ලෙඩ ගොඩකට මුල සීනි


වෙළෙඳපළෙහි අලෙවි කෙරෙන පැණි බීම වර්ගවල එක්‌ පුද්ගලයකු විසින් දෛනිකව පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයකට වඩා වැඩි වූ සීනි ප්‍රමාණයක්‌ අන්තර්ගතව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෑතකදී සිදු කරන ලද සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ. මේ අනුව වෙළෙඳපළෙහි පවතින කාබනික, පලතුරු යුෂ හා පලතුරු නෙක්‌ටා(ර්) යන පැණි බීම වර්ගවල එම බීම මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 11, 13 හා 15 වැනි වැඩි සීනි ප්‍රමාණයක්‌ අඩංගු බව අනාවරණය වී තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුද්ගලයකුට දිනකට පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය වශයෙන් නියම කර ඇත්තේ ග්‍රෑම් 5 ත් 6 ත් අතර වූ ප්‍රමාණයකි. මෙම ප්‍රමාණය ඉක්‌මවූ සීනි ප්‍රමාණයක්‌ යෙදූ පැණි බීම නිෂ්පාදනය කිරීමට ආහාර පනත යටතේ ඉඩක්‌ නොමැත. එහෙත් පසුගිය කාලය පුරාවටම පැණි බීම නිෂ්පාදකයන් බහුතරය සිදු කර ඇත්තේ සිය නිෂ්පාදනවල සීනි වැඩි වශයෙන් අන්තර්ගත කර ජනතාව රෝගීන් බවට පත් කිරීම බව සමාජයේ වැඩි වෙමින් පවතින බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව දෙස බලන විට පෙනී යයි.

ඉහත කී සමීක්‍ෂණයේ දී අනාවරණය වූ තවත් වැදගත් කරුණක්‌ වූයේ දැනට බාල, තරුණ, මහලු අය අතර විශේෂයෙන්ම පාසල් ළමුන් අතර ප්‍රචලිතව පවතින "යෝගට්‌ පානය" (ඩි්‍රන්කින් යෝගට්‌) නමැති බීම වර්ගයෙහි අන්තර්ගතව පවතින අධික වූ සීනි ප්‍රමාණයයි. එම බීම වර්ගයෙහි මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 21 ක්‌ අන්තර්ගතව පවතින බව සමීක්‍ෂණයේ දී අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු පිළිබඳ අධ්‍යක්‍ෂිකා චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසන්නීය. 

බීම වර්ගයක මිලිලීටර් 100 ක සීනි ග්‍රෑම් 10 ක්‌ අන්තර්ගත වුවත් එය දෛනිකව පරිභෝජනයට නියම කර ඇති සීනි ප්‍රමාණය ඉක්‌මවා යන්නකි. එවන් තත්ත්වයක්‌ තුළ ඉහත කී බීම වර්ගයෙහි සීනි ග්‍රෑම් 21 ක්‌ අන්තර්ගත වීම ජනතාව ලෙඩ කිරීමට හොඳටම ප්‍රමාණවත් බව වෛද්‍ය මතය වී තිබේ. 

එවැනි අධික සීනි සහිත පැණි බීම බෝතල් දෙකක්‌ පාසල් ළමයකු දිනකට පානය කරන්නේ නම් ඇති වන ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වීම බීම පානය කරන පාසල් ළමයා හෝ තැනැත්තා නිවසේදීද සීනි සහිත තේ දිනකට දෙවරක්‌ පානය කරනු ඇත. නොඑසේ නම් සීනි සහිත ආහාරයක්‌ පරිභෝජනය කරනු ඇත. එසේ කාලයක්‌ ඒවා පරිභෝජනය කිරීම ඔවුන් දියවැඩියාව, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වීමට මඟපාදනු ඇත.

මත්පැන් හා දුම්වැටි හැරුණ විට මෙරට ජනතාව බෝ නොවන රෝගවලට ගොදුරුවීමට මඟපාදන ප්‍රධානතම සාධකයන් වී ඇත්තේ සීනි, තෙල්, ලුණු හා පිටි සහිත ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කිරීම බව අනාවරණය වී බොහෝ කල්ය. 

මෙම තත්ත්වයට පිළියම් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ හා එයට අනුබද්ධ ආයතනවල පැවැත්වෙන සාකච්ඡා, සම්මන්ත්‍රණ හා වැඩමුළුවලදී සීනි, තෙල්, පිටි, සීනි අඩංගු කෙටි කෑම වර්ග වෙනුවට පලතුරු හා පලතුරු යුෂ, කැඳ ඇතුළු පෝෂ්‍යදායී ආහාර පිළිගැන්වීමට කටයුතු කරන ලෙස චක්‍රලේඛයක්‌ මගින් අදාළ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනු ලැබිණි. 

මෙය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල ක්‍රියාත්මක වුවද වෛද්‍යවරුන්ට සම්බන්ධ ඇතැම් සංගම් තවමත් සාකච්ඡා සම්මන්ත්‍රණ මෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පැමිණෙන අයට පිළිගන්වනුයේ කෙටි ක්‍රම (ෂෝට්‌ ඊට්‌ස්‌) හා අධික සීනි සහිත පැණි බීම වර්ග නැතහොත් රසකළ කිරි පැකට්‌ බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව තිබේ. මෙකී සංගම් නියෝජනය කරනු ලබන ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස්‌ කෑගසනුයේ රට තුළ බෝ නොවන රෝග පැතිරීම ඉහළ යන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවටයි. එහෙත් ප්‍රායෝගිකව ඔවුන්ද ඒ සම්බන්ධයෙන් ආදර්ශයක්‌ දෙමින් කටයුතු නොකරන බව පැහැදිලිව පෙනී යන තත්ත්වයකි. 

දුම්වැටි සම්බන්ධ බදු ඉහළ දැමීමෙන් මෙරට දුම්වැටි පානයට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිශතය පහළ දැමීමට හැකියාව ලැබුණු බව කවුරුත් දන්නා දෙයකි. ඒ අයුරින්ම මෙරට අලෙවි කෙරෙන සීනි සඳහා අය කෙරෙන බද්ද ද වැඩි කිරීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා යෝජනා කර සිටියද එයට වැඩි දෙනකුගේ සහාය නොලැබීම මත එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩි යමක්‌ කිරීමට ඇමැතිවරයාට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයම ප්‍රකාශ කර තිබිණි.

මෙවැනි තත්ත්වයක්‌ තුළ අගෝස්‌තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපලෙහි අලෙවි කෙරෙන පැණි බීම වර්ගවල අඩංගු සීනි ප්‍රමාණයක්‌ දැක්‌විය යුතු වර්ණ සංකේත ක්‍රමයක්‌ හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ අනුව 1980 අංක 26 දරන ආහාර පනතට අනුව ආහාරවල සීනි මට්‌ටම සඳහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝග වශයෙන් මෙම වර්ණ සංකේත ක්‍රමය හඳුන්වාදී ඇත. මෙවැන්නක්‌ ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පැසසිය යුතු තත්ත්වයකි. කෙසේ වුවද මෙය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු පැන නැඟීමේ අවදානමක්‌ පවතී. එනම් එම නියෝගයන් අනුගමනය නොකරන පැණි බීම නිෂ්පාදකවරුන්ට එරෙහිව කටයුතු කිරීමේදීය.

දැනටමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අගෝස්‌තු පළමුවැනිදායින් පසු වෙළෙඳපළට නිකුත් කෙරෙන සියලුම පැණි බීම වර්ගවල ඉහත කී වර්ණ සංකේත ක්‍රමය අන්තර්ගත විය යුතු බවට නියෝග කර තිබේ. මේ පිළිබඳව නිෂ්පාදකයන් මෙන්ම වාණිජ මණ්‌ඩල නිලධාරීන්ද දැනුවත් කර ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ. 

ඉදිරි දෙසතියක කාලය තුළදී මෙම නියෝග ක්‍රියාත්මක නොකරන බීම නිෂ්පාදකයන් සෙවීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හරහා සිදු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇති බව ප්‍රකාශයට පත්වී ඇත.

මෙම නියෝග කිසිවක්‌ වචනයට පමණක්‌ සීමාවූ හුදෙක්‌ තමන් යමක්‌ කරනවා යෑයි පෙන්වීමට නිකුත් කරනු ලබන්නක්‌ නොවීමට සෞඛ්‍ය බලධාරීන් වගබලා ගත යුතුව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට මියයන අයගෙන් සියයට 75 ක්‌ම මියයනුයේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙනි. එය මෙරට දශක ගණනක්‌ පැවති යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක්‌ බව නොකිවමනාය. 

සමාජයට මහත්වූ පිළිලයක්‌ වී ඇති අධික සීනි භාවිතය හා තෙල්, පිටි භාවිතය හේතුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ මෙරට කාර්යාලයේ සන්නිවේදන නිලධාරිනියක වන කැරන් රෙයිඩ්ට අනුව මෙරට වාර්ෂිකව දියවැඩියා රෝගයට ගොදුරු වී මියයන්නන්ගේ සංඛ්‍යාව 10,000 කට අධිකය. මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 8 ක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර සියයට 26 ක්‌ ස්‌ථුලභාවයෙන් පෙළෙමින් සිටී.

අධි රුධිර පීඩනය හා පිළිකාවන්ද පැතිරයැම මෙයට සමාන්තරව ඉහළ යමින් පවතී. 

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අධික සීනි භාවිතය ප්‍රමුඛ කරගත් වැරැදි ආහාර පරිභෝජන රටාවයි. අනෙක්‌ අතට ජනගහනයෙන් සියයට 24 ක්‌ම කායික වශයෙන් ක්‍රියාශීලී නොවන බව අනාවරණය වීමෙන් අප ජනතාවගෙන් කොටසක්‌ ව්‍යායාම කිරීම අතින්ද දුර්වල මට්‌ටමක පවතින බව පෙනී යයි.

මෙම අවදානම් සාධක මඟහරිමින් බෝ නොවන රෝග මෙරට පැතිරීම වැළැක්‌වීම සෞඛ්‍ය බලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේ යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ද වේ. එහෙත් එහි වැඩි වගකීම පවතිනුයේ මහජනතාව අත බවද අමතක නොකළ යුතුය.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments