හිසකෙස්‌ යාම වලකා ගැනීමට


ප්‍රශ්නය - හිස කෙස්‌ පැලීම ස්‌ත්‍රී පුරුෂ බේදයකින් තොරව අද බහුල ලෙස පැතිර යමින් තිබෙනවා. ඊට අමතරව හිස කෙස්‌ පුපුරා යනවා. හිසකෙස්‌ තුනී වීම, අවපැහැ ගැන්වීම යන සෞඛ්‍ය ගැටලු සමාජය තුළ බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වෙනවා. මේ ගැන ඔබගේ විග්‍රහය කුමක්‌ද?

වෛද්‍ය අයේෂා කළුආරච්චි-මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට පෙර හිසකෙස්‌ වර්ධනය සිදු වන්නේ කොහොමද කියන කාරණය අප හඳුනා ගත යුතුයි. කාන්තාවකගේ වේවා පිරිමියකුගේ වේවා හිසකෙස්‌ වර්ධනය සිදු වන්නේ කාණ්‌ඩ තුනකට අනුවයි. තවත් පැහැදිලි කරනවා නම් එකම හිසක්‌ මත කෙස්‌ හටගැනීම සිදුවන්නේ තුන් ආකාරයකටය. පළමු වැනි ආකාරය හඳුන්වන්නේ anagen යනුවෙනි. ඒ කාණ්‌ඩය යටතේ හිස මත වැවෙන කෙස්‌ වසර 2 සිට වසර 8 ක කාලයක්‌ දක්‌වා නොහැලී, නො ගැලවී පවතිනවා. දෙවැනි කාණ්‌ඩය තමයි Catagen මේ කාණ්‌ඩය යටතේ හටගන්නා හිසකෙස්‌ සති දෙකේ සිට තුන දක්‌වා කාලයක්‌ පවතිනවා. තුන් වැනි කාණ්‌ඩය එනම් Telogen කාණ්‌ඩය යටතේ හට ගන්නා හිසකෙස්‌වල ආයු කාලය සති 8 සිට 16 දක්‌වා කාලයකට සීමා වනවා. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල හිසෙහි තිබෙන සමස්‌ත කෙස්‌වලින් 10% ක්‌ ඉහත සඳහන් කාණ්‌ඩ තුනෙන් කෙටිකාලීන කාණ්‌ඩයට අයත් වෙනවා. මේ අනුව කොණ්‌ඩය පීරන සෑම වාරයක්‌ පාසාම කොණ්‌ඩය ස්‌වල්පයක්‌ පනාවට ගැලවී යැම ස්‌වාභාවිකයි. සාමාන්‍යයෙන් එක්‌ හිසකෙස්‌ ගසක්‌ වසරකට අඟල් 6 ක්‌ විතර දිගට වැවෙනවා.

ප්‍රශ්නය - කෙටිකාලීන කාණ්‌ඩයට අයත් හිසකෙස්‌වලින් කොටසක්‌ නිතර ගැලවී යන බවත්, එතැන නැවත කෙස්‌ හටගන්නා බවත් ඔබේ පිළිතුරෙන් පැහැදිලි වෙනවා. මෙසේ ගැලවී යන හිසකෙස්‌ ප්‍රමාණය සාමාන්‍යයක්‌ වශයෙන් ගත්කල කොපමණද?

වෛද්‍ය කළුආරච්චි - ඇමරිකානු චර්ම විද්‍යා ඇකඩමියේ සංඛ්‍යා ලේඛනවලට අනුව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකුගේ හිසෙන් දිනකට හැලෙන කෙස්‌ ප්‍රමාණය 50 සිට 100 දක්‌වා විය හැකිය. සාමාන්‍යයෙන් ස්‌නානය කරන විට හෝ හිස සෝදන විට මේ ගණන 250 ක්‌ දක්‌වා ඉහළ යන්නත් පුළුවන්.

ප්‍රශ්නය - සමහරුන්ගේ හිසකෙස්‌ සියල්ල හිටි ගමන් සම්පූර්ණයෙන්ම හැලී යනවා. ඉන්පසු නැවත හිස කෙස්‌ වර්ධනය වෙනවා.

වෛද්‍ය කළුආරච්චි - බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මේ තත්ත්වයට කියන්නේ alopecia areata කියලයි. මෙය තමන්ගේම ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය කෙස්‌ මුල්වලට විරුද්ධව ක්‍රියාත්මක වී කෙස්‌ ප්‍රතික්‍ෂේප කර ඒවා වට්‌ටන තත්ත්වයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙය හැඳින්වෙන්නේ autoimmune disease කියලයි. මේ තත්ත්වය යටතේ හිසකෙස්‌වලින් කොටසක්‌ පමණක්‌ හැලී යන අවස්‌ථා තිබෙනවා. සම්පූර්ණයෙන්ම හැලී ගියාම අප ඒ තත්ත්වයට කියනවා. alopecia areata Totalis කියලා. සමහර විට ශරීරයේ තිබෙන හිසකෙස්‌ සහ රෝම සියල්ලමත් හැලී යන අවස්‌ථා තිබෙනවා. එම තත්ත්වයට කියන්නේ alopecia areata universalis කියලයි. මේ රෝගය එක්‌ එක්‌ අයට වැළඳෙන්නේ වෙනස්‌ වෙනස්‌ ආකාරයටයි සමහර වෛද්‍ය ක්‍රමවලින් කියන්නේ නැවත ස්‌වාභාවිකවම කෙස්‌ එන තුරු මේ තත්ත්වයට ප්‍රතිකාර නැහැ කියලයි. තවත් සමහර වෛද්‍ය ක්‍රම යටතේ හිස්‌ කබලේ සමට ස්‌ටීරොයිඩ් වර්ග එන්නත් කරනවා. එහෙත් ආයුර්වේදයේ මේ තත්ත්වයට නිශ්චිත බෙහෙත් තිබෙනවා.

ප්‍රශ්නය - ඉහත සඳහන් තත්ත්වයන්ට අමතරව හිසකෙස්‌ පැලීම සිදු වීමට හේතු ලෙස ඔබ දකින්නේ කුමක්‌ද?

වෛද්‍ය කළුආරච්චි - මෙයට ප්‍රධානතම හේතුවක්‌ තමයි මානසික ආතතිය, පාසල් යන ළමයට පවා ආතතිය තිබෙනවා. මුලින්ම පාසල් වැඩ ඊට පස්‌සේ ටියුෂන් ගෙදර ආවම පාඩම්, ඒ ළමයින්ට අමතර දෙයක්‌ හිතන්නවත් වෙලාවක්‌ නැහැ. වැඩිහිටියන් ගත්තාම ඔවුන් ඉන්නේ ජීවන සටනක.

එකිනෙකා පරදවාගෙන දිනුම් කණුව කරා යන ආර්ථික සහ සමාජයීය තරගයක ඔවුන් නිරත වෙලා ඉන්නවා. එවිට ඔවුන්ගේ ශරීරයේ රසායනික සංයුතිය වෙනස්‌ වෙලා කෙස්‌ හැලීම, අකලට ගත වැහැරීම වගේ දේවල් වෙනවා. කාර්ය බහුලතාව නිසා නිසි පෝෂණයක්‌ සහිත ආහාර ගන්නට ඔවුන්ට වෙලාවක්‌ නැහැ. එවිට හිසකෙස්‌ වර්ධනයට අවශ්‍ය පෝෂණ කොටස්‌ ශරීරයට ලැබෙන්නේ නැහැ. ඒ නිසාත් කෙස්‌ හැලීම සිදු වෙනවා. කෙස්‌ කියන්නේ ප්‍රොaටීන කෙන්දක්‌ (Protein Filament) එය වර්ධනය වීම සඳහා විවිධ පදාර්ථ අවශ්‍ය වෙනවා. ඒවා අප ආහාර මගින් ශරීරයට ලබා දිය යුතුයි.

වෛද්‍ය අයේෂා කළුආරච්චි

හිසකෙස්‌ යැම ඇතුළු ශීර්ෂ සෞඛ්‍යය පිළිබඳව අප හා සාකච්ඡා කිරීමට
අද සිට මෙම පිටුවට එක්‌වන අයේෂා කළුආරච්චි මෙනෙවිය B.A.M.S (HONS)

(කොළඹ විශ්වවිද්‍යාලය චර්ම රෝග සහ මානසික සෞඛ්‍යය පිළිබඳ වෛද්‍යවරියකි.)

නොමිලේ උපදෙස්‌ සඳහා 0766739977 -0777620948 

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments