පොල් වගාවේ අතුරු බෝග වගාකිරීම


ලංකාවේ අක්‌කර දසලක්‍ෂයක්‌ පමණ වන පොල් ඉඩම් ප්‍රමාණයක්‌ ඇත. මෙයින් අක්‌කර 300,000 ක පමණ. අද තත්ත්වය යටතේ අතුරු භෝග වගා කළ හැක. මෙයින් වැඩි කොටස තෙත් හෝ අතරමැදි කලාපවලට අයත් වන අතර මෙම ප්‍රදේශයේ ආහාර භෝග අතුරු භෝග සඳහා ඉල්ලුම ඉතා ඉහළය. එමෙන්ම එවැනි වගා සඳහා අවශ්‍ය ශ්‍රමය, පොහොර, දැනුම ප්‍රවාහන සේවා ව්‍යාප්ති සේවා ආදී මූලික අවශ්‍යතාවයන්ද මෙම ප්‍රදේශවල බහුලව ඇත.

එකම ක්‍ෂේත්‍රයක ප්‍රධාන භෝගයට අමතරව ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් ප්‍රධාන භෝගය වගා කරන කාලය තුළදීම වෙනත් භෝගයක්‌ හෝ භෝග වර්ග කිහිපයක්‌ වගා කිරීම අතුරු භෝග වගා කිරීම යනුවෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන් අතුරු භෝග වගා කිරීම සඳහා පහසුවෙන් යොදා ගත හැක්‌කේ වැඩි පරතරයක්‌ යටතේ සිටුවන ලබන වතු භෝග සහිත ඉඩම්ය.

මේ අතරින් පොල් භෝගය යටතේ අතුරු භෝග වැවීම දැන් ජනතාව අතර ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතියි. මිල ඉතා අධික ලෙස ඉහළ පහළ යන භෝගයෙන් පොල් වගාකරුවාගේ ඇති වන ආර්ථික විචල්‍යතාවයන් සමනය කිරීමට අතුරු භෝග වගාව හොඳ විකල්පයක්‌ බව පොල් පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දෙයි. අතුරු භෝග වගාව නිසා පොල් මිල පහළ යන අවදියේදී පොල් වගාකරුවාගේ ආර්ථික තත්ත්වය තරමක්‌ දුරට හෝ යහපත් තත්ත්වයෙන් තබාගත හැකිය.

පොල් භෝගය යටතේ අතුරු භෝග වගා කිරීමෙන් අපතේ යන සූර්යාලෝකය සහ තෙතමනය ප්‍රයෝජනයට ගත හැකි වෙයි. අතුරු භෝග මුල් විහිදී යැමෙන් පසේ ජලවහනය ජලය කාන්දුවීම සහ වාතය ඉහළ තත්ත්වය වැඩිදියුණු කරයි. අතුරු භෝග නිසා පසට විශාල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලබා දෙයි. මෙයින් පසේ පෝෂණික තත්ත්වය ඉහළ යන අතර ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයද ඉහළ යයි. පාංශු වැස්‌මක්‌ ඇති වන නිසා සහ පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන නිසා පසේ තෙතමනය ආරක්‍ෂා වෙයි. අධික වර්ෂාපතනයෙන් ඇති කෙරෙන පාංශු ඛාදනය මදකට හෝ අඩු කිරීමට අතුරු භෝග සමත් වෙයි. මෙයට අමතරව වල් මර්දනය අඩු වෙයි. අතුරු භෝග වගා කිරීමෙන් වාසි රාශියක්‌ ලැබෙයි.

පොල් සිටුවා මුල් අවුරුදු 05 තුළදීත් ඉන් පසු පොල් ගසේ වයස අවුරුදු 20-60 දක්‌වාත් සාර්ථකව අතුරු භෝග වගා කළ හැකිය.

දැනට ලංකාවේ බොහොමයක්‌ වතුවල පොල් වගා කර ඇත්තේ අඩි 26Ù26 පරතරයකටය. මෙසේ පොල් සිටුවන ලද ඉඩමක පොල් ගස ප්‍රයෝජනයට ගන්නේ සියයට 25 කි. ඉතිරි සියයට 75 ප්‍රමාණය අතුරු භෝග සඳහා යොදා ගත හැකි වෙයි. එම නිසා පොල් යටතේ අතුරු භෝග වගා කිරීමේදී ඉඩකඩ එතරම් ප්‍රශ්නයක්‌ ඇති නොකෙරෙයි.

පොල් ගස අධික පොහොර ප්‍රමාණයක්‌ ප්‍රයෝජනයට ගනී. අතුරු භෝග වගා කිරීමෙන් මෙම පෝෂක සඳහා ප්‍රධාන සහ අතුරු භෝගය අතර තරගයක්‌ ඇති විය හැකිය. පොල් ගසේ මුල කලාපයට පිටින් අතුරු භෝග සිටුවීමෙන් මෙම තරගය අඩුකර ගත හැකිය. පොල් වගාවට මෙන්ම සිටුවන අතුරු භෝගයට ද නිර්දේශිත පොහොර ප්‍රමාණය නිර්දේශිත ආකාරයෙන් යෙදීම ද මෙහිදී වැදගත් වේ.

පොල් ගස විශාල ජල ප්‍රමාණයක්‌ පසෙන් උරා ගනියි. එම නිසා පොල් අතරේ අතුරු භෝග වගා කිරීමේදී භෝග දෙක ජලය සඳහා අනිවාර්යයෙන්ම තරග කරයි. මෙම තත්ත්වය මගහරවා ගනිමින් සාර්ථකව අතුරු භෝග වගා කළ හැකියි. පොල් ගසේ සිට අඩි 6 කට දුරින් අතුරු භෝග වගා කිරීමෙන් ජල තරගය අඩුකර ගත හැකි වෙයි.

අධික බෑවුම් ඉඩම්වල බිම පිළියෙළ කිරීමක්‌ අවශ්‍ය නොවන භෝග හෝ සමෝච්ඡ වැටි යොදා සිදු කරන අන්නාසි වැනි භෝග වගා කළ හැකිය. එකම බිමේ විවිධ අතුරු භෝග වගා කිරීම සඳහා යොදා ගැනීම මෙහිදී කළ හැකිය.

අතුරු භෝග වගා කිරීමෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ අතිරේක ආදායම් ලබා ගැනීමයි. ආදායම ඉහළ යන විට පොල් වගාකරුවාගේ උනන්දුව තව තවත් ඉහළ යයි. එම නිසා භෝග තෝරා ගැනීමේදී ශෂ්‍ය විද්‍යාත්මක කරුණුවලට අමතරව වෙළෙඳපොළ ඉල්ලුම මත ඉහළ ආදායම් ලබා දෙන භෝග තෝරාගත යුතුවෙයි.

තොරතුරු පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්‌ථානයෙන් 
බමුණාකොටුව - නන්දන සිරි ශාන්ත කුමාර
සංස්‌කරණය-ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments