ඇදුමට සහනය දෙන්න ගෙදරදීම කසායක්‌


ප්‍රශ්නය - ඇදුම රෝගය හටගැනීමට බලපාන මූලික තත්ත්වයන් ගැන පසුගියදා අප සාකච්ඡා කළා. ඇදුම රෝගියකු ආහාර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද?

වෛද්‍ය දුමින්ද රණවීර - ස්‌ථිර වශයෙන්ම ඔව්. මෙයට පෙර පළවූ ලිපි මගින් පෙන්වා දුන් පරිදි ඇදුම කියන්නේ අසාත්මිකතාව මූලික කරගත් රෝගයක්‌. අසාත්මිකතාව කියන්නේ ශාරීරික තත්ත්වයක්‌. සමහරුන්ට ශීතකළ බීම වර්ග අගුණයක්‌ නැහැ. තවත් සමහරුන්ට ශීතකළ බීම වර්ග ඉතාම අගුණයි. සමහරුන්ට ඉස්‌සො කකුළුවෝ දැල්ලෝ කෑවම ඇඟ පලු දානවා. සමහරුන්ට එහෙම නැහැ. තවත් සමහරුන්ට ඉදුණු පලතුරු අගුණයි. ඒවා කෑවම කැස්‌ස, සෙම අමාරුව හැදෙනවා. සමහරුන්ට පලතුරු කෑවම කිසිම ආබාධයක්‌ නැහැ. සමහරුන්ට විනාකිරි අගුණයි. සමහරුන්ට අගුණ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයන් තුළ අප මුලින්ම කළ යුත්තේ කුමක්‌ද? ශීතකළ බීම වර්ග අගුණ නම් ඒවා පානය නොකිරීම. ඉස්‌සො, කකුළුවො, දැල්ලෝ අගුණ නම් ඒවා ආහාරයට නොගැනීම. ඉදුණු පලතුරු අගුණ නම් ඒවා පරිභෝජනය නොකිරීම. විනාකිරි අපත්‍ය නම් ඒවායින් ඈත්වීම. ඇදුම රෝගීන්ට අසාත්මික දේවල්a රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වෙනවා. සමහරුන්ට කූල් බීම හොඳ නැහැ. සමහරුන්ට දූවිලි හොඳ නැහැ. තව සමහරුන්ට වහින කොට ඇදුම වැඩි වෙනවා. තවත් සමහරුන්ට හවස නෑවම ඇදුම හැදෙනවා. එහෙමත් නැත්නම් ඇල්වතුර නෑවම ඇදුම හැදෙනවා. මේ වගේ තත්ත්වයන් තුළ අප මුලින්ම කළ යුත්තේ අසාත්මික දේවල්වලින් වැළකිලා ඉන්න එක. මෙයට අප කියන්නේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් ආරක්‌ෂක උපක්‍රම අනුගමනය කිරීම කියලයි. ඉන්පසු පුළුවන් අවශ්‍ය ඖෂධ ගන්න. එනම් රෝගය කළමනාකරණය කරගන්න. 

ප්‍රශ්නය - මොනවද සීතල කෑම කියන්නේ...

වෛද්‍ය දුමින්ද රණවීර - අයිස්‌ක්‍රීම්, කූල්බීම යනාදිය ශීතකළ ආහාර. ඒවා අගුණයි. එමෙන්ම සෙම අවුස්‌සන ආහාර වර්ගත්, සීතල කෑම ලෙස හඳුන්වනවා. උදාහරණයක්‌ ලෙස එළබටු ගනිමු. මෙය සෙමට දෙන ඖෂධවලට යොදා ගන්නා ද්‍රව්‍යයක්‌. ඒ වගේම සෙම අමාරුව තිබෙන කෙනකුට රාත්‍රී කාලයේ දී එළබටු වෑංජනයක්‌ කන්න දීම අගුණයි. ගෝවා ලීක්‌ස්‌ වැනි එළවළුත් සෙම් අමාරුව තිබෙන රෝගීන් රාත්‍රී කාලයේ දී නොකෑ යුතුයි.

ප්‍රශ්නය - ස්‌නානය කිරීම සම්බන්ධයෙන් ඇදුම රෝගියා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද?

වෛද්‍ය දුමින්ද රණවීර - පීනස්‌ රෝගියා වගේම ඇදුම රෝගියාත් ස්‌නානය කළ යුත්තේ දහවල් 12 ට පෙරයි. එතැනදී තමන්ට සුදුසු උණු වතුරද නැත්නම් ඇල්වතුරද කියන එක ඔහු අත්දැකීම් අනුසාරයෙන් තෝරාගත යුතුයි. 

ප්‍රශ්නය - ඇදුම රෝගියාට චන්ද්‍රයාගේ බලපෑමක්‌ තිබෙනවද? 

වෛද්‍ය දුමින්ද රණවීර - ඔව්. හඳ මෝරන කාලයට සමහරුන්ට ඇදුම වැඩි වෙනවා. එයට හේතුව හඳේ ආකර්ෂණය වෙන්නට පුළුවන්. හරියට වඩදිය බාදිය ඇති කිරීමට හඳ මගින් සිදු කරන බලපෑම වගේ.

ප්‍රශ්නය - ඇදුම රෝගීන් අනුභව කළ යුතු මස්‌ මාළු වර්ග මොනවාද?

වෛද්‍ය දුමින්ද රණවීර - ඌරුමස්‌ අගුණයි. හරක්‌මස්‌ බෙහෙවින් ඌෂ්ණ ගුණයෙන් යුක්‌ත වීම නිසා සුදුසු නැහැ. බල මාළු, ජාඩි යනාදියත් සුදුසු නැහැ. 

ප්‍රශ්නය - ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය කුමක්‌ද?

වෛද්‍ය දුමින්ද රණවීර - මෙය රෝගියා ඖෂධවලට දක්‌වන ප්‍රතික්‍රියාව නිරීක්‍ෂණය කරමින් කළ යුතු ප්‍රතිකාරයක්‌. අරිෂ්ට, චූර්ණ, කල්ක, ක්‌වාථ, රස බෙහෙත්, වාෂ්ප ඇල්ලීම, කසාය ඇතුළු ප්‍රතිකාර විධි මේ සඳහා අප යොදා ගන්නවා. 

ප්‍රශ්නය - ඇදුම රෝගීන්ට සුවය දෙන ගෙදරදීම පිළියෙල කරගත හැකි ඖෂධයක්‌ නිර්දේශ කරන්න පුළුවන්ද?

වෛද්‍ය දුමින්ද රණවීර - හීන් අරත්ත, සුවඳකොට්‌ටන්, සිරිතේක්‌කු, වියළි ඉඟුරු, තිප්පිලි, තිප්පිලි මුල් යනාදිය කළං 2 බැගින් කිරාගෙන වතුර කෝප්ප 8 කට දමා කෝප්ප එකක්‌ වන තුරු මඳ ගින්නේ සිඳගත යුතුයි. ඉන්පසු එම කසාය පෙරා සීනි සහ මීපැණි යන අනුපාන දමා කෝප්ප භාගය බැගින් දිනපතා උදේ සවස කෑමට පෙර පානය කළ යුතුයි. විශේෂයෙන්ම මෙය පානය කළ යුත්තේ මඳ රස්‌නය ඇතිවයි. දින 8 ක්‌ පමණ මෙය පානය කළ විට සෑහෙන සුවයක්‌ ලබාගත හැකියි. ඒ අතර තමන්ට සුදුසු ආහාර පමණක්‌ ගත යුතුයි. 

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

වෛද්‍ය දුමින්ද රණවීර

Post a Comment

0 Comments