දේශයේ භූගෝල රිද්මය


අප ජීවත් වන මේ යුගය ස්‌වාභාවික විපත්වලින් බහුල සමයකැයි බොහෝ දෙනකු කල්පනා කරනු පෙනේ. ලෝකයේ සතර දෙසින්ම ගංවතුර, සුළි සුළං, නාය යැම්, වායුගෝලයේ සිදුවන වෙනස්‌වීම් හරහා ඇතිවන දේශගුණික සහ කාලගුණික බලපෑම් මෙන්ම භූමිකම්පා පිළිබඳව ද නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. 2004 වසරේ අති දැවැන්ත දේපළ හා ජීවිත විනාශයක්‌ සිදු කළ සුනාමියෙන් පසු මේ ස්‌වාභාවික විපත් බහුල සමයක්‌ යෑයි ඇතැමෙකු තුළ අදහසක්‌ පහළ වූවා වන්නට ද පුළුවන.

සැබැවින්ම ඔබත් මමත් ජීවත් වන්නේ ලෝක ඉතිහාසයේ ස්‌වාභාවික විපත් බහුල සමයකද? අප ජීවත් වන මේ පෘථිවිය ඇතිවූයේ මීට වසර බිලියන 18 කට පමණ පෙර විශ්වයේ සිදුවූ මහා පිපිරුමක ප්‍රතිඵලයක්‌ ලෙසින් බව වර්තමානයේ පිළිගැනීමයි. විද්‍යාඥයින් එය හඳුන්වන්නේ මහා පිපිරුම් වාදය (Big Bang Theory) ලෙසය. වසර බිලියන 18 කට පමණ පෙර විශ්වයේ සිදුවූවා යෑයි සැලකෙන එම පිපිරීමෙන් ඇති වූ පදාර්ථ වලාවන් මඟින් අදින් වසර බිලියන 4.5 කට පමණ පෙර පෘථිවිය ඇති වූ බව විද්‍යාඥයින් දරන මතයකි. එකල පෘථිවියේ සාගර, මහාද්වීප හෝ වායුගෝලයක්‌ නොතිබිණි. පෘථිවිය පැවතී ඇත්තේ ද සෙන්ටිග්‍රේඩ් අංශක 4000 - 8000 තරම් අධික උෂ්ණත්වයකින් යුත් ගිනිකඳු සහිත පාෂාණ ගෝලයක්‌ ලෙසය. පසුව පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වීමේදී, වාෂ්පශීලී බව අඩු ලෝහ ඝනීභවනය වීමෙන් එහි මධ්‍ය කොටස වන හරය සෑදුණි. ඝන හරයට පිටතින් ද්‍රව තත්ත්වයේ ඇති උණුසුම් පාෂාණ ස්‌ථරයක්‌ වූ ප්‍රාවරණය වූ බවත් ඉන්පසු ඊට පිටතින් සැහැල්ලූ සිලිකාමය පාෂාණවලින් පෘථිවි කබොල ඇති වූ බවත් පෘථිවියේ උපත පිළිබඳ අද පිළිගැනෙන මතයයි.

පසුව පෘථිවි අභ්‍යන්තරයේ වූ විවිධ වායු වර්ග පිටතට පැමිණිමෙන් ආදි පරිසරයේ මුල් ම වායුගෝලය නිර්මාණය විය. ආරම්භක වායුගෝලය හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්‌සයිඩ්, ජලවාෂ්ප, හයිඩ්‍රජන් සල්µයිඩ්, ඇමෝනියා සහ මීතේන් යන වායුවලින් සමන්විත විය. එකල වායුගෝලයේ ඔක්‌සිජන් නොතිබුණු බවද විද්‍යාඥයින් දරන මතයකි.

පෘථිවිය තවදුරටත් සිසිල් වීමේදී ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු ඇති විය. අප අද ජීවත්වන මේ පෘථිවියේ පළමු වර්ෂාව ඇති වූයේ ඒ අනුවය. වසර දහස්‌ ගණන් තිස්‌සේ ඇදහැලුණු මෙම වර්ෂාව පහත්බිම්වල තැන්පත් වීම නිසා සාගර නිර්මාණය විය. උස්‌ බිම් මහද්වීප බවට පත් විය.

ලෝකයේ පළමු ජීවියා ඇතිවීම පිළිබඳව ද විද්‍යාඥයින් අතරත් විවිධ මත පැවතිණි. මෙයට අනුව ස්‌වභාවික භෞතික හා රසායනික නියමයන්ට අනුව ජීවය පෘථිවිය මත පළමු ජීවියා ඇති වී පරිසරයට ගැලපෙන ජීවියා පරිසරය විසින්ම තෝරා ගන්නා ක්‍රමය (ස්‌වාභාවිකවරණය) මගින් මුල්ම ජීවියා ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් (පරිණාමය වෙමින්) අද පෘථිවියේ ජීවත්වන ජීවීන් ඇතිවූවා යන්න වඩාත් ම විද්‍යාත්මක මෙන් ම බොහෝ විද්‍යාඥයින් විසින් පිළිගන්නා මතය යි.

අප ජීවත්වන මේ පෘථිවිය මත පළමු ජීවියා ඇතිවීම පිළිබඳ විද්‍යාඥයින් කියන කතාව ද සිත්තරෙකු ඇඳි චිත්‍රයක්‌ බඳු සිත්ගන්නා සුළු එකකි. පෘථිවිය ඇතිවී වසර බිලියනයක්‌ තරම කාලයක්‌ තිස්‌සේ සිදුවූ අකුණු/ විදුලි කෙටීම් නිසා ඇති වූ විද්යුත් විසර්ජනවලිනුත් හිරුගෙන් ලැබෙන අල්ට්‍රා වයලට්‌ විකිරණ සහ ගිනිකඳු පිපිරීමෙන් ලැබෙන අධික උෂ්ණත්වය සහ විකිරණශීලී ද්‍රව්‍ය ක්‌ෂයවීමෙන් ඇතිවන තාපය නිසා ආදි වායු ගෝලයේ සංඝටක වර්ග ප්‍රතික්‍රියා කිරීම නිසා හයිෙඩ්‍රාකාබන්, ඇමයිනෝ අම්ල, සීනි, නියුක්‌ලියෝටයිඩ ආදි මුල්ම කාබනික සංයෝග පෘථිවිය මත ඇතිවූ බවත් එම කාබනික සංයෝග ලොව මුල්ම ජීවියා ඇතිවීමේ පදනම වූ බවත් විද්‍යාඥයින්ගේ මතයයි. මෙය හඳුන්වනු ලබන්නේ ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය ලෙසය.

මේ මිහිමත පළමු ජීවියා ඇති වූයේ කෙසේ දැයි පරීක්‌ෂණ කළ විද්‍යාඥයින් පළ කළ මේ පොදු මතය 1953 දී ස්‌ටැන්ලි මිලර් සහ හැරල්ඩ් යුරේ නමැති විද්‍යාඥයින් දෙදෙනා ලොවම මවිත කළ පරීක්‌ෂණයක්‌ මගින් විද්‍යාත්මකව ඔප්පු කර තිබේ. එනම් මීට වසර බිලියන ගණනකට පෙර පෘථිවියේ පැවති වායුගෝලීය තත්ත්වයන් වීදුරු ප්ලාස්‌කුවක්‌ තුළ නිර්මාණය කොට ඒ තුළින් අධිබලැති විද්Hqත් පුළිඟු යෑවීමෙන් ජීවය ඇතිවීමට අත්‍යවශ්‍ය සංඝටකයක්‌ වන ඇමයිනෝ අම්ල නිපදවිය හැකි බව ඔවුහු පරීක්‍ෂණාත්මකව පෙන්වා දුන්හ. ලොව බිහිවූ මුල්ම ජීවියා එක්‌ සෛලයකින් යුත් බැක්‌ටීරියාවක්‌ බවත් එම බැක්‌ටීරියාව බිහි වී ඇත්තේ පෘථිවිය බිහිවී වසර බිලියනයකට පමණ පසු බවත් විද්‍යාඥයින්ගේ මතයයි. ඒ අනුව මේ මිහිමත පළමු ජීවියාගේ උපත සිදුවී ඇත්තේ අදින් වසර බිලියන 3.5 කට (අවුරුදු මිලියන 3500කට) පෙරය. පෘථිsවියේ වයස දෙස බලන විට එයිනුත් මිනිසා බිහිවී තවම ගෙවී ඇත්තේ ඉතා කුඩා කාලයකි. පෘථිවි ඉතිහාසය එක්‌ පැයක ඔරලෝසු කාලයට සමාන කළහොත් මිනිසා ඇති වී තවම ගෙවී ඇත්තේ තත්පර 0.2ක්‌ වැනි ඉතා සුළු කාලයක්‌ බව වර්තමාන විද්‍යාඥයින්ගේ අදහසයි. 

මේ මහ පොළොවේත් එහි අද ජීවත්වන ඔබේත් මගේත් ආදිතමයාගේ උපත පිළිබඳ විද්‍යාඥයින් කියන මේ ඉතිහාස කතාව කෙටියෙන් සඳහන් කළේ අද අපි ජීවත් වන්නේ සොබාවික විපත් බහුල සමයකද යන්න විමසන්නට පෙරවදනක්‌ ලෙසය.

අද ජීවත්වන පුද්ගලයකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 70කට පමණ සීමා වෙයි. ඔහු ජීවත් වන මේ පෘථිවියට වයස අවුරුදු බිලියන 4.5 ක්‌ එනම් අවුරුදු මිලියන 4500 පමණය. අවුරුදු මිලියන 4500ක්‌ සමග සසඳන විට අවුරුදු 70 ක්‌ යනු නොගිනිය හැකි, හිතාගන්නටත් බැරි තරම් කුඩා කාලයකි. පෘථිවිය මත මේ තරම් කුඩා කාලයක්‌ ජීවත්වෙන අද මිනිසාට පෘථිවිය මත අති දැවැන්ත කාලයක සිට සිදුවූ වෙනස්‌වීම්වලින් අත්දකින්නට ලැබෙන්නේ කොතරම් සුළු ප්‍රමාණයක්‌ද? එය අත්විඳ අප අද මේ ජීවත්වන්නේ ස්‌වාභාවික විපත් බහුල සමයකැයි කියන්නට පුළුවන්ද?

ගංවතුර, සුළිසුළඟ, නාය යැම හෝ භූමිකම්පාව පමණක්‌ නොව සුනාමිය ඇතිවන්නේ සොබාදහමේ ඇතිවන රිද්මයානුකූල ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ හැටියටය. එනම් සාගර මහද්වීප ඇතිවෙමින් කඳු නිම්න ඇතිවෙමින් ගස්‌වැල් හා සතුන්ගේ ස්‌වභාවයන් වෙනස්‌වෙමින් ඇතිවන පෘථිවි පරිණාමයේ ප්‍රතිඵලයක්‌ හැටියටය. ස්‌වභාව ධර්මයේ මේ රිද්මය හඳුනාගන්නේ නැතිව මේවා විපත් ලෙස හඳුන්වමින් ඒ රිද්මයට පටහැනි වෙමින් අද බොහෝ දෙනෙකු සොබාදහමට එරෙහිව කටයුතු කරති. 

අපේ රටේ වර්තමාන භූගෝලීය පරිසරය තුළ තිබෙන සුන්දරත්වය එනම් භූගෝලාලංකාරය නිර්මාණය වුණු ඓතිහාසික ක්‍රියාවලිය පිළිබඳ චාරිකාවක්‌ ලබන සතියේ සිට අප ආරම්භ කරන්නට තීරණය කළේ එබැවිනි. අපේ රටේ යාපනයට කුඩා හිසක්‌ හිමිවුණෙත් රට මැදට මහ බඩක්‌ හිමිවුණේත් අහම්බෙන් නොව සොබා දහමේ රිද්මයේම ප්‍රතිඵලයක්‌ හැටියටය. රට මැද කඳු පද්ධතියත් වෘක්‌ෂලතාදියත් ගංගා ඇළ දොළත් මෙලෙස නිමැවුණේ යම් ක්‍රමවේදයකට අනුවය. රිද්මයකට අනුවය. අපේ රටේ සොබාදහමේ ඒ රිද්මය සොයා යන මේ චාරිකාවේ නියමුවා පාරිසරික පුරාවිද්‍යාව පිළිබඳ කීර්තිමත් විද්වතෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු ද වන මහාචාර්ය සෙනෙවි එපිටවත්තයන් සමග අපේ රටේ සොබාදහමේ රිද්මය සොයා යන පාරිසරික චාරිකාව ලබන සතියේ සිට අරඹමු.

පාලිත සේනානායක

Post a Comment

0 Comments