩැරි ගැසී පතුලේ වැලි තලාවන් මතු කරමින් ඇත. මේ වන අලි තර්ජන මැද දිව ගිලෙන්නට එන පිපාසයට බීමට වැල්ලේ පූ වළක්‌ හාරා දිය බිඳක්‌ සොයන කුමන ජනතාවගේ ශෝකි හඬයි.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ පන්නල්ගම ආසන්නයේ පිහිටා ඇති කුමන ගම්මානයේ ජනතාව සෑම වසරකම මේ ආකාරයෙන් නියං රකුසාගෙන් බැටකමින් මහත් අසරණව සිටිති. මෙම ගම්මානයට සAථිර ජල සැපයුමක්‌ නොමැති නිසා නියං සමයේ ළිං සිඳී ගිය කල්හි සැතපුම් දෙක තුනක්‌ දුර ගෙවා ගම්මානය ආසන්නයෙන් ගලා යන පන්නල් ඔයෙන් තම අවශ්‍යතාවන් ඉටු කරගැනීමට සිදුව ඇත. එම නිසා බොහෝ දෙනෙකු උදෑසන සිට සවස්‌ වනතුරු මෙම ඔයේ වැලි තලාවන් හාරා එහි උනන ජලය කළගෙඩි, කෑන් හෝ බාල්දිවලට පුරවා තම නිවෙස්‌වලට අරන් යන්නේ රජයෙන් කිසිදු පිළිසරණක්‌ නොමැති කල්හිය.

කුමන ගම්මානයේ පවුල් 500 ක්‌ පමණ වෙසෙන අතර ඉන් පවුල් 200 ක්‌ පමණ මෙම පන්නල් ඔයේ වැල්ල හාරා ජලය ගෙන ඉතා වෙහෙසක්‌ දරා තම පිපාසය සංසිඳුවා ගනිති.

පන්නල්ගම කුමන ගම්මානයේ පදිංචි පී. ජී. දමයන්ති මෙසේ සිය දුක්‌ගැනවිල්ල පවසා සිටියාSය.

වැස්‌ස කාලේට නම් ගැටලුවක්‌ නැහැ. අපි වත්තේ ළිං කපාගෙන තියෙන නිසා වතුර තියෙනවා. නමුත් පායන කාලේට තමයි ගැටලුව. දැනට මාස දෙකක ඉඳන් ළිංවල වතුර හිඳිලා. ඒක නිසා කිලෝමීටර් දෙකක්‌ විතර දුරින් තියෙන පන්නල් ඔයට ගිහින් තමයි ගමේම අය නාන්නේ. බොන්න වතුර ටිකක්‌ හොයා ගන්නේ. දවසට පස්‌ හය පාරක්‌ වතුර ගේන්න යන්න වෙනවා. උයන්න ගෙදර වැඩ වලට ඇතු`ඵව හැම දේටම අපි කළ ගෙඩි සහ කෑන්වලට පුරවලා තමයි වතුර අදින්නේ පුදුම දුකක්‌ විඳින්නේ. මේවායේ මිනිරන් කුඩු තියෙනවා. නමුත් කරන්න දෙයක්‌ නැති නිසා ගෙදර අරන් ගිහින් බොනවා. එම නිසා ඉතා ඉක්‌මනින් අපිට ස්‌ථීර ජල විසඳුමක්‌ ලබා දෙන්න. එතෙක්‌ අපිට බවුසර් මගින් හෝ ජලය ලබා දෙන්න කියලා අපි බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

හැන්දෑවේ අලි ඉන්න නිසා අපි උදේ නවයට විතර වතුර ගෙනියන්න ගෙවල් ළඟ අයෙක්‌ සමග ආවා. එක පාරටම මගදි අලියා ඉඳලා අපේ පස්‌සෙන් පන්නන්න ගත්තා. බය වෙච්ච පාරට එකපාරටම මම බිම වාඩි වුණා. එතකොට මාත් එක්‌ක ආපු ප්‍රියදර්ශනී මාව ඇදගෙන දුවගෙන ගියා. මම හොඳටම බය වුණා අන්තිමේදී මට තෙලුත් මතුරන්න වුණා. ඒ නිසා වන අලින්ගෙන්ද පුදුම කරදරයක්‌ තියෙන්නේ යෑයිද දමයන්ති ඉරිදා දිවයිනත් සමග දොඩම`ඵ වෙමින් සිය දුක්‌ ගැනවිල්ල පවසා සිටින ලදී.

අපි පුදුම දුකක්‌ තමයි, මේ දවස්‌ වල විඳින්නේ බොන්නයි පොඩි අය නාවන්නත් එක්‌ක වතුර අදින්න වෙලා තියෙනවා. වෙනදා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ජලය බෙදනවා. ඒත් තවමත් මේ පාර බොන්නවත් වතුර බෙදන්නේ නැහැ. වැල්ලේ පූ වළවල් (දිය සිඳී ගිය වැල්ලේ හාරන වළවල්) හාරලා ගන්න වතුරේ මිනිරන් කැබලි තියෙනවා. නමුත් කරන්න දෙයක්‌ නැති නිසා පිල්ටර් වලට දාලා බොනවා. අපේ ගමට දිගටම අලි කරදර තිබ්බා. ඒක නිසා අලි වැට ගැසුවා ඒකෙනුත් වැඩක්‌ නැහැ. අලි වැටද දිගටම ගහලා ඉවර නැහැ. තොට්‌ටම පැත්තේ අලි වැට ගහන්න තියෙනවා. ඒක නිසා ඒ පැත්තෙන් අලි නිතරම ගම ඇතුළට ඇවිත් යන්න විදිහක්‌ නැතිව කලබල කරනවා සමහර අලි දවල්ටත් අලි වැටෙන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. හවසට ග`ගට යන්න බැහැ අලි එනවා. එම නිසා අපි ඔක්‌කොම එකතුවෙලා තමයි ඔයට නාන්න යන්නේ. ඒත් හරිම බයෙන් තමයි නාන්නේ. කොයි වෙලේ අලි එයිද කියලා. කෝටු කෑල්ලක්‌ කැඩුණත් මිනිස්‌සු බය වෙලා දුවන්න හදනවා. එම නිසා අපිට සහනයක්‌ දෙන්න දැන්වත් බළධාරීන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා යෑයිද කුමන පදිංචි උපාලි ජයලත් මහතා අපත් සමග පවසා සිටින්නට වූවේය. 

කුබෝටා, මෝටර් සයිකල් තියෙන අය ඒවායින් ඇවිල්ලා භාජන වලට වතුර පුරවන් යනවා. නමුත් අපිට ඒවා නැති නිසා කළ ගෙඩිවලින් ගෙවල්වලට වතුර අදින්න වෙනවා. බොහෝම අමාරු වුණත් වෙන කරන්න දෙයක්‌ නැති නිසා අපිට ඒ ආකාරයට වතුර අදින්න වෙනවා. තව පොඩ්ඩෙන් වතුර ගෙනියන්න එද්දි මග හිටිය අලියා ගහලා අපිට මැරෙන්න වෙන්නේ. වතුර මදිවට අලින්ගෙන් කරදර ඉවරයක්‌a නැහැ. මේ වන විට අලි ගහලා මේ ගමේ 03 දෙනෙක්‌ මැරිලා තියෙනවා. රෑ පුරා අලි ගම ඇතුළට ඇවිල්ලා ඉන්නේ. කොයි මොහොතේ අලින්ගෙන් කාටහරි අනතුරක්‌ වෙන්න ඉඩ තියෙනවා. දැන් උදේටත් ඔයට එන්න බැහැ. සවසට එන්නත් බැහැ. අලි ඉන්නවා එම නිසා අපි හරිම බයෙන් තමයි වතුර ගේන්න, නාන්න එන්නේ. ලොකු ලොකු නිලධාරීන්ට අපේ දුක තේරෙන්නේ නැහැ. එම නිසා හැමදාම මේ ආකාරයෙන් පායන කාලෙට දුක්‌ විඳින අපිට දැන්වත් සහනයක්‌ කරන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයිද කුමන පදිංචි අනුෂා ප්‍රියදර්ශනී පවසා සිටියා.

මේ ආකාරයෙන් කුමන ගම්මානයේ ජනතාව අතීතයේ සිටම නියං සමයේ වින්දේ මහත් දුකකි. මේ කුමන ටී. චන්ද්‍රසිsරි මහතාගේ හඬයි.

වතුර නැතිව අපි හරිම කරදරයට පත්වෙලා ඉන්නේ. අපි කිලෝ මීටර් තුනකට ඈතින් කුඹුරුවල තියෙන පුංචි ළිඳකින් තමයි වතුර ගන්නේ. කුඹුරුවලට ගහන රවුන්ඩ්අප් වැනි විවිධ බෙහෙත් වර්ගත් එම වතුරත් සමග කලවම් වෙලා ඇති. නමුත් පවුල් ගොඩක්‌ එම ළිංවලින් වතුර අරන් එන්නේ කරන්න වෙන දෙයක්‌ නැති නිසා. තිබහට අපි කොහොම හරි වතුර ටිකක්‌ බොන්න ඕන නිසා කුඹුරේ ළිංවලින් හෝ බොනවා. එම නිසා හැමදාමත් අපිට නියං කාලෙදි බොන්න වතුර ටිකක්‌ හොයා ගන්න අමාරු වෙනවා. එම නිසා අපිට බොන්නවත් වතුර ටිකක්‌ බවුසර් මගින් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා යෑයිද චන්ද්‍රසිරි පවසා සිටියේය.

මාන්තෝට්‌ටම විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුවියක්‌ වන ඩී.එම්. රුක්‌මලි ශිෂ්‍යාව මෙලෙස පැවසුවාය.

හැමදාම උදේ ඉඳන් සවස වෙනකම් පස්‌ පාරක්‌ විතර වතුර ගෙනියන්න අම්මත් එක්‌ක ඔයට එනවා. ඉස්‌කෝලේ නිවාඩු දවස්‌වල නම් දවල්ටත් වතුර ගේන්න පු`ඵවන්. දැන් ඉස්‌කෝලේ පටන් ගත්තම වතුර ගේන්න වෙන්නේ හවසට. එතකොට අපිට හවසට අලි එයි කියලා බයයි. ඒත් නාන්නයි වතුර ගේන්නයි ඔයට යන්නම වෙනවා. එම නිසා අපි පුදුම බයකින් තමයි ඔයට යන්නේ. ලොකු නිළධාරි මාමලාට නම් අපේ දුක පේන්නේ නැති නිසා අපිට පොඩි කාලේ ඉඳන් මේ දුක විඳින්න වෙලා තියෙනවා. ඒ නිසා අනේ ලොකු නිළධාරි මාමලාගෙන් ඉල්ලා සිටින්නේ අනේ මාමේ අපිට බොන්න වතුර ටිකක්‌ දෙන්න කියලා යනුවෙන් රුක්‌මලි ශිෂ්‍යාව සිය ආයචනය අපත් සමග පැවසුවාය.

මේ ආකාරයෙන් මෙම කුමන ගම්මානයේ ජනතාව දැඩිසේ නියං රකුසාගේ බල මහිමයෙන් දිය පොදක්‌ නොමැතිව පිඩා විඳින අතර නිතර දෙවේලේ මෙම ගම්මානය ආසන්නයේ හක්‌කලන් කරනා වන අලි සේනාවෙන්ද සිදු වන්නේ මහත් පීඩාවකි. එම නිසා මෙම අසරණ ජනයා හට පිළිසරණක්‌ බලධාරීන්ගෙන් ලැබෙන තෙක්‌ ඔවුහු දෑස්‌ අයා බලා සිටිති.

* සුසන්ත අමරබන්දු

Post a Comment

0 Comments