මළබද්ධය නිට්‌ටාවටම සුවකළ හැකියි

මළබද්ධය හෙවත් බඩ වේලීම කරදරකාරී රෝග තත්ත්වයක්‌. ඒ වගේම මේ රෝගී භාවය නිසා ඔබට ඇතිවන අසහනය කියා නිම කරන්න බැරි තරම්. මේ මළබද්ධයෙන් මිදී සැනසීමක්‌ ලබන්න නම් ඔබ සුදුසු ප්‍රතිකාරයක්‌ ගත යුතුමයි. ඔබට කරදරකාරී වූ මේ මළබද්ධය නිවැරැදි ලෙස හඳුනාගෙන නිට්‌ටාවටම සුව කරගත හැකි බව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා පවසයි. ඒ පිළිබඳව එතුමන් සමඟ කළ සාකච්ඡාව මෙසේ දිගහැරේ.

වෛද්‍යතුමනි, බොහෝ දෙනෙකුට පීඩාවක්‌ ගෙන දෙන මළබද්ධය රෝග තත්ත්වයේ ලක්‍ෂණ පැහැදිලි කළොත්?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සමහරෙකුට මෙම මළබද්ධ තත්ත්වය කෙටිකාලීනව පවතින්න පුළුවන්. තවත් කෙනෙකුට මෙම කෙටිකාලීනව පැවති මළබද්ධයට හුරු වීම නිසා එය දීර්ඝකාලීන මෙන්ම ස්‌ථිර වශයෙන් පවතින රෝගී තත්ත්වයක්‌ බවට පත්වෙන්න පුළුවන්.

මෙහිදී සමහරෙකුට මුල් කාලීනව මළ ස්‌වල්ප වශයෙන් පිටවුණත්, තවත් සමහරෙකුට මළ පිටවීම දවස්‌ දෙක තුනකට වරක්‌ සිදුවෙන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී මළබද්ධය ඇති අය දින 4 සිට 7 දක්‌වා වන ඉතා දිගු කාලයකට වරක්‌ මළපහ කරන අවස්‌ථා ද දක්‌නට ලැබෙනවා.

මේ ආකාරයට මළබද්ධය ඇති රෝගීන්ට පවතින රෝග ලක්‍ෂණ ලෙස, බඩ පුරවා දැමීම, හිසේ ඇතිවන කැක්‌කුම, මුඛයෙන් දුර්ගන්ධයක්‌ හැමීම, සම දුර්වර්ණ වීම, සමේ කැසීම් සහ පළු දැමීම් ඇතිවීම, නොරිස්‌සුම් සහගත බව, මුහුණ අඳුරු පැහැ ගැන්වීම, තුනටිය හා හන්දිපත් වේදනාව ආදී තත්ත්වයන් සැලකිය හැකිය.

මුල් කාලයේදී ඇතිවන මෙවැනි රෝග ලක්‍ෂණ ගැන සැලකිලිමත් නොවීම නිසා ඒවා උත්සන්න වී මහා රෝග බවට පත්වන අවස්‌ථා ද ඇත. මේ නිසා එය අර්ශස්‌ හෝ භගන්දරා (Fistula) වැනි දරුණු රෝග තත්ත්වයක්‌ දක්‌වා ද ව්‍යාප්ත වේ. ඒ වගේම මෙවැනි හේතූන් මුල් කරගෙන පීනස, වාතරක්‌ත සහ කුෂ්ට රෝග මෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ද ඇති වීමේ අවදානමක්‌ පවතී.

වෛද්‍යතුමනි, මේ මළබද්ධ තත්ත්වය ඇතිවීමට බලපාන හේතු සාධක මොනවාද? 

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

කෙනෙකුට මළබද්ධ තත්ත්වය ඇතිවීමට හේතු ගණනාවක්‌ බලපාන්න පුළුවන්. ඒවා අතරින් වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙන හේතූන් වන්නේ ගැස්‌ට්‍රයිටීස්‌ හා ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතාවයන් වේ.

මීට අමතරව ළමා අවධියේ පටන් ඇතිවුණු හේතූන් ද බලපෑ හැකියි. එනම් දරුවන් කුඩා කාලයේදී ඔවුන්ට තරවටු කරමින් වැඩිපුර ආහාර ලබාදීම නිසා ඒවා නිසි පරිදි ජීර්ණය නොවීමෙන් ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මුල් කාලයේදී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මෙය පසුකාලීනව මළබද්ධය ඇති කිරීමට බලපාන බව සඳහන් කළ හැකිය. මේ ආකාරයට වැඩිහිටියන් පවා පමණට වැඩියෙන් ආහාර ගැනීමට පුරුදු වීම පසුකාලීනව ඔවුන්ට මළබද්ධය ඇතිවීමට සෘජුවම බලපාන හේතුවක්‌ විය හැකිය.

වෛද්‍යතුමනි, මළබද්ධය වැඩියෙන් ඇති වීමට හේතු වන ආහාර මොනවාද? 

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මා මුලින්ම සඳහන් කළ පරිදි කෙනෙකුට මළබද්ධය ඇතිවීමට හේතුසාධක වන්නේ ඔවුනොවුන්ගේ වැරදි ආහාර විහරණයන්. මළබද්ධය ඇති කරන ආහාර ද්‍රව්‍ය අතර කෝපි හා චොකලට්‌ විශේෂ තැනක්‌ ගන්නවා. ඒ වගේම කෘතිම ආහාර වර්ග කෙටි ආහාර වර්ග බහුලව ගැනීමත් මළබද්ධය ඇතිකිරීමට ප්‍රබල හේතූන් විය හැකියි.

අපි අපේ මුතුන්මිත්තන් ඈත අතීතයේදී ආහාරයට ගනු ලැබූ අල, බතල, එළවලු, පලා වර්ග, පලතුරු වර්ග ඇතුළු කෙඳි සහිත ආහාර රටාවෙන් මිදී, පාන් පිටි හා තෙල් මිශ්‍රිත ආහාර බහුලව භාවිතයට යොමුවීමත්, මළබද්ධය උත්සන්න කිරීමට හේතුවන බව කිව යුතුයි.

වෛද්‍යතුමනි, මළබද්ධය සුවපත් කරන්නට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ලබා දෙන ප්‍රතිකාර මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මළබද්ධය රෝගී තත්ත්වයක්‌ වනවා වගේම වෙනත් රෝග ගණනාවක්‌ ඇති කිරීමට ද මුලපුරන බැවින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරනවා. එම නිසා රෝගීන්ට ඉතා පහසුවෙන් ගත හැකි ආකාරයට පාරම්පරික දේශීය ඖෂධ වට්‌ටෝරු අනුව නිෂ්පාදනය කළ ඖෂධ ලබා දෙනවා.

මෙහිදී මළබද්ධයෙන් පෙළෙන රෝගීන්ට මළ පහසුවෙන් පිට කිරීම සඳහා මෘදු විරේචන ගුණයෙන් යුත් සරල ඖෂධ ලබා දෙනවා. මෙම ඖෂධ රාත්‍රි කාලයේදී නින්දට යැමට පෙර ලබා දීම නිසා උදැසන අවදි වූ සැණින් ඉතා පහසුවෙන් මළ පිටකිරීමේ හැකියාව ලැබෙනවා.

මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය නිසා රෝගියාගේ රෝග ලක්‍ෂණ පහව යනවා. ඒ නිසා ඔහු තුළ පැවැති නොරිස්‌සුම් සහගත බව, හිසරදය, මුඛයෙන් දුගඳ හැමීම, ශාරීරික වේදනාව, බඩ පුරවා දැමීම ඇතුළු අසහනකාරී ලක්‍ෂණ සියල්ලම පහව ගොස්‌ රෝගියාට සැහැල්ලුවක්‌ දැනෙනවා. මේ ආකාරයට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගැනීමෙන් මෙම මළබද්ධය සාර්ථක ලෙස නිට්‌ටාවටම සුවකර ගන්නට පුළුවන්.

වෛද්‍යතුමනි, සමහර අය ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට මැලිකමක්‌ දක්‌වන්නේ ඒවා සොයා ගැනීමට හා සකස්‌ කර ගැනීමට තිබෙන අපහසුතා නිසයි. නමුත් ඔබතුමා ලබා දෙන ඖෂධ රෝගීන්ට පහසුවෙන් භාවිත කළ හැකිද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඔව්... අප වට්‌ටෝරු ලබා දෙන්නේ නැතිව ඉතා පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට පූර්ණ වශයෙන් සකස්‌ කර ඇති ඖෂධ ලබා දෙනවා. මේ සඳහා අප විසින් ගුණාත්මක භාවයෙන් ඉහළ තත්ත්වයෙන් සැකසූ තම්බා පිළියෙල කළ කසාය වර්ග, ක්‌වාථ වර්ග, පෙති ලෙස සකස්‌ කළ කසාය වර්ග ලබා දෙනවා. ඒ වගේම අනිකුත් සියලුම ඖෂධත් සකස්‌ කර ඇත්තේ ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙසයි.

මීට අමතරව විවිධ රැකියාවන් වල නියුතු, සේවා මුර ක්‍රමයට සේවයේ යෙදෙන, කාර්යබහුල අයට වුවත් මෙම සකස්‌ කළ ඖෂධ ඔවුන්ට පහසු වේලාවක ගත හැකි අන්දමින් ඔවුනට ගැලපෙන කාල සටහනක්‌ සකස්‌ කර දීමට හැකි වීම මෙම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට වැඩි දෙනකු නැඹුරු වීමට රුකුලක්‌ වෙලා තියෙනවා.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක,
0713009088, 0713007000

Post a Comment

0 Comments