පණ්‌ඩුකාභය රජු පටන් ගත් ඉංග්‍රීසින් අලුත් කළ අපේ පළාත් පාලන ක්‍රමය


නූතන පළාත් පාලන සංකල්පය බටහිර දේශපාලන ආකෘතියේ මවාපෑමක්‌ වුවද, ඊට වඩා බොහෝ ඈතට දිවෙන පැරණි පළාත් පාලන ක්‍රමවේදයක්‌ ලංකාව, ඉන්දියාව වැනි පෙරදිග රටවල දුරාතීතයේ පටන්ම පැවති බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්ය. පණ්‌ඩුකාභය රජ දවස මෙරට ස්‌ථාපිත කරන ලදුව පසුකාලීන අනුරපුර යුගයේ පැවති නගර ගුත්තික පාලනය සහ ඈපාවරුන්ගේ හා මාපාවරුන්ගේ ප්‍රාදේශීය පාලනයත්, ත්‍රීසිංහලය රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස්‌වලට බෙදා පාලනය කිරීම මෙන්ම බුද්ධකාලීන භාරතයේ පැවති සොළොස්‌ මහා ජනපද රටාවත් මෙම පෙරදිග පුරාතනික පළාත් පාලනයට උදාහරණ සපයයි. 

ක්‍රි. පූ. 04 වැනි සියවසේ අනුරාධපුර රාජධානිය බිහිවීමත් සමඟ එවකට ජනාවාස වී තිබූ පළාත්වල ග්‍රාම සීමා මුල්වරට නීර්ණය කොට එම ඒකක භාරව නූතන ගම්මුලාදෑනිවරුන්ට ස්‌වරූපයෙන් සමාන වූ ගාමිණීවරු නම් බිම් මට්‌ටමේ පරිපාලකයන් පිරිසක්‌ පණ්‌ඩුකාභය රජතුමන් විසින් එදා පත්කර තිබිණි. මහාවංශයට අනුවද සිංහලයන්ගේ ආදිතම ජනාවාස ගොඩනැගී ඇත්තේ ගම පදනම් කරගෙන වන අතර ඒවා පැරණි ගම් සභා ක්‍රමය යටතේ පාලනය කොට ඇත. එකිනෙකින් වෙන්ව ස්‌වාධීන ඒකක ලෙස සංස්‌ථාපනය වී තිබූ මේ පැරණි ගම් සභා පද්ධතිය ප්‍රාදේශීය අවශ්‍යතා ඉටුකර දීමට පමණක්‌ නොව ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කිරීමටත් දායකවී තිබේ. ක්‍රි. පූ. 02 වැනි සියවස වනවිට අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන රාජධානියට අමතරව තවත් ප්‍රාදේශීය රාජධානි බිහිවී තිබූ අතර ඉන් වඩාත්ම කැපී පෙනුණේ කාවන්තිස්‌ස රජතුමාගේ පාලනයට නතුව තිබූ රෝහණ රාජධානියත්, කැලණිතිස්‌ස රජතුමා විසින් පාලනය ගෙනගිය කැලණි රාජධානියත්ය. රජරට පැරණි ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ජීවනාලිය බඳු වූ මහ වැව් අමුණු නඩත්තු කිරීම හා ඒවායේ දියවර කෘෂිකාර්මික ප්‍රජාව වෙත බෙදා හැරීමේ කටයුතු විධිමත්ව පාලනය කිරීමේ අරමුණු වෙනුවෙන් එකල රාජාණ්‌ඩුව විසින් පත්කොට සිටි පරුමක වැනි නිලධාරීන්ගේ භූමිකාව තුළද ප්‍රාදේශීය පරිපාලනයේ ඇතැම් මූලික ගුණාංග අඩු, වැඩි වශයෙන් ගැබ්වී තිබෙනු දැකගත හැකිය. 

නමුත් බටහිර බලපෑම් ඇතුළු වෙනත් නොයෙකුත් හේතු මත මෙම පැරණි පාලන ක්‍රමවේදය අභාවයට ගිය පසු දැන් මේ රටවලද ක්‍රියාත්මක වන්නේ 18 වැනි සියවසේ සිට ඉංගී්‍රසීන් විසින් මෙම රටවලට නොරටින් ආදේශ කරනු ලැබූ බටහිර ආකෘතිවාදී පළාත් පාලන ක්‍රමවේදයයි. යටත් විජිත රටවල රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන පාලන හා පරිපාලන ව්‍යqහයන්ට අධිරාජ්‍යවාදීන්ගේ පාලන අභාසය කෙමෙන් කෙමෙන් ලැබෙනවිට, එම රටවල ප්‍රාදේශීය පළාත් පාලන ව්‍යqහයටද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හා පළාත්බද නියෝජනයේ මූලිකාංග නිතැතින්ම එකතු විය. මෙරට විශාල නාගරික ප්‍රදේශවල පරිපාලන කටයුතු පහසු කිරීමේ අරමුණින් එදා මුල්වරට හඳුන්වා දුන් මෙම නූතන පළාත් පාලන යාන්ත්‍රණය පසුව ප්‍රමාණයෙන් කුඩා මධ්‍යම පරිමාණයේ නගර දක්‌වාත්, තව කල් යනවිට ඈත පිටිසර ගම්දනව් දක්‌වාත් ක්‍රමයෙන් ව්‍යාප්ත වී යැම මීට නිදසුනකි. පළමුව අගනගරය වන කොළඹටත්, දෙවැනුව මහනුවරට හා ගාල්ලටත්, ඊළඟට යාපනයටත් නූතන මාදිලියේ මහ නගර සභා ආරම්භයේදීම ස්‌ථාපිත කරන ලදී. පසුව ඒවා රට පුරා ව්‍යාප්ත වෙමින් දේශීය පළාත් පාලන ආයතන පද්ධතියත්, එහි ව්‍යqහයත් වඩා සංවිධානාත්මකවද, ශක්‌තිමත්වද වැඩී, වර්ධනය වූයේ වත්මන් ස්‌වරූපය දක්‌වා ක්‍රමයෙන් විකාශනය වෙමිනි. 

මෙරට පළාත් පාලන ආයතන පද්ධතිය විකාශනය වීමට මුල් වූ තීරණාත්මක බලපෑම් වැඩිපුර සිදුවූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදීය. රාජාණ්‌ඩු සමයේ සිට පැවති පැරණි ගම් සභා පද්ධතිය 1818 ඌව-වෙල්ලස්‌ස කැරැල්ලෙන් පසුව ඉංගී්‍රසීන් විසින් අහෝසි කර දැමූ අතර 1833 කෝල්බෲක්‌-කැමරන් සිවිල්-දේශපාලනික ප්‍රතිසංස්‌කරණ මගින් ග්‍රාම කමිටු ක්‍රමය හඳුන්වා දෙන ලදී. 1856 දී කෘෂිකාර්මික හා වාරිමාර්ග කටයුතු අධීක්‌ෂණය කිරීම සඳහා ගම් සභා ක්‍රමය යළිත් ස්‌ථාපනය කෙරිණි. 

1861 දී හඳුන්වා දුන් පළාත් හා දිස්‌ත්‍රික්‌ මාර්ග කමිටු ක්‍රමයද මෙරට පළාත් පාලන ආයතන පරිණාමයෙහි වැදගත් සන්ධිස්‌ථානයක්‌ වන්නේ රජයේ නිලධාරීන් මෙන්ම රජයෙන් පත්කළ හා ඡන්දයෙන් පත්වූ සාමාජිකයන්ද ඒවායේ කටයුතු කළ බැවිනි. 

1920 අංක 11 දරන පළාත් පාලන ආඥා පනත පැනවීමෙන් රට තුළ නාගරික දිස්‌ත්‍රික්‌ සභා, ග්‍රාමීය දිස්‌ත්‍රික්‌ සභා සහ මහා සභා යන ආයතන ත්‍රිත්වය අලුතින් සංස්‌ථාපනය කරනු ලැබීය. 1923 වනවිට එවැනි නාගරික දිස්‌ත්‍රික්‌ සභා 06 ක්‌ පිහිටුවා තිබිණි. 

ඩොනමෝර් අණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ක්‍රියාත්මකවීමෙන් පසු මෙරට පළාත් පාලන ආයතන පද්ධතියෙහි සිදුවූ වෙනස සුවිශාලය. පළාත් පාලනය වෙනම විධායක කාරක සභාවක්‌ යටතට පත්කිරීම, නව පළාත් පාලන ආයතන පිහිටුවීම, පැවති ආයතන නිල වශයෙන් පිළිගැනීම හා ඉතිහාසයේ මුල්වරට පළාත් පාලන දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවීම මෙකල සිදුවූ තීරණාත්මක විපර්යාසයන් කිහිපයකි. මහ නගර සභාවල සියලුම නියෝජිතයන් මහජන ඡන්දයෙන් පත්කර ගතයුතු බවට නීති ගෙනාවේ සර්වජන ඡන්ද බලය හිමි වූ 1931 වසරේදීමය. 1871 සිට ක්‍රියාත්මක වූ ග්‍රාම කමිටුවලටද ඡන්ද බලයෙන් නියෝජිතයන් පත්කර ගැනීමටත්, එම නියෝජිතයන්ගේ කැමැත්ත පරිදි ඒවායේ සභාපතිවරුන් පත්කර ගැනීමටත් ඇවැසි විධිවිධාන සැලසුණේ 1938 වසරේ සිටයි. 1939 අංක 61 දරන නගර සභා ආඥාපනත මගින් නගර සභා 27 ක්‌ද, 1946 අංක 03 දරන සුළු නගර සභා ආඥාපනත මගින් එවැනි සුළු නගර සභා 24 ක්‌ද පිහිටුවන ලදී. නූතන පළාත් පාලන ආයතනවලට පොදු ලක්‌ෂණ වූ කුඩා අනු ඒකකවලට බෙදා පාලනය කිරීම, මහජන සේවා සැලසීම හා බදු එකතු කිරීම වැනි අංග මෙම සභාවන්හිද දක්‌නට තිබිණි. 

වර්තමානයේදී මෙරට පළාත් පාලන ආයතනවල සංයුතිය මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙස සැකසී තිබුණද, බටහිරවාදී මෙම පාලන ආකෘතිය මෙරටට හඳුන්වාදුන් සමයේ සිට වෙනස්‌ නීති රීති සැකසුණු 1980 වනතුරුම මෙරට ක්‍රියාත්මකව පැවතියේ නූතන මාදිලියට බොහෝ දුරට සමාන වෙනත් ආයතනික ව්‍යqහයකි. 1948 දී නිදහස ලැබෙන විට රටේ පැවතියේ මහ නගර සභා, නගර සභා, සුළු නගර සභා හා ගම් කාර්ය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතියකි. 1952 අංක 08 දරන පාර්ලිමේන්තු පනතින් මේ සෑම ආයතනයකටම එතෙක්‌ හිමිව පැවති බලතල ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට පියවර ගැනිණි. 

නිදහසින් පසුවද වරින්, වර සිදුකළ නෛතික සංශෝධන ඔස්‌සේ පැවති පළාත් පාලන ආයතන ව්‍යqහයේ මූලික හරයාත්මක වෙනස්‌කම් කිරීමට උත්සාහ ගැනිණි. 1979 දී පත්කළ තෙන්නකෝන් කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගෙන පැනවූ 1980 අංක 35 දරන දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා පනත මගින් එවැනි සභා 24 ක්‌ රට තුළ ස්‌ථාපනය කරන ලදී. මැතිවරණයකින් වෙනම තේරීපත් වූ නියෝජිතයන්ගෙන් මෙන්ම අදාළ දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද සැදුම්ලත් වූ මෙම දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභාවල ප්‍රධානත්වය උසුලන ලද්දේ එකල ඒ වෙනුවෙන්ම විශේෂයෙන් පත්කර සිටි දිසා ඇමැතිවරුන් විසිනි. එහෙත් ඇතැම් දිස්‌ත්‍රික්‌කවලට එවැනි දිසා ඇමැතිවරුන් ලෙස පත්කර සිටියේ එම දිස්‌ත්‍රික්‌කවලින් බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. එය මේ ක්‍රමයේ එක්‌ දුර්වලතාවක්‌ විය. රටේ මූලික නීතියට ගෙන ආ මේ දැවැන්ත සංශෝධනය මගින් පළාත් පාලන ආයතන පද්ධතියේ කොඳුනාරටිය වන් පැරණි සුළු නගර සභා 83 ක්‌ද, ගම් කාර්ය සභා 549 ක්‌ ද අහෝසි කර දැමුණු අතර ඒ වෙනුවට ග්‍රාමෝදය මණ්‌ඩල ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. 1980-1987 දක්‌වා ක්‍රියාත්මක වූයේ මෙම ක්‍රමයයි. 

එහෙත්, දැඩි දේශපාලනීකරණයට ලක්‌වීමෙන් අකාර්යක්‌ෂමතාවයේ උපරිමයට පැමිණ තිබූ මෙම ක්‍රමය තත්කාලීන දේශපාලන සමාජයේ නිර්දය විවේචනයන්ට නතුවිය. විනාශකාරී සමාජ ප්‍රතිවිපාක රාශියක්‌ ජනිත කිරීමට තුඩු දුන්, යාපනයේ මහජන පුස්‌තකාලයට ගිනි තැබීමට පවා හේතු වූ, කුප්‍රකට උතුරේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ඡන්ද කොල්ලය සිදුවූයේ මෙසේ ඇති කෙරුණු නව විකල්ප පළාත් පාලන ක්‍රමයට 1981 ජුනි 04 වැනිදා එහි මැතිවරණයක්‌ පවත්වන්නට යැමෙනි. එ.ජා.ප. ආණ්‌ඩු සමයේ හඳුන්වාදුන් මෙම ක්‍රමය රටේ සෙසු ප්‍රධාන දේශපාලන පක්‌ෂය වූ ශ්‍රී ල.නි.ප.ය විසින් එදා තරයේ ප්‍රතික්‌ෂේප කළේ ඒ වෙනුවෙන් 1981 වසරේදී පැවැත්වූ සියලු දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා මැතිවරණ පවා වර්ජනය කරමිනි. මේ නිසා එම මැතිවරණවලදී එ.ජා.ප.යේ එකම ප්‍රතිවාදියා වී සිටියේ ජනතා විමුක්‌ති පෙරමුණයි. අඩුපාඩු සහ දුර්වලතාවලින් ගහනවීම නිසාම ඉතා කෙටි කාලයක්‌ තුළ අසාර්ථකභාවයට පත් දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා සහ ග්‍රාමෝදය මණ්‌ඩල ක්‍රමය අහෝසි කොට ඊට වෙනත් විකල්පයක්‌ හඳුන්වා දීමට ආණ්‌ඩුවට සිදුවූයේ එම නිසාය. ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ ඒ වෙනුවෙන් පත්කෙරුණු වනසිංහ කොමිෂන් සභාව විසිනි. මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් වත්මන් පළාත් පාලන ආයතන ව්‍යqහය රටට ආදේශ කරන ලද්දේ මෙම පසුබිමෙහිය. 1987 දී ආරම්භක වශයෙන් එවකට පැවති උප දිසාපති කොට්‌ඨාස (වර්තමාන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ) පදනම් කරගත් එවැනි ප්‍රාදේශීය සභා 257 ක්‌ පිහිටුවන ලද අතර ඒවා 1988 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක විය. 1947 අංක 29 දරන පනතේ විධිවිධාන මගින් මහ නගර සභාද, 1939 අංක 61 දරන ආඥාපනතේ විධිවිධාන මගින් නගර සභා සහ 1987 අංක 15 දරන පනතේ විධිවිධාන මගින් ප්‍රාදේශීය සභාද දැනට පාලනය වෙයි. මෙම සියලු පළාත් පාලන ආයතනවලට සමානුපාතික ක්‍රමය යටතේ නියෝජිතයන් තෝරා පත්කර ගත යුතු බවට විධිවිධාන සලසන ලද්දේ පළාත් පාලන ආයතන විෂයයෙහි 1987 වසරේදී හඳුන්වා දුන් අංක 20 සහ 24 දරන සංශෝධන පනත් මගිනි. 

1987 දී සිදුකළ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් පළාත් සභා ස්‌ථාපිත කළ පසු පළාත් පාලනය ඒවාට හිමි විෂයයක්‌ ලෙස සලකා එම බලතලවලින් විශාල කොටසක්‌ නව පළාත් සභා යටතට පත්කරන ලදී. ඉන් පසුව මධ්‍යම ආණ්‌ඩුවට මේ විෂය සම්බන්ධයෙන් කටයුතු කළ හැකිවූයේ නව පළාත් පාලන ආයතන සංස්‌ථාගත කිරීම, පවතින ආයතනවල තත්ත්වය උසස්‌ කිරීම, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම හා ඒවාට අලුතින් මැතිවරණ පැවැත්වීම වැනි ප්‍රධාන එහෙත් සීමිත ක්‌ෂේත්‍රයක්‌ තුළ පමණි. 

මේ අනුව, ලාංකීය පරිපාලන ව්‍යqහය තුළ පළාත් පාලන ආයතනය පිහිටා ඇත්තේ තුන්වැනි හෙවත් පහළම පාලන ස්‌ථරයේයි. මධ්‍යම ආණ්‌ඩුවත්, පළාත් සභාවත් මීට වඩා ඉහළින් සංස්‌ථාපනය වී ඇත. නගරබද මෙන්ම ගම්බද ජනතාවගේද ජීවිතවලට වඩාත්ම අත්‍යවශ්‍ය ලෙස දැනෙන මාර්ග, ජල, සනීපාරක්‌ෂක, නිවාස, පුස්‌තකාල, පොදු හා විනෝදාස්‌වාද කටයුතු වැනි මූලික සේවාවන් රාශියක්‌ ප්‍රාදේශීය මට්‌ටමින් සැපයීමේ ප්‍රාථමික බලාධිකාරය වනුයේ මෙම පළාත් පාලන ආයතනයන්ය. එබැවින් ඒවා එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතවලට වඩාත්ම සමීපය. 

වත්මන් ආකෘතියේ පළාත් පාලන ආයතන පද්ධතිය නිල වශයෙන් සංස්‌ථාපිත වූ දින සිට ගතවූ දශක තුනක කාලය තුළ මෙරට පළාත් පාලන ආයතන ජාලය විකාශනය වූ අන්දම වගුවේ සැකෙවින් දක්‌වා ඇත.

නූතන පළාත් පාලන රටාව හඳුන්වා දුන් අවධියේ පටන් ඒවායේ පාලන කටයුතු මෙහෙයවන ලද්දේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් පත්වූ නියෝජිතයන් විසිනි. එබැවින් මෙරට පළාත් පාලන මැතිවරණ ඉතිහාසයද දශක ගණනාවක දිගු අතීතයකට දිවයයි. ඉකුත් අසූව දශකය වන තුරුම ඒවාට මහජන නියෝජිතයන් තෝරාපත්කර ගන්නා ලද්දේ හුදෙක්‌ එම කුඩා බලප්‍රදේශවලට පමණක්‌ සීමා වූ ඡන්ද විමසීම් මත වූ බැවින් ජාතික මට්‌ටමින් අවධානයට ලක්‌වීමට තරම් ඉහළ තරගකාරීත්වයක්‌ ඒ තුළ නොවීය. නගර, ගම්, දනව් මට්‌ටමින් ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය මත පමණක්‌ එදා කේවල කොට්‌ඨාස ක්‍රමයට පැවති එම ඡන්ද විමසීම් බොහෝදුරට නිහඬ, සාමකාමී මැතිවරණයක සිරි ගත්තේය. වර්තමාන මැතිවරණයකදී දක්‌නට නොලැබෙන සහයෝගීතාව, අනුග්‍රහශීලීත්වය හා මිත්‍රත්වය වැනි ප්‍රශස්‌ත මානව ගුණාංග එකල පැවති මේ කුඩා ගම් සභා ඡන්ද විමසීම් තුළ නොඅඩුව ගැබ්වී තිබිණි. එබැවින් ඒවා වඩාත් පරමාදර්ශී මැතිවරණ විය. එහෙත්, එම කුඩා ගම් සභා ඒකකය විශාල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයක්‌ දක්‌වා හිටිවනම වෙනස්‌වී, සමානුපාතික මනාප ඡන්ද ක්‍රමය යටතේ ඒවාට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම පිණිස ගෙන ආ නව නීති සංශෝධන සමග මෙම මැතිවරණයද වඩාත් සංකීර්ණ වී පසුකාලීනව ඊට ජාතික දේශපාලනික මුහුණුවරක්‌ ආරෝපණය විය. එපමණක්‌ නොව ලොකු දේශපාලනික කලබැගෑනි මැද දැන් පැවැත්වෙන මේ පුංචි ඡන්දයට කලහකාරී ප්‍රචණ්‌ඩත්වය පවා මේ වනවිට එකතු වෙමින් තිබෙනුයේ එහි උණුසුම් බව තව, තවත් තීව්‍ර කරවමිනි.

නීතිඥ කපිල මුණසිංහ

Post a Comment

0 Comments